‘කරෝල කෑල්ල හොරකම් කළ බළලාට උම්බලකඩ කෑල්ලෙන් ගැහුවාද?‘ කැබිනට් සංශෝධනයේ දිග පළල විමල් ධීරසේකරගේ විමසුමක්

Syndicated from lankaenews,



යහපාලන ආණ්ඩුවේ ප්‍රථම කැබිනට් සංශෝධනයෙන් විදේශ ඇමැති ධූරය වෙනස් වූ දිනයේම ඇමැරිකාවේ ට්‍රම්ප් පාලනය පත්වීමෙන් පසු ලංකාවට ආ ඉහළම රාජ්‍ය නිලධාරියා  පැමිණියේ ය. හේ අන් කවරෙකුවත් නොව ඇමරිකාවේ මධ්‍යම සහ දකුණු ආසියාව බාර සහකාර රාජ්‍ය ලේකම් විලියම් ඊ ටොඩ් ය. ඔහු විදේශ ඇමැතිධූරයට සමුදෙන මංගල සමරවීර ඉතා උණුසුම් ලෙස හමුවූ අතර ඊට ශ්‍රී ලංකාවේ ඇමැරිකානු තානාපති අතුල් කෙෂාප් ද සහභාගී විය. ටොඩ් ඊයේ සවසම නව විදේශ ඇමැති රවි කරුණානායකද  හමුවිය.
මේ අතර නව විදේශ ඇමැතිධූරයේ දිවුරුම් දුන් රවි කරුණානායක මුදල් අමාත්‍යාංශයට ගියේ ය. වසර දෙකකුත් මාස හතරක් තමාට සහාය දුන් සියලුම නිලධාරීන්ට සහ පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ස්තුති කළ රවි කරුණානායක නව විදේශ ඇමැතිධූරය මගින් රට වෙනුවෙන් දේශීය සහ විදේශීය වශයෙන් තමාට පුළුල් වගකීමක් පැවරී ඇතැයි පැවසීය.

රනිල් වෙනුවට රවි බිල්ලට දුන්නා ද?

යහපාලන ආණ්ඩුවේ නව කැබිනට් සංශෝධනයේ හොඳ මෙන්ම නරකද දක්නට ලැබේ.
සංශෝධන දෙස එක එල්ලේ බැලූ කල එය මුදල් ඇමැති ධූරය ජනමාධ්‍ය ඇමැති ධූරය වෙනස් කිරීමත් සියලු සේවකයන්ට එපා වී සිටින වරායේ පවුල් පාලනයක් ගෙන යන දූෂිත ඇමැති අර්ජුන ඉන් ඉවත් කිරීමත් මුඛ්‍ය කාරණා වූ බව පෙනී යයි. අනෙක් ඇමැතිධූර වෙනස් කිරීම් ඒ හා බැඳුනු ඒවා මෙන්ම රාජපක්ෂ පිලට පනින්නට සිතා සිටින අයට තව අල්ලසක් දී සනසාලීම් ද මෛත්‍රීට සහාය දුන් ශ්‍රීලනිප අයට කෘතගුණ සැලකීම්ද ලෙස සැලකිය හැකිය. 
මුදල් ඇමැතිධූරයට රවි කරුණානායක ඉතාමත් සුදුසු පුද්ගලයා වූයේ නමුත් බැඳුම්කර චෝදනාව හරහා එල්ල වූ ජනතා අපවාදයෙන් ගැලවීමට යහපාලන ආණ්ඩුව කුමක් හෝ කළ යුතුය. රනිල් වෙනුවට රවි බිල්ලට දුන්නාදැයි නොදන්නා නමුත් කරුණානායක මහතා ද තමා යටතේ තිබූ ආයතන ප්‍රධානීන් ලෙස ඥාතීන් වූ අය පත් කිරීම ආදිය තුලින් තම සතුරන්ට උල්පන්දම් දුන් බව පෙනේ. 

කුකුල් පොර කොටුවේ තෝන් එකතු කළ ගයන්ත

ජනමාධ්‍ය ඇමැති ධූරයට ගයන්ත නුසුදුසු බව ආරම්භයේ සිටම කාටත් පෙනී ගිය කාරණයකි. යහපාලන ආණ්ඩුව ගෙන ඒමේ දී පවා එජාප මාධ්‍ය ප්‍රකාශකයා වූ ගයන්ත ඒ වෙනුවෙන් කැපීපෙණෙන කාර්ය භාරයක් ඉටු කෙළේ නැත. ඒ කාරියන් කෙළේ එවක විපක්ෂයේ කැපී පෙණුන කථිකයන් වූ මංගල, රවි, කිරිඇල්ල, අඛිල, හර්ෂ, එරාන්, රන්ජන්, හරීන්, අජිත්, සේනසිංහ වැන්නෝ ය. ගයන්ත නිල එජාප මාධ්‍ය ප්‍රකාශකයා වුව ඔහුගෙන් කෙරුණු කාරිය කැපී පෙනෙන්නක් මෙන්ම රාජපක්ෂ රෙජීමය වැනි බලගතු ඒකාධිපති ආණ්ඩුවකට සුළුවෙන් හෝ අභියෝගයක් වූයේ නැත. ජනමාධ්‍යවේදීන් එකල ගයන්තගේ මාධ්‍ය හමු ගැන උපහාසයෙන් කීවේ ගයන්තගේ අතේ තිබෙන කොළ ටික හුළඟකට ගියහොත් ඔහු මාධ්‍ය සාකච්ඡාව පවත්වා හමාර බවයි. සත්‍ය වශයෙන්ම ඔහු විපක්ෂ වේදිකාවේ කැපී පෙණුන කථිකයෙක් ද නොවීය. 
එවැනි තත්ත්වයක් යටතේ යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු දැවැන්ත මාධ්‍ය කර්තව්‍යයක් ඉදිරියට කරන්නට තිබියදී ගයන්ත කරුණාතිලක ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස ද පත් කිරීම ඥාණාන්විත ක්‍රියාවක් නොවීය. මන්ද යත් යහපාලන ආණ්ඩුව ආවේ විපක්ෂය විසින් සංවිධානාත්මකව සිදුකරන ලද දැවැන්ත මතවාදී අරගලයක් ජයගෙන නොවේ. එය විකල්ප වෙබ් අඩවි දෙක තුනක්, විකල්ප පුවත් පතක් දෙකක් සහ මහජන මාධ්‍ය බහුලව ඇතුළුව මහජනතාව තුලින් පැන නැගුණු මතවාදී ක්‍රියාවලියක ප්‍රථිපලයකි. ජාතික සංහිඳියාවක් ගෙන ඒමත් බලය බෙදීමේ දේශපාලන විසඳුමක් සහිත නව ව්‍යවස්ථාවක් ගෙන ඒමත් යහපාලන ආණ්ඩුවේ ප්‍රමුඛ වැඩ සටහන් වී නම් ඒ සඳහා කැප වූ, ජාතිවාදී ආගම්වාදී අන්තවාදයට එරෙහි දැවැන්ත මතවාදි අරගලයක් රට තුල ගෙන යා යුතු විය. ආසියාතික කුඩා දූපතක වෙසෙන නූගත් ජනතාව නෛසර්ගිකව ජාතිවාදී සහ ආගම්වාදී මෙන්ම හැඟීම්බර බියමුසු සිතුවිලි වල පසුවන ජනතාවක් බැවින් ඉහත කී මතවාදී අරගලය අත් හළ නොහැක්කක්ම ය. ඒ සඳහා මහා මෙහෙයක් පැවරී තිබුනේ යහපාලන ආණ්ඩුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයට ය.  
එපමණක් නොව යහපාලන ආණ්ඩුව කරන ලද හොඳ දේ වත් ජනතාව අතරට නොගිය බව සත්‍යයකි. ඊට එක් උදාහරණයක් කියන්නේ නම් ආණ්ඩුව පැමිණි සැනින් දින 100 කාලය තුල එතෙක් විශ්‍රාමික වැටුප නොගෙවා තිබූ ලක්ෂ 3 ක් විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප සකසා දුන්නේ ය. මෙය යහපාලන ආණ්ඩුව කළ හොඳ ක්‍රියාවක් වුවද එය ලේක් හවුස් පත්තර වල ඇතුළු පිටුවක කුඩා ප්‍රවෘත්තියක් පමණක් විය. විද්‍යුත් මාධ්‍යයක කියැවුනාදැයි ඇසුනේවත් නැත. මේ එවැනි දහසකුත් සිදුවීම් වලින් මතක ඇති එකක් පමණි. පැය 24  මාධ්‍ය නිරීක්ෂණයක් ජනමාධ්‍ය අමාත්‍යංශය සතු විය යුතු නමුත් ගයන්ත කරුණාතිලක ජනමාධ්‍ය ඇමැතිවරයාට ඒ ගැන වගේ වගක් නොතිබුණි. පුද්ගලයෙකු ලෙස ගයන්ත හොඳ මිනිසෙකු වූ නමුත් ජනමාධ්‍ය ඇමැති වැඩේදී ඔහු අසාර්ථක විය. තම අමාත්‍යාංශ ලේකම් වරයාත් තම ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් වරයාත් පොර කුකුළන් සේ ඇන කොටා ගනිද්දී ගයන්ත කෙළේ කුකුළ් කොටුවේ තෝන් ගැනීම ය. සම කැබිනට් ප්‍රකාශක වුවද රාජිත නැති වුනා නම් ගයන්ත නන්නත්තාර ය. 

රට වැසියා පිස්සු වැට්ටූ ජඩමාධ්‍ය කපුවෝ

ආණ්ඩුවේ දර්ශනය ගමන් මග පෙන්වා දෙන ජනමාධ්‍ය අමාත්‍යාංශය අයාලේ යෑමෙන් සිදුවුනේ සමස්ථ ආණ්ඩුවම අයාලේ යන බව ප්‍රදර්ශනය වීමකි. ඒ තත්ත්වය යටතේ පුද්ගලික ජඩමාධ්‍ය කපුවෝ මාලක්කම් 18 ම ගසමින් රටවැසි ආතුරයන් පිස්සු වැට්ටෙව්වෝ ය. කපුවෝ ජාතිවාදී පොල්මල දුන් විට රටවැසියා එයින් ඔළුවට ගහගත්හ. ආගම්වාදී පුවක් මල දුන් විට එයින් ඔලුවට ගහ ගත්හ. අවසානයේ දෙරණ දිවයින වැනි ජඩමාධ්‍ය රත්තන් කෙප්ප හදා පිහියක් සේ දුන් විට ඒ පිහියෙන් ඇන ගන්නා තත්ත්වයට ජඩමාධ්‍ය කපුවන් රටවැසියා පිස්සු වට්ටවා තිබිණ.  මේ භයානක තත්ත්වය ආරම්භයේ සිටම මෙම ලියුම්කරු ආණ්ඩුවේ වග කිව යුතු සෑම දෙනෙකුටම පාහේ පෙන්වා දෙමින් අනතුරු අඟවා සිටි නමුත් කිසිවෙකුට එය වෙනස් කිරීමට නොහැකි විය. ජනාධිපතිවරයා වරක් මංගල සමරවීර, රාජිත සේනාරත්න ප්‍රමුඛ කණ්ඩායමක් සමග මේ ගැන කතා කළද එය කතාවකට පමණක් සීමා වූයේ ජනමාධ්‍ය ඇමැතිකම වෙනස් කිරීමකින් තොරව ගයන්තවත් එකතු කරගනිමින් පිටතින් සිට කරන්නට පුළුවන් දෙයක් කරමු යැයි මංගල, රාජිත කියා සිටි නිසා ය. එසේ නමුත් ප්‍රතිපාදන නොමැතිව නිසි සංවිධාන ව්‍යුහයක් නොමැතිව කළ හැකි දෙයක් නැති තැන ඒවා රාත්‍රියක දෙකක කතා සාද වලින් පසු ඇණ හිටියේ ය.
දැන් ජාතිවාදී බේබද්දන් ජාතික සංවාද ඇමැතිවරයාගේ කාර්යාලයට කඩා වැදී “හොඳ කෑමක් කන්නයි හදන්නේ, අපි කෑම ලෑස්ති කරලයි තියෙන්නේ“ කියමින් ඇමැතිවරයාගේ මුහුණටම ප්‍රසිද්ධියේම තර්ජනය කරන ගානට පැමිණ ඇත. එසේ තර්ජනය කිරීමෙන් පසු අන් ආගමික සිද්ධස්ථාන වලට පහර දෙන තත්ත්වයටද මෝරා ඇත.

මාධ්‍ය ඇමැති ලෙස මංගල සමරවීරගේ දෙවන සම්ප්‍රාප්තිය

ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් සඳහා ජනමත විමසුමකට යන බව පෙනෙද්දී ජාතිවාදී ආගම්වාදීන්ද තම අන්තවාදී ක්‍රියාවන් වැඩි දියුණු කරමින් සිටින බව නීරීක්ෂණය කළ හැක. මංගල සමරවීර මහතාට මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ පැවරෙන්නේ මෙවැනි වාතාවරණයක ය. පළපුරුදු නිර්මාණාත්මක සංනිවේදකයෙක් වන මංගල සමරවීර යහපාලන මතවාදී අරගලය ජය ගනු ඇති බව අපට පූර්ව විශ්වාසයක් තැබිය හැකිය. මන්ද මීට වඩා අසීරු යුගයක, වර්ගවාදී යුද්දයක් අස්සේ ඔහු ‘සුදු නෙළුම් ව්‍යාපාරය‘, ‘පොතයි ගඩොලයි‘ වැනි සාර්ථක සාමවාදී මතවාදී අරගල හරහා අන්තවාදය ජයගෙන තිබෙන නිසා ය. ජනමාධ්‍යවේදීන්ට හුදු ලැප්ටොප් එකක් දෙනවා වෙනුවට ප්‍රථම වරට ජනමාධ්‍යවේදීන්ට නිවසක් ඉඩමක් ලබා දී ජනමාධ්‍ය ගම්මානයක් හැදුවේ මංගල සමරවීර මීට ඉහත ජනමාධ්‍ය ඇමැතිව සිටි යුගයේ දී බැවින් ජනමාධ්‍ය වේදීන්ගේ සුබ සිද්ධිය සඳහා ඔහු සාධනීය වැඩක් කරාවි යැයි ද බලාපොරොත්තු තබා ගත හැකිය. වසර ගණනකට පෙර විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ සියළු ජනමාධ්‍ය සංවිධාන එකතුව දැනට සියයට අනූවක්ම වැඩ හමාර කර ඇති ස්වාධීන ජනමාධ්‍ය කොමිසමක් පිලිබඳ කෙටුම්පත යථාර්තයක් කර ගත හැකි නම් මංගල සමරවීර ජනමාධ්‍ය ඇමැති ලෙස දෙවන වටයේදී රටට කරනු ලබන මහඟු සේවයක් වනු ඇත.   
අප ජනමාධ්‍යවේදීන් ලෙස වැඩි ඉඩක් ජනමාධ්‍ය ඇමැතිධූරය ගැන සාකච්ඡා කළ ද මුදල් ඇමැති ධූරය ගැනද මඳක් කතා කළ යුතුය. වරලත් ගණකාධිවරයෙක් අත තිබූ මුදල් ඇමැතිධූරයක් මෝස්තර නිර්මාණ ශිල්පියෙකු අතට දීම එක් අතෙකින් ලංකාවේ දේශපාලනයේ යථා ස්වරූපය පෙන්වන කැඩපතකි. එය තවමත් වෘත්තිකයන්ට වඩා වෙනත් කාරණා මත බර තබා කටයුතු කරන දූපත් දේශපාලනයයි. කෙසේ වෙතත් ගණකාධිකාරිවරයාට වඩා මෝස්තර කාරයා ලෝකයේ රටාව හඳුනාගෙන රටේ රටාව නිර්මාණය කරාවිදැයි ඉදිරියේ දී බලා ගත හැකිය. නාගරික සංවර්ධන, වරාය, ටෙලිකොම් ආදී එකිනෙකට වෙනස් ඇමැතිධූර දරා ඒ සෑම ක්ෂේත්‍රයකම ජය කෙහෙළි නංවා ඇති මංගල සමරවීර ගැන ජනතාව බලාපොරොත්තු තබා ඇත්තේ ප්‍රධාන වශයෙන්ම ඔහු අදූෂිතයෙකු බැවිනි. ලංකාව ආර්ථික ජයග්‍රහණ පාමුල ජයග්‍රහණ පිපාසයෙන් සිටින අවස්ථාවක ඔහු රටේ සිංහල දෙමළ මුස්ලිම් සියළු මානව සම්පත් එකතු කර ගනිමින් නිර්මාණාත්මක මූල්‍ය හසුරුවන්නෙකු වුවහොත් ආසියාවට තවත් මැලේසියාවක් හෝ සිංගප්පූරුවක් දායාද වීම වළකාලිය නොහැකිය. නමුත් මහ බැංකුව නොමැති, වානිජ බැංකු නොමැති, ඇට්ටකුණා මුදල් ඇමැතිධූරයක් ලබා දේ නම් එවැනි ප්‍රාතිහාර්යක් මංගලගෙන් නොව කිසිවෙකුගෙන් හෝ බලාපොරොත්තු විය නොහැකිය.

රවි කරුණානායකගේ අලුත් ඉනිම

රවි කරුණානායක යනු වසර 20 ක පමණ කාලයක් එජාපය විපක්ෂයේ සිටියදී එජාපය රැක බලා ගත් පුරුෂයෙකි. සමහරුන් දිනපතා රුපියල් 50,000 බැගින් පන්සල් වලට දන් දුන්නද සිරිකොතේ වෙසක් දානයට සත පහක් දුන්නේ නැත. විපක්ෂයේ පෙළපාලි ජාතික රැලි ආදියේ බරපැනට කවුරුත් මග හැරියේ ය. කවදා ආණ්ඩුවක් හදා ගැනීමට හැකිවේදැයි විශ්වාසයක් නොතිබූ බොහෝ දෙනා ඒ සියළු අවස්ථාවල ‘මුදල‘ යන කාරණයේදී මග හැරියහ. නමුත් රවි කරුණානායක තම පුද්ගලික ධනය වියදම් කෙළේ පක්ෂය රැක ගැනීමට ය. පාක්ෂිකයා රැක ගැනීමට ය. ‘රනිල්ට බෑ‘ යයි සමහරුන් රාජපක්ෂගේ තැටිය පක්ෂය තුල වාදනය කරද්දී තම නායකයා රැක ගැනීමට රවි අචලව සිටියේ ය. රාජපක්ෂ පාලනය පෙරලා දැමිය හැකිය යන අධිෂ්ඨානයක ඔහු දැඩි සේ එල්බ ගෙන සිටි අයෙකි. රෙජීමය පෙරලා ආණ්ඩුවක් ලබා ගැනීමෙන් පසු එජාප පාක්ෂිකයාගේ දුරකථන ඇමැතුමකට පිළිතුරු දීම නායක කාරකාදීන් විසින් මග හරිද්දී රවි කරුණානායක එසේ කළේ නැත. ඡන්දෙන් පසුව බොහෝ දේශපාලනඥයෝ තම ජංගම දුරකථන අංකය මාරු කළද එසේ නොකළ අතලොස්සක් දෙනා අතර රවි කරුණානායක ද සිටියේ ය.  ලෝකයේ කොතැනක ඔහු සිටියද ඕනෑම පාක්ෂිකයෙකුගෙන් ලැබෙන දුරකථන ඇමැතුමකට විනාඩි 2 කට හෝ පිළිතුරු දීම ඔහු අත් හළේ නැත. පාක්ෂිකයාගේ ඕනෑම දුකකට ඔහු ලඟ විසඳුමක් තිබිණ. පක්ෂය තුළ ඔහුගේ ජනප්‍රියත්වය නැගී ඒම නොරිස්සුවෝ බොහෝ ය.  අද දිනයේ  ඔහුට බොහෝ බොරු වළවල් කැපුවෝ එලෙස ඊර්ෂ්‍යා කළ අය වූහ. 
කෙසේ වෙතත් රවි කරුණානායක රටේ දේශපාලන ඉනිමගේ ඉදිරියට යෑමට බලාපොරොත්තු තබාගෙන සිටින්නෙකි. එය වරදක් නොවේ. ඕනෑම දේශපාලනඥයෙකු ලඟ එවැනි බලාපොරොත්තුවක් තිබිය යුතුම ය. ඒ අනුව රවි කරුණානායකට ලැබුණු විදේශ ඇමැතිධූරය ඔහු වාසනාවක් කර ගත යුතුය. ලෝකයේ නායකයන් පුද්ගලිකව දැන හඳුනාගැනීම අනාගතය ගැන සිතන දේශපාලනඥයෙකුට ලැබෙන මහඟු අවස්ථාවකි. ඔහුට ඇති ත්‍රෛයිභාෂා හැකියාව මේ අවස්ථාවේ දී ඔහුට වාසියක් මිස අවාසියක් නොවනු ඇත. එය රටේ වාසියක් බවට පත් කර දීමට ඔහු කැපවිය යුතුය. 
ඔහුට අපේ තානාපති සේවයේ මුහුණුවර වෙනස් කළ හැකිය. වනචර දශකයේ විනාශ වූ  රටේ ප්‍රතිරූපය නැංවීම දැන් සියයට 80 කින් නිමා වී ඇතැයි පෙනේ.  ලෝක බලවතුන්ට සේ තානාපති සේවා හරහා බලය ව්‍යාප්ත කිරීම හෝ අපගේ දේශපාලන න්‍යායන් ප්‍රචාරය කිරීම හෝ ආරක්ෂක බල මුළු තර කිරීම හෝ කිරීමට අපට නැත. දූපතේ අපි කළ යුත්තේ අපගේ තානාපති කාර්යාල ‘බිස්නස් පෝටල්‘ ලෙස සහ ‘නොලෙජ් පෝටල්‘ ලෙස භාවිතාවට ගැනීමයි. ඒ සඳහා ඒ ඒ අංශ දියුණු කිරීමයි. සාර්ථක ව්‍යවසායකයෙකු වන රවි කරුණානායකට ‘බිස්නස් පෝටල්‘ ගැන අප කියා දිය යුතු නැත. ‘නොලෙජ්‘ යනු අද ධනය බවද අප ඔහුට කියා දිය යුතු නැත. වළක වැටීම මොළයට ආහාරයක් කර ගැනීමට ඔහු දැන ගත යුතුය. 

අර්ජුනට වෙච්ච දේ..  

කැබිනට් සංශෝධනයේ දෙවන මුඛ්‍ය කාරණාව ලෙස පෙණෙන දූෂිත අර්ජුන රණතුංගගේ වරාය ඇමැතිධූරය ඉවත් කිරීම අගය කළ යුත්තකි. අපොස සාපෙළවත් නැති සොයුරා වරායේ සභාපති කරමින් අර්ජුන වරායේ පවුල් පාලනයකට සැරසෙන බව පෙනී යද්දීම සභාපතිවරුන් පත් කිරීමේ පූර්ණ බලතල හිමි ජනාධිපතිවරයාට ඊට මැදිහත් වී අර්ජුන වරායට කළ විනාශය මුල් අවස්ථාවේ දීම වළකා ගැනීමට හැකියාව තිබුනද ඔහු එවැන්නක් කෙළේ නැත. ඉන් සිදුවූයේ රණතුංගලාගේ නෑදෑ හැතිකරයම වරායේ තනතුරුවලට පුරවා එය පිස්සන් කොටුවක් බවට පත් කිරීමය. රණතුංගලා මව් පාර්ශවයේ ගුණසේකරලා වරාය ඉහගෙන කෑවෝය. අවසානයේ වරායේ සියළුම වෘත්තීය සමිති පක්ෂ බේදයෙන් තොරව මේ වනචාරී රණතුංගලාගෙන් වරාය බේරා දෙන්නැයි එක හඬින් කියා සිටියහ. තමාගේ වැරදි වලට විරෝධය පළවෙද්දී සෑම ගොං පණ්ඩිතයෙක්ම කරනවා සේ අර්ජුනද කෙළේ විරෝධය පාන්නන්ගෙන් පළිගැනීමය. එහි හොඳම අවස්ථාවක් නම් ජනාධිපතිවරයා විසින්ම පත් කළ වරාය ශ්‍රීලනිප වෘත්තීය සමිතියේ සභාපතිවරයා අර්ජුන විසින් බොරු චෝදනා නගා ගෙදර යැවීමයි. උද්දච්ඡ කමෙක මහත..!  
ලංකා ඊ නිව්ස් කෙළේ වරාය තුල පවතින මේ අවාසනාවන්ත තත්ත්වය ජනතාව අතරට ගෙන ඒම මිස අපට කිසිවෙකු සමග පුද්ගලික ආරෝවක් තිබුනේ නැත. නමුත් ගොං පණ්ඩිතයෙක් වූ අර්ජුන කෙළේ තමාගේ වැරදි හදා ගන්නවා වෙනුවට ලංකා ඊ නිව්ස් වෙත අවලාද නැගීමයි.  අවසානයේ ලංකා ඊ නිව්ස්ට කිසිදු හානියක් සිදුවූයේ නැති නමුත් රාජපක්ෂලාට වූවා සේම අර්ජුනට ද තම ධූරය අහිමි වී තිබේ.  කවුරුන් හෝ දූෂිතයෙක් වීමට සිහින මවනවා නම් අර්ජුනගෙන් පාඩම් ඉගෙන ගන්නා ලෙස අපි අවවාද කරමු. 
වරායෙන් ඉවත් කළ අර්ජුනට ඛනිජ තෙල් ඇමැති ධූරය ලබා දීම “කරෝල කෑල්ල හොරකම් කළ බළලාට උම්බලකඩ කෑල්ලෙන් ගැහුවා“ වැනි යයි කවුදෝ සඳහන් කර තිබිණ. එය කතාවට ලස්සන වුවද සත්‍යයම නොවේ. වර්තමානයේ ඛනිජ තෙල් මිලදී ගැනීමේ දී ගන්නේ කාගෙන්ද? කුමන මිලකටද? යන්න අද තීරණය කෙරෙන්නේ අදාල ඇමැතිවරයා පමණක් නොවේ. එය කෙරෙන්නේ පාර්ලිමේන්තු සාමාජිකයන්ද සමන්විත ජාතික ප්‍රසම්පාදන ඒජන්සිය (N.P.A) විසිනි. ඛනිජ තෙල් වැනි මහා පරිමාණ රාජ්‍ය මිලදී ගැනීම් වලදී වාර්ෂිකව සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම, මිල කැඳවීම්, මිල ගණන් සම්බන්ධයෙන් අයදුම්පත් කැඳවීම සහ විශ්ලේෂණය, ටෙන්ඩර් මණ්ඩල සම්බන්ධීකරණය, සැපයුම්කරුවන් තේරීම සහ මිලදී ගැනීම් ඇණවුම් නිකුත් කිරීම, සියලුම භාණ්ඩ හා සේවා, ස්ථාවර වත්කම් සහ උපකරණ ප්‍රසම්පාදනය, කොන්ත්‍රාත්තුවලට එළඹීම, තාක්ෂණ ඇගයීම් කමිටු සහ ප්‍රසම්පාදන කමිටු කාර්යයන් සම්බන්ධ කටයුතු ආදී සියල්ල සිදුකරන්නේ පෙර කී ජාතික ප්‍රසම්පාදන ඒජන්සිය මගිනි. එබැවින් වරායෙන් ඉවත් කළ අර්ජුනට ඛනිජ තෙල් ඇමැතිධූරය දීම ‘කරෝල කෑල්ල හොරකම් කළ බළලාට උම්බලකඩ කෑල්ලෙන් ගැහුවා‘ වෙන්නේ නැත. කෙතරම් වුවද හොර බළලා හොරා කෑම වළක්වන්නේ නැති බවද සත්‍යයක් බැවින් වරාය ආපන ශාලාවල කොත්තමල්ලි ඇටයෙන් පවා ගසා කෑ අර්ජුන රණතුංග නමැති නීලකාස හොරා ගැන ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන් ආරම්භයේ සිටම කල්පනාවෙන් සිටීම නම් වැදගත් ය.
දූපතේ පවතින දේශපාලනය යටතේ අර්ජුන වැනි හොර ඇමැතිවරුන්ගේ ඇමැතිධූර අහෝසි කර එළවා දමන්නේ නැති අතර සිදුවන්නේ වෙනත් හොරා කෑම අසීරු ආයතනයකට පත් කිරීම ය. අර්ජුනගේ දූෂණයන්ට ලක්වූ වරායේ වෘත්තීය සංගම් සේම ගිරිය පුප්පාගෙන මාධ්‍ය හමු පවත්වන දූෂණ විරෝධී සංවිධාන ද දැන් කළ යුත්තේ අර්ජුන වරායේ කරන ලද දූෂණ වලට එරෙහිව නඩු පැවරීම ය. දූෂණ විරෝධී සංවිධාන වලට මුදල් ලැබෙන්නේ මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමට පමණක් නොවේ. එවැනි නෛතික ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වීමට ද මුදල් ලැබෙන බව දනිමු.

කැබිනට් සංශෝධනයේ නරක

කැබිනට් සංශෝධනයෙන් අසාර්ථක ඇමැතිවරුන්ගේ බහුතරයක් හෝ වෙනස් වෙතැයි සිතුවද එවැන්නක් සිදුවූයේ නැත.  ප්‍රධාන වශයෙන්ම ජනාධිපතිවරයා සතුව ඇති පරිසර අමාත්‍යාංශය ඔහුගෙන් වෙනස් වූයේ නැත. ජනාධිපතිවරයා පරිසරය බාර ගනිද්දී කීවේ තමා සතු විධායක බලතල පරිසරය රැක ගැනීම වෙනුවෙන් භාවිතාවට ගැනීමට තමා මැලිවන්නේ නැති බවයි. නමුත් එසේ වූයේ නැත. කුරුණෑගල තක්කඩි පරිසර නිලධාරියා සමන් සේනානායක තවමත් එලෙසමය. අවුරුදු 20 ක් පමණ එකම ස්ථානයේ එකම තනතුරේ ඉන්නේ කෙසේදැයි පුදුම වූයේද බැන වැදුනේද ජනාධිපතිවරයා නමුත් ඔහු වෙනස් කෙළේ නැත. ඔහු තම දූෂණ ඒ ආකාරයටම වයඹ පළාත් සභාව පුරා සිදුකරයි. මීතොටමුල්ල කුණු කන්ද නාය ගොස් විනාශයක් වන තුරුම බස්නාහිර මහ ඇමැති සහ චම්පික ගේ ආරෝව ඇද ඇද කල් මැරීමට පරිසර ඇමැති ලෙස ජනාධිපතිවරයාද වගකිව යුතුය. මෙවැනි සිදුවීම් බහුලය.  මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට දොස් කීමෙන් ද පලක් නැත. ලෝකයේ කිසිදු ජනාධිපතිවරයෙකු අගමැතිවරයෙකු පරිසර වැනි නිතිපතා සජීවී ප්‍රශ්න ගොඩ ගැහෙන අමාත්‍යාංශයක් බාර ගන්නේ නැත. මන්ද ජනාධිපතිවරයෙකුගේ අගමැතිවරයෙකුගේ වගකීම් ඊට වඩා විශාල පරිමාවක විහිදෙන බැවින් පරිසර වැනි දිනපතා ප්‍රශ්න බහුල වගකීමක් දැරීම අසීරු නිසා ය. ජනාධිපතිගේ පරිසර අමාත්‍යාංශය වෙනත් අයෙකුට බාර දුන්නා නම් යෙහෙකියැයි අප කියන්නේ එබැවිනි. 
ආයෝජකයන් සිය ගණනින් සාකච්ඡාවන්ට පැමිණියද ඉන් සියයට 5 ක් හෝ ලංකාවට ගෙන්වා මහ පොළොවේ යථාර්ථයක් කර ගැනීමට අසමත් වූ ආයෝජන ප්‍රවර්ධන ඇමැති මලික් සමරවික්‍රමගේ අමාත්‍යාංශය සම්බන්ධයෙන්ද කැබිනට් සංශෝධනයේ දී තීන්දුවක් ගත්තේ නම් හොඳය. අඩු ගණනේ ඔහුට ඒ සඳහා බාධා වී ඇති කාරණා විසඳාලන ආකාරයේ සංශෝධනයක් වූයේ නම් හෝ යහපතක් වනු ඇත. 
නීතිය හා සාමය හෝ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සරත් ෆොන්සේකාට කිසියම් වගකීමක් පැවරෙනවා යයි කී විට ජනතාව ඊට ඉතා දැඩි කැමැත්තක් දැක්වූහ. නමුත් එවැනි කිසිදු සංශෝධනයක් සිදුවූයේ නැත.
තමා ඇමැතිධූරයේ සිටින තුරු ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගන්නට දෙන්නේ නැතැයි ප්‍රසිද්ධියේ කී විජයදාස රාජපක්ෂ තවදුරටත් අධිකරණ ඇමැතිධූරයේ තබා ගැනීමෙන් ජනතාව තේරුම් ගන්නේ කුමක්ද? ජනාධිපතිට හෝ අගමැතිට හෝ රාජපක්ෂලා තබා රාජපක්ෂ යුගයේ කිසිදු හොරෙක් තක්කඩියෙක් ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් නැති බව නොවෙන්නේ ද? විජයදාස ඉටු කරන්නේ ජනාධිපතිගේ සහ අගමැතිගේ වුවමනාවන් බව ඔහුගේ ඇමැතිධූරය වෙනස් නොකිරීමෙන් ජනතාවට හැඟෙනු ඇත. ඒ බව වඩාත් තහවුරු කරන්නේ සීඅයිඩිය සහ එෆ්සීඅයිඩිය විසින් සියළු පරීක්ෂණ නිමා කර නීතිපතිවරයාට දුන් දූෂණ වංචා ලිපිගොණු 90 ක් ම මාස ගණනාවක් පසු වූවද නඩු පවරා නොතිබීමෙනි. නීතිපතිවරයා ඉන්නේ විජයදාස රාජපක්ෂ යටතේ නොවේ ද? 

විමල් ධීරසේකර විසිනි

Comments