රාජපක්ෂ මකරාගෙන් බේරීම සඳහා ‘මෛත්‍රී මකරෙකු‘ හදා වඩා ගත යුතුද? පොලිසිය සහ නීතිපතිය ජනාධිපති පවරා ගැනීමට යෑමේ බිහිසුනු විහිළුව..! -විමල් ධීරසේකරගේ විචාරය
Syndicated from lankaenews,
නීතිය හා සාමය අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව මාස 3 කට තමා යටතට දෙන්නැයි ද එවිට තමන් හොරු අල්ලා පෙන්වන්නම් යැයි ද ජනාධිපතිවරයා විසින් පෙරේදා(04) කැබිනට් හමුවේදී පැවසුවේ යයි කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා ඊයේ(05) පැවැති කැබිනට් තීන්දු හෙළිකෙරෙන මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙළේය. තමන් එම අවස්ථාවේදීම ඊට කැමැත්ත ප්‍රකාශ කළ බවත් ඇමැතිවරයා පැවසීය. විවිධ ගොසිප් වාර්තා කෙසේ වෙතත් ජනාධිපතිවරයා නීතිය හා සාමය අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව තමා යටතට ගැනීමට මාස කිහිපයක් තිස්සේ කැස කවමින් සිටි බව මේ ලියුම්කරු දනී.
නීතිය හා සාමය අමාත්‍යාංශය යටතේ පොලිසිය සහ ඊට අදාල විවිධ දෙපාර්තමේන්තු රාශියක් පවතින අතර දැනට එය බාරව සිටින සාගල රත්නායක ඇමැතිවරයා දූෂිතයන් සහ අපරාධකරුවන් නීතිය ඉදිරියට පැමිණවීමෙහි ලා ක්‍රියා කරන ආකාරය ගැන අපට ද බරපතල ගැටළු තිබේ. සීඅයිඩිය එෆ්සීඅයිඩිය විසින් පරීක්ෂණ නිමා කර නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇති ලිපිගොනු 100 කට පමණ ප්‍රමාණයක් නඩු දැමීමට ප්‍රමාද වී තිබෙන බවද අප විසින් වාර්තා කර ඇත. ඒ අනුව ජනාධිපතිවරයාගේ ප්‍රකාශය බැලූ බැල්මට සාධාරණ යයි පෙනුනද එය එසේම නොවන බවත් ඊට වසඟ නොවිය යුතු බවත් ජනතාවට හෙළිදරව් කළ යුතුය.
පුද්ගලිකව අපට මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් වූ ප්‍රශ්නයක් නොවුනේ වී නමුත් ඔහුගේ ධූරය වූ ජනාධිපතිධූරයට මෙම ආයතනය පවරා ගැනීම සම්බන්ධයෙන් යහපාලනප්‍රේමීන් වන අප න්‍යායාත්මකව විරුද්ධ ය. මන්ද අප පෙනී සිටින්නේ විධායක බලතල සහිත ජනාධිපති ධූරය අහෝසි කළ යුතුය යන පදනමේ බැවින් මෙයින් සිදුවන්නේ ජනාධිපතිවරයාගේ විධායක බලතල තවදුරටත් ශක්තිමත් වීම නිසා ය.
ජනාධිපතිධූරය නිර්මාණය කළ ජේආර් ජනාධිපතිවරයා ආරක්ෂක ඇමැති ධූරය තමන් යටතේ තබා ගත්තේ නැත. ඔහුගේ ආරක්ෂක ඇමැති වූයේ ලලිත් ඇතුලත්මුදලි මහතා ය. ජේආර්ගේ අනුප්‍රාප්තිකයා වූ ප්‍රේමදාස මහතා සම්ප්රදාය වෙනස් කරමින් ඔහු ආරක්ෂක ඇමැති ධූරය ලබා ගත් නමුත් රාජ්‍ය ආරක්ෂක ඇමැති ධූරයක් හදා ඊට රන්ජන් විජේරත්න මහතා පත් කර ආරක්ෂක ඇමැතිගේ සම්පූර්ණ වැඩ ටික ඔහුට පවරා ගැටලුවකින් තොරව කටයුතු කරගෙන ගියේ ය. චන්ද්‍රිකා මැතිණියද ඒ මගම ගනිමින් ආරක්ෂක ඇමැති ධූරයේ තමා නමින් සිටිය ද සියළු වැඩ ටික කරගෙන ගියේ ඇයගේ මාමා නියෝජ්‍ය ආරක්ෂක ඇමැති අනුරුද්ධ රත්වත්තේ ය. ඉහත කී කිසිවෙකු නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති යටතට පත් කර ගත්තේ නැත. මේ තත්ත්වයන් සම්පූර්ණයෙන්ම වෙනස් කෙළේ මහින්ද රාජපක්ෂ විසිනි. ඔහු සියල්ල තමන් යටතට ගත්තේ ය. ඒකාධිපතියෙක් වුනේ ය. නීච ලෙස නීතියේ ආධිපත්‍යය කඩා දැම්මේය. ඒ කතා කවුරුත් දන්නෝ ය.
විරුද්ධ වීමේ න්‍යාය..
ජනවාරි 8 වෙනිදා දේදුනු විප්ලවය ජයගත්තේ විධායක ජනාධිපති ධූරය දින සියයකින් අහෝසි කරන බව කියමිනි. ඒ අනුව හරියට ක්‍රියා කෙළේ නම් අද වෙනකොට විධායක ජනාධිපති කෙනෙක් සිටිය නොහැකිය. දින සියයකින් විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්නට ආ මෛත්‍රීපාල සිරිසේන මහතා තවමත් එය භුක්ති විඳීම කිසිසේත්ම ජනතා කැමැත්ත නොවන බවත් සදාචාරවත් නොවන බවත් අපගේ න්‍යායාත්මක පදනමයි.
ත්‍රිවිධ හමුදා සියල්ල අතේ තිබෙන විධායක ජනාධිපති ධූරයෙන් පොලිසිය ඉවත් කරන ලද්දේ නිකම්ම නොවේ. එ් නීතිය හා සාමය යනුවෙන් සිවිල් අමාත්‍යාංශයක් ලෙස වෙන් කර ස්වාධීන කොමිෂන් සභාවක් යටතට ද ඇතුළු කර විශාල ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලියක් තුළිනි. පොලිසිය තවදුරටත් හමුදාමය කටයුතු සඳහා නොව සිවිල් කටයුතු සඳහා පරිවර්තනීය ගමනක් යා යුතුය යන නිගමනයේ සිට මේ ක්‍රියාවලිය සිදුකෙරිණ. එසේ තිබියදී පොලිසිය යලිදු විධායක ජනාධිපතිවරයෙකුද සේනාධිනායකයෙකුද යටතට පත් කිරීම ජනවාරි 8 වෙනිදා දිනූ ප්රජාතන්ත්රවාදය යලි කණපිට ගැසීමකි.
නීතිපති දෙපාර්තමේන්තුව විධායක ජනාධිපති යටතට පත් කිරීමද එවැනිම යලි ඒකාධිපති ගමනක ආරම්භයක් වනවා ඇත. එය අනෙකක් නොව මහින්ද රාජපක්ෂ ගමන් ගත් මාර්ගයම ය.
එබැවින් යහපාලනප්‍රේමීන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පුද්ගලිකව නොවන්නේ වී නමුත් න්‍යායාත්මකව පෙරේදා කැබිනට්ටුවට ගෙන ආ යෝජනාවට එක හෙළා විරුද්ධ විය යුතුය.
විරුද්ධ වීමේ පුද්ගලිකත්වය
ඉන්පසුව න්‍යායාත්මක තත්ත්වයෙන් පරිබාහිරව මෛත්‍රීපාල සිරිසේන මහතා පුද්ගලිකව ඔහු කියන ආකාරයට දූෂිතයන්ට එරෙහිව හැසිරී තිබේදැයි සලකා බැලිය යුතුය.
1. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වී පැය කිහිපයක් ඇතුලත මහින්ද අමරවීරගේ නිවසේ දී ගෝඨාභය රාජපක්ෂ හමුවී ගෝඨා සමග ඩීල් එකක් දැමූ බව කියන්නේ අප නොව මෛත්‍රීගේම ජාතික ලැයිස්තු මන්ත්‍රී මලිත් ජයතිලක විසින් රචනා කරන ලද ‘මා දුටු ජනවාරි 8‘ නමැති ග්‍රන්ථය මගිනි. එය අද දක්වා මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතික්ෂේප කර නැත.
2. ගෝඨාභය රාජපක්ෂ මෙතෙක් අධිකරණයක් ඉදිරියට ගෙනාවේ අල්ලස් හෝ දූෂණ කොමිසමේ හිටපු අධ්යක්ෂ ජෙනරාල්වරිය දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ විසිනි. ගෝඨා අධිකරණයට ගෙන ආ සැනින් කුලප්පු වී “මට නොකියා රණවිරුවන් දක්කාගෙන යනවා“ යයි කියමින් කුප්‍රකට ‘සයනයිඩ් කතාව‘ කෙළේ වෙනින් කවුරුත් නොව මෛත්‍රීපාල සිරිසේන මහතාම ය. ඔහු දින කිහිපයකට පසුව ‘මා කීවේ ගෝඨාභය ගැන නොවේ‘ යයි කීවද එ් ගැලවිජ්ජාවේ කතාව පිළිගන්නේ ඔහු සහ ඔහුගේ හිටපු මාධ්‍ය ලේකම් නිමල් බෝපගේ පමණි. සිරිසේන මහතා එහිදී අවංකව දූෂිතයන්ට එරෙහි වූවා නම් ඔහුගේ කතාව නිසා හිත රිදුනු රාජ්‍ය නිලධාරිනී දිල්රුක්ෂි ඩයස් අල්ලස් හෝ දූෂණ කොමිසමේ අධ්යක්ෂ ජෙනරාල් ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මෛත්‍රීපාල සිරිසේන මහතාට දුන් විට එය පිළිනොගෙන සිටීමට අවස්ථාව තිබිණි. නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ කෙළේ නැත. ඉන් ගම්‍ය වන්නේ සිරිසේන මහතා ඉන්නේ දූෂිතයන්ට එරෙහිව කටයුතු කරන්නන්ගේ පැත්තේ නොව දූෂිතයන්ගේ පැත්තේ බවය.
3. ප්‍රගීත් එක්නැලිගොඩ, ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදියා පැහැරගෙන ගොස් මරා දැමූ යුද හමුදා සාමාජිකයන් ඇප ලබා ගත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කුප්‍රකට ‘සයනයිඩ් කතාව‘ නිසාය. ඒ අපරාධකරුවන් ‘රණවිරුවන් ‘සේ සලකා ඇප ලබා දිය යුතු යැයි බෑඟිරි ගෑවේ මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි. එපමණකින් ඔහු නිකම් හිටියේ නැත. ආරක්ෂක ඇමැතිවරයා ලෙස සියළු හමුදා සහ රාජ්‍ය නීති අණ පනත් උල්ලංඝනය කරමින් බල අපරාධයක සැකකරුවන්ව සිටින ඒ හමුදා නිලධාරීන්ව යලි ඔවුන්ගේ නිලයන්ගේ රාජකාරියෙහි පිහිටැවූයේ ය. ඉන් පසුව ඔවුන් තම නිල බලය යොදමින් එම අපරාධය පිළිබඳ සාක්කි කියන සාක්කි කරුවන් බිය ගන්වමින් සමස්ථ පරීක්ෂණයම බිඳ දැම්මෝය. ඊට වගකිව යුත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා මිස අන් කිසිවෙක් නොවේ. එපමණක් නොව ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ අපරාධයෙන් ප්‍රධාන වින්දිතයා වී සිටින බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩට ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් දෙන්නැයි ඉල්ලා සිටි නමුත් වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ ඇයට තවමත් දිනයක් ලබා නොදුන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාම ය. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් පවා ඇයට හමුවීමේ අවස්ථාවක් ලබා දී ඇයගේ දුක අසාගෙන සිටියද අපගේ යහපාලන ජනාධිපතිවරයාට ඊට තවමත් වේලාවක් නැත. එයිනුදු ගම්‍ය වන්නේ සිරිසේන මහතා ඉන්නේ අපරාධකරුවන්ගේ පැත්තේ මිස වින්දිතයන්ගේ පැත්තේ නොවන බවයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා දූෂිතයන්ට සහ අපරාධකරුවන්ට ආරක්ෂාව සැලසූ ආකාරය පිලිබඳ ලැයිස්තුව ඉතා දීර්ඝව සටහන් කළ හැකිය.
විරුද්ධ විය යුතු බිහිසුනු විහිළුව
කවුරුන් කෙසේ කීවද එෆ්සීඅයිඩියට සහ සීඅයිඩියට දුරකථන ඇමැතුම් දී බලපෑම් කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම ය. අගමැතිවරයා කිසිදු දුරකථන ඇමැතුමක් මෙතෙක් දී ඇතැයි අප වෙත වාර්තා වී නැත. ජනතා විමුක්ති පෙරමුණද මේ පිළිබඳ සනාථ කරයි. තමන්ට ලැබෙන සියළු ඇමැතුම් ඒ ඒ ආයතන වාර්තා තබා ඇති බැවින් මේවා රහස් නොවේ. (අප මෙය මීට පෙරත් වාර්තා කර ඇති නමුත් මෙහි කණපිට පසුගියදා මෛත්රීවාදී ගොසිප් කරුවන් පිරිසක් වාර්තා කර තිබිණ.)
ඩිලාන් පෙරේරාගේ දූෂන වසා දමන්නැයි මෛත්‍රීපාල සිරිසේන මහතා එෆ්සීඅයිඩියට බලපෑම් කළ බවට සාක්කි අප සතුව තිබේ. එපමණක් නොව මේ ඉතාමත් මෑතකදී මහින්දානන්ද අලුත්ගමගේ බේරා ගැනීමට බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුරු දේවප්‍රිය, අලුත්ගමගේද සමග ගොස් මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ බවත් එහිදී සිරිසේන මහතා අලුත්ගමගේට දුන් ගැරැන්ටිය ගැනත් සියළු සාක්කි අප සතුය. ඔහු මේ චෝදනා ප්‍රතික්ෂේප කරන්නේ නම් ඊට අදාල හඬ පට අපට හෙළිකළ හැකිය.
සිදුවීම් එසේ වී නමුත් අපි කවුරුත් දන්නා ඉහත ප්‍රධාන කරුණු 3 පමණක් සඳහන් කරමු. අවසාන වශයෙන් කවුරුත් දන්නා ආසන්නම උදාහරණය සඳහන් කරන්නෙමු. එනම් පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරන්නට යෙදුනු පත්වීමකි. නැගෙනහිර ආණ්ඩුකාරයා ලෙස රාජපක්ෂ යුගයේ පට්ට පල් දූෂිතයෙකු වූ රෝහිත බෝගොල්ලාගම පත් කළ මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට පැය කිහිපයකට පසු තමා දූෂිතයන්ට අපරාධකරුවන්ට මාස 3 න් දඬුවම් දෙනවා යි කියනා කල අප සිනහා විය යුත්තේ මුඛයෙන්ද? අධෝ මුඛයෙන් ද?
එජාපයද සුදනෝ නොවෙති
මේ සියල්ල තිබියදී සම්මුති ආණ්ඩුවේ එජාප පාර්ශවය සතුව තිබෙන නීතිය හා සාමය අමාත්‍යංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව ඇතුලත් අධිකරණ අමාත්‍යාංශය මෙතෙක් අති පාරිශුද්ධව කාර්යක්ෂමව කිසිදු ඩීල් එකක් නැතිව ක්‍රියා කරන්නේ යැයි අපි කිසිසේත්ම නොකියමු.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ දී මහින්ද රාජපක්ෂ හමුවූ බවත්, සාගල රත්නායක මහතා නීතිවේදියෙකුගේ නිවසේදී ගෝඨාභය හමුවූ බවත් හෙළි කෙළේ අප ය. අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ යෝෂිත රාජපක්ෂව රිමාන්ඩ් නොකර සිටින්නැයි කඩුවෙල මහේස්ත්රාත්වරයාට කතා කර කී බව හෙළිකෙළේ ද අප ය.
එබැවින් දූෂිතයන්ට සහ අපරාධකරුවන්ට දඬුවම් දීම කාර්යක්ෂම කළ යුතු නම් මේ අමාත්‍යාංශ වෙනස් කළ යුතුම ය. අකාර්යක්ෂම අමාත්‍යාංශ කාර්යක්ෂම කිරීම සඳහා ජනාධිපතිවරයා යටතට පවරා ගත යුතු යැයි යමෙක් කියන්නේ නම් එය විකාරයකි. ජනාධිපතිවරයෙක් ඉන්නේ අකාර්යක්ෂම අමාත්‍යාංශ තමන් යටතට පවරා ගන්නේ නැතිව කාර්යක්ෂම කිරීමට ය. තවමත් විධායක බලතල අහෝසි නොකළ මෛත්‍රීපාල සිරිසේන මහතා සතුව ඒ බලතල තිබේ. දැනටමත් දරා ගැනීමට බැරි තරම් අමාත්‍යාංශ ප්‍රමාණයක් අතේ තබාගෙන ඒ කිසිවක් නිසි ලෙස මෙහෙයවා ගැනීමට නොහැකි මෛත්‍රීපාල සිරිසේන මහතා තවත් ඒවා පටලවා ගැනීමට යන්නේ කරන්නට පුළුවන් කමකට නොවේ. එය වෙනත් දේශපාලන බල අරගලයක කොටසකි. ඒ ගැන මෙම ලිපියෙන් කතා කරන්නට නොයන නමුත් සාගලගේ සහ විජේදාසගේ අමාත්‍යාංශ සම්බන්ධයෙන් ගත යුතු ප්රජාතන්ත්රවාදී ක්‍රියා මාර්ග මොනවාදැයි කිව යුතුය.
පවරා ගැනීමකින් තොරව කාර්යක්ෂම කළ හැකිය
1. ප්‍රධාන වශයෙන්ම නීතිය හා සාමය මෙන්ම අධිකරණ යන අමාත්‍යාංශයන් 2 බාර ඇමැතිවරුන් දෙදෙනා වෙනස් කළ යුතුමය. ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීම ජනාධිපති මෛත්‍රීට කළ හැකිය.
2. ඇමැතිවරු වෙනස් කිරීම එජාප නායකයා සමග සාකච්ඡා කළ යුතු දෙයක් නිසා ඒ වන තුරු අමාත්‍යාංශ දෙකෙහි ලේකම්වරුන් දෙදෙනා ජනාධිපතිවරයාට වෙනස් කළ හැකිය. ඒ සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාට නෛතික බලතල තිබේ.
3. තෙවැනුව දැනට කෝලමක් වී ඇති පොලිස්පතිවරයාට ඉල්ලා අස්වන්නැයි කියා සිටීමට ජනාධිපතිවරයාට හැකිය. ජනාධිපතිවරයාට පොලිස්පතිවරයා අස් කළ නොහැකි නමුත් පූජිතට තත්ත්වය තේරුම් බේරුම් කර දී නව පොලිස්පතිවරයෙකු පත් කර ගත හැකිය.
4. සිව්වැනිව නීතිපති දෙපාර්තමේන්තුවේ පමාවීම වළක්වා ගැනීමට ප්‍රධාන වශයෙන් කළ යුත්තේ එහි මානව සම්පත් වැඩි දියුණු කිරීමය. අප දන්නා තරමින් සියළු ලිපිගොණු වල අවසන් නිගමනය කිරීම සඳහා එහි ඉන්නේ 6 දෙනෙකු පමණි. සමහර ලිපිගොණු පිටු 3000 කින් පමණ සමන්විතය. ඒ එකක් කියැවීමට පමණක් දින කීයක් ගත වන්නේ ද? නීතිපතිවරයා දේශපාලන ගැත්තෙකැයි හෝ ඩීල් කාරයෙකු යැයි අප වෙත වාර්තා වී නැත. එබැවින් කළ යුත්තේ පමාවන් අවම කර ගැනීම සඳහා අලුතින් පිරිස් බඳවා ගැනීමයි. දියුණු තාක්ෂනය භාවිතාවට ගැනීමයි. ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමයි.
5. පස්වැනුව දූෂිතයන් සහ අපාරාධකරුවන්ට දඬුවම් දීම කාර්යක්ෂම කිරීම සඳහා තවත් වැදගත් දෙයක් කළ හැකිය. මේ පිලිබඳව සිවිල් සංවිධාන නායකයන් ජනාධිපති සහ අගමැති වරයා 21 වතාවක් හමුවී කියා ඇත. ඔවුන් දෙදෙනා පිළිගෙන ඇති නමුත් වැඩේ සිදුවී නැත. එනම් මේ නඩු ඇසීම සඳහා වෙනම අධිකරණයක් පිහිටුවීමත් නොකඩවා නඩු විභාග කිරීමත් ය. ඒ සඳහා අලුතින් කිසිදු අණ පණතක් ගෙන ඒමේ අවශ්‍යතාවක් ද නැත. දැනට තිබෙන අධිකරණ අංකයක් වැඩි කිරීමෙන් සහ ඊට අවශ්‍ය ප්‍රතිපාදන සැලැස්වීමෙන් පමණක් මේ කාරිය කළ හැකිය.
එබැවින් මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යාංශ පවරා ගැනීමට කරන කතාව ගැන යහපාලප්රේමීන් පපුවෙන් නොව මොළයෙන් කල්පනා කළ යුතුය.
යෙව්ජින් ශ්වාට්සේ නමැති රුසියානු නාට්‍ය කරුවාගේ The Dragon නමැති නාට්‍යයේ කපටි පාලකයෙකුගේ අපූරු දෙබසක් වෙයි. ‘මකරෙකුගෙන් බේරීම සඳහා තමන්ගේම මකරෙක් ලඟ තබා ගන්නැයි‘ ඔහු ජනතාවට උපදෙස් දෙයි. රාජපක්ෂ නමැති මකරාගෙන් බේරීම සඳහා සිරිසේන නමැති ‘මෛත්‍රී මකරෙකු‘ හදා වඩා ගැනීමට යහපාලනප්රේමීන්ට අවශ්‍ය නැත.
අමාත්‍යාංශ පවරා ගැනීමේ නාටකයේ සිරිසේන මහතාගේ දේශපාලන යටි අරමුණු සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ යටි අරමුණු ගැන වෙනත් ලිපියකින් සාකච්ඡා කරමු.
Comments
Post a Comment