Syndicated from lankaenews,
එන්න එන්නම වැඩේ සීරියස් ය. බජාර් එකේ භාෂාවෙන් කියන්නේ නම් “ෆුල් සිරා“ ය. ඇත්තටම ‘සිරා‘ ඉන්නෙත් අන්ද මන්ද වෙලා ය. දොස්තර සංගමයත් අන්තරයත් පුන පුනා ඉල්ලන්නේම මළ මිනී ය. දෙගොල්ලම රඟපාන්නේ මිනී කාක්කන්ගේ භූමිකාව ය. ඒ අතර මරා බූරු කුට්ටමත් අන අනා බලා සිටින්නේ මළ ගෙදර බූරුවා කෙළවා තෝං ගන්නට ය. අද නැත්නම් හෙට මිනියක් ලැබේ යයි සිතා ඔවුහු එක පැත්තකින් වර්ජනය කරමින් අසරණ රෝගීන් නොමරා මරති. අනෙක් පැත්තෙන් උද්ඝෝෂණ කරවමින් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් කැරළි මර්දන හමුදාවන් වෙත දක්කති. මෙය තව දුරටත් ප්‍රජාතන්ත්‍රවාදී හෝ වේවා, ලිච්ඡවිවාදී හෝ වේවා, යහපාලනවාදී හෝ වේවා ආණ්ඩුවකට ඉවසා ගෙන සිටිය නොහැකි තත්ත්වයකට සීග්‍රයෙන් වර්ධනය වෙමින් තිබේ.
මෙහිදී මතකයට එන උපාසකම්මලාගේ කතාවක් තිබේ. එනම් උපාසක නයාගේ කතාවයි. කතාව මෙහෙම ය. බුදු රජුන් වැඩ වාසය කරන සමයෙහි, උන් වහන්සේගෙන් බණ දහම් අසන්නට විහාරයට එන සැදැහැවතුන් අතර නයෙක් ද සිටියේ ය. ඒ නයා බුදුන් දහම් දෙසන කල පැත්තකට වී හිඳ බණ අසා හීන් සීරුවේ තමන් වාසය කරන වනයට යන්නට පුරුදු වී සිටියේ ය. වනයේ දර කඩන්නට යන කාන්තාවෝ දර මිටිය බැඳ ගැනීමට වැලක් සොයා ගැනීමට කම්මැලි සිතුණු විට මේ උපාසක නයාගෙන් දර මිටිය බැඳ ගන්නට පුරුදු වූවෝ ය. ඒ නයාගෙන් කිසිම හිංසාවක් සිදු නොවේය යන සහතිකය නිසා ය. මේ නිසා දිගින් දිගටම නයා පීඩාවට පත් වූයේ ය. දිනක් අවේලාවේ නයා බුදුන් දකින්නට ආවේ ය. ඒ ඇයි දැයි බුදුන් විමසූ කල නයා තමන් පත්ව ඇති අකරතැබ්බය බුදුන්ට කීවේ ය. බුදුන් වහන්සේ උපදෙස් දුන්නේ තමන් මේ පීඩාව තවදුරටත් නොඉවසන බවත්, අහිංසකව උපාසක කම් රැක්කාට තමන් නයෙක් බව පෙනය පුප්පා සද්දයක් දමා ඔවුන්ට මතක් කර දුන්නාට වරදක් නැති බවයි.
කලකට ඉහත ලංකා සමසමාජ පක්ෂයේ න්‍යායාචාර්ය වරයෙකු වූ හෙන්රි පීරිස් වියතාණන් (නැසී ගිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජනදාස පීරිස් මහතාගේ පියා) කම්කරු පන්තියට දේශපාලනය ඉගැන්වීමට කුඩා පොත් පිංචක් ලීවේ ය. පොතේ නම “දේශපාලන ‘අ‘ යන්න“ය. ඒ පොත අද මේ සියළු උද්ඝෝෂණ පිටුපස සිට මෙහෙයවන මහින්ද රාජපක්ෂ මාමා කියවා ඇත්දැයි සැක සහිත නමුදු (ඔහු පුස්තකාල වල පොත් අඩුක් කිරීමට මිස පොත් කියැවීමට රුසියෙකු නොවේ) කාලෝ සීයා, වාසු සීයා සහ තිස්ස විතාරණ මුත්තා නම් කියවා ඇති බවට සැක නැත. ඒත් ඔවුන් එහි සඳහන් වැදගත් කරුණු මේ දුහුණන් ගෙන් සඟවා ගුරු මුෂ්ඨි ලෙස තබාගෙන ඇති බව පෙනේ. අද දවසේ දොස්තර සංගමයටත්, අන්තරයටත් අදාල දේශපාලන ‘අ‘ යන්නේ ඇති වැදගත්ම පාඩම නම් “රාජ්‍යය යනු අන් කිසිවක් නොව සංවිධානය කරන ලද සන්නද්ධ බලය ය“ යන්නයි. එකී බලය මේ රටේ හොඳට සහ නරකට දෙකටම භාවිතා වී තිබේ. ඒ නිසා අනාගතයේ දී ද කවර හෝ අර්ථයකින් එය පාවිච්චි වන්නට ඉඩ නැතැයි කිසිම සුමනදාසයෙකු හට අනාවැකි කිව නොහැකි ය.
දොස්තර සංගමයත් අන්තරයත් මෙතරම් බහු බූත කෙළිද්දී මෛත්‍රී-රනිල් දෙබෑයන්ගේ ආණ්ඩුව මේ ගානට සීමා සහිත වී සිටීම ප්‍රශ්නකාරී ය. තැලෙන යකඩය දුටු කල ආචාරියා පස්ස උඩ දාගෙන තලන්නා සේත්, නිවටයා දුටු කල එළුවා රැවුල බෑමට නිකට පාන්නා සේත් දොස්තර සංගමයත් අන්තරයත් ආණ්ඩුවට පිට පිට බැට දෙමින් සිටිති.
ඒ කාලයේ මුවන් පැලැස්ස ගුවන් විදුලි නාට්‍යය අවසානයේ හදිසියේම කොහේවත් නැති වෙඩි සද්දයක් ‘ඩෝං‘ ගා ඇසෙයි. නැත්නම් ‘අනේ බුදු කෝරලේ මහත්තයෝ‘ කියාගෙන පිනා වලව්වට කඩා වදී. ‘ඇයි පිනා මොකද මේ?‘ කියා මැණිකේ ඇසීමත් සමග එදා දවස අවසානයේ තේමා වාදනය ආරම්භ වේ. ඒ සිදුවූයේ කුමක්දැයි දැන ගන්නට අසන්නාට ඊලඟ සඳුදා වනතෙක් සිටීමට සිදුවේ. දැන් දොස්තර සංගමයේ අඛණ්ඩ වැඩ වර්ජනත් එසේම ය. හෙට සිට වර්ජනය කියමින් සිට හදිසියේ එය ලබන සතියට කල් දමයි. නැවත ඊලඟ සතියට ආදී වශයෙන් අඛණ්ඩ දොස්තර වර්ජන ද අඛණ්ඩව කල් යයි. මුවන් පැලැස්ස ගුවන් විදුලියට රචනා කළ මුදලිනායක සෝමරත්න හෝ වික්ටර් මිගෙල් හෝ ශ්‍රී නිමල් පද්මකුමාර යන කලා කරුවන් දොස්තර පාදෙනියට පරාද ය. දොස්තර පාදෙනිය ලා අසරණ රෝගීන්ගේ රෝ දුකින් පීඩිත හදවත් සතියෙන් සතිය මර බියෙන්ද පීඩාවට පත් කරති. කවර පාප කර්මයක් ද මේ..?
තවමත් වාසනාවකට ඇත්තේ යහපාලන ආණ්ඩුවට ජේ.ආර් මුත්තා හෝ ප්‍රේමෙ මාමා ආවේශ නොවීම ය. එසේත් නැත්නම් මරාගේ බැල්ම නොවැටීම ය. වැරදිලාවත් එහෙම දෙයක් වුනොත් සිදුවන්නේ මහා ජංජාලයකි.
අනෙක් අතට කවුරුවුනත් මතක තබා ගත යුතු කරුණක් තිබේ. එනම් ගෝඨා මාමා ලේ-කිරි පොවා හැදූ වැඩූ ‘දේශප්‍රේමීන්‘ තවමත් නිදැල්ලේ බව ය. ඉන් එකෙකු වත් ආණ්ඩුවේ බෝඩිමේ නැත. කවුරුන් හෝ පුතයෙකු ඉදිරිපත් වී ඉන් කිහිප දෙනෙකු සංවිධානය කර දේශපාලන නායකත්වය සහ මග පෙන්වීම දුන්නොත් කාට කාටත් ‘අබ සරණ‘ බලා ගන්නට හැකි වනු ඇත. තමන්ට කිසිදා කිසිදු වරදක් කර නැතිවා පමණක් නොව කිසිදු දැකලාවත් නැති අහිංසකයන් අල්ලාගෙන ගොස් අත පය කඩා, හිස් වලට පරාල ඇණ ගසා, කණට බෝල් පොයින්ට් පෑන් බස්සා, සත්කාර කරන ලද්දේ සසිරි බර මෙසිරි ලක බව නොදරුවන් නොදන්නවා වුනාට අපි නම් නොදන්නමෝ නොවෙමු. එවැන්නක් සිදු වූ පසු එයට වගකිව යුතු අපරාධකරුවන් ‘දේශප්‍රේමීන්‘ ලෙස හංවඩු ගසා නීතියෙන් සහ ගොඩින් බේරා හැරීමට යහපාලන ආණ්ඩුව ද ප්‍රයෝජනයට ගනු ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ තියරියම මිස අන් කිසිවක් නොවේ. එදාට ඔය සියලුම දෙනා එක් වී “ගිය එකා ගියා, ඒක උගේ කරුමේ, අපි මක් කොරන්නද? - ඉන්න ටිකේ ඉම්මු සුදෝ ජොලිය දමාලා - හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා“ කියා සිංදුවක් කියාගෙන යනවාට සැක නැත. අද සිදුවන්නේ ත් එයම ය; හෙට සිදුවනු ඇත්තේ ත් එයම ය.
ජනතාවගේ කෝපය මුලින් ඇති වන්නේ පුද්ගලිකව ය. එය පොදු කරුණක් බවට පත් වන්නේ පසුව ය. දිවයිනේ ප්‍රවීන කලාකරුවෙකුගේ තරුණ පුතෙක් තම බිරිඳගේ ප්‍රථම දරු ප්‍රසූතිය පිණිස ඇය පහසුකම් සහිත ප්‍රසිද්ධ රෝහලකට ඇතුලත් කෙළේය. දරුවා ලැබීමට ආසන්න වන තුරුම වරින් වර කරන ලද පරීක්ෂණ වලින් හෙළිවුනේ මවත් දරුවාත් දෙදෙනාම හොඳ සනීපයෙන් පසුවන බවය. එහෙත් අවසානයේ දරුවා ලැබෙන අවස්ථාවේ දී එයට වගකිව යුතු විශේෂඥ වෛද්‍යවරයා ක්‍රියා කරන ලද්දේ වගකීම් විරහිත ලෙස ය. එහි ප්‍රතිඵලය වූයේ මළ දරු උපතකි. ඉන් අනතුරුව ඇති වූ පශ්චාත් ප්‍රසව සංකූලතාවන් හේතුවෙන් මවගේ රුධිර වහනය වැළැක්වීමට නොහැකි විය. මව මරණාසන්න වූවා ය. වෛද්‍ය මතය වූයේ මවගේ ජීවිතය බේරාගැනීමට නම් සැත්කමිකින් ඇයගේ ගර්භාෂය ඉවත් කළ යුතු බව ය. ඒ අනුව කටයුතු සිදුවිය. තරුණ යුවලට තම කුළුඳුල් දරුවා අහිමි විය. තවත් දරුවෙකු ලැබීමට තිබූ අවස්ථාවද අහිමි විය. මේ සිදුවීම වූයේ වෛද්‍යවරයාගේ වෘත්තීය නොසැලකිලිමත් භාවය නිසා බවට සාක්ෂි රැසක් තරුණ සැමියා අතෙහි විය. කෝපයෙන් වියරු වැටුණු ඔහු පිහියක් ද සඟවා ගෙන රෝහලේ ගේට්ටුව අසල රැක ගෙන සිටියේ වෛද්‍යවරයා එළියට එන තුරු ය. මේ බව ආරංචි වූ ඔහුගේ මිතුරෝ වහා එහි ගොස් බලහත්කාරයෙන් ඔහු වාහනයක දමා රැගෙන ගියෝ ය.
වෛද්‍ය සංගමයේ වාසනාවට මේ වන තෙක් එවැනි සිදුවීමක් මෑතකදී වුනේ නැත. එහෙත් එවැන්නක් සිදු නොවෙතැයි කියා සහතිකයක් ද නැත. එවැන්නක් සිදුවුව හොත් පුද්ගලික කෝපය පොදු කෝපයක් බවට පත්වන්නේ අසුරු සැණයෙනි. එවැන්නක බලපෑම දිවයින පුරා පැතිර යන්නට ගත වන්නේ ද නිමේෂයකි. එහෙයින් වෛද්‍ය සංගමය මේ සෙල්ලම් කරන්නේ ගින්දර සමග බව නැවත නැවත කල්පනාවට ගත යුතුය.
එවැන්නකට ඇති හොඳම උදාහරණ ය අසූ තුනේ කළු ජූලියයි. එදින සවස බොරැල්ල කනත්තේ දී භූමදානය කිරීමට තිබූ උතුරේ දී ඝාතනයට ලක් වූ සොල්දාදුවන් 13 දෙනාගේ සිරුරු රැගෙන ඒමට ප්‍රමාද වීමෙන් එහි රැස්ව සිටි ජනයා නොසන්සුන්ව සිටියහ. මේ නොසන්සුන් කම මැද ඒ ජනයා ඇමතූ කිසියම් තරුණයෙකු කීවේ මේ මළ මිනී ජනාධිපති ජේ.ආර්. වාසය කළ වෝඩ් ප්ලේස් වෙත රැගෙන යා යුතු බව ය. එම උද්වේගකර කතාව අතරතුර ජනයා පාලනය කිරීමට පොලිසිය යෙදූ මෝඩ උපක්‍රමයක් වැරදී යාමෙන් ජනතා කෝපය දෙගොඩතලා ගියේ ය. මෙම අවස්ථාව දේශපාලන අවස්ථාවාදීන්ට කදිම රස මසවුලක් විය. ආණ්ඩුව වෙත එල්ල වෙමින් තිබූ ජනතා කෝපය ඔව්හු කොළඹ දෙමළ ජනතාව වෙත හැරවූහ. අවසානයේ සිදුවූයේ කුමක්දැයි කවුරුත් දනිති. ජනතා කෝපය අවුලුවා ලන කටයුතු වලින් ප්‍රයෝජන ගන්නට සැදී පැහැදී සිටින හබන් කුකුළන් සිටින්නේ හම්බන්තොට පමණක්ම නොවේ.
ජනතා කෝපය ඇවිලැවූ කල එය ඇවිලවූවන්ට පවා එය නිවන්නට නොහැකි බවට මෑත කාලීන හොඳම උදාහරණය වන්නේ සිරිකොත ප්‍රහාරය යි. අභ්‍යන්තර තොරතුරු වලට අනුව නම් එකී උද්ඝෝෂණය සංවිධානය කළ වුන්ට වුවමනා වුනේ සිරිකොතට ගල් දෙකක් තුනක් ගසා දමා නායකත්වයට අවමන් කිරීම ය. එහෙත් ලොරි දෙක තුනක ගල් ආවේ කොහෙන්දැයි කවුරුත් දන්නේ නැත. එය කොතරම් දරුණු ප්‍රහාරයක් වී ද යත් සිරිකොතෙහි වැටද විනාශ කර සියළු වීදුරු බිඳ දමා යකඩ ගේට්ටුද කඩා අවසානයේ එජාප නාමපුවරුවේ සවිකොට තිබූ ‘අලියාත්‘ එකෙකු ගලවා කරේ තබාගෙන යන තැනට කටයුතු සිදුවිය.
එහෙයින් දොස්තර සංගමයත් අන්තරයත් මේ කරන්නේ සෙල්ලමක් නොවන ලෙල්ලමක් විය හැකි එකකි. අනෙක් අතට මේ සෙල්ලමෙන් ප්‍රතිවාදී කන්ඩායමේ “පෙර වැරදි“ සහිත ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම සිටින බවද පාදෙණිය දොස්තර මහත්තයාත්, අන්තරේ නාකියා ලහිරු වීරසේකරත් (අවුරුදු 32 ක් වූ දෙදරු පියෙකු සාපේක්ෂව නාකියෙකු මිස සිසු නායකයෙකු විය නොහැකි ය.) හොඳින් මතක තබා ගත යුතු ය.
Comments
Post a Comment