ලංකාවේ විශාලතම ඩෙංගු නිෂ්පාදනාගාරයක් වූ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය..! ලංකා ඊ නිව්ස් සංචාරක වාර්තාවකි

Syndicated from lankaenews,



ත්‍රිකුණාමල චීන වරායේ  ඇති යෝධ තෙල් ටැංකි පිළිබඳව කෙරෙන කථා බහ  දිනෙන් දින විවිධ ඉසව් ඔස්සේ දිග හැරෙමින් තිබේ. තෙල් ගබඩා පර්යන්තයක තිබිය යුතු ඉහළතම තාක්ෂනික හා  පාරිසරික  රැකවරණය සහිතව ඉදි කර ඇති මෙම ටැංකි පද්ධතිය  වැඩකට  නොගෙන අතහැර දමා තිබීම ද ජාතියේ අවාසනාවකි. එමෙන්ම කිසියම් රටකට මෙම ටැංකි පවරා දෙන්නේ නම් ඒවා පිහිටි අක්කර දහසකට ආසන්න  ඝන වන භූමිය සහ ත්‍රිකුණාමලේ ස්වභාවික වරාය පිළිබඳව  නැවත නැවත සිතා බැලීම ද අමතක නොකළ  යුත්තකි. දැනට තෙල් ටැංකි දාහතරක් පමණක් පවරා     ගෙන සිටින ඉන්දීය තෙල් සමාගම සමස්ථ තෙල් සංකීරණය පුරාවටම සිය අණසක පතුරුවාගෙන සිටී. කෙසේ වෙතත් ආණ්ඩුව පවසන්නේ යෝජිත ඉන්දියාව සමග ව්‍යාපෘතිය ඉන්දු-ශ්‍රී ලංකා සාමූහික ව්‍යාපෘතියක් බවයි. කෙසේ වෙතත් තෙල් ටැංකි වල තත්ත්වය සොයා බැලීම පිණිස අපි එහි සංචාරය කෙළෙමු..
 
තෙල් ගබඩා පර්යන්තය පිහිටි ප්‍රදේශයට ත්‍රිකුණාමලේ සිට කින්නියා  මාර්ගය ඔස්සේ කිලෝ මීටර් හයක් පමණ දුරක් යා යුතුය. තෙල්ටැංකි  ඉදිකර ඇති මුළු භූමියම මහා ඝණ වනාන්තරයකි. ඉතා විධිමත් කාණු පද්ධතීන් සහිත තාර පාරවල්  වනය පුරා දක්නට ලැබේ.    එයින්  අක්කර 780 කින් සමන්විත ටැංකි 86 ක් සහිත ප්‍රදේශය  C V  යනුවෙන්ද   අක්කර  45 කින් සමන්විත ටැංකි 15 ක් සහිත ප්‍රදේශය AFC   යනුවෙන්  හැඳින්වේ . මෙහි CV පෙදෙසේ  විනාශ වෙමින් පවතින ගොඩනැගිලි 150 ක් පමණ ඇති අතර තවත් 25 ක පමණ ඉන්දියන් තෙල් සමාගමේ සේවකයෝ නවාතැන් ගෙන සිටිති. මෙම ගොඩනැගිලි ද තෙල් ටැංකි තරමට ම පැරණිය. අතහැර දමා ඇති ගොඩනැගිලි කැලෑව විසින් ගිල ගනිමින් සිටී.  ආසියාවේ ඇති විශාලතම තෙල් පර්යන්තය මෙය බවයි හැදින්වෙන්නේ.
 
සියළුම ටැංකි එක හා සමානය. පොළව මතු පිට ඉදිකර ඇත. එක් ටැංකියක උස අඩි 45 කි.  විෂ්කම්භය අඩි 365 කි.  ඉන්ධන ධාරිතාවය ලීටර් එක්කෝටි හතලිස් හතර ලක්ෂ හතලිස් දහසකි (1,44,40,000).  ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති  සමයේ 1924 / 1931 කාලය  තුල මෙම තෙල් ටැංකි 101 ඉදිකර ඇති බවයි අන්තර් ජාල  හා ඛණිජ තෙල්  සංස්ථා තොරතුරු අනාවරණය කරන්නේ. සෑම ටැංකියක් වටාම  පස් බැම්මක් ඉදිකර තිබේ . පස් බැම්ම හා ටැංකිය අතර පරතරය අඩි තිහක් පමණ වෙයි. ගිනි ගැනීමක් වැනි හදිසි අවස්ථාවක දී  ටැංකියේ ඇති ඉන්ධන අනෙකුත් ටැංකි වලට පැතිරී නොයෑමට මෙම පස් බැම්ම තනා ඇති බවයි පැවසෙන්නේ. ටැංකි උඩට ගොඩ වී ඇතුලට බැසීමට තරප්පු පෙළවල් ද ඉදිකර තිබේ.
සියළුම ටැංකි තනා ඇත්තේ අඟලක ඝණකමින් යුතු ලෝහ තහඩු එකිනෙකට පුරුද්දා රිවට් කිරීමෙන්ය. පිරිද්දුම් අතරට ඊයම් පටියක් මැදිකර තිබේ. සංකෝචකයට සහ ප්‍රසාරණයට ඔරොත්තු දීමටත් කාන්දු වීම වැළක්වීමත් මෙමගින් සිදු වේ.
 
වරාය ආසන්නයේ ඇති ටැංකි කීපයට පමණක් කොන්ක්‍රීට් ආවරණයක් යොදා ඇත. මුහුදු ජලයෙන් හා මුහුදේ සිට එල්ල කරන ප්‍රහාර වලින් ආරක්ෂා වීමට එසේ අතිරේක රැකවරණයක් සළසා ඇති බවයි අණාවරනය වුනේ.  අඩියක විශ්කම්භයකින් යුතු චීනට්චට්ටි ලෝහයෙන් නිම වූ භූ ගත නළ මාර්ගයක් ඔස්සේ වරායේ සිට ටැංකිවලට ඉන්ධන පොම්ප කර ඇත. එම නළ හා සම්බන්ධ පරීක්ෂණ කවුළු තැනින් තැන දකින්ට ලැබේ. පොම්පාගාර දෙකක් හා තෙල් බෙදුම් ස්ථාන දෙකක්  ද රට අභන්තරයට තෙල් ප්‍රවාහනය කිරීම සඳහා  දුම්රිය අංගනයක් ද මෙම තෙල් ටැංකි සමූහය සතුය.
 
අන්තර්ජාල  සහ ඛණිජතෙල් සංස්ථාවේ තොරතුරු වලට අනුව මෙහි තෙල් ටැංකි එකසිය එකක් තිබුනත්  ඒ සියල්ලම තෙල් වලින් පුරවා  නැත. සමහර ටැංකි හිස්ය. සමහර ටැංකිවල ජලය ගබඩා කරයි. අකුණු සැරකින් හෝ වෙනත් ආකාරයක ගිනි ගැනීමකින්  කිසියම් ටැංකියකට හානියක් සිදුවන්නේ නම් එහි ඇති තෙල් පොළව යටින්ම  නළයක් ඔස්සේ පරිවාර ටැංකියකට මාරු කෙරේ.  ඉන්ධන ගිනි ගන්නේ ඉහළ සිට පහළටය. ඒ නිසා ටැංකියේ පහළින් ඇති තෙල් බේරා ගත හැකිය. එවැනි  අවස්ථාක දී වැඩි  අවධානයක් යොමු වන්නේ ගින්න  නිවීමට වඩා  අ‍නෙකුත් තෙල් ටැංකි සිසිල් කිරීමටත් ටැංකියේ ඉහළ ඇති තෙල් ගිනි ගනිද්දී පහළ ඇති තෙල් වෙනත් ටැංකියකට පොම්ප කිරීමටත්ය.
 
ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටක් විජිතයක් ව පැවති සමයේ රාජකීය නාවික හමුදාවේ ඉංජිනේරු බලකායේ සෙබළුන් විසින් විසින් මෙම ටැංකි ඉදිකළ බවට පිළිගත හැකි සාක්කි තිබේ. ආරම්භයේ දී ටැංකි එකසිය දෙකක් ඉදිකිරීමට සැළසුම් කර තිබුනත්  පසුව ටැංකි එකසිය එකකින් වැඩ අවසන් කර ඇති බවයි තොරතුරු සනාථ කරන්නේ. එවකට ශ්‍රී ලංකාව පාලනය කළ ඉංග්‍රීසි පාලකයන් යටතේ වැඩ කළ චීන ජාතික කම්කරුවන්ගේ ශ්‍රමය මේ සඳහා ලබාගෙන ඇති බවත් එම  ප්‍රදේශයේම ඇති යපස් උණු කර යකඩ තහඩු සාදාගෙන ඇති බවත් සමහරු කියති . චීන වරාය, චීනන් වාඩිය, ආදි නම් අදටත් භාවිත වෙන නිසා එම ප්‍රදේශයේ චීනුන් නොසිටියා යැයි තර්ක කිරීමට නොහැකිය. ලංකාවට චීනුන් ගොඩ බැස ඇත්තේ චීන වරායෙන්ය. එහෙත් යපස් උණු කර ඇති බවක් සනාථ කරගැනීමට අපට අපහසු විය.
 
මෙම ටැංකි  ඉදිකර ඇත්තේ හදිසි අනතුරක දී පොළවට ගිලා බසිනා ආකාරයට  යැයි මතයක් පවතී. එය සම්පූර්ණ අසත්‍යයක් බවට අංක තිස් අට (38) සහ අනූ එක (91) දරණ තෙල් ටැංකි දෙක සාක්කි දරයි. දෙවන ලෝක යුද්ධයේ දී ජපානය  1942 අප්‍රේ ල් 09 වන දා උදෑසන 08. 04 ට චීන වරායේ තෙල් ටැංකි පර්යන්තයේ  අංක 38 ටැංකියට ගුවනින් බෝම්බ හෙලීය. ෂිගනෝරි  වටනබේ, ටොක්යා ගොටෝ සහ සුටෝමු ටොෂීරා එම ප්‍රහාරක යානයේ නියමුවන්ය. බ්‍රිතාන්‍ය හමුදා විසින් එල්ල කළ ප්‍රති ප්‍රහාරයෙන් ජපන් ගුවන් යානය අංක 91 ටැකිය මතට කඩා වැටුනි. ඉන් ඇති වූ ගින්න සතියක් පැවති බව මයිකල් ටොම්ලින්සන් ජපන් ප්‍රහාරය අළලා ලියා ඇති “The Most Dangerous Moment“ ග්‍රන්ථයේ සදහන් වේ. අගුරු වී ගිය තිරුවානා ගල් කැට ටැංකිය අවට තවමත් දකින්නට ලැබේ . ඒ සා දරුණු ප්‍රහාරකින්  පවා  එම තෙල් ටැංකි අඟලක්වත් පොළව යටට ගිලා බැස නැත.
 
විනාශ වී ඇති අංක 91 දරණ තෙල් ටැංකිය පතුලේ ගස්කොළන් වැවී ඇති අතර අඩියක්  පමණ ජලයෙන් ද පිරී තිබේ. අංක 91 දරණ තෙල් ටැංකිය මතට කඩා වැටුන ගුවන් යානයේ ඇන්ජිමේ ශේෂ වූ කොටසක් එම ස්ථානයේ ම මහජන ප්‍රදර්ශණය සඳහා  තැන්පත් කර තිබූ බවත් පසුව එය කොළඹ ගුවන් හමුදා කෞතුකාගාරයට රැගෙන ගොස් ඇති බවත්  ඒ අසල ඇති දැන්වීම් පුවරුවක දැක්වේ. සිද්ධිය වූ ස්ථානයේ තිබිය යුතු කෞතුක භාණ්ඩය වෙනත් තැනකට රැගෙන යාම ගැන බොහෝ දෙනෙකු අප්‍රසාදය පළ කරති. 
 
ඉන්දියන් තෙල් සමාගමට 2003 වසරේදී පවරා දී ඇති තෙල් ටැංකි දාහරෙන් (14) හතක (07ක) ඉන්ධන  සහ එකක ජලය ගබඩා කර තිබේ. ගබඩා පර්යන්තය පුරා ඇති සෙසු සියළු ටැංකි හිස්ව පවතී. ඒ සියල්ලේ ම පතුළේ 91 වැනි ටැංකියේ මෙන්  ජලය රඳා පවතින්නේ නම් ත්‍රිකුණාමලයේ ඩෙංගු නිෂ්පාදනාගාරය මෙය විය හැකිය.  
 

ඡායාරූප සහ සංචාරක වාර්තාව ආර් ජී ධර්මදාස විසිනි

 
සේයාරූ වලින් 
ගුවන්යානය කඩා වැටු අංක 91 ටැංකිය
අංක 91 ‍තෙල් ටැංකියේ පතුල
පර්යන්තය පුරා විහිදී ඇති මාර්ග
තෙල් ටැංකි
පොම්පා ගාරයක්
ජපන් ප්‍රහාරය හා සම්බන්ධ අනුස්මරණ දැන්වීම් පුවරුව ආදිය දැක්වේ.



Comments