පවාස් මුදලාලි ඝාතනය කරයි; 50ක් රෝහල්වල; 78 ක් අත් අඩංගුවේ; සිරිසේනගේ බච්චාත් ඒ අතර; පොලිස් එස්පී. රජයේ නියෝග නොතකයි; ඊ නිව්ස් වීඩියෝව ගැන හමුදාවෙන් පරීක්ෂණ

Syndicated from lankaenews,



පසුගියදා ජාතිවාදී උම්මත්තකයන් විසින් රටේ ස්ථාන කිහිපයක අහිංසක මුස්ලිම් ජාතිකයන් ඉලක්ක කර සිදුකළ ම්ලේච්ඡ ප්‍රහාර වලින් මිනුවන්ගොඩ කටුනායක පාරේ පිහිටුවා තිබූ ප්‍රකට අවන්හලක් වූ ‘පවාස් රෙස්ටොරන්ට්’ ආයතනය ගිනි තබා එහි අයිතිකරු වූ ‘පවාස් මුදලාලි’ කපා කොටා ඝාතනය කර තිබේ. ඉතා කුඩාවට ආරම්භ කළ මේ අවන්හල ඔහු වසර 30 කට අධික කාලයක් පුරා පවත්වාගෙන ගොස් එය ජනතාව අතර ප්‍රචලිත ප්‍රකට අවන්හලක් බවට දියුණු කර තිබිණ.

එක ගමක සියළුම නිවාසවලට ප්‍රහාර 

මේ අතර කුලියාපිටිය බිංගිරියව අතර වූ මුස්ලිම්වරුන් බහුලව පදිංචිව සිටි ‘රඹෑව’ නම් ප්‍රදේශයේ තිබූ සියළුම මුස්ලිම් නිවාස වලට පහර දී කඩා බිඳ දමා ඇති අතර සමහර නිවාස ගිනි තබා තිබේ. 
හෙට්ටිපොල ප්‍රදේශයේ ඇවිලවු ජාතිවාදී ගිනි දැල් වලින් නිවාස කඩ සාප්පු 100 කට අධික ප්‍රමාණයක් විනාශ වී තිබේ. හෙට්ටිපොල ප්‍රකට නීතිඥයෙකු වූ ඒ.සී.එම් සලාම් මහතාගේ කාර්යාලය ද ගිනි තබා තිබිණ. 

පොලිස් එස්පී රජයේ නියෝග නොතකයි..

ජාතිවාදී ප්‍රහාර වලදී අත් අඩංගුවට ගන්නා පාදඩ මැරයන් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නිරත වූ පුද්ගලයන්ට එරෙහිව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) යටතේ සහ හදිසි නීති රෙගුලාසි යටතේ චෝදනා ගොනු කර නඩු පවරන ලෙස අගමැතිවරයාද පොලිස්පතිවරයාද සියළුම පොලිසි වලට නියෝග දී තිබිය දී හෙට්ටිපොල ප්‍රහාර වලදී අත් අඩංගුවට ගත් පුද්ගලයන් සාමාන්‍ය නීතිය යටතේ ‘බී’ වාර්තා ඉදිරිපත් කරමින් අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. මෙසේ රජයේ නියෝග නොතකා ක්‍රියා කර ඇත්තේ ප්‍රදේශයේ පොලිස් සුපිරින්ටැන්ඩන්ට් (එස්.පී) වරයා වන රොෂාන් හේවාවිතාරණ විසින් දුන් උපදෙස් අනුව බව දැන ගන්නට තිබේ. රොෂාන් හේවාවිතාරණ ඒ ප්‍රදේශයට ගෙන්වා ගැනීමට ක්‍රියා කරන ලද දේශපාලන හස්තය දයාසිරි ජයසේකර ය. 

3 ක් මිය ගොස් 50 කට තුවාල 

මේ අතර පසුගිය දින කිහිපය තුල ජාතිවාදී උම්මතක්කයන් විසින් මුස්ලිම් වැසියන් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාර වලින් තිදෙනෙකු මිය ගොස් 50 ක පමණ පිරිසක් තුවාල ලබා විවිධ රෝහල් වලට ඇතුලත් කර ඇතැයි ද ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

78 ක් අත් අඩංගුවේ; සිරිසේනගේ බච්චා ඒ අතර 

ජාතිවාදී ප්‍රහාර මෙහෙයවූවන් ලෙස හඳුනාගෙන ඇති අන්තවාදී ම්ලේච්ඡ සංවිධාන නායකයන් වන මහසෝන් බලකායේ අමිත් වීරසිංහ, නව සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද්, ජනාධිපති සිරිසේනගේ කූඨක හෙංචයියෙකු වන නාමල් කුමාර අත් අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඩෑන් ප්‍රියසාද් ඇප මත නිදහස් කර ඇති නමුත් අමිත් වීරසිංහ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ. නාමල් කුමාර නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් භාරයේ ප්‍රශ්න කරමින් සිටී. නාමල් කුමාර ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට නායකත්ව දුන් බවට තමන් ඇසින් දුටු සාක්කියක් යැයි පවසමින් සීඅයිඩියට පැමිණිලි කරන ලද්දේ දයාසිරි ජයසේකර මහතා ය.

වයඹ පළාතේ ප‍්‍රචණ්ඩ ක්‍රියාවලට  සම්බන්ධ සැකකරුවන් 78 දෙනෙකු  අද (15) වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා  පවසයි. ඉන් 62 ක්ම අත් අඩංගුවට ගන්නා ලද්දේ  13 සහ 14 යන දිනයන් හිදී බවත් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු හා වීඩියෝ පට හරහා  සිදුකළ පරීක්ෂණ අනුව මෙම පිරිස අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසයි.

ලංකා ඊ නිව්ස් වීඩියෝව ගැන හමුදාවෙන් පරීක්ෂණ 

මේ අතර ලංකා ඊ නිව්ස් ෆේස් බුක් පිටුව ද ඇතුළු සමාජ මාධ්‍ය විසින් ප්‍රචාරය කළ නාත්තන්ඩියේ තුන්මෝදර පල්ලියට පහරදුන් ජාතිවාදී උම්මත්තකයන්ට ආරක්ෂක අංශ සහාය දැක්වූ නීච අන්දම දැක්වෙන වීඩියෝව (https://www.facebook.com/lankaenews/videos/2308130646111842/) හමුදාවේ අවධානයට යොමු වී ඇති අතර හමුදාවේ අය හඳුනා ගැනීම සඳහා මහජන සහාය පතා තිබේ.

මේ පිළිබඳ යුද හමුදාවේ මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු විසින් නිකුත් කර ඇති නිවේදනයක මෙසේ දැක්වේ.  “යුද හමුදාව මගින් මේ සබැඳිව කඩිනම් පරීක්ෂණ පවත්වන අතර එම වීඩියෝවේ ඇතුලත් ආරක්ෂක අංශ සාමාජිකයෙක් යැයි සැක කරන පුද්ගලයා හඳුනා ගැනීමට යුද හමුදාව මහජන සහය පතන අතර පරීක්ෂණවලින් පසුව අදාළ පුද්ගලයා ආරක්ෂක අංශ සාමාජිකයකු බවට තහවුරු වුවහොත් ඔහුට එරෙහිව දැඩි විනය පියවර ගැනීමට යුද හමුදාව කටයුතු කරනු ලැබේ. මේ පිළිබඳ තොරතුරු විශේෂ විමර්ශන ඒකකය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ හදිසි ඇමතුම් අංක 0112-514280ට දැනුම් දෙන ලෙස මහ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.”

මුළු රටටම පැනවූ ඇඳිරි නීතිය අද ලිහිල් කරමින් අද ඇඳිරි නීතිය රාත්‍රී 7 සිට හෙට අලුයම 4 දක්වා ක්‍රියාත්මක වන්නේ ගම්පහ කොට්ඨාශයට සහ වයඹ පළාතට පමණි.  
(‌මෙහි දැක්වෙන ‌සේයාරුව වත්මන් ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සම්බන්ධ වූවක් ‌නොව පුස්තකාල ‌සේයාරුවකි)

Comments