ලංකා ඊ නිව්ස් ඊයේ කී ගීතා පාර්ලිමේන්තුවේ තබා ගැනීමට බැසිල්/සරත් එන්. කළ කුමන්ත්‍රණය ඵල දරයි: නීතිඥයන් නඩු අංකයවත් දන්නේ නෑ, ඒත් වාරණ නියෝගයක් දෙයි: විනිසුරු ප්‍රියන්ත ජයවර්ධනගෙන් අශීලාචාර හැසිරීමක්

Syndicated from lankaenews,



මන්ත්‍රීධූරය අහිමි වූ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ ‘අධිකරණ වෙට්ටුවක්‘ හරහා තව දුරටත් මන්ත්‍රී ධූරයේ තබා ගැනීමට බැසිල් රාජපක්ෂ සහ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා විසින් කුමන්ත්‍රණයක් සැලසුම් කර ඇතැයි ලංකා ඊ නිව්ස් ඊයේ කරන ලද හෙළිදරව්ව සත්‍ය කරමින් ගීතා කුමාරසිංහ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසිකරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව ලබන 15 වනදා තෙක් අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද නියෝග කෙළේය.
9 වෙනිදා ඉදිරිපත් කළ ගීතාගේ පෙත්සම කම්බි පස් පොටින් පන්නා අදම (12) කැඳවනු ලැබුවේ බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ දී ය. අදම විභාගයට ගෙන අදම වාරණ නියෝගයක් ලබා ගැනීමට අවශ්‍ය වූයේ මැතිවරණ කොමසාරිස් වරයා විසින් ගීතාගේ මන්ත්‍රීධූරය අහෝසි කරමින් ඊලඟ මනාප ලාභියා පත් කෙරෙන ගැසට් නිවේදනය වළක්වා ගැනීමට ය. ඒ සඳහා කම්බි පස් පොටින් පන්නා නඩුව විභාගයට ගැනීමේ කුමන්ත්‍රණය සිදුකරන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය වන මහේෂා ජයවර්ධන (විවාහයෙන් පසුව ජයසේකර) යොදා ගනිමිනි. ඇය මෙම නඩුව විමසන ප්‍රියන්ත ජයවර්ධනයේ සොයුරිය වීමෙන් කුමන්ත්‍රණයේ තරම තේරුම් යනු ඇත. 
මෙම අපූරු හදිසි නඩු ඇහිල්ලේ ජුගුප්සාජනක භාවය කොතෙක්දැයි කිවහොත් අද උදෑසන වන විටත් නඩුවේ අංකය පවා කිසිවෙකු දන්නේ නැත.  අනෙක් පාර්ශවයේ කිසිවෙකුට කිසිදු දැනුම් දීමක් කර තිබුනේ නැත. ගීතාට එරෙහිව අභියාචනාධිකරණය ඉදිරියේ නඩු පැවරූ අය ඇපෑල සඳහා කැඳවිය යුතුම වුවද අද නඩුව ඇහෙන තුරු ඒ කිසිවෙකුට කිසිදු දැනුම් දීමක් කර තිබුනේ නැත. අවම වශයෙන් පාර්ලිමේන්තුවේ මහ ලේකම් වරයාට දැනුම් දී තිබී ඇත්තේ 9 වෙනිදා සවස 5 න් පසුව ය. එනම් ඒ වන විට පාර්ලිමේන්තු මහ ලේකම් රාජකාරි නිමා කර ගෙදර ගොසින් ය. මෙවන් ඇපෑලක් අද විභාගයට ගන්නා බව පාර්ලිමේන්තු ලේකම් දැන ගත්තේ ද අද කාර්යාලයට පැමිණීමෙන් පසුව ය. (10,11 දෙදින වෙසක් නිවාඩුවය) ඒ බව නඩුව අතරතුරදී නීතිපති දෙපාර්තමේන්තුවෙන් පැමිණි නීතිඥවරුන් විනිසුරුවරුන්ට පෙන්වා දුන්හ.
9 වෙනිදා පෙත්සම ඉදිරිපත් කර ඊලඟ වැඩ දිනයේ නඩු විභාගයට ගන්නා ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ අසාමාන්‍ය  ක්‍රියා පිළිවෙත  ගැන පෙන්වා දෙමින් නීතිඥවරුන් පවසා සිටියේ ගීතා මේ අධිකරණයේ වරප්‍රසාද ලත් පෙත්සම්කාරියක බව පෙනී යන බවයි. කුමන තීන්දුවක් දුන්නද අධිකරණයේ ගරුත්වයට හානි වන ආකාරයෙන් කටයුතු සිදුවීම ගැන නීතිඥවරුන් සිය අප්‍රසාදය පළ කර සිටියහ.
සාමාන්‍යයෙන් අනෙක් පාර්ශවයට නිසි ලෙස දැනුම් දී ඔවුන් පැමිණෙන තුරු නඩුව විභාගයට සහ තහනම් නියෝග දීම සදාචාරවත් නොවුන ද ලැජ්ජාව පසෙක ලූ විනිසුරුවරුන් නඩුව 15 සඳුදා විභාගයට ගැනීමට තීන්දු කර ගීතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අත්හිටුවීමට අභියාචනාධිකරණය දුන් තීන්දුව ලබන 15 වනදා තෙක් අත්හිටුවීමට නියෝග කෙළේය.
මෙහි ඇති අනෙක් සිනහ උපදවන කාරණය නම් මෙකී වාරණය දුන්නේ 15 වෙනිදා දක්වා පමණක් වුවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශයක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ලැබෙන තුරු ගැසට් නිවේදනය නිකුත් නොකරන බව පැවසීමය. ඔහුද කම්බි පස් පොටින් පැන තිබෙන බව එම ප්‍රකාශයෙන් පෙනී යයි.

ප්‍රියන්ත ජයවර්ධන විනිසුරුගේ අශීලාචාර හැසිරීම

අද නඩු විභාගයේදී නඩුව විභාගයට ගත් ප්‍රියන්ත ජයවර්ධන විනිසුරුගේ අශීලාචාර හැසීරීම කැපී පෙණින. පෙත්සම් කාරිය වූ ගීතා සහ දූෂිත මහින්දානන්ද අලුත්ගමගේ අධිකරණයට පැමිණෙද්දී විනිසුරු අසුනේ සිටි ප්‍රියන්ත ජයවර්ධන කලක් තිස්සේ හඳුනන අය දුටු විට සාමාන්‍ය පුද්ගලයෙකු හැසිරෙනවා සේ ගීතා සහ මහින්දානන්ද සමග ඔලුව ඇලකර ඉඟියක් කරමින් සිනහාසුනේ ය. එපමණක් නොව නීලකාස හොරෙක් වූ ප්‍රසන්න රණතුංග අධිකරණයට පැමිණෙද්දී ඔහුටද ඔලුව ඇලකර සිනහවකින් සංග්‍රහ කිරීමට විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන පැකිලුනේ නැත.
මේ සිදුවීම් ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධයෙන් ජනතාව තුල තිබෙන ගරුත්වයට බරපතල හානි ගෙන දෙන්නක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ශ්‍රී ලංකාවේ අධිකරණය අපක්ෂපාතී නොවන බව කියමින් හයිබ්‍රිඩ් අධිකරණයක් අවශ්‍යය යි ජිනීවා මානව හිමිකම් කොමිසම කියන්නේ නිකම් නොවන බව මේ සිදුවීම් වලින් තහවුරු වන්නේ ය.
ඉහත කී ප්‍රියන්ත ජයවර්ධනට කිසිදු සුදුසුකමක් නොමැතිව  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කෙළේ මහින්ද රාජපක්ෂ නමැති හිටපු වනචාරී පාලකයා විසිනි. ප්‍රියන්ත ජයවර්ධන ඊට පෙර ක්‍රියා කෙළේ බැසිල් රාජපක්ෂගේ නීතිඥවරයා ලෙස ය. දෝෂාභියෝගයේ දී බැසිල් වෙනුවෙන් කරන ලද මෙහෙය සලකා බලා රාජපක්ෂලා සිය සට්ටැඹියා වූ ප්‍රියන්ත ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස පත් කිරීමට විරුද්ධව ලංකා ඊ නිව්ස් මීට වසර 3 කට ‍පෙර අද සිදුවිය හැකි තත්ත්වය ඉතා නිවැරදිව දකිමින් 2014 මැයි 04 වෙනිදා පළ කරන ලද ලිපියක් පහතින් දැක්වේ.

ශ්‍රේෂ්ඨාධිකරණය 'පීචංධිකරණය' කරමින් ඓතිහාසික පුස්සෙක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරෙක් ලෙස පත් කරයි---

(ලංකා ඊ නිව්ස් -2014.මැයි.04, ප.ව. 6.30) ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තව දුරටත් ශ්‍රේෂ්ඨ නොවන පීචං අධිකරණයක් බව තවදුරටත් තහවුරු කරමින් ඉතිහාසයේ පීචං ම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරා පත් කිරීමට මැදමූලන මරා තීන්දු කර තිබේ.
මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගේ පුරප්පාඩු පවතින අතර ඒ වෙනුවෙන් පත් කිරීමට යන එක් පුද්ගලයෙක් වන මොහු රාජපක්ෂ වරුන්ට අති හිතෛෂී සට්ටැඹියෙක් වන සාමාන්‍ය නීතිඥයෙකි. නමින් ප්‍රියන්ත ජයවර්ධන වන මොහුට ඇති එකම සුදුසුකම වන්නේ පසුගිය කාලයේ අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට හේතු කාරණා වූ බැසිල්ගේ දිවිනැගුම පනත කෙටුම්පත් කළ නීතිඥ කමිටුවේ සේවය කිරීමත් දෝෂාභියෝගයේදී නීතිඥ ප්‍රජාව ගැන රාජපක්ෂලාට උදේ සවස කේලාම් කීමත් පමණි.
නාමල් රාජපක්ෂ වැනි හොර පෙරකදෝරුවෙකුට පවා දිව හැලෙනතුරු ‘සර්‘ කියා අමතන ප්‍රියන්ත ජයවර්ධනට කරන ලද පක්කලි සේවය වෙනුවෙන් මැදමූලන මරා විසින් දෝෂාභියෝගයෙන් පසුව ජනාධිපති නීතිඥ පට්ටමක්ද ප්‍රදානය කෙළේය. 
ඒ මිස මොහුට නීති වෘත්තිය ගැන විශේෂ දැනුමක් නැත. විශේෂ අධ්‍යාපනයක් ද නැත. විශේෂ නඩු කතා කරලාද නැත. මොහුට නඩුවක් ලබා දුන්නා නම් දුන්නේ වෙනත් කිසිදු හේතුවක් නිසා නොව මොහුගේ සොහොයුරිය ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් තනතුර දරන නිසා නඩුවකට මොහුව සම්බන්ධ කර ගැනීමෙන් තමන්ට හිතවත් විනිසුරු මඬුල්ලකට නඩුව යොමු කර ගැනීමට හැකියාව ලැබෙන බැවිනි. ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්, මහේෂා ජයවර්ධන (විවාහයෙන් පසුව ජයසේකර) වන මොහුගේ සොයුරිය ද වංචනික ගනුදෙනු කිහිපයක් නිසා රෙජිස්ට්‍රාර් ධූරයෙන් එළවා දමා සිටි අතර දෝෂාභියෝගයෙන් පසුව යලි තනතුරට පත් කරන ලද තැනැත්තියකි. 
රාජපක්ෂලාට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් අතරින් හොඳ කේලාම් කාරයෙක් අවශ්‍යය. එම කාර්ය මෙතෙක් ඉටු කළ සත්‍ය හෙට්ටිගේ විනිසුරා විශ්‍රාම යෑම නිසා ඒ වෙනුවට කිසිදු සුදුසුකමක් නැති ප්‍රියන්ත ජයවර්ධන පත් කිරීමට යන්නේ ය. මෙම විහිළු සහගත නින්දිත පත් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැනටමත් තම විරෝධය ප්‍රකාශ කර ඇත. 
හිටපු අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරනායකද මෙලෙසම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් ලෙස පිටතින් ගෙනැවිත් පත් කිරීමේදී ද නීතිඥ සංගමය විරුද්ධ වූ නමුත් ඇය ඒ වන විටත් නීතිය පිලිබඳ මහාචාර්ය වරියක් ලෙස සේවය කළ නීතිය පිලිබඳ ප්‍රාමාණික බුද්ධිමතියක් වූවාය. 
ප්‍රියන්ත ජයවර්ධන නිකම්ම නිකම් සට්ටැඹි පෙන්දෙක් පමණි. මොහුගේ වයස තවමත් අවුරුදු 53 ක් පමණි. එනම් මොහුට තව අවුරුදු 12 ක් පමණ කාලයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ කල්ගත කළ හැකිය. මෙවැනි පුස්සන් ලංකාවේ ඉහලම අධිකරණයේ විනිසුරුවරුන් වූ කල අනාගතයේදී ශ්‍රේෂ්ඨාධිකරණය හැඳින්වීමට සිදුවන්නේ 'පීචංධිකරණය' යනුවෙනි.

Comments