ලංකාවේ ධීවරයෝ දිනකට ටොන් 5 ක ප්ලාස්ටික් බෝතල් මුහුදට දානවා: මුහුදු යද්දී ප්ලාස්ටික් බෝතල් ගෙන යෑම අද සිට වහාම තහනම්..!
syndicated from lankaenews,
මසුන් ඇල්ලීම සඳහා දිනපතා ධීවර යාත්‍රා 50,000කට අධික ප්‍රමාණයක් මුහුදට යන අතර, ඔවුන් විසින් ජලය ගෙන යාම සඳහා යොදා ගන්නා ප්ලාස්ටික් බෝතල් ඇතුළු ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් 05ක පමණ ප්‍රමාණයක් දිනපතා මුහුදට බැහැර කරන බව, ධීවර හා ජලජ සසම්පත් සංවර්ධන අමාත්‍යාංශයට වාර්තා වී තිබේ.
අද (24) පෙරවරුවේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ දී පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී මේ බව හෙළි විය. මෙම ප්ලාස්ටික් බෝතල් ධීවරයින් විසින් මුහුදට බැහැර කිරීම නිසා මුහුදු පතුලේ තිබෙන කොරල්පර, ජලජ පැළෑටි, මසුන් මෙන්ම වෙනත් ජලජ ජීවීන්ට විශාල වශයෙන් හානි කරවන බව ධීවර අධ්යක්ෂ ජනරාල් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු දැනුම් දුන්නේය.
මෙහි දී අදහස් පළ කළ අමාත්‍යවරයා - පරිසරය සුරක්ෂිත කිරීම සඳහා පරිසර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශාල මෙහෙවරක් ඉටුකරන බැවින්, ඔහුගේ වැඩපිළිවෙලට සහයෝගය දැක්වීමක් වශයෙන් ධීවරයින් මුහුදු යන විට ජලය ගෙන යාම සඳහා භාවිතා කරන කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ සියළුම ප්ලාස්ටික් ජල බෝතල් මුහුදට ගෙන යාම තහනම් කරන ලෙස, දැනුම් දුන්නේය.
ධීවරයින් විසින් ජලය ගෙන යාම සඳහා ස්ථීර ජල භාජනයක් භාවිතා කළ යුතු අතර, ධීවර වරායන් වලින් බෝට්ටු පිටව යාමේ දී ඒවා දැඩි පරීක්ෂාවට ලක් කෙරේ. ඒ අනුව, ප්ලාස්ටික් බෝතල් රැගෙන යාම පාලනය කිරීමට පියවර ගන්නා අතර, සාගරය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම උපදෙස් ක්‍රියාත්මක කරන්න යැයි අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය. මීට අදාළ චක්‍ර ලේඛය සියළුම දිස්ත්‍රික් ධීවර අධ්යක්ෂ කාර්යාල සහ සහකාර ධීවර අධ්යක්ෂ කාර්යාල වෙත වහාම නිකුත් කරන ලෙස ඇමතිවරයා උපදෙස් දුන්නේය.
මෙම අවස්ථාවට ධීවර අමාත්‍යාංශයේ ලේකම් මංගලිකා අදිකාරී මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.
Comments
Post a Comment