ගීතාගේ මන්ත්‍රීධූරය අහිමි කරන අධිකරණ තීන්දුවේදී කතානායකතුමාගේ හැසිරීම ගැන නිවේදනයක්

Syndicated from lankaenews,



ද්විත්ව පුරවැසිභාවය පිලිබඳව පවරන ලද නඩුවට අදාළව ගීතා  කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධූරය අහෝසි වන බවට ලද අභියාචනාධිකරණ තීන්දුව මැතිවරණ කොමිසම වෙත දන්වා යැවීම දෝශ දර්ශනයට ලක් කරමින් කථානායකවරයා ඉලක්ක කර ඇතැම් පාර්ශවයන් විසින් ප්‍රකාශ නිකුත් කර ඇති බව අපගේ අවධානයට යොමු වී ඇත.  එම අදහස් මාධ්‍ය මගින් ද ප්‍රචාරය වූ බැවින් ඒ පිලිබඳව කරුණු පැහැදිලි කිරීම අපගේ වගකීමක් කොට සලකමු.
කිසියම් හේතුවක් කරන කොට ගෙන පාර්ලිමේන්තුවේ යම් මන්ත්‍රී අසුනක් හිස් වූ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ මැතිවරණ නීතියට අනුව ඒ පිලිබඳව වහාම මැතිවරණ කොමිසම වෙත දන්වා යැවීම පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත පැවරී ඇති කාර්යයකි.
ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධූරය පිලිබඳව තීන්දුව කථානායකවරයා අතට පත් වූයේ මැයි මස තෙවන දින (2017-05-03) පස්වරුවෙහි දීය. 
කථානායකතුමන් විසින් නියමිත පරිදි එම අධිකරණ තීන්දුව පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යොමු කරන ලදී.  අනතුරුව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ගත යුතු ක්‍රියාමාර්ග පිලිබදව නීතිපතිවරයාගෙන් ද විමසීමෙන් පසු ඉදිරි පියවර සඳහා (2017-05-08) මැයි මස අට වැනි දින පස්වරුවෙහි මැතිවරණ කොමිසම වෙත යොමු කරන ලදී.   
ඒ දක්වා කිසිදු ඉහළ අධිකරණයකින්  අදාළ අභියාචනාධිකරණ තීන්දුව යළි සලකා බැලීමකට ‍හෝ වාරණයකට ලක් කර නොතිබිනි.  කෙසේ වුවද පාර්ලිමේන්තුව විසින් අදාළ කරුණ ඉදිරි ක්‍රියාමාර්ග පිණිස මැතිවරණ කොමිසම වෙත දන්වා යැවුනේ සතියේ වැඩ කරන දින තුනක් ඉක්ම ගිය පසුව වන බව ද මින් පෙර ඇතැම් අවස්ථාවල මෙවැනිම තීන්දු මැතිවරණ කොමසාරිස්වරයා වෙත දන්වා යැවීමට කටයුතු කර ඇත්තේ වැඩ කරන දින එකකට පසුව වන බව ද මෙහිලා පෙන්වා දෙමු. 
ඒ අනුව අදාළ තීන්දුව මැතිවරණ කොමිසම වෙත දන්වා යැවිමේ දී අනවශ්‍ය ලෙස කඩිනම් කිරීමක් හෝ ප්‍රමාද කිරීමක් සිදු නොකරන ලද බව ද  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා මැතිවරණ නීතිය අනුව සාමාන්‍ය ක්‍රියා පිලිවෙත අනුගමනය කර ඇති බව ද අවධාරණය කරමු.
කරුණු මෙසේ වන හෙයින් ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධුරය පිලිබදව මැතිවරණ කොමසාරිස්වරයා වෙත දන්වා යැවීම දෝශ සහිත බවත් එහිදී කථානායකවරයා ආණ්ඩු පක්‍ෂයේ උවමනාවන් අනුව ක්‍රියා කර ඇති බවටත් කිසියම් පාර්ශවයක් විසින් ප්‍රකාශ කරන්නේ නම් එය මුළුමනින්ම කරුණු විකෘති කිරීමක් හෝ අනවබෝධයෙන් යුතුව කරන ලද ප්‍රකාශයක් බැව් ‍‍පෙන්වා දෙමු.
ස්වකීය සීමාවන් තුල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ‍අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ගරු කථානායකතුමන් ඉදිරියේදී ද උපරිමයෙන් කැප වනු ඇත.
කථානායක මාධ්‍ය අංශය 

Comments