විජේදාස.., දෙයියන්ගෙ නාමයෙන් පල..!! -ආනුභාවනන්ද ලියයි

Syndicated from lankaenews,



විසිතුන් වන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව පැවැත්වූයේ ශ්‍රී ලංකාවේ දී ය. ඒ වසර 2013 නොවැම්බර් මාසයේ දී ය. ඒ වන විට ශ්‍රී ලංකාව යටත් කරගෙන සිටියේ මැදමූලන නූගත් රාජපක්ෂ පවුල යි. මෙරට දෙමළ ජනතාව කබලෙන් ලිපට ඇද දැමූ දේශපාලන මුග්ධයෙකු වන වේලුපිල්ලේ ප්‍රභාකරන් ඒ වන විට පරාජය කර තිබුණි. ප්‍රභාකරන්ගේ එල්ටීටීඊ සංවිධානය පරාජය කිරීමට ඉන්දියානු මධ්‍යම රජයේ දේශපාලන ආශිර්වාදය මෙන්ම බුද්ධි තොරතුරු ද ශ්‍රී ලංකාවට හිමි විය. ඇමරිකානු රජයද එල්ටීටීඊ ආයුධ මිලදී ගැනීම් සහ නැව් ගමනාගමනය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා නාවික හමුදාවට නිල වශයෙන් ලබා දුන් බවට එවකට නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ හෙළිකර තිබිණ. එහෙත් ප්‍රභාකරන්ගේ එල්ටීටීඊ සංවිධානය පරාජය කිරීමෙන් පසුව ‘රාජ‘ උන්මාදය වැළැඳුනු මහින්ද රාජපක්ෂ බටහිරට සහ ඉන්දියාවට ප්‍රසිද්ධියේ අභියෝග කරන්නට විය. එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ අවසාන භාගයේ සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ පවත්වන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මූන් ට ලිඛිතව පොරොන්දු වූ මහින්ද රාජපක්ෂ පසුව ඒ සියළු පොරොන්දු බිඳ දමා මහා දේශප්‍රේමියෙකුගේ වෙස් ගත්තේ ය. බටහිර රටවල් තමාව විදුලි පුටුවට ගෙන යෑමට උත්සාහ කරන බවට කියමින් සිය දෑතින් පපුවට ගසා ගනිමින් උදේ සවස කෑ ගැසුවේ ය. බටහිරට සහ ඉන්දියාවට අවලාද කීවේය. සාමාන්‍ය බුද්ධියක් ඇත්තෙකුට වුවද බටහිර සහ ඉන්දියාව අමනාප කර ගනිමින් රටට ඉදිරි ගමනක් නොවන බව අවබෝධ වුවද නූගත් මැදමූලන පවුලට එවැනි අවබෝධයක් නොවීය.
පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වූයේ මෙවැනි ජාත්‍යන්තර දේශපාලන වාතාවරණයක් යටතේ ය. මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව පොරොන්දු වූ පරීක්ෂණ යට දමමින් සිටි ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී නොවන ලෙසට රාජ්‍ය නායකයන්ට දස අතින් බලපෑම් එල්ල විය. එහි ප්‍රධානතම බලපෑම එල්ල වූයේ පොදුරාජ්‍ය මණ්ඩලයේ නායකයා වූ බ්‍රිතාන්‍යයට ය. පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකයා වූ එළිසබෙත් මහ රැජිනියට මෙන්ම එවකට අගමැති ඩේවිඩ් කැමරන්ට ය. ශ්‍රී ලංකා විරෝධී බලපෑම් වලට යටත් නොවූ බ්‍රිතාන්‍ය රජය සහ රැජිනිය විසි තුන් වෙනි රාජ්‍ය නායක සමුලුවට සහභාගී වීමට තීරණය කළහ. මහ රැජින නියෝජනය කරමින් ඔහුගේ පුත් චාර්ල්ස් කුමාරයා ශ්‍රී ලංකාවට පැමිණි අතර අගමැති කැමරන් බ්‍රිතාන්‍ය රජය නියෝජනය කෙළේය. එහෙත් ඉන්දියාව, කැනඩාව ඇතුළු රටවල් ගණනාවක් පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව වර්ජනය කෙළේය. 
පැය 24 ක් ශ්‍රී ලංකාවේ රැඳී සිටි බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ශ්‍රී ලංකාවේ දේශපාලන ආගමික නායකයන් හමුවූ අතර උතුරු නැගෙනහිර ද සංචාරය කෙළේය. මුත්තයියා මුරලිදරන් සමග ක්‍රිකට් ද ගැසීය. ශ්‍රී ලංකාවෙන් නික්ම යෑමට පෙර පැවැත්වූ පුවත් පත් සාකච්ඡාවේ දී බ්‍රිතාන්‍ය අගමැතිවරයා ශ්‍රී ලංකා රජයේ උතුරු නැගෙනහිර ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිසන්ධාන වැඩ පිලිවෙල දැඩිව අගය කෙළේය. රජය එම ප්‍රදේශයේ යටිතල පහසුකම් දියුණු කිරීමෙන් දෙමළ ජනතාව දිනා ගැනීමට ගන්නා උත්සාහට පිළිබඳ සිය අවංක සතුට පළ කෙළේය. බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිර කඳවුරේ රටවල් දිගින් දිගටම කියා සිටි ආකාරයට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙසට ඉල්ලීමක් කෙළේය. මෙම බල කිරීම අලුත් දෙයක් ද නොවීය. එහෙත් ඔහුගේ වැදගත්ව කොටස වන්නේ රජය උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි දෙමළ ජනතාව ඉලක්ක කරමින් දියත් කරමින් සිටි සංවර්ධන සහ ප්‍රතිසංධාන වැඩ පිළිවෙල ප්‍රශංසාවට ලක් කිරීමයි. මෙම ප්‍රතිචාරයෙන් වඩාත්ම සතුටට පත් වූයේ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ යුරෝපා රටවල් බාරව සිටි ‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ය. කැමරන්ගේ ප්‍රකාශය සමගින් බ්‍රිතාන්‍ය ප්‍රමුඛ යුරෝපා රටවල් සමග නව ප්‍රවේශයක් ලබා ගත හැකි බව ඔවුනගේ තක්සේරුව විය. ඔවුහු වහාම තම උපාය උපක්‍රම පිලිබඳ සටහනක් එවකට ‘නිල ‘විදේශ ඇමැතිවරයා වූ මහාචාර්ය ජී.ඇල් පීරිස්ට යොමු කළහ. එහිදී ඔවුහු මූලිකවම කියා සිටියේ අගමැති කැමරන්ගේ යුද අපරාධ පරීක්ෂණ ඉල්ලීම අමතක කර රජයට හිමි වූ ප්‍රශංසාවට ප්‍රතිචාර දක්වමින් නව දොරටුවක් විවෘත කර ගත හැකි බවයි. ඔවුහු එම අදහස නිල නොවන විදේශ ඇමැතිවරයා වූ මහරජාගේ පිංපියා වූ සජින් වාස් ගුණවර්ධනට ද දැන්වූහ.
නීතිය පිළිබඳ ප්‍රාමාණික බුද්ධිමතෙකු වූ නමුත් කශේරුකාවක් නොමැති ගැරඬියෙකු වූ මහාචාර්ය ජී.ඇල් පීරිස් නිල විදේශ ඇමැතිවරයා වුවද ඒ වකවානුවේ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය මෙහෙයැවූයේ අපොස සා.පෙල පවා අසමත් වූ සජින් වාස් ගුණවර්ධනය. මහාචාර්ය ජී.ඇල් සජින් වාස්ට පමණක් නොව හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂට ද කතා කෙළේ ‘සර්‘ කියා ය. මහරජා නීතිය පිලිබඳ ලෝක ප්‍රකට මහාචාර්ය වරයාට කථා කෙළේ ඔහුගේ මව් පාර්ශවය මතක් කරමිනි. 
එවැනි තත්ත්වයක් තුල මැදමූලන නූගත් පවුලට සහ ඔවුන්ගේ පිංපියන්ට විදේශ අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ලබා දුන් රාජ්‍ය තාන්ත්‍රික උපාය උපක්‍රම තේරුම් ගැනීමට තරම් බුද්ධියක් නොවීය. අගමැති ඩේවිඩ් කැමරන් බ්‍රිතාන්‍යයට පය ගැසීමටත් පෙර මහින්ද රාජපක්ෂ ඔහුව පතුරුගැසීය. වීදුරු ගෙවල් වල සිට ගල් නොගසන ලෙසට ද, යුද අපාරධ කර ඇත්තේ බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිර රාජ්‍යයන් මිස ශ්‍රී ලංකාව නොවන බවද කියා සිටි ඔහු තමන් කිසිදු ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉඩ නොදෙන බව කියමින් මැදමූලන චන්ඩියෙකු සේ කෑ ගැසීය. එයට අමතරව ඩේවිඩ් කැමරන් සහ බටහිර ඉලක්ක කර ගනිමින් අවලාද රාශියකින් දමා ගැසුවේ ය. රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය සමුළුවෙන් පසුව ලංකාවට හිමි වූ රාජ්‍ය තාන්ත්‍රික ශේෂ පත්‍රය වූයේ බටහිර සහ ඉන්දියාව සමග පැවැති සම්බන්ධතා තව දුරටත් සීඝ්‍රයෙන් විනාශ වීම ය. ජනවාරි 8 වෙනිදා දේදුනු විප්ලවය නොවන්නට බටහිර ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පනවා ලෝක ප්‍රජාව තුල ලංකාව තනි කරනවා නොඅනුමාන ය. එසේ වූයේ නම් ශ්‍රී ලංකාවට අත්වන්නේ සිම්බාබ්වේ, උතුරු කොරියා ඉරණම ය. එහෙත් වාසනාවකට මෙන් මැදමූලන නූගත් පවුලෙන් රට මුදවා ගැනීමට ලක්ෂ හැට දෙකක ඡන්ද දායකයෝ සමත් වූහ.
යහපාලන ආණ්ඩුවේ විදේශ ඇමැතිධූරය ඉල්ලා ලබා ගත් මංගල සමරවීර ශපථ කෙළේ තමන් ශ්‍රී ලංකාව නැවත වරක් ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ සදාචාරාත්මක රටක් බවට පත් කරන බවයි. පසුගිය වසර 2 ක කාලය තුළදී එම අභියෝගය ජය ගැනීමට ඔහුට හැකි විය. එහෙත් එය පහසු කාරියක් නොවී ය. මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේත් ඔවුනගේ සිංහල බෞද්ධ ජාතිවාදී බලවේගයනුත් එල්ල වූ ප්‍රතිවිරෝධතාවයන් ප්‍රබල විය. එය ඍජු විපක්ෂයේ අභියෝගය විය. යහපාලන ආණ්ඩුව අභ්‍යන්තරයේ සිටි මංගල සමරවීර ගේ රාජ්‍ය තාන්ත්‍රික වැඩ පිළිවෙලට කකුල් මාට්ටු දැමූ බලවේග දෙකක් විය පළමු වැන්න මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී.ල.නි.ප කණ්ඩායමයි. නීති විරෝධී පැහැර ගැනීම්, කප්පම් ගැනීම්, ඝාතනයන්ට සම්බන්ධ ආරක්ෂක අංශයන්හි සැකකරුවන් “රණවිරු“ ලේබලය යටතේ ආරක්ෂා කර ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ඔහුගේ ශ්‍රීලනිප ගෝලයෝ පසුගිය කාලය පුරා කටයුතු කරමින් සිටිති. ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් කැඳවා ආරක්ෂක හමුදාවේ “රණවිරුවන්“ නමැති අපරාධකරුවන් තම අවසරයකින් තොරව අත් අඩංගුවට නොගන්නා ලෙසට නියෝග නිකුත් කරන තරම් පහත් තත්ත්වයට වැටිණ. ඉන් දින කිහිපයකට පසුව ඔහු සිය කුප්‍රකට ‘සයනයිඩ්‘ කතාව කෙළේය. ප්‍රතිඵල ගැන අමුතුවෙන් විස්තර කිරීමට අවශ්‍ය නැත. 
ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනයට අත් අඩංගුවට ගෙන සිටි ‘රණවිරු‘ මිනීමරුවන්ට ඇප ලැබුනු අතර ඔවුන් යලි හමුදා සේවයට බඳවා ගැනීමට එවකට සිටි හමුදාපති ක්‍රිෂාන්ත සිල්වා නමැති ‘බාස්‘ තීරණය කෙළේය. දැන් එම පරීක්ෂණයට අබසරණ ලැබී තිබේ.
යහපාලන ආණ්ඩුවේ සිටිමින් ලක්ෂ 62 ක් වූ ජනතා බලාපොරොත්තු වලට එරෙහිව ක්‍රියා කරන අනෙක් බලවේගය මෙහෙයවන්නේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ට්‍රෝජන් අශ්වයෙකු වශයෙන් එජාපයට එක්ව සිටින වලස්මුල්ලේ බයියෙකු වන විජේදාස රාජපක්ෂ ය. තමා අධිකරණ ඇමැතිවරයාව සිටින තුරු කිසි දිනෙක ගෝඨාභය රාජපක්ෂව අත් අඩංගුවට ගැනීමට ඉඩ නොදෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ඔහු නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු සියළු රාජපක්ෂ වහලුන්ට ඇප දීමට මහේස්ත්‍රාත්වරුන්ට බලපෑම් කෙළේ එය සිය නිල කාරියක් ලෙස සලකමිනි. එම ප්‍රධාන කර්තව්‍යයට අමතරව යළි ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයේ අපකීර්තිමත් මිනීමරු රාජ්‍යයක් ලෙස අභිෂේක කිරීමද ඔහුගේ ප්‍රමුඛ කාර්යයක් බවට පත්ව ඇත. මංගල සමරවීර විදේශ ඇමැති පසුගිය වසර දෙකක කාලය පුරා යුරෝපා සහ උතුරු ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් මුණ ගැසෙමින් ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ ඉදිරිපත් වී තිබෙන චෝදනා සහ නියෝග වලින් ශ්‍රී ලංකාව මුදවා ගැනීමට උත්සාහ කෙළේය. ශ්‍රී ලංකාව යනු මානව හිමිකම් අයිතීන් පිළිගන්නා සදාචාරාත්මක රාජ්‍යයක් බව ලොව ඉදිරියේ ප්‍රදර්ශනය කිරීම මංගල සමරවීර උත්සාහ කරන විට විජේදාස රාජපක්ෂ නමැති වලස්මුල්ලේ බයියා අධිකරණ ඇමැති වශයෙන් එම උත්සාහයට පරස්පර විරෝධී ක්‍රියාවන්ගේ නිරත වීම දැන් සාමාන්‍යකරණය වී ඇත. 

වලස්මුල්ලේ බයියා 

වරෙක ඔහු ලංකාව යුද අපරාධවලට සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීමට බැඳී නොමැති බව ප්‍රකාශ කරයි. තවත් විටෙක ජාත්‍යන්තර සහ දේශීය මානව හිමිකම් ක්‍රියාධරයන්ට ප්‍රසිද්ධියේ බැණ අඬ ගසයි. අවලාද කියයි. අධිකරණ ඇමැතිවරයා වශයෙන් මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම් අඩාල කරයි. ඥානසාර වැනි අන්තවාදී අමු පිස්සන් ආරක්ෂා කරයි. අදාල සිද්ධීන් පිළිබඳ පරීක්ෂණ වාර්තා සඟවා තබා ගනියි. වැලිකඩ සිරකරුවන් ඝාතනය මෙයට පැහැදිලි උදාහරණයකි. සිවිල් සමාජ ප්‍රධානීන් හට, ජනමාධ්‍ය කතුවරුන්ට අවලාද කියයි. දැන් දැන් කැබිනට් සාමූහික වගකීම කඩමින් හම්බන්තොට වරාය ගොඩ ගැනීමට ආණ්ඩුව චීනය සමග ගැසූ ගිවිසුම් කඩන බව කියයි. පසුගිය වසර දෙකක කාලය පුරාම ඔහු හැසිරුනේ එජාපය නියෝජනය කරන යහපාලන ඇමැතිවරයෙකුට වඩා රාජපක්ෂ පවුලේ ආරක්ෂකයෙකු වහලෙකු වශයෙනි. මැදමූලන නූගත් රාජපක්ෂ පවුල ශ්‍රී ලංකාව යටත් කරගෙන සිටි අවධියේ ඉහළින් ඔසවා ගෙන ගිය අන්ත ජාතිවාදී ධජය ඔවුන් වෙනුවෙන් යහපාලන  රජය තුල දැන් ඔසවාගෙන සිටින්නේ විජේදාස රාජපක්ෂ නමැති ජාතිවාදී භ්‍රෂ්ඨයා ය. මහින්ද රාජපක්ෂ ශ්‍රීලනිපය තුල බලවත් වන ඕනෑම මොහොතක ඔහු සමග එකතු වීමට දැනටමත් ගිවිසුම් ගසා ගෙන සිටින විජේදාස රාජපක්ෂ ට යළිත් එජාපයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කර ජය ගැනීමේ අවස්ථාවක් නැත. එබැවින් ඔහු දැන් ශ්‍රීලනිපය තුල තම පදනම ස්ථාපිත කර ගැනීමට විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි සිංහල බෞද්ධ ජාතිවාදී අම්බරුවන් සමග තරඟ කරමින් සිටී. 
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටුදැකීම පිළිබඳ විශේෂ නියෝජිත බෙන් එමර්සන් පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අවස්ථාවේ විජේදාස රාජපක්ෂ නමැති වලස්මුල්ලේ බයියා ගේ කූඨ ප්‍රාප්තිය සිදුවිය. ඔහු එමර්සන් මහතා සමග පැවැති සාකච්ඡාවේ දී එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් වැරදි තොරතුරු ඉදිරිපත් කරන බවට අවලාද නැගූ අතර තම රජය යුද අපරාධකරුවන් ආරක්ෂා කරන බවත් බ්‍රිතාන්‍ය අගමැතිනියද එය සිදුකරන බවත් කියා සිටියේ ය. තමන්ගේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා බටහිර නියෝජිතයන් අනවශ්‍ය බවත් ඔවුන් තම රටවල කටයුතු බලාගෙන සිටිය යුතු බවට එමර්සන් මහතාට තරවටු කෙළේය. මෙම තර්ජන ඉදිරියේ එමර්සන් මහතා අධිකරණ අමැතිවරයා සමග පැවැති සාකච්ඡාවෙන් නැගිට ගියේ ය. 
විජේදාස හැසිරුනේ මහරජා සරම කැහැපට ගසා මැදමූලන චන්ඩියෙකු සේ රාජ්‍ය නායකයන්ට සහ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ‘චන්ඩි පාට්‘ දැමූ ආකාරයටම ය. යහපාලන රජයේ අධිකරණ ඇමැතිවරයාගේ ප්‍රතිචාරය සහ මහින්ද රාජපක්ෂ පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අවසානයේ ඩේවිඩ් කැමරන්ට නැගූ අවලාද අතර වෙනසක් නැත. විජේදාස රාජපක්ෂ නමැති වහල් බයියා අද වාදනය කරමින් සිටින්නේ අල්ලපු ගමේ නූගත් පවුල වසර 8 ක් පුරා වාදනය කරමින් සිටි පැරණි අසාර්ථක තැටියයි. ඒ තැටිය වාදනය කිරීමෙන් සිදු වූ හානිය ගැන අමුතුවෙන් විස්තර කළ යුතු නැත. එමර්සන් හෝ අනෙකුත් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් වැරදි තොරතුරු ඉදිරිපත් කරන්නේ නම් ඒ ගැන පැමිණිලි කළ හැකි රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඕනෑ තරම් තිබේ. ඒ පිලිබඳව ඍජුවම එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට පැමිණිලි කළ හැකිය. එමර්සන් මහතා සිය ශ්‍රී ලංකා සංචාරයේ දී අධිකරණ ඇමැතිට අමතරව, අගමැතිවරයා, විදේශ ඇමැතිවරයා, හමුදාපතිවරයා, ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයන් කිහිප දෙනෙකු සමග ශ්‍රී ලංකාව පසුගිය වසර 2 ක කාලය තුළ අත්පත් කර ගෙන තිබෙන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කළේය. විජේදාස මෙන් ඒ කිසිවෙකු එමර්සන්ට මැදමූලන චන්ඩි පාට් දැමීමට ගියේ නැත. බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසා මේ ට අභියෝග කෙළේ නැත. ඔවුහු රාජ්‍ය තාන්ත්‍රිකව සාකච්ඡා කළහ. එහෙත් එමර්සන් ගේ ඇතැම් නිරීක්ෂණ පිළිබඳ ඔවුහු එකඟ නොවූහ. පසුගියදා කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී රාජිත සේනාරත්න මෙන්ම දයාසිරි ජයසේකරද ඉතා සංයමයකින් සහ රාජ්‍ය තාන්ත්‍රික ලෙස රජයේ ප්‍රතිචාරය හෙළි කළහ.
ජාතිවාදී ගැලරියට විසිල් ගැසීමේ අවශ්‍යතාවයක් ඔවුනට නොවීය. විජේදාස රාජපක්ෂ නමැති වලස්මුල්ලේ බයියා අද ගණුදෙනු කරමින් සිටින්නේ මෙම ගැලරිය සමග බැවින් ඔහු මුව තුලට ඇඟිලි දෙකක් දමා විසින් ගසයි. තමාගේ විසිල් හඬ විමල් වීරවංශගේ හෝ උදය ගම්මන්පිලගේ හෝ විසිල් හඬට වඩා උස් හඬින් ඇසෙන්නේ දැයි විමසා බලයි. ඔහු ජාතිවාදී ගැලරියට විසිල් ගැසුවට අපට ප්‍රශ්නයක් නැත. ඒ ඔහුගේ නිදහසයි. එහෙත් අපට ප්‍රශ්නය වන්නේ ඔහු වැරදි වත්තක සිට විසිල් ගැසීමයි. ඔහු විසිල් ගැසිය යුත්තේ මැදමූලන වත්තේ සිට මිස යහපාලන රජයේ අධිකරණ ඇමැතිවරයා වශයෙන් නොවේ. ලක්ෂ 62 ක් ජනතාව ජනාධිපතිවරණයේ දී ඡන්දය දුන්නේ මේ විසිල් එක ගැසීමට නොවේ. කොළඹ දිස්ත්‍රික්කයේ එජාප පාක්ෂිකයෝ විජේදාස රාජපක්ෂ නමැති ‘අපේ කාලයේ ප්‍රාඥයා‘ ට මනාප දුන්නේ මේ විසිල් එක ගැසීමට නොවේ. විජේදාස අද ගසන විසිල් එකේ මූලික භූමි දෝෂයක් ඇති බව ඔහුට තේරුම් නොයාම ඛේදයකි. විජේදාසට වීරවංශ ගම්මන්පිල වැනි ජාතිවාදී භ්‍රෂ්ඨයන් අභිබවමින් විසිල් ගැසීමට සිදුව ඇත්තේ ඔහු එජාපය තුළ නිරාවරණය වීම හේතුවෙනි. 
රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ හොර තක්කඩියන් ආරක්ෂා කර ගැනීම සඳහා විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමැතිවරයා වශයෙන් පසුගිය වසර දෙකක කාලය පුරා ක්‍රියාත්මක වූ ආකාරය දැන් රටට රහසක් නොවේ. ඒ බව හොඳින්ම හෙළිදරව් වූයේ ඔහුට එරෙහිව එජාපයෙන් විශ්වාස භංගයක් ගෙන එනවා යයි කියනවාත් සමගම මැදමූලනේ නූගත් පවුල ඇතුළු සකලවිධ ඒකාබද්ධ හොරු රැල ඔහුව ආරක්ෂා කර ගැනීමට පෙරට ඒමෙනි. දැන් ඇත්තටම විජේදාස ඉන්නේ කාගේ පිලේදැයි ජනතාවට පැහැදිලිය. 
මේ පිලිබඳව එජාප පාක්ෂිකයන් මෙන්ම ජනවාරි 8 දේදුනු විප්ලවයට සහභාගී වූවන් අතර ඇත්තේ දැඩි කළකිරීමක් මෙන්ම වෛරයකි. එබැවින් ලබන මැතිවරණයකදී ‘අපේ කාලයේ ප්‍රාඥයාට‘ එජාපයෙන් නම් ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුවට යෑමට නොහැකි ය. පසුගිය වතාවේ පවා ඔහු සළු වූයේ මනාප ලැයිස්තුවේ අග කෙළවරිනි. දැනටමත් මහින්ද රාජපක්ෂ සමග නොනිල වශයෙන් එකතු වී සිටින විජේදාසට කොළඹින් රාජපක්ෂලාගේ සන්ධානයකින් තරඟ කර ජය ගැනීමට නම් විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන වැනි අන්ත ජාතිවාදීන්ට වඩා උස් හඬකින් විසිල් ගැසීමට සිදුවනු ඇත. විජේදාස දැන් පුහුණුවෙමින් සිටින්නේ එම විසිල් හඬයි. 

විජේදාස නමැති කුණු පංචස්කන්ධය දේශපාලනයට කඩා වැටුණු හැටි

අපේ කාලයේ ප්‍රාඥයා වශයෙන් තමා විසින්ම හඳුන්වා ගන්නා විජේදාස රාජපක්ෂ නමැති මෙම කුණු පංචස්කන්ධය හදිසියේ මෙරට දේශපාලන ක්ෂේත්‍රයට කඩා වැටුනු කරුමයකි. මෙයට වගකිව යුත්තේ බොහෝ කුණු ගොඩවල් දේශපාලනයට ගෙන ආ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය සහ ඔහු වටා සිටි සනත් ගුණතිලක, ඩිලාන් පෙරේරාවැනි අම්බරුවන් කිහිප දෙනෙකි. 
රාජිත සේනාරත්න යනු විජය කුමාරතුංග, චන්ද්‍රිකා, ටී.බී. ඉලංගරත්න, ඔසී අබේගුණසේකර ඇතුළු ක්‍රියාකාරීන් සමග ශ්‍රී ලංකා මහජන පක්ෂය ගොඩ නැගීමට දර දිය ඇද්ද දේශපාලන චරිතයකි. ඔසී අබේගුණසේකර ශ්‍රීලමප ප්‍රේමදාස ජනාධිපතිවරයාට තොග මිලට අලෙවි කිරීමට එරෙහි වූ චන්ද්‍රිකා සමග බහුජන නිදහස් පෙරමුණ ගොඩ නැගුවේ රාජිත ය. එහෙත් අවාසනාවකට මෙන් මහ මුහුද පෙනි පෙනී රාජිත බේරේ වැවට පැන්නේ ය. එනම් එජාප විරෝධී රජයක් බිහිවීමට ආසන්න ලකුණු මතුව තිබියදී ඔහු ඩී.බී. විජේතුංග සරණ ගොස් එජාපයට එක් විය. 1994 පොදු ජන එක්සත් පෙරමුණු රජයේ කැබිනට් ඇමැති ධූරයක් හෙබවීමට අවස්ථාව තිබූ රාජිතට සිදුවූයේ එජාපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් විපක්ෂයේ අසුන් ගැනීමට ය. ස්වල්ප කලෙකින්ම ඔහු චන්ද්‍රිකා කුමාරතුංගගේ පොදු ජන එක්සත් පෙරමුණු රජයේ ප්‍රධාන විවේචකයා බවට පත් විය. ඔහුගේ ඇතැම් විවේචන දේශපාලන සීමාවෙන් ඔබ්බට ගොස් චන්ද්‍රිකා කුමාරතුංග පෞද්ගලිකව ඉලක්ක කර  ගත් ස්වරූපයක් දකින්නට හැකි විය. 
තම මිතුරන්ට ඉතා පක්ෂපාත චරිතයක් වන චන්ද්‍රිකා කුමාරතුංගට රාජිත ගේ විවේචන පිළිබඳ ඉමහත් කනස්සල්ලක් ඇති වී තිබිණ. ශ්‍රීලමප පැරණි ක්‍රියාකාරීන් මුණ ගැසුණු අවස්ථා ගණනක දී රාජිතගේ හැසිරීම පිළිබඳව ඇය ප්‍රසිද්ධියේ කනස්සල්ල ප්‍රකාශ කෙළේ “ අවුරුදු ගානක් තිස්සේ අපි හොඳ යාලුවෝ හැටියට හිටියා. අපි එකට දේශපාලනය කළ අය. එයා මෙහෙම කතා කරන එක අන්තිම වැරදියි.“ යනුවෙනි. තත්ත්වය සමනය කිරීමට ඇතැමෙක් රාජිතගේ විවේචන දේශපාලන විවේචන වශයෙන් අර්ථ දැක්වීමට උත්සාහ කළද චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය එය පිළිනොගත්තා ය. ඇයට ඒවා තමා ඉලක්ක කර ගත් පෞද්ගලික විවේචන විය. රාජිත නිහඬ කිරීමට චන්ද්‍රිකා ජනාධිපතිනියට අවශ්‍ය වූ අතර ඇය අවට සිටි ඇම්බැට්ටයෝ ඒ සඳහා විවිධ යෝජනා ඉදිරිපත් කළහ.
ඇය ආකර්ශනය වූයේ රාජිතගේ මන්ත්‍රීධූරය සහ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ යෝජනාවට ය. 
රාජිත වසර ගණනාවක් පුරා දන්ත ශල්‍ය වෛද්‍ය උපකරණ ආනයනය කොට බෙදා හරින පෞද්ගලික සමාගමක් පවත්වාගෙන ගියේ ය. ඔහුගේ සමාගම රජයේ දන්ත ශල්‍යාගාර වලට ද උපකරණ සැපයී ය. 1994 අගෝස්තුවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් දිව්රුම් දීමෙන් පසුව ද ඔහු එම සමාගම පවත්වාගෙන ගිය අතර මහජන නියෝජතයෙකු වශයෙන් රජය සමග ව්‍යාපාර කටයුතු කිරීම නීති විරෝධී විය. මෙම නීතිමය රාමුවට රාජිතව කොටු කර ගැනීමට චන්ද්‍රිකා වටේ සිටි ඇම්බැට්ටයෝ යෝජනා කළහ. අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා රාජිතගේ මන්ත්‍රීධූරය සහ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කළ හැකි බව ඔවුහු පෙන්වා දුන්හ.
මේ පිලිබඳ විශේෂ උද්යෝගයක් ඇති කර ගත් චන්ද්‍රිකා ජනාධිපතිනිය, තමන්ට ඉතා හිතවත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නීතිඥයන් වන ජනාධිපති නීතිඥ එච්.එල්. ද සිල්වා, ආර්.කේ.ඩබ්. ගුණසේකර ඇතුළු ප්‍රවීනයන්ගෙන් මේ පිලබඳ මතය විමසා බැලුවා ය. ඒ වන විට මෙම නීති ප්‍රවීණයෝ නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ කටයුතු වලට සම්බන්ධව සිටියහ. රාජිත සේනාරත්නගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීම පහසුවෙන් කළ හැකි වුවද ප්‍රජා අයිතිය අහෝසි කිරීම දුෂ්කර බව පෙන්වා දුන් ඔවුහු නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර එයට විපක්ෂයේ සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන මොහොතක මෙවැනි පටු අමන දේශපාලන දඩයමක නිරත වීම මගින් ඉතා අහිතකර ප්‍රතිඵල අත් විය හැකි බව කියා සිටියහ. ප්‍රමුඛතාවය ලබා දිය යුත්තේ නව ව්‍යවස්ථාව සම්පාදන කටයුතු සාර්ථක කර ගැනීමට මිස මෙවැනි නිෂ්ප්‍රයෝජන නීතිමය කාරණා වලට නොවන බව ඔවුහු පෙන්වා දුන්හ. 
ජනාධිපතිනියගේ ලඟ ඥාතියෙකු වන ජනාධිපති නීතිඥයෙකුගෙන් මේ පිලිබඳ  මතය විමසූ අවස්ථාවේ දී ඔහු කියා සිටියේ “ ඔයගොල්ලෝ හොඳ යාළුවොනේ.. අපි කවුරුත් දන්නවා රාජිත දේශපාලනයෙන් හැදිච්ච මිනිහෙක් නොවේ බව. ඔය මිනිහා ඔය බිස්නස් එකෙන් හොයපු සල්ලිත් දේශපාලනයට වියදම් කළා මිසක දේශපාලනයෙන් හම්බ කෙළේ නැහැනේ. ඒ කාලයේ ඔයගොල්ලොනේ කියන්නේ රාජිත දත් දෙකක් ගලවලා ෆොක්සගන් එකට පැට්‍රොල් ගහලා රැස්වීම් වලට රටපුරා යනවා කියලා. ඒ නිසා මේක කැත වැඩක්. මේක කරන්න එපා. “ යනුවෙනි.

පිංගොනා, දිවාකර, කොමිසනා ගෙන් ගොඩ ගිය බයියා

මේ නීතිඥ ප්‍රතිචාර වලින් පසුව ජනාධිපතිනය සිටියේ දෙලොවක් අතර ය. එහෙත් ඒ වන විට ජනාධිපති මන්දිරය අරක්ගෙන සිටි ‘පිං ගොනා‘ වන සනත් ගුණතිලකට ද රාජිතව දේශපාලන වශයෙන් නිහඬ කිරීමේ දැඩි අවශ්‍යතාවයක් විය. නව පොදු ජන එක්සත් පෙරමුණු රජයට එල්ල වූ සෑම අල්ලස් සහ දූෂණ චෝදනාවකටම සනත් ගුණතිලක හෙවත් “දිවාකර“ (මහින්ද රාජපක්ෂ එකල ඔහුව ප්‍රසිද්ධියේ හැඳින්වූ නම) ගේ නම ගෑවී තිබිණ. රාජිත ‘කොමිසනා‘ ගේ දූෂණ මෙන්ම ‘චන්ද්‍රිකා -  සනත්‘ ප්‍රේමාලිංගනයේ වරුණ ද රට හමුවේ තැබුවේ ය. ප්‍රේමාලිංගනයේ සත්‍ය අසත්‍යතාවය කුමක් වුවද ඒ දිනවල සනත් ගුණතිලක ව්‍යාපාරික ප්‍රජාව හා ආයෝජකයන් ගේ ඉදිරියේ රඟපෑවේ ඕනෑම ව්‍යාපාරික ‘ඩීල්‘ එකක්, ටෙන්ඩරයක්, ජනාධිපතිනියගේ නිදන කාමරයේ දී තමාට අත්සන් කර ගත හැකි අයුරිනි. ඒ වකවානුවේ ව්‍යාපාරිකයෝ, කැබිනට් ඇමැතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු පසුපස නොගොස් කෙලින්ම සනත් ගුණතිලක වෙත පැමිණීමට පුරුදුව සිටියහ. චන්ද්‍රිකා ලඟට එනවිට නිකමෙකුව සිටි සනත් ගුණතිලක මේ මාර්ගයෙන් කෙටි කලකින්ම පරම්පරා කිහිපයකට ධනය ඒකරාශී කරගත් විශාල ධනවතෙකු විය. 
1994 අගෝස්තු මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පත් වී පසුපෙළ මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළ ඩිලාන් පෙරේරා ද ඒ දිනවල දේශපාලන බල මාවතේ ඉදිරියට යෑමට මගක් සොයමින් සිටි කාලයයි. තමා සමග එකට ශ්‍රීලමප කටයුතු කරමින් සිටි රාජිතගේ බෙල්ල කපා ඉදිරියට පැමිණීමට අවස්ථාවක් පෑදී ඇති බව අවබෝධ කර ගත් ඩිලාන්, සනත්ට පොරොන්දු වූයේ රාජිතගේ ප්‍රජා අයිතිය අහෝසි කළ හැකි නීතිඥයෙකු තමන් සොයාගෙන එන බවයි. ඒ වන විට කීර්තිමත් නීතිඥයන් බහුතරයක් රාජිතට එරෙහිව නඩු කීම ප්‍රතික්ෂේප කර තිබූ බැවින් ඩිලාන්ගේ යෝජනාව සනත්ට රස බොජුනක් විය. 
නීතිඥයෙකු වූ ඩිලාන් පෙරේරා තම සම්බන්ධතා හරහා සොයා ගත් නීතිඥයාගේ නම රාජපක්ෂගේ විජේදාස හෙවත් විජේදාස රාජපක්ෂ ය. ඔහු වලස්මුල්ලේ ජීවත් වූ ඉඩම් නඩු හබ වලට පෙනී සිටි නීතිඥයෙක් විය. ඔහු වඩාත් ප්‍රසිද්ධ වූයේ වසර ගණනාවක් පුරා ඉඩම් නඩු ඇදගෙන ගොස් අවසානයේ සේවා දායකයාගේ ඉඩමේ කොටසක් ද ලියා ගන්නා කළු කෝට් කාරයෙකු හැටියට ය. නඩු වලට පැටලෙන අහිංසක ජනතාවට සිදුවූයේ එකතු වන නීතිඥ ගාස්තු ගෙවා ගැනීමට නොහැකිව තමා නඩු කියා අත් පත් කර ගත් ඉඩමෙන් කොටසක් විජේදාසට ලියා දීමට ය. මෙරට ප්‍රවීන ගායිකාවකට ද මේ ඉරණම ම අත් වූ අතර කොළඹ තදාසන්නයේ විශාල වටිනාකමකින් යුත් ඉඩමකින් කොටසක් විජේදාසට ලියා දීමට ඇයට සිදුවූවා ය. 
වලස්මුල්ලේ බයියෙකු වශයෙන් කුඩා කල සිටම දැඩි උන්නතිකාමයෙන් පෙළුනු විජේදාස රාජපක්ෂට ඩිලාන්ගේ යෝජනාව දේශපාලන බල ඉනිමගේ ගමන් කිරීමේ සැබෑ මාර්ගයක් වශයෙන් මොහොතකින් අවබෝධ විය. ඩිලාන් ඇතුළු කණ්ඩායමේ අවශ්‍යතාවට වූ රාජිත සේනාරත්නගේ ප්‍රජා අයිතිය වසර ගණනාවකට අහෝසි කිරීමේ සිහිනය සැබෑ කර දීමට තමන් සූදානම් බව ඔහු ඩිලාන්ට දැන්වූයේ ය. ඩිලාන්ගේ තොරතුරින් ඉමහත් සතුටට පත් වූ සනත් ගුණතිලක වහාම විජේදාස රාජපක්ෂ ජනාධිපතිනියට මුණ ගැස්වීමට කටයුතු කෙළේය. නොම්මර එකේ කෛරාටිකයෙකු වූ විජේදාස රාජපක්ෂ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිට 1977 දක්වා රජය සමග ව්‍යාපාර කටයුතු කිරීම හේතුවනේ ප්‍රජා අයිතිය අහෝසි වූ මන්ත්‍රීවරුන්ගේ නඩු තීන්දු ගණනාවක් ගෙන හැර දක්වමින් රාජිත සේනාරත්නගේ ප්‍රජා අයිතිය අවම වශයෙන් වසර 10 කට තහනම් කළ හැකි බව ඇහේ පැල කර සිටියේ ය. අනෙකුත් නීතිඥයන් ගෙන් ලැබූ ප්‍රතිචාර වලින් දුර්මුඛව සිටි චන්ද්‍රිකා ට විජේදාසගේ කරුණු දැක්වීම නව ජීවයක් වූවා ය. විජේදාස අතේ පැල කර කියූ ප්‍රබන්ධයට රැවටුණු ජනාධිපතිනිය වහාම නඩු පවරන ලෙසට නියෝග කළාය. මෙම සාකච්ඡාවේ දී විජේදාස ඉගෙන ගත් පාඩම වූයේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියව ලෙහෙසියෙන්ම තමාට රවටා ගත හැකි බවයි.
විශාල මාධ්‍ය සංදර්ශනයක් පවත්වමින් රාජිතට එරෙහි නඩු පැවරුවද අවසානයේ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් පැවසූ පරිදිම රාජිතගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නොහැකි විය. ඔහුගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය අහෝසි කිරීමට පමණක් අධිකරණය නියෝග කෙළේය. එජාප ජාතික ලැයිස්තු පුරප්පාඩු මන්ත්‍රීධූරය මැතිවරණ කොමසාරිස් වරයා දැන්වූ විට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් රාජිත සේනාරත්න එම මන්ත්‍රීධූරයට නම් කෙළේය. කළුතර දිස්ත්‍රික්කයේ ආධාරකරුවන් සිය ගණනක් පිරිවරාගෙන පාර්ලිමේන්තුවට යළි පැමිණි රාජිත සේනාරත්න යලි මන්ත්‍රීධූරයේ දිව්රුම් දුන්නේය. අවසානයේ නටපු නැටුමකුත් නැත. බෙරේ පලුවකුත් නැත..! නමුත් අවසානයේ දී සැබෑ ජයග්‍රාහකයා වූයේ විජේදාස රාජපක්ෂ ය. නඩුව හරහා ඔහු චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය වෙත ප්‍රවේශවීමේ මාර්ගය විවෘත කර ගත්තේ ය. ඉන්පසුව සනත් ගුණතිලක ඉදිරියේ සතිපතා පිංසෙණ්ඩු වෙමින් ජනාධිපතිනිය ලවා තමාට ජනාධිපති නීතිඥකමක් ලබා දෙන ලෙසට ආයාචනා කිරීමට පටන් ගත්තේ ය.
කිසිදු නීතිඥයෙකු රාජිතට එරෙහිව නඩු පැවරීමට ඉදිරිපත් නොවූ අවස්ථාවේ ඉදිරිපත් වූයේ විජේදාස බැවින් ඔහුට ජනාධිපති නීතිඥධූරයක් ලබා දෙන ලෙසට සනත් ජනාධිපතිනියගෙන් ඉල්ලීමක් කෙළේය. කිසිවෙකු නොදැන සිටි වලස්මුල්ලේ බයියෙකුට එක් ප්‍රසිද්ධ නඩුවකට පෙනී සිටීම නිසා ජනාධිපති නීතිඥකමක් ලබා දිය නොහැකි බවත් ඔහු තරුණ බැවින් ඉදිරියේ දී ජනාධිපති නීතිඥ ධූරයක් ලබා දිය හැකි බවත් ජනාධිපතිනිය කියා සිටියා ය. එහෙත් එම ප්‍රතිචාරයෙන් නොසැලුණු සනත් දිගින් දිගටම ඒ පිළිබඳව ඇවිටිලි කෙළේය. අවසානයේ ඒ වසරේ නව ජනාධිපති නීතිඥ නාමාවලියට එතෙක් නීතිඥ ප්‍රජාව අතරේ පවා නමක් නොතිබූ විජේදාස රාජපක්ෂගේ නම එක්විය. විජේදාස රාජපක්ෂ යනු මෙරට ඉතිහාසයේ පත් වූ ලාබාලම ජනාධිපති නීතිඥයා විය. වලව්වේ වළං සේදීමේ එකම සුදුසුකමට විජේදාස රාජපක්ෂ ජනාධිපති නීතිඥ ධූරයක් ලබා දීම සම්බන්ධයෙන් නීතිඥ ප්‍රජාව අතරේ විශාල ආන්දෝලනයක් ඇති විය. ඒ වන විට ජනාධිපති නීතිඥයන් වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් බොහෝ දෙනෙකු ඒ දිනවල කියා සිටියේ විජේදාසට ජනාධිපති නීතිඥකමක් ලබා දුන් නිසා තමන්ට සිදුව ඇත්තේ තම ජනාධිපති නීතීඥ පට්ටම කුණු ගොඩට දැමීමට බවයි.
නීතිඥ ප්‍රජාවෙන් මතුව ආ විරෝධතා සහ උසුළු විසුළු සැළකිල්ලකට නොගත් විජේදාස සිය බල ඉනිමගේ ඊලඟ පියවර තැබීම සඳහා නිති පතා ජනාධිපති මන්දිරයට රිංගීමට පටන් ගත්තේ ය. පවුල පිටින්ම වලව්වල රෙදි සේදීමට ඉමහත් කැමැත්තක් දැක්වූ විජේදාසට ටික කලකින්ම චන්ද්‍රිකා කුමාරතුංගට ලං වීමට හැකි විය. එහෙත් වසර 2002 පොදු පෙරමුණු මැතිවරණ පරාජයත් සමග ඔහුගේ බලාපොරොත්තු වූ ඉලක්ක සපුරා ගැනීමට නොහැකි විය. නමුත් මැතිවරණ පරාජයත් සමග බොහෝ දෙනෙකු ජනාධිපතිනිය හැර ගිය බැවින් එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් විජේදාස ජනාධිපතිනිය හමුවීමට නිතර නිතර පැමිණියේ ය. අවසානයේ ජනාධිපතිනියට උපදෙස් දෙන නීතිඥයෙකු බවට පත් වූයේ ලූලා නැති වලට කණයා පණ්ඩිතයා වූයේ ය. 
වසර 2004 වන විට විජේදාස රාජපක්ෂ ජනාධිපතිනියට ව්‍යවස්ථා කටයුතු සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන මට්ටමට පත්විය. විජේදාස රාජපක්ෂ ජනාධිපති නීතිඥ ධූරයට පත් කරනවාට වඩා මුග්ධ තීරණයක් ගත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය වසර 2004 මහ මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ඔහුව පත් කෙළේය.

‍බයියාගේ බැංකු පැටව්

ව්‍යවස්ථා කටයුතු පිළිබඳ විශේෂඥ නීතිඥයන් සහ බුද්ධිමතුන් බොහෝ දෙනකු සිටියදී ව්‍යවස්ථා කටයුතු ප්‍රවීණයෙක් වශයෙන් හඳුන්වමින් විජේදාස රාජපක්ෂට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් ලබා දීම චන්ද්‍රිකා ගත් මුග්ධ මෙන්ම නින්දා සහගත තීරණයක් බවට සැකයක් නැත. 2005 දී  මහින්ද රාජපක්ෂ ජනාධිපති වූ පසු තම අල්ලපු ගම වන වලස්මුල්ලේ බයියාට බැංකු සංවර්ධන රාජ්‍ය ඇමති ධූරය ලබා දුන්නේ ය. 
මූල්‍යකරණය සහ බැංකුකරණය පිළිබඳ මෙලෝ දැනුමක් නොමැති විජේදාස රාජපක්ෂ “බැංකු සංවර්ධන“යැයි අවබෝධ කර ගත්තේ හංදියක් හංදියක් ගානේ නව බැංකු ශාඛා විවෘත කිරීම ය. පළාත් බැංකු, දිස්ත්‍රික් බැංකු, සහ ග්‍රාමීය බැංකු වශයෙන් නව බැංකු හඳුන්වා දුන් ඔහු එමගින් තම දේශපාලන හිතවතුන්ට රැකියා නිර්මාණය කරමින් ජනප්‍රිය දේශපාලනයේ නිරතවීමට උත්සාහ කෙළේය. එහෙත් වැඩි කාලයක් මේ බැංකු සෙල්ලම කරගෙන යන්නට ඔහුට නොහැකි වූයේ මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විජේදාසගේ මේ බැංකු පැටව් ගැසීමට විරුද්ධ වීම හේතුවෙනි. මහ බැංකු නිලධාරීහු බැංකු පැටව් ගැසීමෙන් ඇතිවිය හැකි මූල්‍ය ප්‍රතිවිපාක පිළිබඳ මුදල් ඇමැති වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දැනුවත් කළහ. තමාගේ ‘බැංකු සංවර්ධනයට‘ මහ බැංකුවේ සහායක් නොමැති බව පෙනී ගිය විජේදාසට එම තත්ත්වය අවබෝධ වූයේ මහින්ද රාජපක්ෂ තමන්ට පල නොකියා පලා බෙදීමක් වශයෙනි. 
එජාපයට බලය ලබා ගත හැකිවේ යයි කල්පනා කළ ඔහු වසර 2006 අප්‍රේල් මාසයේ පළාත් සභා මැතිවරණය ආසන්නයේ එජාපයට කරණමක් ගැසීය. නමුත් එජාපයට පැමිණ ස්වල්ප කාලයකින්ම තමන්ගේ දේශපාලන ගණනය කිරීම වැරදි බව විජේදාස වටහා ගත්තේ ය. ඊට ප්‍රධාන වශයෙන්ම බලපෑවේ ශ්‍රීලනිප නායකයන් සේ  එජාප නායකයාව ලේසියෙන් තමාට නම්මවා ගැනීමට නොහැකි වීමයි. 2010 දී එජාප මන්ත්‍රීවරු මහරජාගේ “දෑත් ශක්තිමත්“ කිරීමට ගිය අවස්ථාවේ දී විජේදාසද යලිත් මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට කරණමක් ගැසීමට උත්සාහ කෙළේය. නමුත් තම අල්ලපු ගමේ සගයාට රාජපක්ෂ පණිවුඩයක් යවමින් දැනුම් දුන්නේ තමාට දැන් දෙන්නට ඇමැතිධූර නොමැති බවත් දිය හැක්කේ නියෝජ්‍ය ඇමැතිධූරයක් පමණක් බවයි. එම පිළිතුර ඉදිරියේ තම තීරණය වෙනස් කළ විජේදාස එජාපයේ තව දුරටත් සිටිමින් රාජපක්ෂ ආණ්ඩුව සමග ඩීල් දමමින් වසර ගණනාවක් පුරා මහරජාගේ දෙදන ශක්තිමත් කෙළේය. 
ශිරාණි බණ්ඩාරනායක මැතිණිය අගවිනිසුරු ධූරයෙන් ඉවත් කිරීමට ‘මහරජා‘ කටයුතු කරන විට විජේදාස රාජපක්ෂ නීතිඥ සංගමයේ සභාපතිය. මහරජාගේ නීති විරෝධී ඒකාධිපති තීරණයට එරෙහිව නීතිඥ සංගමය පාරට බැස්ස මොහොතේ සභාපති විජේදාස සටන මෙහෙයවනු වෙනුවට අහුමුළු වල සැඟවුනේ ය. ඔහුව එම විරෝධතාවලට රැගෙන ඒමට සිදුවූයේ බල්ලා නෑවීමට ගෙන යනවාටත් වඩා අමාරුවෙනි. උපත්තියේ සිට මැදමූලන රාජපක්ෂලාට තිබූ බයාදු ගතිය හේතුවෙන් නීතිඥ සංගමයේ වසර 2 ක සභාපතිධූර කාලය වසරක් යෑමට පෙර අවසන් කර ඉවත්වීමට ‘අපේ කාලයේ ප්‍රාඥයා‘ කටයුතු කෙළේය. මැදමූලන වලව්වට ආවතේව කම් කිරීම තම ඒකායන රාජකාරිය යැයි සිතා සිටි විජේදාස රාජපක්ෂට යහපාලන රජයේ අධිකරණ ඇමැති ධූරය ලබා දීමට තරම් මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මෝඩයෝ වූහ. මෙය චන්ද්‍රිකා කුමාරතුංග තම වලව්වේ වළං සේවීමට ප්‍රති උපකාර වශයෙන් ජනාධිපති නීතිඥකමක් ලබා දී ජාතික ලැයිස්තුවෙන් විජේදාසව පාර්ලිමේන්තුවට යැවීමට ගත් තීරණයට වඩා මෝඩ තීරණයකි.

අපේ කාලයේ ඩීල්කාරයා 

විජේදාසට අධිකරණ ඇමැතිධූරය ලබා දීම යනු යහපාලන රජය පළමු පැයේදීම විශාල ඊයම් බරුවක් තම හිස මත තබා ගැනීමකි. රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට සහ ඔවුන්ගේ වහලුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම විජේදාස පළමු පැයේ සිටම කඩා කප්පල් කිරීමට ක්‍රියා කෙළේය. මුල් වකවානුවේ ඔහු රහස් පොලිසියේ සහ මූල්‍ය අපරාධ අංශයේ උසස් නිලධාරීන්ට දුරකථන ඇමැතුම් ලබා දෙමින් අදාල පරීක්ෂණ පිලිබඳ විස්තරාත්මක විමසීමක නිරතවීමට පුරුදු වී සිටියේ ය. අදාල නිලධාරීන් ඉදිරියට ගන්නා ක්‍රියා මාර්ග ඔහු විමසා සිටියේ ය. අධිකරණ ඇමැතිවරයා තම පරීක්ෂණ වලට උදව් කිරීමට උත්සාහ කරනවා යැයි සිතූ පොලිස් නිලධාරීහු කිසිවක් නොසඟවා ඔහුට තොරතුරු පැවසූහ. එහෙත් ස්වල්ප දිනකින්ම ඔවුනට අවබෝධ වූයේ තමන් අධිකරණ ඇමැති විජේදාසට ලබා දුන් රහසිගත තොරතුරු රාජපක්ෂලාට පමණක් නොව ඔවුන්ගේ නීතිඥයන්ට ද ආරංචි වී ඇති බවයි. ඉන්පසුව ඔවුහු අධිකරණ ඇමැතිවරයාට කිසිදු රහස්‍ය තොරතුරක් පැවසීමෙන් වැළකී සිටියහ. 
රාජපක්ෂලාට සහ වහලුන්ට එරෙහි පරීක්ෂණයන්හි රහස්‍ය තොරතුරු තවදුරටත් පොලිස් නිලධාරීන්ගෙන් ලබා ගත නොහැකි බව වටහා ගත් විජේදාස ඉන්පසුව කෙළේ අදාල අධිකරණ ක්‍රියාමාර්ගයන්ට ඍජුවම බලපෑම් කිරීමයි. රාජපක්ෂලාට සහ ඔවුන්ගේ හෙංචයියන්ට ඇප ලබා දෙන ලෙස ඔහු විනිසුරුවරුන්ට ඍජුවම බලකර සිටියේ ය. එහෙත් කල් යත්ම බොහෝ විනිසුරුවෝ ඔහුගේ බලපෑම් වලට අනුගත නොවූහ.
රාජපක්ෂලා සහ ඔවුන්ගේ වහලුන් පමණක් නොව “රණවිරු“ මිනීමරුවන් නිදහස් කර ගැනීමට මෙන්ම අධිකරණ ක්‍රියාමාර්ග යටපත් කිරීමට ද විජේදාස ඍජුවම මැදිහත් විය. මෙම මිනීමරුවන්ට ඇප ලබා දෙන ලෙසට විනිසුරුවරුන්ට බලපෑම් කෙළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේද ආශිර්වාදය සහිතව ය. 
විජේදාසලා ඇතුළුව එජාපයේ පිරිස් මහරජා සමග ඩීල් දමාගෙන නැට්ට පශ්චාත්භාගයේ සඟවාගෙන සිටි අවධියේ රටේ සැබෑ විපක්ෂයක් හැටියට ක්‍රියා කෙළේ ‘ලංකා ඊ නිව්ස්‘ වෙබ් අඩවිය බව ජනවාරි 8 වෙනිදා දේදුනු විප්ලවයට සහභාගී වූ ඕනෑම කෙනෙකු දන්නා රහසකි. විජේදාස එම වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘට එරෙහිව නඩු දමා ඉන්ටර්පොල් වරෙන්තුවක් ලබා ගැනීමට උත්සාහ කෙළේ සිය මජර රාජපක්ෂ වහල් භාවය අපූරුවට ප්‍රදර්ශනය කරමිනි. ජනවාරි 8 වෙනිදා දේදුනු විප්ලවයට වෙහෙස වූ සිවිල් සමාජයේ නායකයෝ වන මහාචාර්ය සරත් විජේසූරිය, ගාමිණී වියන්ගොඩ, ඇතුළු චරිත ගණනාවකට විජේදාස අභූත චෝදනා අපහාස කරමින් සිටී. රටේ සැබෑ සාමයක් සංහිඳියාවක් ගොඩ නැගීමට ජාතිවාදය පරාජය කළ යුතු යැයි විවෘත ප්‍රකාශයකට අත්සන් කළ මෙරට සමාජයේ ප්‍රබුද්ධිමතුන් සිය ගණනකට “පිස්සන්“ යැයි පවසමින් මේ රාජපක්ෂ ‘දාසයා‘ අපහාස කෙළේය. සුළුතර ආගමික කොට්ඨාශයක අයිතිවාසිකම් වෙනුවෙන් අදහස් දැක්වූ ලක්ෂාන් ඩයස් නීතිඥවරයාගේ නීතිඥ ධූරය අහෝසි කරන බවට තර්ජනය කෙළේය. ලක්ෂාන් ඩයස්ලා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් පලවා හැරීමට එරෙහි සටනට විවෘතව නායකත්වය දෙන විට නීතිඥ සංගමයේ සභාපති විජේදාස සිටියේ නිවසේ ඇඳ යට ය. 

වැරදි වත්තේ සිට විසිල් ගැසීම

විජේදාස අද ආරක්ෂා කරන්නේ ජාතිවාදී භ්‍රෂ්ඨයන් වන නානසාරලා ය. නානසාර සඟවා ගෙන සිටියේ විජේදාසගේ අනුදැනුම අනුග්‍රහය මත බව පොලිස්පතිවරයා සාගල රත්නායක ගේ මුහුණටම පවසා සිටියේ ය. නානසාර සඟවා සිටි විජේදාසට  සාමය සංහිඳියාව නිර්මාණය කිරීමට නම් අන්තවාදී ජාතිවාදය පරාජය කිරීම අවශ්‍යයි කියන බුද්ධිමතුන් ව ‘පිස්සන්‘ යැයි පෙනීම ගැන කිසිවෙකු පුදුම විය යුතු නැත. 
විජේදාස රෙදි අඳින්නේ ඩෙංගු මදුරුවන්ගෙන් බේරීමට මිස ලජ්ජා බව නිසා නොවන බව දිනපතා ඔප්පු කරමින් සිටී. ඔහුගේ දැවැන්ත කළු සල්ලි ව්‍යාපාරයක් පිලිබඳ තොරතුරු දැන් දැන් හෙළිවෙමින් තිබේ. මීට සති කිහිපයකට පෙර විජේදාසගේ තරුණ පුතුන් දෙදෙනාට සුදු පැහැති බීඑම්ඩබ් 5 කාණ්ඩයේ සුඛෝපභෝගී මෝටර් රථ දෙක තෑගි ලැබුණේ කෙසේද යන්න ද අවශ්‍ය නම් අපට හෙළි කළ හැකිය. 
‘අපේ කාලයේ ඩීල්කාරයා‘ පසුගිය වසර දෙක පුරා ක්‍රියා කර තිබෙන්නේ රාජපක්ෂලාගේ ට්‍රෝජන් අශ්වයෙකු ලෙස ය. රාජපක්ෂ වහලුන් ආරක්ෂා කිරීම, ජනවාරි 8 විප්ලවයට දායක වූ සිවිල් සමාජ ක්‍රියාධරයන් යහපාලන ආණ්ඩුව සමග බිඳවීම, ජාතිවාදයට අනුබල දෙමින් එමර්සන් වැනි ජාත්‍යන්තර නියෝජිතයන්ට චන්ඩි පාට් දමා ආණ්ඩුව ජාත්‍යන්තර වශයෙන් කොන් කිරීම ඇතුළු ක්‍රියාමාර්ග රාශියක් මගින් ආණ්ඩුව තුල හිඳිමින් එය බිඳ දැමීමට විජේදාස රාජපක්ෂ පසුගිය වසර දෙකකට අධික කාලයක් පුරා ක්‍රියාකර ඇත.  විජේදාස මැදමූලන විසිල් එක ගැසිය යුත්තේ මැදමූලන රාජපක්ෂලාගේ වත්තේ හිඳගෙන මිස යහපාලන  වත්තේ හිඳගෙන නොවේ. ඔහු වහාම වත්ත මාරු කළ යුතුය. ඉදිරියේ දී මෛත්‍රීපාල සිරිසේන ද ඔහු සමග ඔය විසිල් එක ගැසීමට මැදමූලන වත්තටම පැමිණීමට ඉඩ කඩ තිබේ. 
ඔලිවර් ක්‍රොම්වෙල් පැවසූ පරිදි අපට විජේදාස රාජපක්ෂට කිව හැක්කේ ‘දෙයියන්ගේ නාමයෙන් පල‘ කියා ය. ජනාධිපතිගෙන් සහ අගමැතිගෙන් ඉල්ලා සිටීමට ඇත්තේ පිස්සු බල්ලන් බැඳ දමන්නේ නැතිනම් සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා පිස්සු බල්ලන්ට වෙඩි තැබීමට ජනතාවට සිදුවිය හැකි බවය.

ආනුභාවනන්ද විසිනි

anubhawananda1@gmail.com 

Comments