සුරක්ෂිත රටක් හදන්නෙ තමන් කැමති අයට විතරයිද ? - සුනිල් හඳුන්නෙත්ති

Syndicated from lankanewsweb,

ජනාධිපතිවරයා සහ වත්මන් ආණ්ඩුව බලයට පත් වී සති‍ දෙකක් තුළ තමන්ගේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන්ට එරෙහිව මර්දන ක්‍රියාත්මක කිරීම සඳහා සූදානම් වන බව පෙනීයන බවත්, ඒ අනුව මේ යන්නේ සුරක්ෂිත රටක් හැදීමේ මාර්ගයෙන් නොව, නැවතත් පැරණි පාරේම බව දැන් පැහැදිලි වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද පැවති මාධ්‍ය හමුව අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මාරුකර යැවීම, පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ජීවිතාරක්ෂාව පතා රටින් පිටුවහල් වීම, ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිළධාරිනියක පැහැරගෙන යාම, Voice Tube හා ද ලීඩර් මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීම ඇතුළු සුරක්ෂිත රටකට නොගැලපෙන ක්‍රියා සිදුවෙමින් පවතින බවත්, මෙවැනි අත්තනෝමතික, හිතුවක්කාරී ක්‍රියා ජනතාව විසින් ලබාදුන් ජනවරම නොගැලපෙන බවත් හඳුන්නෙත්ති මහතා අවධාරණය කරනවා.
රටේ පාලකයා විසින් කටයුතු කළ යුත්තේ තමන්ගේ ප්‍රතිවිරුද්ධ දේශාපලනඥයන්ට, තමන් අකමැති පුද්ගලයන්ට පවා සුරක්ෂිතව සිටිය හැකි රටක් ගොඩනැගීම සඳහා මිස තමන්ට කැමති පුද්ගලයන්ට පමණක් හෝ තමන්ට ඡන්දය ලබාදුන් පුද්ගලයන්ට පමණක් සුරක්ෂිතව ජීවත් විය හැකි රටක් ගොඩනැගීම සඳහා නොවන බව ද සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

Comments