වැරදීම හඳුනාගෙන කුසලතාවය තිබෙන පිරිස් අදාල ස්ථානවලට පත් කළොත් ‌මේ ත්‍රස්තවාදය අපට පරාජය කරන්න පුළුවන්; ත‍්‍රස්තවාදී සාතන්වරු, සාන්තුවරු බවට පත් කරන වැඩේ නතර කළ යුතුයි -චම්පික රණවක

Syndicated from lankaenews,

මොන බෙදුම් ප‍්‍රශ්න, මොන දුර්වලතා තිබුණුත් ඉතා පැහැදිලිව අපේ ආරක්‍ෂක අංශවල, විශේෂයෙන්ම බුද්ධි අංශවලින් ලබාදුන් තොරතුර සැලකිල්ලෙන් අරගන්නේ නැතිව සිදු වූ සිදුවීම් ජාලය විධිමත්ව අරගන්නේ නැතිව, ඇතැම් දුෂ්ඨ දේශපාලකයින්ගේ දේශපාලන උවමනාවන් මත අත්අඩංගුවට ගත් පිරිස් සම්බන්ධයෙන් ලිහිල් ප‍්‍රතිපත්ති අනුගමනය කිරීම නිසා තමයි මේ ව්‍යසනය අපට ඇති උනේ. සහරාන් හෂීම් අද ඊයේ නෙමෙයි 2014 වගේ කාලයක නිෂ්ක‍්‍රීය කරන්න තිබූ චරිතයක්. ඒ වගේම අද අනාගතයේ බිහිවෙන්න යන මේ ත‍්‍රස්තවාදී සාතන්වරු, සාන්තුවරු බවට පරිවර්තනය කිරීමේ කි‍්‍රයාවලිය අපි නතර කළ යුතුයි.

අනන්‍යතාවය කියන්නේ අන්තවාදය ‌‌නොවේ

ඒ නිසා මේ පිළිබඳව ප‍්‍රධාන වගකීම තිබෙන්නේ අපේ මුස්ලිම් ජනතාවට. බිය සැක දුරලලා ඉදිරියට එන්න. ඔබ අතර ඉන්න ඒ අන්තවාදීන් අපට හෙළි කරන්න. හෙළි කර අපේ ආරක්‍ෂක අංශවලට ලබාදෙන්න. ඒ වගේම ඔබ අතර තිබෙන මේ රැඩිකල්කරණය වෙනුවට අපි අර පැරණි සහජීවනයට ගමන් කරලා අපි අතරේ අන්තර් සබඳතාවය ශක්තිමත් කර ගන්න අපි කටයුතු කරමු. සමාජ වෙන්වීමක්, සමාජ බෙදුම්වාදයක් වෙනුවට සමාජ එක්වීමකට ආහාර - පාන, ඇඳුම් - පැළඳුම්, ඇවතුම් - පැවතුම්වලින් අපි එකතු වෙමු. අපිට අනන්‍යතා තිබෙනවා. බෞද්ධයින්ට, හින්දූන්ට, ක‍්‍රිස්තියානීන්ට වෙන් වෙන් අනන්‍යතා තිබෙනවා. ඒ වගේම ඉස්ලාමීය අනන්‍යතාවය අපි කවුරුත් පිළිගන්නවා. අනන්‍යතාවය කියන්නේ අන්තවාදය නොවන බව අපි සියලූ දෙනාම වටහා ගත යුතුයි. අපි සියළු දෙනාම ජීවත් වන්නේ මනුෂ්‍ය ලෝකයේ බවත්, මේ ශ‍්‍රී ලංකාවේ බවත් මතක තබා ගත යුතුයි.
අපි පළමුවෙන්ම මනුෂ්‍යයින් විය යුතුයි. දෙවනුව අපි ශ‍්‍රී ලාංකිකයින් විය යුතුයි. ඒ ශ‍්‍රී ලාංකිකයින් නම් ශ‍්‍රී ලංකාවේ බසට, සංස්කෘතියට, ආර්ථිකයට අපේ තිබෙන දායකත්වය අපි අගයන්න  ඕනේ. එය ඉස්ලාමීය සමාජය තුළ සිදුවිය යුතුයි. ඒ වගේම අනෙකුත් සමාජයත් මේ ඉන්න 200 ක් වූ සුළු පිරිස වෙනුවෙන් විසි ලක්ෂයක් වෙච්ච මුස්ලිම්වරු සැක කරගෙන ජීවත් වෙන්න බැහැ. ඒ සැක බිය දුරුවෙන ආකාරයකට  ඒ සියළු දෙනාගේම එකමුතුව, එකට සිටීම, ඒ සඳහා කි‍්‍රයාකිරීම ඉතා අත්‍යාවශ්‍යයි. ඒ වගේම නීතිය හා සාමය  කි‍්‍රයාත්මක කරන ආයතනවලට අපටත් කැපකිරීම් කරන්න සිදුවෙනවා. පාරේ, කාර්යාලයට, වැඩබිමට යද්දි   අපේ අයිතිවාසිකම් විතරක් නෙමෙයි මේ අන්තවාදයෙන් අපේ ජීවිත රැක ගැනීම සඳහා අප සියළු දෙනාටම කැපවීම් කරන්න වෙනවා. ඒ කැපවීම් කරන්න අප සූදානම්විය යුතුයි. ඒ කැපවීම් කරමින් මේ රටේ සමාජ සාමය ඇතිකර ගැනීමට අපි කටයුතු කළ යුතුයි. අපි සියළු දෙනාම මතක තබා ගත යුත්තේ මේ බිහිවෙලා තිබෙන්නේ ප‍්‍රභාකරන් තරම් අතිවිශාල ත‍්‍රස්ත රකුසෙක් නෙමෙයි. මේ ඉතා කුඩා කල්ලියක්.  අපි පාලනය නොකිරීමේ වරදින් එය ආරම්භයේදීම විනාශ නොකිරීමේ වරදින්, විවිධ දුෂ්ට දේශපාලනඥයින්ගේ ආවරණ කි‍්‍රයාවලියක් මගින් මේ වර්ධනය වීම නොවැලැක්වීමේ වරදින් සිදුවෙච්ච වරදින් සිදු වූ දෙයක්. ඒ නිසා අපි දැන්වත් මේ පිරිස සහමුලින් සොයාගෙන විනාශ කිරීම, නිශ්කි‍්‍රය කිරීම කළ යුතුයි.

අපි කිසිවෙක් බිය විය යුතු නැහැ

ඒ වගේම මේ රටට අනාගතය ගොඩනැගීම සඳහා මෙය අපි පදනමක් කර ගත යුතුයි. මේ රටට ආගමික යුද්ධ ඇති නොවන, සාමකාමී රටක් බවට මේ රට පත් කර ගත යුතුයි. ඒ වගේම ප‍්‍රකාශ කරන්න  ඕනේ අපි කිසිවෙක් බිය විය යුතු නැහැ. මෙයට වඩා අතිශය බලගතු ජාත්‍යන්තර සබඳතා සහිත ත‍්‍රස්තවාදයක් පරාජයක කරපු රටක් අපි. ඒ වගේම මේ ත‍්‍රස්තවාදය ඉන්දියාවේ තිබෙනවා. ඉන්දියාව මේ ත‍්‍රස්තවාදයට විරුද්ධයි. එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදයට දුන් රැකවරණය මේ ත‍්‍රස්තවාදයට ඉන්දියාවෙන් සහය ලැබෙන්නේ නැහැ. ඒවගේම මේ ත‍්‍රස්තවාදය චීනයේ ෂින්ජියෑංග් පලාතේ තිබෙනවා. මහාචීනයේ රැකවරණය මේකට ලැබෙන්නේ නැහැ. මේ ත‍්‍රස්තවාදය යුරෝපා සංගමයේ තිබෙනවා. යුරෝපයේ සහය මෙයට ලැබෙන්නේ නැහැ. ඒ වගේම රුසියාවෙත් තිබෙනවා. පුටින් මහත්මයාගේ මොස්කව් නගරයේ සහයත් එයට ලැබෙන්නේ නැහැ. ඇමරිකා එක්සත් ජනපදයේ තිබෙනවා. ඔවුන්ගේ සහයෝගයත් මෙයට ලැබෙන්නේ නැහැ. ආරාබි ලෝකයේත් ඇතැම් අයගේ උදව් තිබුණාට බහුතරයගේ උදව් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. ඒක නිසා අපට මේ සඳහා දැවැන්ත අන්තර් ජාතික ශක්තියක් ලැබිලා තිබෙනවා. ඒ අන්තර් ජාතික ශක්තියත් යොදාගෙන අපි මෙය තීරණාත්මකව පරාජය කිරීම සඳහා අධිෂ්ඨානයෙන් පෙරට ගමන් කළ යුතුයි.
මෙතනදී මම නැවතත් කියනවා මේ රටට ඉදිරි ගමනක් තිබෙන්නේ නිපුණතාවයට, හැකියාවට මුල්තැන දීමෙන් මේ ත‍්‍රස්තවාදය මර්ධනය කිරීමට නිපුණතාවයට, හැකියාවට මුල්තැන දෙන ඒ හැකියා පූර්ණ පිරිස්  මේ ස්ථානවලට පත් කළ යුතුයි. වැරැද්ද පුද්ගලයෝ අතේ තිබෙන්න පුළුවන්. වැරදිච්ච ක‍්‍රමවේදය හඳුනාගෙන නිපුණතාවයට කුසලතාවයට මුල්තැන දෙන පිරිස් මේ අදාල ස්ථානවලට පත් කළොත් මෙය අපට පරාජය කරන්න පුළුවන් වගේම අප රටටත් නව උපකරණ ලබාගන්න මෙය අවස්ථාවක් කර ගන්න පුළුවන්. ඒ ජයග‍්‍රාහී ගමනට අපි සියළු දෙනාම අධිෂ්ඨානයෙන් යුතුව එක්වෙමු.
(මැයි දිනය දා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නිකුත් කළ නිවේදනයකි) 

Comments