එන්.එම්. කොල්වින් මිනී වළ තුල අප්පිරියාවෙන් දඟලද්දී වමනය දමා එය යළි ගිල දමන මහාචාර්යතුමා..! කාලෝට එරෙහිව කාලෝ...! -ආනුභාවනන්ද ලියයි වීඩියෝ සාක්ෂි සහිතයි

syndicated from lankaenews,


   නානායක්කාර පතිරගේ මාටින් පෙරේරා හෙවත් එන්.එම්.පෙරේරා මෙරට බිහි කළ විශිෂ්ඨ ගණයේ බුද්ධිමතෙකු හා උගතෙකි. දේශපාලන විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු සහ ආර්ථික විද්‍යාඥයෙකු ලෙස ජාත්‍යන්තර මට්ටමේ නමක් තැබීමට ඔහුට හැකි විය. ශ්‍රී ලංකාවේදී මූලික උපාධිය ලබා ගත් පසු ‘ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස්‘ හි උසස් අධ්‍යාපනය හදාරා ආචාර්ය උපාධියක් ලබා ගත්තේය. ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධනය ජර්මන් වෛමාර් සමූහාණ්ඩු ව්‍යවස්ථාව විශේලේෂනය කිරීමට යොමු වූවකි. එම ආචාර්ය උපාධියෙන් නොනැවතුනු ඔහු ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් Doctor of Science තවත් ආචාර්ය උපාධියක් ද ලබා ගත්තේය. ‘බ්‍රිතාන්‍ය, ඇමැරිකා සහ ජර්මන් ව්‍යවස්ථා පිලිබඳ විශ්ලේෂණාත්මක අධ්‍යයනයක්‘ නම් නිබන්ධනය සඳහා එම උපාධිය හිමි වූ අතර ඒ වන විට එම ආචාර්ය උපාධිය ලබා ගත් ප්‍රථම ලාංකිකයා වූයේ එන්.එම්.පෙරේරා ය. 
ඔහුගේ තියුණු විශ්ලේෂණාත්මක අධ්‍යයන සහ තීක්ෂණ විචාරශීලී බුද්ධිමය හැකිවන් පිලිබඳ ඔහුගේ ගුරුවරුන් පවා මවිතයට පත්විය. ඔහුගේ ගුරුවරයෙකු වූ මහාචාර්ය හැරල්ඩ් ලැස්කි වරෙක පැවසුවේ බ්‍රිතාන්‍යයේ මුදල් ඇමැතිධූරය දැරීමට අවශ්‍ය සියළු සුදුසුකම් තම ශිෂ්‍යයා සපුරා තිබූ බවයි. එයට වඩා ඉදිරියට ගිය ශ්‍රීමත් අයිවර් ජෙනින්ග් බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂ රජයක අගමැති ධූරය දැරීමට අවශ්‍ය සුදුසුකම් සියල්ල ආචාර්ය එන්.එම්. පෙරේරා සතු වූ බව කියා සිටියේ ය. ඔහුගේ දේශපාලන මතයන් පිළිගත්තද, නොගත්තද, එවැනි මට්ටමේ බුද්ධිමය දායකත්වයක් ශ්‍රී ලාංකීය සමාජයට දායාද කළ චරිතයක් නොමැති බව පිළිගත යුතුය.
සමගි පෙරමුණු රජයේ මුදල් ඇමැතිවරයා ලෙස ආචාර්ය එන්.එම්. පෙරේරා ක්‍රියාත්මක කළ මූල්‍ය ප්‍රතිපත්තිය සහ ක්‍රම උපායන් විවාදාත්මක විය. ඇමරිකාවේ කෝනේල් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රොබට් හිරින්ස් වසර 1987 දී ''Econmic Liberalisation Policies in Sri Lanka: International pressures, Constraints and Support'' නමින් Ecnomics and Political Weekly නමැති සඟරාවට ඉදිරිපත් කරන පත්‍රිකාවකින් කියා සිටින්නේ 1970-1975 කාලයේ සෝවියට් කඳවුර හැරුණු විට ලෝකයේ වඩාත්ම පාලිත සහ සීමාන්තික ආර්ථිකය පවත්වාගෙන යනු ලැබුවේ ශ්‍රී ලංකාවේ බවයි. 
ලඟ බලනවාට වඩා දුර බලන ආර්ථික ප්‍රතිපත්තියක් ආචාර්ය එන්.එම්.පෙරේරා අනුගමනය කළ ද ප්‍රායෝගිකව අසාර්ථක වීම් සහ සමගි පෙරමුණු රජයේ අනෙකුත් පාර්ශව වලින් මතු වූ විරෝධතා හේතුවෙන් ආර්ථික ඉලක්ක ජය ගැනීම දුෂ්කර විය. අවසානයේ ලංකා සම සමාජ පක්ෂය සමගි පෙරමුණු රජයෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගත්තේ ය. විපක්ෂයේ අසුන් ගත් ලසසප බණ්ඩාරනායක මැතිණියගේ රජය සහ ඇගේ පාලනය දැඩිව විවේචනය කිරීමට පටන් ගත් අතර පාර්ලිමේන්තු විවාදයන් හි දෙපාර්ශවය අතර තියුණු ගැටුම් නිතර දැකිය හැකි විය. 
වරෙක කතානායක ස්ටැන්ලි තිලකරත්න පාර්ලිමේන්තුවේ මූලාසනය ගෙන සිටි අවස්ථාවක ස්ථාවර නියෝග පිලිබඳ ප්‍රශ්නයක් මතුවිය. ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර තියුණු විවාදයක් සිදු වූ අතර කථානායකවරයා ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් විපක්ෂය සතුටට පත් නොවීය. ලසසප නායක ආචාර්ය එන්.එම්. පෙරේරා සහ කථානායක ස්ටැන්ලි තිලකරත්න අතර එම තීන්දුව පිළිබඳ තියුණු වචන හුවමාරුවක් සිදුවිය. එය උණුසුම් මට්ටමකට පත් වූ අවස්ථාවක ලසසප නායකයා ඉතා කෝපයෙන් යුතුව කථානායකවරයාට බැන වැදුනේය. තත්ත්වය පාලනය කර ගත නොහැකි වූ කතානායකවරයා පාර්ලිමේන්තු සභාවාරය තාවකාලිකව අත්හිටැවීය. 
ආචාර්ය එන්.එම්. පෙරේරාට වඩා කණිෂ්ඨ දේශපාලනඥයෙකු වූ කතානායක ස්ටැන්ලි තිලකරත්න අතර ඇති වූ තියුණු වාග් ප්‍රහාරයක නිමවන්නේ කෙසේද යන්න එදින පාර්ලිමේන්තු සභා ගැබේ සහ ගැලරියේ අසුන්ගෙන සිටි බොහෝ දෙනෙකු ඇස ගසාගෙන සිටියහ. විනාඩි 15 කට පසුව කතානායක ස්ටැන්ලි තිලකරත්න නැවත පාර්ලිමේන්තුව කැඳවීය. ඒ අවස්ථාවේ වහාම නැගී සිටි ආචාර්ය එන්.එම්. පෙරේරා තමා අතින් සිදු වූ වරදට කතානායකවරයාගෙන් සමාව ඉල්ලා සිටියේ ය. තමා භාවිතා කළ වචන මගින් පාර්ලිමේන්තු සම්ප්‍රදායට සහ එහි ගෞරවයට හානියක් සිදු වූයේ නම් ඒ ගැන කණගාටුව පළ කළ ආචාර්ය එන්.එම්. පෙරේරා “ඒ දවස් වල වගේ නොවෙයි. අපි දැන් වයසයි. ඉක්මනට තරහ යනවා“ යි සිය සුපුරුදු සිනහවෙන් යුතුව කතානායක වරයාට කියා සිටියේ ය. කතානායකවරයා එම සමාව ඉල්ලා සිටීම පිළිගත්තේ ය. 
පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට සහ එහි ස්ථාවර නියෝගයන්ට ආචාර්ය එන්.එම්. පෙරේරා ගරු කෙළේ එසේය. එම සම්ප්‍රදායන්ට නීති රාමුවට පයින් ගසා වීරයෙක් වීමට ඔහු උත්සාහ කෙළේ නැත. රටට ආදර්ශයක් දුන්නේ ය. මෙරට දේශපාලන ප්‍රවාහයට බුද්ධිමත් දායකත්වයක් ලබා දුන්නේ පැරණි ලංකා සමසමාජ පක්ෂය පමණි. ආචාර්ය එන්.එම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, හෙක්ටර් අබේවර්ධන, ඩෙරික් ද සූසා වැනි ලසසප නායකයන් මෙයට උදාහරණ වශයෙන් සඳහන් කළ හැකි ය. ඔවුන් කිසි දිනෙක සිය දේශපාලන මතවාදයන් ස්ථාවරයන් පටු ලාභ අපේක්ෂාවන්ට පාවා දුන්නේ නැත. වරින් වර වෙනස් කෙළේ ද නැත. 

එන්.එම් ද? කාලෝ ද?

ඉහත දීර්ඝ පූර්විකාව ඉදිරිපත් කිරීමට අපට සිදුවූයේ මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ වත්මන් ක්‍රියාකාරිත්වය විග්‍රහ කිරීමට ය. ලසසප තුන් වන පරම්පරාවේ සාමාජිකයෙකු වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා ලසසප ය නිසා කලක් බැබලුන චරිතයක් මිස ආචාර්ය එන්.එම් පෙරේරා, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මෙන් ලසසප ය බැබලවූ චරිතයක් නොවේ. කලක් ලසසප ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූවද ඔහුට සිය පක්ෂයේ නිර්මාතෘවරුන් ප්‍රදර්ශනය කළ අවංක භාවය, නිහතමානී භාවය, මෙන්ම සම්ප්‍රදායන්ට ගරු කිරීම වැනි ගුණාංග උකහා ගැනීමට නොහැකි වීම අවාසනාවකි. 
කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සේවය කළ මහාචාර්ය ෆොන්සේකා රාජ්‍ය විශ්ව විද්‍යාල සේවයෙන් ඉවත් වූ පසුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති වශයෙන් පත් විය. එම පත්වීම කරනුයේ සෞඛ්‍ය ඇමැතිවරයා විසිනි. වසර 2012 පළමුවරට ඔහු මෛත්‍රීපාල සිරිසේන හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා විසින් වෛද්‍ය සභාවට පත් කරන ලද අතර ඉන්පසුව දොස්තර රාජිත සේනාරත්න විනිස් නැවත වරක් මහාචාර්ය කාලෝ ෆොන්සේකා එම තනතුරට පත් කරන ලදී. 
‘සයිටම්‘ ආයතනය ආරම්භ කළ රාජපක්ෂ රෙජීමය සමයේ නිහඬව සිටි ඔහු ඉන්පසුව ‘සයිටම්‘ ආයතනයේ අධ්‍යාපන ප්‍රමිතිය ඉහල දැමීමට නොව එය විනාශ කිරීමේ අරමුණින් කටයුතු කළ බව පැහැදිලි ය. ‘සයිටම්‘ සිසුන්ට විදේශ වෛද්‍ය උපාධිධාරීන් පෙනී සිටින විභාගයට හෝ පෙනී සිටීමට අවස්ථාව ලබා දෙන ලෙසට උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ඉල්ලීම පවා ඔහු ප්‍රතික්ෂේප කෙළේය. අවසානයේ ‘සයිටම්‘ සිසුන් අභියාචනාධිකරණයේ නඩු පැවරීය. එම නඩු විභාගයේ කරුණු දැක්වීමට පැමිණි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මාධ්‍යයට කියා සිටියේ අධිකරණය කුමන තීන්දුවක් ලබා දුන්න ද තමන් ‘සයිටම්‘ සිසුන් වෛද්‍ය සභාවේ ලියා පදිංචි නොකරන බවයි. මෙය පැහැදිලිවම උද්ධච්ඡ සහ උසාවියට අපහාස කරන ප්‍රකාශයකි. අභියාචනාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ‘සයිටම්‘ සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙස ලිඛිත නියෝගයක් ලබා දුන්නේ ය. එපමණක් නොව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අපක්ෂපාතීත්වය පිලිබඳව ද තියුණු ලෙස ප්‍රශ්න කෙළේය. අවම වශයෙන් ශික්ෂණ රෝහලක් තබා පරිපාලන ගොඩනැගිල්ලක් හෝ නොමැතිව ආරම්භ කළ කොතලාවල ආරක්ෂක පීඨයේ වෛද්‍ය පීඨයේ “ඉහළ ප්‍රමිතිය“ වෛද්‍ය සභාව පිළිගැනීම ප්‍රශ්නකාරී යැයි නඩු තීන්දුවෙන් පෙන්වා දුන් අභියාචනාධිකරණය වෛද්‍ය සභාව ‘සයිටම්‘ ආයතනයට සහ කොතලාවල වෛද්‍ය පීඨයට වෙනස් හැඳි දෙකකින් සළකා ඇති බවට චෝදනා කෙළේය.

‘නීතිය බූරුවෙක්‘ කියා නඩු තීන්දුවක් කුණු කූඩයට දැමිය හැකිද?

‘සයිටම්‘ ආයතනය විනාශ කිරීම තම ඒකායන අරමුණ වුවද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා වශයෙන් මහාචාර්ය කාලෝ ෆොන්සේකා දැන් අභියාචනාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරමින් ‘සයිටම්‘ සිසුන් වෛද්‍ය සභාවේ ලියා පදිංචි කළ යුතුය. අභියාචනාධිකරණ තීරණය පිළිනොගන්නේ නම් ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළ යුතුය. එහෙත් කාලෝ ෆොන්සේකා මේ ක්‍රියාමාර්ග දෙකම නොසළකා හරිමින් අභියාචනාධිකරණ තීන්දුව කුණු කූඩයට දමා තිබේ. 
මෙය ඉතාම භයානක සහ නින්දිත තත්ත්වයකි. අභියාචනාධිකරණය යනු ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් දෙවැනි වන මෙරට ඉහළම අධිකරණය යි. එම අධිකරණ තීන්දුව ඉවත දමා ඇත්තේ මෙරට වෛද්‍යවරුන් ගේ විනය ප්‍රමිතිය නියාමනය කිරීමට ස්ථාපිත කර තිබෙන වසර සියයකට අධික ඉතිහාසයක් තිබෙන වෘත්තීයවේදී ආයතනයක සභාපතිවරයා ය. එම සභාපතිවරයා සමාජයේ කැපී පෙනෙන චරිතයකි. රූපවාහිනී ඇතුළු මාධ්‍යයන්හි පෙනී සිටිමින් සමාජය හරි මඟට ගෙන යෑමට උදේ සවස ‘බණ‘ දේශනා කරන සප්‍රමානික ‘උගතෙක්‘ වශයෙන් හඳුන්වා ගන්නා පුද්ගලයෙකි. එවැනි පුද්ගලයෙකු අභියාචනාධිකරණ තීන්දුවක් අමු අමුවේ උල්ලංඝනය කරමින් ‘නීතිය බූරුවෙකු‘ බවට චෝදනා කරන තත්ත්වයකට පත්ව තිබීම සමස්ථ සමාජයක් වශයෙන් අප මුහුණ දී තිබෙන ඛේදවාචකය පිළිබිඹු කරන්නකි. මෙම මහාචාර්යවරයා රටට ලබා දෙන පුර්වාදර්ශය නම් තමන්ට අහිතකර අධිකරණ තීන්දුවලට පයින් ගසා කිසිවක් නොවූ ආකාරයට සිටින ලෙසය. මෙය රටේ නීතියේ ආධිපත්‍යය බිඳ දමන භයානක ප්‍රවනතාවයකි. 
මහාචාර්ය කාලෝ ෆොන්සේකා වනාහී පසුගිය වනචර දශකයේ රාජපක්ෂ රෙජීමයට රෙදි නැතිව කඩේ ගිය චරිතයකි. ඔහු තවමත් සිතා සිටින්නේ රාජපක්ෂ රෙජීමය රට පාලනය කරනවා කියා විය යුතුය. ඒ වනචර දශකයේ රට තුළ නීතියේ ආධිපත්‍යයක් නොපැවති අතර අධිකරණ තීන්දු සකස් කෙළේ ජනාධිපති මන්දිරයෙනි. තමන්ට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ පවා නොසලකා හැරීමට ‘මහරජා‘ කටයුතු කෙළේය. මිල සූත්‍රය අනුව ඉන්ධන මිල පහල දමන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව නොසලකා හැරීම මෙයට එක් උදාහරණයක් පමණි. නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට ගිය අගවිනිසුරුවරිය ඉවත් කර ජනාධිපති මැදුරේ ඉඳුල් සෝදමින් සිටි ඇම්බැට්ටයෙක් ඒ තනතුරට පත් කෙළේය. ‘මහරජා‘ තමවත් සිතා සිටින්නේ සහ හැසිරෙන්නේ තමා රජා ලෙස සළකා ගෙන ය. රජාට රෙදි නැතිව කඩේ ගිය බොහෝ දෙනෙකු සිතා සිටින්නේ ද රජා තවමත් රට පාලනය කරනවා යැයි කියා ය. මහාචාර්ය කාලෝ ෆොන්සේකා ද මෙම මානසික ව්‍යාධියට ගොදුරු වූවෙකි. අභියාචනාධිකරණ තීන්දුවට පයින් ගසා කිසිවක් සිදු නොවූවා සේ සිටින්නේ එබැවිනි. ලංකා සමසමාජ පක්ෂයේ පසුකාලීන නායකයෙකු වශයෙන් සැළකෙන මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ මෙම සදාචාර විරෝධී හැසිරීම දකින ආචාර්ය එන්.එම්.පෙරේරා, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා සිය මිනී වළවල් තුල දඟලනවා නොඅනුමාන ය.

මහාචාරියාට මූණු දෙකයි..

මහාචාර්ය කාලෝ ෆොන්සේකා අද දැඩි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධයකින් පෙළුන ද වරෙක ඔහුද පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට සූදානමින් සිටි බව බොහෝ දෙනෙකුට අද මතක නැතිවා විය යුතුය. ඒ ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සේවයෙන් විශ්‍රාම ගිය ආසන්නයේ ය.  උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය (රාගම) ආරම්භ කරද්දී ඊට දැඩිව විරුද්ධ වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා එදා රට පුරා පැවැති රැස්වීම්හි ප්‍රධාන කථිකයෙකු විය. නමුත් විශ්‍රාම යෑමෙන් පසු තමන් ද පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට ගිය අවස්ථාවේදී තමන් එදා විරුද්ධ වූ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය පිලිබඳ ප්‍රශංසා මුඛයෙන් කථා කෙළේය. ( මෙහි පහතින් දැක්වෙන ඔහුගේ සම්මුඛ සාකච්ඡාව නැරඹීමෙන් ඒ බව තහවුරු කර ගත හැකිය)
තමන් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන්නට දත කද්දී වෛද්‍ය අධ්‍යාපනයේ රාජ්‍ය අංශයේ ඒකාධිකාරිය බිඳ දැමිය යුතු යැයි මහාචාර්ය කාලෝ කියා සිටී. 1981 දී පිහිටැවූ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය වසර දහයක කාලයේ දී වෛද්‍යවරුන් 85 ක් පමණ බිහිකළ බවත් ඔවුන් අද රට තුළ මෙන්ම පිටතත් ඉතා හොඳින් කටයුතු කරන බවත් ඔහු පෙන්වා දෙයි. එම වෛද්‍ය විද්‍යාලයෙන් බිහි වුණු වෛද්‍යවරුන් 100 ක් පමණ රාජ්‍ය විශ්ව විද්‍යාල වලින් බිහිවූවන්ට වඩා ඉහළින් සිටින බවද කාලෝ කියා සිටී. පෞද්ගලික අංශයට ඉතා දක්ෂ වෛද්‍යවරුන් බිහි කිරීමට හැකි බවත්, උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය එයට පැහැදිලි උදාහරණයක් බවත් කාලෝ පෙන්වා දෙයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලින් බිහිවන වෛද්‍යවරුන් ගේ ප්‍රමිතිය පහළ බවට මතු කරන චෝදනාවට එම සාකච්ඡාවේදී පිළිතුරු දෙන මහාචාර්ය කාලෝ ෆොන්සේකා එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන අතර සමහර කණ්ඩායම් වල පටු අරමුණු වලට රැවටුනු සිසුන් පිරිසක් එවැනි චෝදනා නැගුවද කිසිදු අධ්‍යාපන බලධාරියෙක් එවැනි ප්‍රකාශයක් කර නැති බවද පෙන්වා දෙයි. රාජ්‍ය අංශයෙන් බිහිවුණු පුද්ගලයෙකු වශයෙන් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් බිහිවුණු වෛද්‍යවරුන් කිසිවෙකුට දෙවැනි නොවන බව කිව හැකි යයි ඔහු සහතිකයක්ද ලබා දෙයි.
පෞද්ගලික වෛද්‍ය විශ්ව විද්‍යාල ලංකාවේ ස්ථාපිත කළ යුත්තේ මන්ද යන්නට මහාචාර්ය කාලෝ හේතු 4 ක් එහිදී ඉදිරිපත් කරයි.
1) ලංකාවේ ප්‍රමාණවත් වෛද්‍යවරුන් පිරිසක් නැත. ලංකාවේ ජනගහණයෙන් 100,000 කට සිටින්නේ වෛද්‍යවරුන් 55 යි. සංසන්දනය කිරීමේ දී බ්‍රිතාන්‍යයේ එය 220 කි. ඇමරිකාවේ 230 කි. ඕස්ට්‍රේලියාවේ 250 කි. ඉන්දියාවේ 60 කි. පකිස්ථානයේ 71 කි. අපට පහළින් සිටින්නේ භූතානය සහ නේපාලය පමණි. එබැවින් අපට තව වෛද්‍යවරු අවශ්‍යයි.
2) අපේ විශ්ව විද්‍යාලවලට සිසුන් තෝරා ගන්නේ දිස්ත්‍රික් කෝටා ක්‍රමයට ය. මේ ක්‍රමය මගින් බොහෝ දක්ෂ සිසුන් මග හැරී යයි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට ගොස් දක්ෂ වෛද්‍යවරුන් වූයේ ඔවුන් ය.
3) වෛද්‍ය අධ්‍යාපනයට විශාල ඉල්ලුමක් පවතී. වසරකට සිසුන් 200 කට අධික පිරිසක් විදේශ ගත වී වෛද්‍ය අධ්‍යාපනය ලබති. ඒ පිටව යන්නේ රටේ දැනුම හා මුදල් ය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කළ හොත් ඔවුන් මෙරට රැඳෙනු ඇත.
4) දේශීය සිසුන්ට අමතරව විදේශීය සිසුන් ආකර්ශනය කර ගැනීමට හැකිවේ. එය ජාතික අදායම ඉහළ යෑමටත් හොඳ පිටුවහලකි.

එන්.එම්. කොල්වින් මිනී වළ තුල දඟලති 

ශ්‍රී ලංකාව තුල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම වෙනුවෙන් මෙසේ කරුණු දක්වන්නේ ‘සයිටම්‘ ආයතනයේ සභාපති දොස්තර නෙවිල් ප්‍රනාන්දු නොවේ. මහාචාර්ය කාලෝ ෆොන්සේකා ය. ‘සයිටම්‘ ආයතනයට කිසිදු අවස්ථාවක් නොදී එය විනාශ කිරීමට කැස කවන්නේ අද මේ කාලෝ ය. ‘සයිටම්‘ ආයතනයේ අධ්‍යාපන ප්‍රමිතිය පහළ මට්ටමකට පවතී නම් එය ඉහළ දැමීමට ක්‍රම වේදයක් යෝජනා කරන්නේ නැතිව එය විනාශ කරන්නේ කවර අවශ්‍යතාවයකටද ? මෙය පටු අවස්ථාවාදය මිස අන් කුමක්ද ? මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ කන්නට ඕනෑ වූ විට කබරගොයා තලගොයා කර ගන්නා පටු අවස්ථාවදය දකිනා ආචාර්ය එන්.එම්.පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා ඇතුළු ලසසප අවංක නායකයන් සිය මිනී වළවල් තුල දඟලනවා නොඅනුමාන යැයි අප කීවේ එහෙයිනි. 

ආනුභාවනන්ද විසිනි

anubhawananda1@gmail.com
මේ හා සබැඳි ආනුභාවනන්දගේ ලිපි
අදාල වීඩියෝව පහතින් 

Comments