ලංකා ඊ නිව්ස් තහනම් නොකළැයි ජනාධිපති සිරිසේන ෆේස්බුක් ලොක්කන්ට අශිෂ්ඨ ලෙස බැන වැදිලා..! වෙනත් වෙබ් අඩවියක් වාර්තා කරයි..!

Syndicated from lankaenews,



ස්ථාන 8 ක දී කුරිරු ස්වයංඝාතක ප්‍රහාරයකින් මිනිසුන් 350 කට අධිකව ඝාතනය වීමෙන් පසුව හෝ ශ්‍රී ලංකාවේ තහනම් කොට ඇති ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඔහුගේ ඉහල නිලධාරීන් ඇතිකරගෙන තිබෙන යුද්දය අත හරින්නට සූදානම් නැතැයි ලන්ඩනයේ සිට ක්‍රියාත්මක වන කොළම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය අද වාර්තා කර තිබේ. එහි මෙසේ දැක්වේ. 
අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව සමාජ මාධ්‍ය වලට පනවන්නට යන සීමාවන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලංකාවේ සිටින ෆේස්බුක් සමාගමේ විධායක නිලධාරීන් හමුවූ අවස්ථාවේ දී ජනාධිපති සිරිසේනගේ නිලධාරීහු එම සමාගමේ නියෝජිතයන් වෙත අශිෂ්ඨ සහ අපහාසාත්මක භාෂාවෙන් බැන වැදී තිබේ. 
ෆේස්බුක් අඩවිය තුල මොහොමඩ් සෆ්රාන් සහ ජාතික තවුහිද් ජමාද් සංවිධානයත් ඔවුන්ගේ අන්තවාදී තොරතුරුත් සන්නිවේදනය වීම කෙරෙහි අවධානය යොමු කිරීමට වඩා ජනාධිපති උපදේශකවරුන්ගේ සහ නිලධාරීන්ගේ ප්‍රධාන චෝදනාව වී තිබුනේ ජනාධිපති නියෝග මත ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන් සියළු දෙනා විසින්ම වලක්වනු ලැබ ඇති ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පළවන ප්‍රවෘත්ති ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රකාශයට පත්වීම වැළැක්වීමට ෆේස්බුක් සමාගම පියවර නොගැනීම සම්බන්ධයෙනි. කොළොම්බු ටෙලිග්‍රාෆ් වෙත ඉතා විශ්වාස ලෙස දැන ගන්නට ලැබී ඇති පරිදි ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරයට පසු දින පැය දෙකක කාලයක් තිස්සේ පැවැති ඉහත කී සාකච්ඡාවේ දී වැඩිම අවධානයක් දක්වා ඇත්තේ ජනාධිපතිවරයා විවේචනය කරනු ලබන ලංකා ඊ නිව්ස් ෆේස් බුක් ගිණුම පරීක්ෂා කිරීමට එම සමාගමට නොහැකි වීම පිළිබඳවය. 
එම සාකච්ඡාවට සහභාගී වූවන් පවසන අන්දමට ෆේස්බුක් නිලධාරීන් හට එරෙහිව ප්‍රබල ලෙස ප්‍රහාර එල්ල කර ඇත්තේ දූෂණ චෝදනා වලට පවා ලක්ව සිටින කෝට්ටේ හිටපු නගරාධිපති ජනාධිපතිගේ පුද්ගලික ලේකම් ජනක රණවක ය.  ෆේස්බුක් නිලධාරීන් හට දොස් පවරමින් ඔහු පවසා ඇත්තේ ෆේස්බුක් සමාගම “අපරාධකාරී සංවිධානයක්” බව සහ එම නිලධාරීන් සහ ඔවුන්ගේ දරුවනුත් පවුල් වල සාමාජිකයනුත් ශාපයට ලක්විය යුතු බවත් ය. 
ජනාධිපතිගේ කාර්ය මණ්ඩලයේ මෙම අශීලාචාර හැසිරීම ගැන ෆේස්බුක් සමාගමේ නිලධාරීන් විමතියට පත්ව සිටි බවත්, ජනාධිපති උපදේශක ශිරාල් ලක්තිලක ද ෆේස්බුක් නිලධාරීන් වෙත බැන වැදී ඇති බවත්, වැඩිදුරටත් වාර්තා වේ. මේ සාකච්ඡාවට ජනාධිපති සිරිසේන සහ ඔහුගේ සොයුරු ඩඩ්ලි සිරිසේන ද සහභාගී වී තිබේ. 
(කොළොම්බු ටෙලිග්‍රාෆ් වාර්තාවක සිංහල පරිවර්තනයකි)

Comments