අනේ අපොයි.. දේදුනු විප්පලේ..! පාලකයින්ට ‘බදු සහනය‘ ; ජනතාවට ‘බදු සහ ණය‘ ගානි වාසුහේවාගේ සටහනක්

Syndicated from lankaenews,



“අවංක මිනිසාගේ කැමැත්ත මිලදී ගැනීමට මුළු මහත් විශ්වයම අපොහොසත්ය“ යනුවෙන් කළු ඇමැරිකානු මාටින් ලුතර් කිං මානවහිතවාදියා පවසා ඇති නමුත් මෙරට ජනයාට සිදුව ඇත්තේ මුළු විශ්වයම තරමේ වටිනාකමක් වැය කර ගොඩ නගාගත් අවංක යයි සිතූ මිනිසාගේ අවංකභාවය ගැන හූල්ලන්නටය. අපි වෙලෙන්දෙකුගෙන් යම් ආහාරයක් මිලදී ගැනීමට සූදානම් වූ විට වෙළෙන්දා පවසනුයේ “කාල බලල ගන්න“ යනුවෙනි. ඇත්තටම “කාල බැලීමට“ බැරි බවත් කෑමට පෙර බැලිය යුතු බවත් කවුරුත් දන්නා කරුණකි. මෙරට ජනයාද පත්ව ඇත්තේ එම තත්ත්වයටම ය. කාල බැලීමට බැරි වීමේ පාඩුවටය. 
සුවහසක් නොව ගණන් ඇතුව ලක‍්ෂ 62 ක් ජනයා පොදි බැඳ රොද බැඳ තිරස්චීන, දූෂිත, අමානුෂික පවුල් පාලනයක් එක හුස්මට පෙරලා දැමුයේ ලක‍්ෂ 62 ක කතිර පෙරහැරකිනි. කතිරයකින් එකවර වූ හාස්කමක් වන් ක්‍රියාව වූයේ ‘එපා එකා පළවා හැර ඕනෑ එකා බලයට ගෙන ඒම‘ ය. කතිරය යනු උපතින්ම වැරදි බව හඟවන ලකුණ බව ජනයාට සක්සුදක් සේ තේරී ඇත. පාසලේදී කතිර වැඩි එකා අසමත්ව ප්‍රතික්ෂේප වුවද දේශපාලනයේදී කතිර වැඩි එකා සමත්වීමේ අරුම පුදුමය ප්‍රායෝගික තත්ත්වයේ දී ජනයාට විඳගැනීමට සිදුවී තිබීම යාවජීව කරුමයකි. 
මෙරට ජනයා උපන්දා සිට කරනුයේ අත්හදා බැලීම්ය. සිටින පාපිෂ්ඨයාගෙන් පලි ගැනීමට වෙනත් පාපිෂ්ඨයෙකු ගෙන ඒමය. එය 70, 77, 94, 2005, මෙන්ම පාඩම් හරිහැටි නොහැදෑරූ ජනයා 2015 දී ද එයම සිදුකලාදෝ යි දැන් දැන් සැකයට තුඩු දී ඇත. බලය හුවමාරු කරගෙන ඔවුන් එකගෙයි කෑම දෑහෙන් දකින ජනයාට සිදුව ඇත්තේ හූල්ලමින් සිටීමටය.
 
විනාශයේ පතුලටම වැටී තිබූ මෙරට එයින් ගලවාගෙන සිදුවූ දූෂණ, භීෂණ, මංකොල්ල හෙළිකර ඒවාට හිමි නිසි දඬුවම් ලබා දී යහපත් මෙන්ම සාධාරණ සමාජයක් ගොඩනගා ගැනීමට තිබූ ජනතා අපේක‍ෂාව අද පොළවෙන් අඩි 6 ක් ඉක්මවා යට ගොස් ඇති බවක් දැනේ. හොරුන් වංචාකරුවන් එකට හාමු වී ඇත. හොරු අල්ලන එකා පොලිස් වී පොලිස් එකා හොරා වී යන ‘හොරා පොලිස් සෙල්ලම‘ පමණක් ඉතුරුව ඇත. පොලිසිය බාර ඇමැතියා ගෝඨා සමග රහස් කතා කළ බව හෙළි වීමත් එය මේ දක්වා ඇමැතියා ප්‍රතික්ෂේප නොකිරීමත් ආසන්නම සාධකයකි. 
ජනයාට වැරදුන තැන් කිහිපයක් ඇත. එදාවේල සොයා ගැනීමට නොහැකිව නන්නත්තාරව සිටි අපතයන් පිරිසක් ජනවාරි 8 ජනතා රැල්ලට අහම්බෙන් ගොඩවී තම ගොඩ ලොකු මහත්කර ගැනීම ජනයාට අලාභයක් මෙන්ම හිසරදයක් ද වී ඇත. ජනයා එක එල්ලේ ප්‍රතික්ෂේප කළ අපතයන් ජනතා ජයග්‍රහණයේ සාරය උරා බොමින් ජනයා පෙළමින් සිටීම ඇඟ කිලිපොලා යන දුකක් වේදනාවක් කෝපයක් ජනයාට සමීප කර ඇත.
හෙළඋරුමය නම් නාමික පක‍්ෂයට ලැබුන කෝටාවෙන් ගොඩ වී නියෝජ්‍ය ඇමතිකමක් ද ලද අබැටැක තරමේ ජනපදනමක් නැති කරුණාරත්න පරණවිතාන වැන්නන් කෝටි 4 ට වැඩි වාහන මංකොල්ලකමින් ඒවා හෙළිදරව්වීම වැලැක්වීමට සේවකයන්ට මරණ තර්ජන එල්ලකිරීම හොඳම උදාහරණයකි.
ජනවාරි 8 න් පසුව මෙරට සිදුවූ ස්වභාවික මෙන්ම අස්වාභාවික විපත් කන්දරාවක් ඇත. සුනාමියෙන් බැට කෑ ජනයා තවමත් හූල්ලන රටක මේ ගැන කතා කිරීමට වඩා කට බිම උලාගැනීම සතුටක් සහනයක් බව ඔබ සිතුවොත් එයට මාද එකඟය. මීරියබැද්දේ නායයෑම, නියඟයෙන් පීඩාව, වනඅලි මිනිස් අරගලය, මහා රුදුරු ගංවතුර මෙන්ම ජනයාට බලධාරීන් විසින් පිරිනැමූ සාලාව මහා ඛෙදවාචකය ගැන උඩින් පල්ලෙන් අතගා බත්පැකට්, කෙසෙල් ගෙඩි, වතුර බෝතල් බෙදා ප්‍රචාරක දේශපාලන වාසි  භුක්ති විඳින මේ වංචාකාර හොර තක්කඩින් අසරණ වූ ජනයාට සැබෑ සහන සැලසීම පශ්චාත් භාගයට දමා කෝටි ගණන් වාහන ගැනීම, කාර්යාල නඩත්තුවට ජනතා මුදල් යෙදවීම, පවුල් පිටින් පොදු දේපල භුක්ති විඳීම වැහි නැති හෙන වදින සාහසික අපරාධ නොවන්නේද? තම අඹු දරුවන් සමග මේවාට වන්දි ගෙවිය යුතු නොවේද?

සැබෑ මොනයම්ම හෝ සුදුසුකමක් මත රජයේ රැකියාවක් ලද පුද්ගලයා මුළු දවසම රාජකාරියට කඹුරා මසක වැටුප පමණක් ලබාගත්තද, දේශපාලකයා පාර්ලිමේන්තුවට ඇතුළුවී පිටවී ගිය සැණින් පඩියට අමතරව දිනකට 2500 මුදලක් ලබා ගනිති. අනන්ත අප්‍රමාණ දීමනාවලට අමතරව රුපියල් ලක‍්ෂයක්ද ගනිති. රන්ජන් වන්ෂොට් මෙයින් අතහැර දැමීමට ජනයා සූදානම්ය. තම මඩිය තරවන්නේ නම් දියවන්නාවේ එක හැලියේ බත් ගිලින මේ අසමජ්ජාතීන්ට කිසිදු බේදයක් නැත. මලබද්දයද, යහපාලනයද, සමාජවාදයද ජාතිවාදයද, ආගම්වාදයද, යන්න වෙනසක් නැත. 
වරෙක මේ ලියුම්කරු දේශපාලකයන්ට නිතර නිතර ලැබෙන අසාධාරණ දීමනා තමනුත් ගැනීම නිවැරදිද යනුවෙන් ජවිපෙන් විමසීමේදී ඔවුන් පැවසුවේ ‘එම දීමනා අපි නොගත්තත් රජය ඒවා නාස්ති කරනවා. එනිසා අපි ඒවා රැගෙන ජනයාට සේවය කරනවා‘ යන්නය. මා ක‍්ෂණිකව ඔවුන්ට පැවසුවේ කුඩු ගෙන්වන විකුණන වුන්ද පවසනුයේ ඔය කතාවම බවයි. කබරයා ගිලදැමීමට ජවිපෙ භාවිත කරනුයේද තලගොයා න්‍යාය මිස වෙන කුමක්ද?
මෙරට ජනයා ජනවාරි 8 දින සිදුකල නිහඬ වුවද ප්‍රතාපවත් විප්ලවය මෙම පාලකයන් විසින් සාරය උරා බී ප්‍රපාතයට ඇද දමන අයුරක් පෙනේ. රජ වූ සුභ දොරටුපාලයා යස රජුගේ මධු බඳුනම පානය කරමින් එම පාලනයම ගෙන ගිය ඉතිහාසයක් ඇති රටක සමහරුනට මෙය අරුමයක් නොවනු ඇත. නමුදු කවුරු කෙසේ තම තම නැණ පමණින් සිතුවද ජනවාරි 8 ජනයාගේ තිරසර අභිලාෂය නොසිඳෙන බවත් දිනෙන් දින දළු දා වැඩෙන බවත් උස්මුරුත්තාවට වැජඹෙන දේශපාලූ පාපතරයන් සිහියට ගත යුතුය. 
මේ මොහොත වනවිට මෙරට ජනයා බදු බරින් හෙම්බත්ව අසරණව සිටී. දිනෙන් දින තම හිස මතට හෙලන ‘බදු සහ ණය‘ කන්දරාව ඔවුන් දරා සිටිනුයේ ඉමහත් සතුටකින් යයි පාලකයින් සිතනවා ඇද්ද යන්න නොදනී. ජනයාට ‘බදු සහ ණය‘ පැටව් ගසමින් පටවද්දී පූරුවේ තිබූ මොකක් හෝ පිනකට බලයට පත් පාලකයන් ‘බදු සහනය‘ උපරිමයට භුක්ති විඳිමින් හංසයා අමතකව කොකා පෙන්වමින් සිටිති. 
හැම බද්දක්ම නීතිගතව ඇත්තේ නැති බැරි එකාලට ය. එදා සීනි පිටි කරවලවලට බදු ගැසූ වුන් ලැම්බොගිනි බදු වලින් නිදහස් කලේ (පවුලේ) තරුණයන් වෙනුවෙනි. අද සිදුවන්නේද එයම වෙනස් තලයකිනි. යාන්තම් රැල්ලට දියවන්නාවට පාවුන එකාලාගේ සිට ජීවිත කාලයක් පොදු ජනයාගේ රීරිමාංසයෙන් තම පවුල් පන්සල් ගොඩ නැගූ ජ්‍යෙෂ්ඨ පරිනතයින් දක්වා හැම දේශපාලකයෙකුම ‘රථ ගාය‘ රෝගයෙන් පෙලීම කෙසේ ඉවසා සිටින්නද? 
ඇඳුම් මාරුකිරීමකට හෝ හදිසි ශරීර කෘත්‍යකට මෙරටට පැමිනියා මිසක හිටපු විදේශ ඇමතිවරයෙකු වන බෝගල්ලාගම පිටරටම සිටීමේ ආදර්ශය මනාව උකහාගෙන ඇති අපගේ නායක දෙබෑයන්ද දස ලක‍්ෂයක් තරුණයන් සඳහා රැකියා සිහින පෙල ගස්වා, අමුඩ තදකරගෙන සිටිනුයේ ‘එයා ආවම මං යනවා‘ වැඩ පිළිවලක් අනුව විය යුතුය. 

රට පුරා ඔඩුදුවා තිබූ වනචර යුගයේ දූෂණ වංචා, භීෂණ, පැහැරගැනීම්, ජනතා දේපළ මංකොල්ලකෑම් ගැන යහපාලකයෝ අමතක කර දමා ඇත්තේ හාවක් හූවක්වත් නැතුවය. සාමය හා නීතිය ඇමති සාගල සාමයේ සායම හැර දමා නීතිය වළ දමා ඇත. ඔහු සාමය රකිද්දී නිලමෙලාද රැකේ. ඝාතන චෝදනා ඉහ වහා ගිය ගෝඨා ද රැකේ. ගෝඨා නිදැල්ලේ මෙන්ම ඔහුගේ සාසන අංශයේ නානසාරයා ද  නිදැල්ලේය. අධිකරණය උලාකන ඩීල්දාස ලා ඇමතිකමද රැකගෙන යහතිනි. “මං ඇමතිකමේ ඉන්න තුරු ගෝඨාභය අත්අඩංගුවට ගන්න දෙන්නේ නෑ“ යි වහසි බස් තෙපලන ඩීල්දාස ජිනා මැඩම්ගේ අධිකරණ ඇමතිදැයි ජනයාට කුකුසකි. දැනට දූෂණ වංචා පිරික්සා නීතිපති ළඟ වල දමා ඇති දූෂිත ලිපිගොනු උඩ වාඩිවී සිටිනුයේ ඩීල්දාසද, සාගලද, නැතිනම් සංචාරක අගමැතිද යන්න වහාම හෙළිදරව් විය යුතුය. මන්ද ජනවාරි 8 ජනතාව මොවුන්ට දුන්නේ පිරුවටයකි. එය ද ණයට ය.  
එකට හොරකමේ ගොස් අසුවූ එකාලා අනෙකා අතහැර ඒ මතින් සියලු හොරකම් ජඩකම් කුපාඩිකම් වලට සමාවක් ලබා, හොරු අල්ලන එ්කලා සමග අලුතෙන් හොරකමේ යන හොරු පිරිසක්ද සිටිති. පසුගිය තිරස්චීන යුගයේ අවලම් හොරු නව රජයේ වුන් සමග ද පුරුදු හොරකමේ යාම තරම් කොහිලකටු ඇනීමක් ජනතාවට නොමැත. එවන් පසුගිය යුගයේ බලවත් බදුර්දීන්ලා කල මගඩි සොයද්දී දූෂණ සෙවූ වරදට දඬුකඳේ ගැසුවේ කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වාය. ලැසිල් යනු කොතනදීත් නිර්භීතව අයුක්තියට එරෙහිව පෙනී සිටි පුද්ගලයෙකි. එය සහතිකයට පවසනුයේ පාසල් මිතුරකු ලෙස ඔහු පිළිබඳ දීර්ඝ හැදෑරීමක් මේ ලියුම්කරු සතුව පවතින බැවිනි. ඉදින් දූෂණය සොයන එකාලා පිටමං කර දූෂිතයන් රකින්නේ යහපාලන සාධාරණ සමාජයකටද?
දේශපාලන මඩෙන්ම ජීවිතය ගැටගසා ගත් රටටම ආපදාවක් වී ඇති ගම්මන්පිල වැනි මස්තකයන් ඒක පුද්ගල පක‍්ෂ මාධ්‍යය හමු පවත්වා පුහු වීරයන් වෙද්දී සැබෑවටම ආපදාවට මුහුණ දී ප්‍රායෝගික සහන සේවයේ යෙදුනු කලුතර තෙවරප්පෙරුමලා අගය කළ යුතු නොවේද? එමෙන්ම ගම්මන්පිලලා වැනි රෝගී අපතයන් තෙවරක් නොව හතර පස් වරක් හෝ පෙරා සුවපත් කළ යුතු නොවේ ද?
මේ සියල්ල රටතුල සිදුවෙද්දී යහපාලන පාලකයන්ට ඇති ප්‍රධාන ගැටලුව 2020 මැතිවරණයයි. රනිල්ට උවමනා රාජපක‍්ෂ රැකගෙන මෛත්‍රීට අභියෝග කර ජය ගැනීමය. මෛත්‍රීට උවමනා එයම තමන්ට වාසි ආකාරයට පෙළගස්වා ගැනීමය. සිහින යනු ඕනෑම පුබ්බරයෙකුට නිදහසේ විඳගත හැකි වින්දනයකි. ඒත් ජනවාරි 8 ජනයාට 2020 ට පෙර කරගත යුතු වැඩ රාශියක් ඉතිරිව පුස්කමින් පවතී. රාජපක‍්ෂ නෂ්ඨාවශේෂ මදින් මද හිස ඔසවද්දී යහපාලකයන් සිටිනුයේ ගලේ පැහැරූ බලලුන් සේය. ඇටිකෙහෙල් ගිල දැමූ උගුඩුවන් සේය. කසාය බොන ලද ගොලුවන් සේය. මෙසේ ලියුවේ යහපාලනයේ එක එකාලා වරින් වර මේ තත්ත්වයට පත්වන නිසාය.

-ගානි වාසුහේවා විසිනි-  

Comments