ෆේස්බුක් සටහනක් තබද්දී ඔබ කව්දැයි 'ලැන්ග්ලි' හි පිහිටි සීඅයිඒ මූලස්ථානයේ සටහන් වන කලෙක විදේශ සේවයේ වඳුරන් නිසා බලවතුන්ගේ පොර පිටියක් වූ මාතෘභූමිය කොයිබටද? හිටපු දූත සේවා නිලධාරිනියක් ලියයි
Syndicated from lankaenews,
අද බොහෝ දෙනෙකුගේ ප්රශ්නය වී ඇත්තේ ශ්‍රී ලංකාව විදෙස් බලවතුන්ගේ පොර පිටියක්ව ඇත්තේද? යන්නයි. දෙවන ලෝක යුද්ධය අවසන් වූයේ භූ දේශපාලන සිතියමට විශාල වෙනස්කම් සිදු කරමිනි. සෘජු යටත් විජිත ක්‍රමය අවසන් වූයේ ''ගැති රාජ්‍ය'' වලින් යුතු නව යටත් විජිත ක්‍රමයක් බිහි කරමිනි. තාක්ෂණික විප්ලවයත් සමග මිනිස් වර්ගයා පාලනය කරමින් සිටි “කාලය හා දුර” සංකල්ප අවතක්සේරු වූයේය. අප එදා මෙන් නොව, දැන් ජීවත් වනුයේ අධික ලෙස ගෝලීයකරණයට ලක් වූ ලොවකය. ඔබ ෆේස්බුක් සටහනක් තබද්දී, ඔබගේ ස්ථානය, සිතේ ස්වභාවය සහ ඔබ නැඹුරු වී ඇති මතවාද පිලිබඳ ඉඟියක් එක්සත් ජනපදයේ 'ලැන්ග්ලි' හි පිහිටි CIA සංවිධානයේ මූලස්ථානය දක්වා ගමන් කරයි. ඔබ ක්‍රෙඩිට් කාඩ් පතක් භාවිතා කළ මොහොතේදී ම, එහි අගය සහ ඉතිරි වී ඇති ණය ශේෂය ලොව පුරා ඇති සෑම බැංකු පද්ධතියකම යාවත්කාලීන වෙයි. ඔබ තව දුරටත් ඉන්දීය සාගරයේ පුංචි දූපතක තම නෑදෑ හිතෛෂීන් සමඟ, සිය පුද්ගලිකත්වය රැක ගෙන ජීවත් වන සරල මිනිහෙක් නොවේ. ඔබ කැමති වුවද අකමැති වුවද මේ මහා ගෝලීය ප්‍රජාවේ ඔබ ද සාමාජිකයකු බවට පත් වී අවසානය. භූ දේශපාලන ආර්ථික සහ සමාජ කරලියේ සිදුවන මෙකී පරිනාමය පිලිබඳව ඔබ නගන්ගේ සිහින් කෙඳිරිල්ලක් වුවද ආරක්ෂක විශේෂඥයන්ට එය අතිශය බැරෑරුම් විෂය පථයකි.
ගෝලීයකරණයට අනුලෝම වූ පරාධීනත්වය
ගෝලීය ප්‍රජාවට පොදුවේ සිදුවන කවරකින් වුවද ඔබට ඍජු හෝ වක්‍ර බලපෑම්, සීඝ්‍රව හෝ සෙමින් හෝ ඇති වීම නොවැලැක්විය හැකි කරුණකි. භූ දේශපාලනයේදී මෙම තත්ත්වය තවත් තීව්ර වේ. ඒ මන්ද යත් විවිධ රටවල දේශපාලනය, ජාතික ආරක්ෂාව, ආර්ථිකය එකිනෙක හා දැඩිව වෙලී, ජාලගතව සහ පරාධීනව පැවතීමය , ගෝලීය වශයෙන් ජාලගත වන තරමට පුද්ගලිකත්වය පරාධීන වන්නේය. බලවත් රටවල විදෙස් ඔත්තු සේවා සඳහා රහස්‍ය සුවිසල් බරපැනක් වෙන් වන්නේ මේ හේතුවෙනි. CIA සහ මොසාඩ් සංවිධාන හොඳ උදාහරණය. කරුණු එසේ හෙයින් එම රටවල් වල මැතිවරණ ප්‍රකාශනයන්හි අභ්‍යන්තර කටයුතු වලට අදාල ප්‍රතිපත්ති වලට වඩා විදෙස් ප්‍රතිපත්ති සඳහා විශේෂ ස්ථානයක් හිමි වන්නේය. අමෙරිකාවේ චන්ද දායකයකු හට තම අපේක්ෂකයා කුමන දේශයන් වෙත සොල්දාදුවන් පිටත් කරයිද, කුමන දේශයන් තුලින් සොල්දාදුවන් ඉවත් කරන්නේද යන කාරනය අධ්‍යාපනයට වෙන් කරන්නේ සියයට පහද හයද යන්නට වඩා වැදගත්ය. විදෙස් න්‍යාය පත්‍රය වෙනුවෙන් තම අපේක්ෂකයා මුදල් විසිකිරීම පිලිබඳව ඔවුන්ට කිසිම ගැටලුවක් නැත , මක් නිසාදයත් මීයක් කඩන්නේ අත ලෙවකෑමට නොවන බව එහි පුරවැසියන් අද්දැකීමෙන් දන්නා බැවිනි.
ලෝක බලවතුන් පවා පාලනය කරන රහස් ගෝලීය බලවේග
විදේශ ප්‍රතිපත්තිය කවරක් වුවද ඒ තුල බටහිරයන්ටද නොවැටහෙන ගුප්ත ප්‍රපංච ඇත්තේය. ලෝකය 'තනි යායක්' යයි කීවද ඒ තුල අභිරහස් සංවිධාන, කණ්ඩායම් , මතවාද ඇත්තේය. ලෝක බලවතුන් පවා පාලනය කරන 'රහස් ගෝලීය බලවේග' (Clandestine Global Powers) මිහිපිට ක්‍රියාත්මක ය. ලෝක දේශපාලන කරලිය උඩු යටිකුරු කරන බොහෝ සිදුවීම් පිටුපස ඔවුන්ගේ හස්තය පවතින බව රහසක් නොවේ. ජාතීන් එකිනෙකා හා සම්බන්ධ වූ දා සිට ලොව පුරා ඇති වූ සෑම එකතුවක් , ගැටුමක් , අර්බුදයක් පිටුපස ඔවුන්ගේ අදිසි හස්තයන් ක්‍රියාත්මක වූ බව වටහා ගැනීම දුෂ්කර නොවේ. මෙවැනි පසුබිමක් තුල රටක් ආරක්ෂා වීමට නම් දේශීය රැල්ල සහ ගෝලීය රැල්ල සමබරව පවත්වා ගෙන යා යුතුය. ස්වෛරී භාවය සහ අඛණ්ඩතාවය ඕනෑම රටක පදනම ය. ගෝලීයකරනය වූ ලෝක සිතියම තුල වඩා දුෂ්කරම කර්තව්‍ය වී ඇත්තේ ස්වෛරීත්වය රැක ගැනීමය. අධ්‍යාපනය, සෞඛ්‍ය, කර්මාන්ත මෙකී නොකී අභ්‍යන්තරික කරුණු කාරනා වලට වඩා රටේ විදේශ ප්‍රතිපත්තිය ශූක්ෂම, අතිශය වැදගත් අත්හල නොහැකි වගකීමකි.
වඳුරන්ගේ ගෙවල් තැනීම
ශ්‍රී ලංකාවේ සුවිශේෂ භූ පිහිටීම නිසා එය ඉන්දියන් සාගරයේ මර්මස්ථානයකි. අප බලවත් ජාතීන් ඉදිරියේ බෙල හීන රටකි . අප ඉදිරියේ ඇත්තේ ලොකු ප්‍රශ්නාර්ථයකි.! මේ මහා ඝට්ටනයේ අපට හිමි ස්ථානය ගැන අප දැනුවත්ද.? කළ යුතු දේ ගැන අප දැනුවත්ද ? උත්තරය 'නැත' යන්නයි. ලංකාවේ යල්පැන ගිය, දුර්වල, කලවම් සහ ව්‍යාකූල වූ විදෙස් ප්රතිපත්තීන්ගේ සිට නුසුදුස්සන් විසින් පවත්වාගෙන අකාර්යක්ෂම සහ ඔතෑනි තානාපති සේවාව දක්වා කියා සිටින්නේ එම කථාවයි. එතෙර දූත සේවා, දේශපාලකයන්ගේ මිතුරන්, ඥාතීන් හා හෙන්චයියන් හට සැප දීම සඳහා පවත්වා ගෙන යන 'ප්‍රයිවෙට් ලිමිටඩ් කම්පැනි' බවට පත්ව ඇත.
දූත සේවාව ප්‍රමානාත්මකව මෙන්ම ගුණාත්මකවද කුණු වී ගඳ ගසති. ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය වඳුරන් හදන ගෙවල් මෙනි. වඳුරා වහිද්දී පමණක් ලගින්නට සෙවණක් හොයන්නාක් මෙන් අපේ නායකයන්ද කරදරයක් පැමිනි විට පමණක් විදෙස් ප්‍රතිපත්තිය ගැන සිතන්නේ ය. අපට පෙර සූදානමක්, ප්‍රතිපත්තියක් නැත. මුදල් හිර වූ විට ධනවත් ජාතීන් වෙත දුවයි. ආරක්ෂාව පිලිබඳ ගැටළුවක් වූ විට බලවත් ජාතීන් වෙත දුවයි. තාක්ෂනය අවශ්‍ය වූ විට දියුණු ජාතීන් හට කන්නලව් කරයි. කවුරු කවුරුත් කරන්නේ අපේ දුර්වලතාවය ඔවුන්ගේ වාසියට හරවා ගැනීමය; කල දුටු කළ වළ ඉස ගැනීමය.
ඉතිහාසයේ කුණු බක්කියට විසි වූ වාගාඩාම්බර සහ රටේ හෙට දවස
ශ්‍රී ලංකා ජන රජය ''නොබැඳි ජාතියකි '' වැනි වාගාඩාම්බර තවදුරටත් වලංගු නැත , ඒවා ඉතිහාසයේ කුනු බක්කියට විසිව ඇත. අල වී ඇති අපේ විදේශ ප්‍රතිපත්තිය තුල පැහැදිලි මිතුරන් හෝ සතුරන් අපට නැත. ඇත්තටම අප අනාථ වූ ජාතියකි . අවශ්‍යතාවය ආ විට ඕනෑම ජාතියකට හිස නමන නිවටයන් පිරිසක් බවට අප පත්ව ඇත. එහෙයින් අවශ්‍යතාවය එන තෙක් නොසිට මිතුරු බලවේග හඳුනා ගෙන ඔවුන් හා පෙර සුදානමින් සම්බන්ධතා තහවුරු කර ගත යුතුය. සතුරු බලවේග හඳුනා ගෙන ඔවුන් හා උපාය මාර්ගිකව කටයුතු කළ යුතුය. ජාතික ආරක්ෂාවට සහ ස්වෛරීභාවය ට එරෙහි සතුරු බලවේගවලට මුහුණ දිය හැකි යාන්ත්රනයක් ස්ථාපිත කළ යුතුය. විදේශ දූත සේවය ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව ප්‍රතිසංස්කරණය කළ යුතුව ඇත. මේ වන විට ශ්‍රී ලංකාව විදෙස් බලවතුන්ගේ පොර පිටියක්ව ඇති බව සත්‍යයකි. එම ව්‍යවසනය දැන් ගෙයි එලිපත්තටම පැමිණ ඇත. ඊට මුහුණ දීමට හැකි පරිදි අපගේ විදේශ ප්‍රතිපත්තියට අන්ඩයක් හෝ නොදැමුවහොත් අනතුර දෙසට මේ යන ගමන නොවැලැක්විය හැකි වනු ඇත.
ශාමිකා මුදලිගේ
හිටපු දූත සේවා නිලධාරීනි
Comments
Post a Comment