“දූෂණ විරෝධී කාර්යාංශය“ වසා දැමීමේ කුමන්ත්‍රණය ගැන ඊ නිව්ස් කළ හෙළිදරව්වට අගමැතිගෙන් ප්‍රතිචාර

Syndicated from lankaenews,




දේදුනු විප්ලවය විසින් බිහිකළ යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන ක්‍රියාවලියක් වූ ‘දූෂණ විරෝධය‘ සහමුලින්ම වනසා දැමෙන “දූෂණ විරෝධී කාර්යාංශය“ අක්‍රීය කිරීමේ අගමැති ලේකම් සමන් ඒකනායක ප්‍රමුඛ කුමන්ත්‍රණ කරුවන්ගේ ව්‍යායාමය ගැන ලංකා ඊ නිව්ස් කරන ලද හෙළිදරව් කිරීම් සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ඒකකය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනතාවට කරුණු පැහැදිලි කර සිටී. එම නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වේ

විශේෂ ප්‍රවෘත්ති නිවේදනය

අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ පවත්වාගෙන යනු ලබන දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දමන බවටත්, එහි කාර්යයන් අඩපණ කරලීමට යම් යම් පාර්ශවයන් උත්සාහ කරන බවටත් සඳහන් කරමින් පසුගිය දින කීපය තුළ ජනමාධ්‍ය ඔස්සේ පළ කෙරුණු ප්‍රවෘත්ති සම්බන්ධව අග්‍රාමාත්‍ය කාර්යාලයේ අවධානය යොමු වී ඇත.
දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය 2015 දී ස්ථාපිත කෙරුණේ දූෂණ සහ වංචා පිළිබඳව ලැබෙන මහජන පැමිණිලි නිරීක්‍ෂණය කොට, පදනම් සහගත පැමිණිලි අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසම වෙත හෝ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත යොමු කිරීමට ය.
මේ කාර්යයන් විධිමත් කරලීම සම්බන්ධව දැන්, අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසම, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හා දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය යන ආයතන තුනම නියෝජනය කරන නිලධාරීන් ඇතුළත් කමිටුවක් විසින් විශේෂ වාර්තාවක් සකස් කෙරෙමින් පවතී.
තවදුරටත් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය පවත්වාගෙන යන්නේ ද, එහි කාර්ය භාරය සංශෝධනයකට ලක් කරන්නේ ද, එසේත් නැතිනම් අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසම සහ පොලිස් මුල්‍ය අපරාධ කෙට්ඨාශය සමග සමාන්තර මට්ටමකින් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට වගකීම් පවරන්නේ ද යන්න පිළිබඳ අවසන් නිගමනයකට එළැඹෙනුයේ පෙර කී වාර්තාවේ නිර්දේශයන් අනුව ය.
2017 මැයි 08

Comments