ඉන්දියාවෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ

Syndicated from lankanewsweb,

ඉන්දියාවෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ

ඡන්දදායකයන්ගේ මනාපය ලබාගැනීම සඳහා අල්ලස් ලෙස මුදල් ලබාදෙන අපේක්ෂකයන්ට වසර හයක මැතිවරණ තහනමක් පැනවිය යුතු බව ඉන්දීය මැතිවරණ කොමිසම යෝජනා කරනවා. එම කොමිසම විසින් මෙම යෝජනාව ඉන්දීය මධ්‍යම අධිකරණ සහ නීති අමාත්‍යංශය වෙත ලිඛිතව ඉදිරිපත් කර තිබෙනවා.
මනාපය ලබාගැනීම සඳහා අල්ලස් ලබාදෙන අපේක්ෂකයන්ට එරෙහිව අල්ලස්, දූෂණ නීතිය යටතේ නඩු පවරා වසර හයකට මැතිවරණ සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම අහෝසි කළයුතු බවයි ඉන්දීය මැතිවරණ කොමිසම සිය යෝජනාවෙන් ප්‍රකාශ කරන්නේ. මේ සඳහා නව නීති සකස් කළයුතු බව එම කොමිසම පවසයි.
ඉන්දියාව සැලකෙන්නේ මැතිවරණවලදී විශාල මුදල් ප්‍රමාණයක් අල්ලස් ලෙස ලබාදෙන රටක් වශයෙනි. ඉන්දියාව පමණක් නොව සමස්ත දකුණු ආසියාවම දූෂිත මැතිවරණ සම්බන්ධයෙන් ප්‍රචලිතව තිබේ. මෙසේ තිබියදී ඉන්දීය මැතිවරණ කොමිසම විසින් සිදුකරන යෝජනාව පැසසිය යුත්තකි.
කෙසේ වෙතත් ඉන්දියාවේ මෙවැනි තත්වයක් දක්නට ලැබුණද ශ්‍රී ලංකාවේ නම් මෙවැනි යෝජනා කෙතරම් ඉදිරිපත් වුවද ඒවා සම්මතවීමට නම් කිසිදු ඉඩක් නොමැත. එයට හේතුව ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලක්ම මැතිවරණවලදී සිය ඡන්දදායකයන්ට හොර රහසේ නොව ප්‍රසිද්ධියේම මුදල් ඇතුළු විවිධ අල්ලස් ලබාදීමට කටයුතු කරන බැවිනි.
එපමණක් නොව මැතිවරණ අල්ලස් ලබාදීම වෙනුවෙන් මහජනයා සතු මුදල් හා රාජ්‍ය සම්පත් පවා භාවිතා කරන අයුරු පසුගිය මැතිවරණවලදී දක්නට ලැබුණු අතර එහෙත් තවමත් ඒවාට වගකිවයුතු පුද්ගලයන් කිසිවෙකුටත් දඬුවම් හිමිවන බවක් නම් පෙනෙන්නට නැත.
ඒ නිසා අපට කිවහැක්කේ 'ඉන්දියාවෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ' කියාය.

Comments