“ෆොන්සේකා හිරේ දැමූ බව කීවාම ඉන්දීය ඇමැතිවරයෙක් ඔළුවේ අත ගසා ගත්තා..“ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට කැළණිය එජාප සංවිධායක ධූරය පිරිනමමින් රනිල් කියයි
syndicated from lankaenews,
ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට එක්සත් ජාතික පක්ෂයේ කැලණිය ආසන සංවිධායක ධූරය අද පිරිනැමිණ. ඒ වෙනුවෙන් සිරිකොතදී පැවැති උත්සවයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ සරත් ෆොන්සේකා මහතා හිරේ දැමීම පිළිබඳව තමා නවදිල්ලි නුවරදී ඉන්දීය ඇමැතිවරයෙකු සමග පැවසූ විට ඒ ඇමැතිවරයා ඔලූවේ අතගසා ගත් බවත්, අපේ රටේ මෙවැනි දෙයක් කළා නම් ආණ්ඩුව කඩා වැටෙනවා යැයි ඔහු පැවසූ බවත් ය.
අගමැතිවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.
“ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයේ කැලණිය ආසනයේ සංවිධායක ලෙස අද (02) දින පත්වීම් ලබනවා. කැලණිය එක්සත් ජාතික පක්ෂයට විශේෂ ආසනයක් බව කිව යුතුයි. කැලණිය ආසනය නියෝජනය කළ පළමු මන්ත්‍රීතුමා වන්නේ ඩී.බී. ජයතිලක මහතායි. ඉන්පසුව ජේ.ආර්. ජයවර්ධන කැලණිය ආසනය නියෝජනය කළා. අනෙක් පක්ෂයෙන් ආර්.බී. සේනානායක කැලණිය නියෝජනය කළා. ඉන්පසුව ආර්.එස්. පෙරේරා අවසන් වශයෙන් සිරිල් මැතිව් කැලණිය නියෝජනය කළා.
එම කාලයේදී අපේ අය කැලණියට විශාල වැඩ කොටසක් සිදු කළා. කැලණියේ සංවිධායක ලෙස මමත් කාලයක් කටයුතු කළා. නමුත් ආසන වෙන් කළ පසුව මම බියගම තෝරා ගත්තා. සිරිල් මැතිව් මහතා කැලණිය සංවිධායක ලෙස වැඩ කළා. මේ ආසනයේ ජනතාවගේ ජීවන තත්ත්වය දියුණු කිරීමට අප වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒ සමගම එක්සත් ජාතික පක්ෂයේ සංවිධාන දියුණු කිරීම කෙරෙහි ද අවධානය යොමු කළ යුතුයි.
අප විපක්ෂයේ සිටි යුගයේදී පවා කැලණිය ආසනය ආරක්ෂා කිරීමට හැකි වුණා. කැලණියෙන් අප ඡන්ද ගණනාවක් ලබා ගත්තා. ඒ සඳහා මූලික වූ බෙවන් පෙරේරා මන්ත්‍රීතුමන්ට ස්තුතිවන්ත විය යුතුයි. එමෙන්ම ජෝජ් පෙරේරා පළාත් සභා මන්ත්‍රීතුමා එම ආසනය ජයග්‍රහණය කරවීම සඳහා කළ සේවය අප දන්නවා. ජෝන් අමරතුංග ඇමැතිතුමාත් සෑමවිටම මෙම ආසනය සඳහා සහයෝගයක් ලබාදුන්නා. රුවන් විජයවර්ධන මැතිතුමා සහය ලබාදුන්නා. දැන් අප කැලණියේ වගකීම සරත් ෆොන්සේකා මහතාට භාර දෙනවා. එතුමන් හමුදා ඥානය පාවිච්චි කොට මේ ආසනයේ සෑම ගෙදරක්ම සංවිධාන කරාවි යැයි අප බලාපොරොත්තු වනවා.
සරත් ෆොන්සේකා මහතා දේශපාලනයට පැමිණියේ අපේ පක්ෂයේත්, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු තවත් සංවිධාන රැසක ඉල්ලීම මතයි. ඒ අනුව ඔහු ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා බවට පත්වී තරග කළා. එම මැතිවරණයේදී සරත් ෆොන්සේකා මහතා වටා විශාල රැල්ලක් ඇති වේවි යැයි බය නිසා අවසන් කාලයේදී එම මැතිවරණය වෙනත් මගක ගමන් කළා. විශාල බලපෑම් සිදු වුණා. එක්නැලිගොඩ වැනි මාධ්‍යවේදීන් ඡන්ද කාලවකවානුවේදී අතුරුදන් වුණා. එම මැතිවරණය එවැනි බලපෑම් වූ මැතිවරණයක් බව කිව යුතුයි. එම සිද්ධි පිළිබඳව දැන් අප ක්‍රමක්‍රමයෙන් විභාග කරමින් සිටිනවා. කොතරම් ප්‍රශ්න තිබුණත් සරත් ෆොන්සේකා මහතා අවසානයේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වුණා.
අවසානයේ එතුමන් කාර්යාලයෙන් ඇදගෙන ගොස් හිරේ දැමුවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්රමුඛ රජය රණවිරුවන්ට සලකන්නේ නැතැයි රාජපක්ෂ රෙජිමය පවසන්නේ කුමන හේතුවක් නිසා දැයි මට නම් තේරෙන්නේ නැහැ. අප කිසිම රණවිරුවෙකු කකුලෙන් ඇදගෙන ගොස් හිරේ දැමුවේ නැහැ. වැරැදි තිබෙන අයට විරුද්ධව නඩු පවරනවා. සරත් ෆොන්සේකා මහතා හිරේ දැමීම පිළිබඳව මා නවදිල්ලි නුවරදී එහි ඇමැතිවරයෙකු සමග පැවසූ විට ඒ ඇමැතිවරයා ඔලූවේ අතගසා ගත්තා. අපේ රටේ මෙවැනි දෙයක් කළා නම් ආණ්ඩුව කඩා වැටෙනවා යැයි ඔහු මා සමග පැවසුවා. පෙර ආණ්ඩුව රණවිරුවන්ට සැලකුවේ ඒ ආකාරයටයි. ලංකාවේ දේශපාලන පළිගැනීමක් පිළිබඳව පෙන්වීමට අවශ්‍ය නම් හොඳම අවස්ථාව සරත් ෆොන්සේකාගෙන් කළ පළිගැනීමයි. නමුත් දැන් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා. එතුමන් පාර්ලිමේන්තුවට රැගෙනවිත් වගකීමක් භාර දෙන්න අපට අවශ්‍යතාවය තිබුණා. එය අපේ යුතුකමක්.
මෙරට යහපාලනයක් ඇති කිරීමට, තරුණයන්ගේ ප්‍රශ්න විසඳීමට සරත් ෆොන්සේකා මහතාට කැපවීමක් තිබෙනවා. සැබෑ යහපාලනයක් ලෙස අප දැන් ආණ්ඩුව ගෙන යනවා.“
Comments
Post a Comment