රුපියලෙන් එකයි පනහක් හොරකම් කළ වෙල්ගමගේ අමරණීය දූෂිතයා නිමල් සිරිපාලගෙත් අමරණීය දූෂිතයා වූ යහපාලන අරුමය..! -රේල්ලු රාල ලියයි-
Syndicated from lankaenews,
මරණය සැමට පොදු වුවද, මොහු නමින් අමරණීය වේ. සිරිතුංග, රණතුංග, වීරතුංග වැනි තුංග පරම්පරාවේ කෙනෙක් වන මොහු අමරතුංගය.
මේ, ඒ අමරතුංග ගැනයි.
ගොඩනැගිලි ෆෝමන්වරයකු ලෙස දුම්රිය සේවයට එක් වූ මොහු ඉන් පසු ඉංජිනේරු සුදුසුකමක් ලබාගෙන ඉංජිනේරුවරයකු බවට පත් වූවද විශ්වවිද්‍යාලයක නම් පස් පාගා නැත. දුම්රිය මාර්ග අංශයේ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරුවරයකු ලෙස වැඩ බැලූ ඔහු පසුව මහත් අනුහසක් පහළවී එක්වරම මාතර කතරගම මාර්ග ව්‍යාපෘතියේ අධ්යක්ෂවරයා ලෙස පත්වීම් ලැබීය. මුළු කාලය පුරාම ඔහු කළේ රටේ ඇති සියලු ආකාරයේ දූෂණ වලට උඩගෙඩි දෙමින් හවුල් වෙමින් සිටීම විනා අන් කවරක් හෝ නොවේ.
දූෂකයින්ට ආවැඩීම හා පහසුකම් සැපයීම පසුගිය රෙජීම සමයේ ප්‍රතිපත්තිය වූ බැවින් වෙල්ගම හිටපු ප්‍රවාහන ඇමැතිවරයා විසින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ධුරයෙන් පහකර මේ අමරණීය තුංග දුම්රිය සාමාන්‍යාධිකාරී පුටුවේ හිඳුවීය. ඒ ඔහුට වඩා ජ්‍යෙශ්ඨ නිළධාරීන් 7 දෙනෙකුම දුම්රිය සේවයේ සිටයදී ය. ඒ ඇයි කියා දහඅතේ කල්පනා කරන්න දෙයක් නැත. හේතුව පැහැදිළිය. මාතර කතරගම දුම්රිය මාර්ගය ඉදිකිරීම වසරකටත් වඩා වැඩි කාලයකින් ප්‍රමාද වී තිබෙන්නේ මේ තුංගලාගේ හපන්කම් නිසාය. හරිනම් කළ යුතුව තිබුණේ මොහු දුම්රිය සාමාන්යාධිකාරීධුරයට පත් කිරීම නොව, කණෙන් ඇද දුම්රිය සේවයෙන් එළියට දැමීම ය.
රෙජීමය තුළ නීලකාස සොරුන් වැජඹීම අරුමයක් නොවේ. නමුත්, අරුමයට කරුණ නම් වත්මන් ආණ්ඩුව යටතේත් දුම්රිය දෙපාර්තමේන්තුවේ කුරුණෑගල හබරණ මාර්ග ව්‍යාපෘතියේ අධ්යක්ෂවරයා ලෙසත් මේ අමරතුංගම පත් කිරීමය. වත්මන් ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල උන්නැහේ පත් වූ සැණින් කියා සිටියේ මාතර-කතරගම දූෂණ සෙවීමට කොමිසමක් පත් කරන බව නමුත් එවැන්නක් සිදු නොවූ අතර අමරතුංගයාද සැනසිල්ලේ පසුවිය. දැන් සිරිපාල උන්නැහේ ඔහුව කුරුණෑගල හබරණ මාර්ග ව්‍යාපෘතියට පත් කරන ලද්දේ ඔහුටත් අමරතුංග හරහා දූෂණ සිදුකිරීමට අවශ්‍ය නිසාදැයි දන්නේ නැත. ලිහා බැලූ මල්ලේ ඔබා බලන්නට දෙයක් නෑ කියන්නා වාගේ, මේ ව්‍යාපෘතියට ද අත්වන්නේ මාතර-කතරගම ව්‍යාපෘතියට අත්වූ ආනිසංසයම බව නොඅනුමානය.
පසුගිය රජයේ අන්ත දූෂිත ව්‍යාපෘතියක් මෙහෙයවූ මෙවැනි නීලකාස හොරෙකු යහපාලන රජය යටතේත් ව්‍යාපෘති ප්‍රධානියකු ලෙස පත් වන්නේ කෙසේදැයි සිතා බැලිය යුතුය.
එය ලෙහා ගැනීමට මේ සමීකරණය උදව් වනු ඇත.
මොහු ව්‍යාපෘති ප්‍රධානියා වන්නේ කොයි කාලයේද? ඒ කාලයේ දුම්රිය සේවය අයත් අමාත්‍යාංශයේ ප්‍රධාන මුදල් නිළධාරීයා (නමින් ගුණයහපත් මැණික් වුවද කෙරුමෙන් කබොක් ගලක් තරම්වත් වටිනාකමක් නැති ලේකම්) කවුද? ඒ පුද්ගලයා අද සිටින්නේ කොහිද?
දැන් යළිත් ප්‍රධාන කතාවට එමු. මේ අමරතුංග දුම්රිය සාමාන්‍යාධිකාරීව සිටි සමයේ තමන්ගේ පඩි පතට අත්සන් කිරීම හැර වෙනත් කළ කිසිවක් නැති තරම්ය. දුම්රිය එන්ජින් කැඩී බිඳී ගියේ වීදුරු-පෝසිලේන් වාගේය. කෝච්චි නිතර නිතර පීලි පැන්නේය. විධිමත් පත්වීම් උසස් වීම් කිසිවක් නැත.
සුද්දා දුම්රිය සේවයට මුල් ගල් තැබූ නැකතේ හොඳ කම නිසාමදෝ දුම්රිය සේවය නොමැරී පණ අදිමින් දිව්වේ ය.
විධිමත් පත්වීම් සිදු නොකළාට, හිටපු ඇමතිවරයාගේ උවමනාව අනුව පෝස්ටර් ගැසූ, කැන්වසින් ගිය, පෙලපාලි ගිය 1000 කට පමණ 2015 ජනාධිපතිවරණට මාස එකහමාරක් පමණ තිබිය දී තොග ගණනින් පත්වීම් ලබා දීමේ ලිපි අත්සන් කළේ ද මේ අමරතුංගම ය.
තත්ත්වයන් මෙසේ වුවත්, ඒ කාලේවත් මේ කාලේවත් මීඩියා මොහු ගැන මීක් නැත. ඒ ඇයි? ඒ ගැන දන්නේ මීඩියාම පමණය. මීඩියා හමීඩියා වූ කලෙක අරුමය..!
මේ අමරතුංගට එරෙහිව මේ වන විටත් FCID පරීක්ෂණ දෙකක් ක්‍රියාත්මක වේ. ඉන් එකක් මාතර කතරගම ව්‍යාපෘතියේ දූෂණ පිළිබඳව ය. අනෙක, දුම්රිය කැන්ටින් ටෙන්ඩර් නොදමා ඩීල් දමා පිරිනැමීම ගැනය.
දුම්රිය සේවයට වස පොවා යළි නැගිටීමට නොහැකි තරමින්ම හාන්සි කිරීමට කටයුතු කළ මේ තුංගලා අද, ව්‍යාපෘති අධ්යක්ෂවරයකු ලෙස ජනාධිපතිතුමාගේ පොළොන්නරුවේම ව්‍යාපෘතියක් භාරව පත් වන්නේ කෙසේද? ඒ ඇයි?
නහින දෙහින කාලයේ ඉන්නා අමරතුංග දැන්වත් පරණ පුරුදු අත්හැර නැත. දැනුත් කරන්නේ තමා සමග හරි හරියට දූෂණ-වංචා කළ හොර නඩය සමග එකතු වී වෘත්තීය සමිති උසිගැන්වීම ය. දුම්රිය සේවයේ ප්‍රගමණය වෙනුවෙන් ව්‍යාපෘති වෙත ලැබෙන මුදල් වෘත්තීය සමිති හිතවතුන්ගේ ඕනෑ එපාකම් සඳහා යෙදවීම ය.
මේ අමරතුංගට තවත් අමරණීය ඉතිහාසයක් ඇත. 2002 වසරේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුතු එජාප ආණ්ඩුවේ ප්‍රතිපත්ති තීරණයක් වූ දුම්රිය කළමණාකරණ සභාවට එරෙහිව නඩු පැවරීම ය.
රටකට ඉදිරියට යා නොදෙන, රුපියලෙන් එකයි පණහක් හොරකම් කරන මෙවැනි අන්ත දූෂිතයින් තවදුරටත් දුම්රිය දෙපාර්තමේන්තුවේ තබා ගන්නවාද.? ජනපති නොමග යවමින් සිටින ඔහුගේ අපාය සහාය සම්බන්ධීකරණ ලේකම්ලාගේ සහ හිටපු දුම්රිය ලොක්කන්ගේ උවමනාවන් ඉටු කිරීමට ඉඩ දෙනවාද.?
ඒ කෙසේ වෙතත්, දුම්රිය පෙට්ටි මිනී පෙට්ටි සේ වළලා දමා දුම්රිය සේවය මරා වැළලීමට මේ නීලකාස හොරුන්ට ඉඩ දෙනවාද.? තීරණයක් ගත යුතුය.
Comments
Post a Comment