හිතාමතා යන ඉබි ගමන්

Syndicated from lankadeepa,

ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ, බඩු භාණ්ඩ ආදිය කාලයත් සමඟ සහ පාවිච්චි කරන ප‍්‍රමාණය අනුව වැහැරී ක්ෂය වීම ස්වභාව ලක්ෂණයකි. හැරත් තාක්ෂණයෙහි ප‍්‍රගතිය විසින් ඇතැම් යන්ත්‍රෝපකරණ වැහැරෙන්නට පෙරම යල් පිණු තත්ත්වයට පත් වනු ද අප දැක ඇත. බලවේග යන්ත‍්‍රය හඳුන්වා දීමත් සමඟ පේෂකර්ම අත් යන්ත‍්‍රය අභාවයට යාම නිදසුනකි. එබඳුම වෙනසක් විකාශනයක් මතිමතාන්තරවල නැතහොත් සංකල්පමය වශයෙන් ද සිදුවෙයි. නිදසුනක් ගත හොත්, ඇත්ත පවා කලින් කලට වෙනස් වෙයි. අද ඇත්ත හෙට වඩා දියුණු ඇත්තකින් ආදේශ කැරෙයි. නිව්ටන්ගේ ඇත්ත අයින්ස්ටයින්ගේ ඇත්තෙන් ආදේශ වූ පරිදිය. පැතැලි පෘථිවිය ගෝලාකාර පෘථිවියෙන් ආදේශ වූයේත් එසේ මැයි.
මේ පණ්ඩිත කතා සිහිගන්වන්නට අප පෙළැඹුණේ යහපාලන දේශපාලනඥයන් සහ ඔවුන්ගේ වන්දි භට්ටයන් ජනතාවට කාවද්දන්නට තැත් කරන එක් අදහසක් හේතුවෙනි. එනම් 2015 ජනවාරි අට පෙරැළියෙන් මෙරට ප‍්‍රජාතන්ත‍්‍රය පරිසමාප්ත වූ බව ඔවූහු පෙන්වන්නට තැත් කරති. ඇත්තෙන්ම ඔවුන් ඊටත් වඩා දුර ගිහින් කියන්නේ දැන් වුවමනාවටත් වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති බවෙකි. සැබැවින්ම ජනවාරි 8 ජය ඓතිහාසිකයි. එයින් ගෝත‍්‍රික හා ගජ මිතුරු ධනවාදී අත්තනෝමතික පාලනයක සිට ශීලාචාර ආණ්ඩුවකට බලය මාරු විය. එහෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය එක් තැනක නිශ්චලව පවතින්නක් නොව අනවරතයෙන් දියුණු වන්නකි. පරිසමාප්ත ප‍්‍රජාතත්ත‍්‍රයක් කොතැනක වත් නැත. එය අනවරතයෙන්ම පරිසමාප්තිය කරා යොමු කළ යුතුය.
ප‍්‍රජාතන්ත‍්‍රය එන්න එන්නම ගැඹුරු වූ අයුරු සහ පුළුල් වූ අයුරු ඉතිහාසයෙන් පෙනේ. එහෙත් එයින් පුරාතන ග‍්‍රීක ප‍්‍රජාතන්ත‍්‍රයෙහි වැදගත්කම අවතක්සේරු වන්නේ නැත. එහෙයින් පමණට වැඩි ප‍්‍රජාතන්ත‍්‍රයක් ගැන කියන කතා හුදු ප‍්‍රලාප මිස ඇත්ත නොවේ. හැරත් එය භයානක කතාවකි. මන්ද යත් එසේ නම් එය කප්පාදු කළ යුතු හෙයින්. බැටන් ප‍්‍රහාර, ජල ප‍්‍රහාර, කඳුළු ගෑස් ප‍්‍රහාර වැඩි වැඩියෙන් භාවිතාව එබන්දක පෙර නිමිත්තක් දෝ යි දුහුනන් සැක සිතීමත් සාධාරණ විය හැකිය.
මෙහි අප අභිලාෂය යහපාලන ප‍්‍රජාතත්ත‍්‍රවාදයෙහි ඌනතා කිහිපයක් මතු කිරීමය. නිදසුනකට යෝජිත ත‍්‍රස්තවාදයට එරෙහි පනත ගන්න. ත‍්‍රස්තවාදය වැළැක්වීමෙහි පනතෙහි සඳහන් ඇතැම් භයානක වගන්ති එහිද එලෙසින්ම ඇතුළත්ය. පොලිස් නිලධරයන් ඉදිරියේ සැකකරුවන් දෙන කට උත්තර සාක්ෂි වශයෙන් පිළිගැනීම එබන්දකි. එහි භයානකකම දැනෙන්නේ කට උත්තර ගැනීමෙහිදී ශ‍්‍රී ලංකා පොලිසිය භාවිත කරන විධික‍්‍රම සැලැකීමෙහිදීය. වධහිංසා පැමිණවීම් තවමත් පොලිසියෙහි පවත්නා බව මානව හිමිකම් කොමිසම ද කියයි.  ප‍්‍රධානතම ඌනතාවක් වන්නේ මෙවන් පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට පෙර මහජන අදහස් ලබාගැනීම සඳහා සංවාදයකට නොතැබීමය. ඒ පිළිබඳව නැෙ`ගන ජනතා හඬ බීරි අලින්ට වීණා ගායනාවකි. එයින් පෙනෙන්නේ ජනතාව පාලකයන්ට අවිස්වාස බවෙකි. පාලකයන් නිල බලයෙන් හිස උදුම්මා පොදු ජනයාට ඉහළින් වැජැඹෙන්නට පටන්ගෙන ඇති බවෙකි.
ප‍්‍රශ්නයක් පැන නැඟි විට කොමිෂන් සභා ආදිය පත් කැරැු ජනතා උද්ඝෝෂණ සමනය කැරීමට පාලකයන් කටයුතු කරන අතර එවන් කොමිෂන් වාර්තා වසර ගණනාවකින් වුව එළි දකින්නේ නැත. හැම ආණ්ඩුවකම පැවැති මෙම කැත පුරුද්ද මෙම ආණ්ඩුවටත් ඇත. පරණගම කොමිසමෙහි ප‍්‍රතිසන්ධාන කොමිසමෙහි වාර්තා හමස් පෙට්ටියේය. ඒවායේ නිර්දේශ ක‍්‍රියාත්මක කරනු පසෙක තබා බොහෝ කොමිෂන් සභා වාර්තා ප‍්‍රසිද්ධ කිරීමටවත් වුවමනාවත්, කැමැත්තක් නොපෙනේ.
තිස් වසරක කුරිරු යුද්ධයෙන් පීඩාවට පත් ජනයාට සංක‍්‍රාන්ති යුක්තිය ඉටු කරන්නට ආණ්ඩුව පොරොන්දු වුවද ඒ පිළිබඳව කළ හැකි දේ බොහොමයක් ඉටුව නැත. ඇතැම් පියවර සුළු වුවද නොගැනේ. නිදසුනක් වශයෙන්, අතුරුදන් තැනැත්තන්ගේ ලේඛනයක් පවා ප‍්‍රසිද්ධ කර නැත. කනගාටුදායක තත්ත්වය බොහෝ අතුරුදන් වූ තරුණ තරුණියන් ඔවුන්ගේ මවුපියන් විසින්ම යුද්ධය නිමා වූ පසු ප‍්‍රසිද්ධියේ ආරක්ෂක අංශවලට භාර දුන් දරුවන් වීමය.
ජනවාරි 8 ජයග‍්‍රහණයෙන් වසර දෙකහමාරක් ගෙවී ගියද බොහෝ සෙයින් කතාවට ලක් වූ සත්‍ය කොමිෂන් සභාව තවම තිඹිරිගෙය අසලකවත් නැත. අතුරුදන් තැනැත්තන්ගේ කාර්යාලය එළිදකින දිනයක් නැත. කල්ගතව හෝ එම පනතට අත්සන් තබන්නට ජනාධිපතිතුමන් හට එක්සත් ජාතීන්ගේ විශේෂ දුතයෙකු මෙහි සිටින අවස්ථාවක් යෙදීම දෛවයේ සරදමක්ද නැතහොත් විස්මිත අහඹුවක් දැයිි සිතා එම පනතෙහි සඳහන් අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවන්නට තවත් දුතයෙකු එතෙරින් වඩින තෙක් බලා සිටින්නට වෙතැයි සර්ව අසුභවාදී නරුමයෙකු කිවහොත් එයට එරෙහි වන්නට ජනවාරි 8 හිතවතුන්ට නම් විශ්වාසයක් ඉතිරිව නැත.
නව නීති සම්පාදනයෙහිදී අදාළ වෘත්තීය සමිති සහ සංවිධාන සමඟ පවා සාකච්ඡාවක් නැතිව හොර රහසේම ඒවා සම්මත කිරීමට උත්සාහ දැරීම යහපාලන රජයත් පුරුද්දක් කරගෙන තිබේ. දේශීය ආදායම් පනත නිදසුනකි. මෙය ඉදිරියෙහි හානිකර කාර්මික ආරවුල් ජනනය කරන විභවයක් සහිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙහි ඌනතාවකි.
වඩාත් අයහපත් ප‍්‍රවණතාවක් වන්නේ පුළුල් මහජන විරෝධතා මධ්‍යයෙහි පවා ඒවා තුට්ටුවකටවත් ගණන් නොගෙන ආණ්ඩුව හිතුමතයට කටයුතු කිරීමය. උතුරේ ඉදිකිරීමට යෝජිත නිවාස 65,000 ව්‍යාපෘතිය පිළිබඳ ආණ්ඩුවෙහි සහ විශේෂයෙන්ම අදාළ ඇමැතිවරයාගේ ආකල්පය සහ ක‍්‍රියාකලාපය කදිම නිදසුනකි. ජනයා ඉල්ලා සිටින්නේ ගඩොලින් බැඳි නිවාසය. ඇමැතිවරයා තරයේ කියා සිටින්නේ පෙර සවි කොන්ක‍්‍රීට් නිවාස තැනිය යුතු බවය. ඒ පිළිබඳව ඉන්දියාවෙහි මිත්තාල් සමාගම සමඟ ගිවිසුමකට පවා එළැඹ ඇත. යාපනය සහ කිලිනොච්වි දිසා සම්බන්ධීකරණ කමිටු මිත්තාල් පෙර සවි නිවාස ඒකමතිකව ප‍්‍රතික්ෂේප කර තිබේ. සිවිල් සංවිධාන මෙන්ම ප‍්‍රදේශයේ මහජන නියෝජිතයෝ ද එයට විරෝධය පා ඇත්තාහ. පාරිසරික සාධක මත ජනයා ඒවාට විරුද්ධය. හැරත් ඒවායෙහි වියදම ගඩොලින් බැඳි නිවසක මෙන් දෙගුණයකටක් අධිකය. නිවාස සංවර්ධන අධිකාරිය රුපියල් 800,000කට තනන නිවසක් මිත්තාල් යෝජනා ක‍්‍රමයෙන් තනන්නේ රුපියල් 1,800,000ටය. ගඩොල් නිවාස තැනීමෙහිදී ප‍්‍රදේශයෙහි ශ‍්‍රමය යොදවා ගැනීමට ද පිළිවන. අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් විසින් ව්‍යාපෘතිය සඳහා අලූතෙන් ටෙන්ඩර් කැඳවන ලෙස ද නිර්දේශ කර ඇත. එසේ නම් ඇමැතිවරයා මිත්තාල් සමාගමටම ඉදිකිරීම් පවරන්නට හදන්නේ කවර හේතුවක් නිසාද? එය සාධාරණ කරන්නට ඔහුට නොහැකි නම් ඔහු එම හේතු නොදක්වන්නේ නම් රහස් හේතුවක් ඇතැයි උපකල්පනය අසාධාරණද?
ආණ්ඩුවෙහි ගමන් දිසාව පිළිබඳ ඉඟියක් දක්වන තවත් කරුණක් වන්නේ අයිතීන් සඳහා සටන් වදින ජනකොටස් සහ සංවිධානවලට එරෙහි ජනතාව උසිගැන්වීමට දරන ලාබ උපක‍්‍රම සහ හොරිකඩ සමිති හදන්නට දක්වන අනුග‍්‍රහයයි. පොලිසිය ‘‘අවම බලය’’ උපරිමයෙන් යොදවන අවස්ථා ඉහළයාම තවත් ඉඟියක්.
පළාත් පාලන ආයතන රැසක්ම දෙවසරක පමණ කාලයක් ඇත්තේ කොමසාරිස්වරුන් යටතේය. පළාත් පාලන මැතිවරණය පවත්වන දිනයක් තවමත් ලබාදිය නොහැකිව ඇත්තේ ව්‍යවස්ථාමය පූර්ව සූදානම් කටයුතු පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවූ හෙයින් යැයි කියැවෙයි. කෙසේ වෙතත් කරුණු සිදුවන්නේ ඉබි ගමනිනි. සිය පක්ෂ අභ්‍යන්තර ප‍්‍රශ්න හදාගන්නා තෙක් ආණ්ඩුව හිතා මතා ඡුන්දය කල් දමන්නේ දැයි සැකයක් ජනතාව තුළ හටගතහොත් පුදුමවීමට කරුණක් නැත.
අද ලෝකයෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදය දියුණුය. එය හුදු වාරික මැතිවරණ පැවැත්වීම ඉක්මවා ගිය දෙයකි. නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහභාගිත්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් කරා ඉදිරියට යා යුතුය. අප රටෙහි සිරිත මැතිවරණ ජයෙන් පසු මහජන නියෝජිතයන්ට මුල අමතකව ඔවුන් ජනතාවගේ සේවකයන් වෙනුවට ජනතාව ගොනාට අන්දවමින් ඉහළින් වැජැඹීමය.
ජනතා සුභ සිද්ධියට අදාළ කාරණාවලදී සිය අභිමතය ඉදිරිපත් කැරීමට සහ ඉටුකරවා ගැනීමට ජනතාවට හැකියාව තිබිය යුතුය. මේ සඳහා ගතයුතු ක‍්‍රියාමාර්ග කවරේදැයි දැනට පැවැත්වෙන ව්‍යවස්ථා සභාවෙහිදී සාකච්ඡුා කර මහජන අදහස්ද විමසා සම්මත කළ හැකිය. ජනවාරි 8 දිනා ගත් ජය ඉදිරියට ගෙන යා හැකිවන්්නේ සහභාගිත්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් කරා පිය නැඟීමෙන් පමණකි.
අව්‍යාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමඟ දුෂණය, වංචාව නොගැළැපෙයි. ඒවා මැඩලීමට රජය අසමත් වීමද ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අඩුවක් මය. එයට බලපාන ප‍්‍රධාන සාධකයක්ව පවතින්නේ පක්ෂ අභ්‍යන්තර සහ පක්ෂ අතර පවත්නා මත ගැටුම් මෙන්ම ඒකාබද්ධ විපක්ෂයෙහි ක‍්‍රියාකලාපයයි. බල අරගලය හේතුවෙන් ඔවුනොවුන් අතර ඇති වන යටි ගිවිසුම් ආණ්ඩුවෙහි පොරොන්දු පත‍්‍රය අමතක කිරීමට හේතු වී ඇති සැටියෙකි. දින 100 වැඩ පිළිවෙළට අත් වූ ඉරණමට ද එයම බලපා ඇත.
(ජයතිලක ද සිල්වා)

Comments