වීර කාව්‍ය වලට වශී වීම හෙවත් බලයට ගෙනා බලවේග වලට පිටුපා සියතින්ම ගෙල සිඳගැනීම තුසිත හල්ලොලුව විසිනි

syndicated from lankaenews,



“කුමාර” මා ඉතා හොඳින් දන්නා උග්‍ර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකි. පසුගිය ජනාධිපතිවරණයට හා ඊටත් පෙර සිටම පාලන වෙනසක් සිදුකිරීම වෙනුවෙන් නිස්සරනාධ්‍යාශයෙන් යුතුව ඔහු මුළු ඇගෙන්ම කැපවී වැඩ කළේය. කුමාර යනු එම යහපාලන වෙනස වෙනුවෙන් අවංකවම කැප වූ ලක්ෂ සංඛයාත ජනතාවගේ එක් ප්‍රකාශනයක් පමනි. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහනය විජයග්‍රහනයක් කළේ එම නිහඬ බලවේගයයි. ජනවාරී 08 ජයග්‍රහනය ගැන ලියැවෙන “වීර කාව්‍ය” තුල කුමාරලාට තැනක් වටිනාකමක් ලබා දී නැතත් ඒ ගැන ඔවුන්ට වගක් නොමැත. ඔවුන් තවමත් යහපාලනය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීම කරති. දස වසරකට වඩා පැවති දුර්ධාන්ත පාලනය මුලිනුපුටා දමමින් ඔවුන් ඉර, හඳ, තාරකා ඉල්ලා සිටියේ නැත. දූෂණය, වංචාව, නාස්තිය, හොරකම පිටු දමමින් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වී යහපාලනය ඉස්මතු වනු දැකීම ඔවුන්ට තිබූ එකම අහිංසක අරමුණ විය.
පසුගිය දිනක කුමාරව මට මුණ ගැසුණි. එම හමුව සිදු වූයේ ජනවාරී 08 නිහඬ විප්ලවය සිදුවී සෑහෙන්න කලකට පසුවය.  “කොහොමද?” කියා මා ඇසූ විට ඔහු දුන් පිළිතුර සැර එකක් විය. “අපි නම් සර් තාමත් පණපිටින්, ඒත් අපේ කර පිටින් ගිහිං ලොකු පුටුවලට ගිය උං නම් ජීවත් වුනත් මළ මිනී වගෙයි” කියමින් ඔහු දිගු විස්තරයකට මුල පිරුවේය. දේශපාලනය පිළිබඳව ශාස්ත්‍රාලීය උගතෙකු නොවූවද කුමාරගේ ඒ විවේචනය පැහැදිලි තාර්කික පදනමක් තුළ ගොඩනැගී තිබුණි. ඔහුගේ විවේචනයට ලක් වූයේ ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා නොවේ. රජය තුළ සිටින ඉහළ නාමධාරී ඇමතිවරු ගණනාවකගේ ක්‍රියාකාරීත්වය ඔහු දැඩිව විවේචනය කළේ සිදුවීම් කිහිපයක්ද විස්තර කරමිනි. කෙසේ වෙතත් ඒ සියල්ලටම වඩා කුමාරගේ විවේචනය තුළ මා සිත් ගත් ප්‍රකාශය වූයේ “තමන්ව බලයට ගෙන ආ බලවේගයට පිටුපෑවොත් ඒක සියතින්ම ගෙල සිඳගැනීමක්” ය යනුවෙන් ඔහු කී කථාවටය. අතීත උදාහරණ කිහිපයක් ගෙන බලද්දී තමන් බලයට ගෙනා දේශපාලන බලවේගය රැකගැනීමේ ඇති වැදගත්කම කුමක්ද යන්න අවබෝධ කර ගැනීම අපහසු නැත.  

ජේආර් ගෙන් උගත යුතු පාඩම

දේශපාලනයේදී තමන්ව බලයට රැගෙන ආ බලවේගයේ විශ්වාසය අඛන්ඩව රැකගැනීම යනු ඕනෑම දේශපාලන නායකයෙකුට පහසු කටයුත්තක් නොවේ. බලය ලැබුණු පසු ඒකරාශි වන අවස්ථාවාදීන්, කෙටිකාලීන අරමුණු පෙරදැරි කරගෙන ලාභ සංතානයෙන් කටයුතු කරන්නන් හමුවේ “දේශපාලන පාරිශුද්ධතාව” රැක ගැනීම යනු අති දුෂ්කර අභ්‍යාසයකි. අප වැනි තුන් වන ලෝකයේ විශේෂයෙන්ම දේශපාලන සදාචාරය මැනවින් වර්ධනය නොවූ රටක එම අභියෝගය ජය ගැනීම අපහසු කටයුත්තක්මය.

විධායක ජනාධිපති ක්‍රමය මෙරටට හඳුන්වාදීමෙන් පසු බලයට පැමිණි ජනාධිපතිවරුන්ගේ ක්‍රියාකාරීත්වය ඇසුරින් තමන් බලයට රැගෙන ආ දේශපාලන බලවේගයට සැළකීම සම්බන්ධ කාරණය දෙස මදක් අවධානය යොමු කිරීම වැදගත්ය. ඒ පිළිබඳව කියවීමකදී කෙතරම් දේශපාලන විවේචන ඇතත් එම කාරණයට සාධාරණයක් ඉෂ්ඨ කළ එකම ජනාධිපතිවරයා ලෙස බැලූ බැල්මටම පෙනෙනුයේ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා පමණි. (මෙම කාරණයට අදාළව තවමත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබඳව අපට විනිශ්චයකට පැමිණිය නොහැක්කේ ඔහු තම ධූර කාලය ආරම්භ කර ඒ හැටි කාලයක් ගතව නොමැති බැවිනි.) වසර 12 ක් පුරා දිවුනු ජේ. ආර්. ජයවර්ධනගේ පාලන කාලය තුළ ඔහු නිරතුරුවම විශ්වාසය තැබුවේ දේශපාලන හිනිමගේ ඉහළට නැගීමට තමන්ට උදව් උපකාර කළ බලවේගය කෙරෙහිය. ජේ. ආර්. හැමවිටම එම බලවේගය ශක්තිමත් කිරීමට කටයුතු කළේය. ඔහු නිතරම තනතුරු පිරිනැමීමේදී ඔවුනට ප්‍රමුඛතාවය ලබාදීමට කටයුතු කළේය. රටේ තනතුරු ලබාදීමේදී පමණක් නොව පක්ෂයේ තනතුරු ලබාදීමේදී පවා ජේ. ආර්. තමන් බලයට ගෙන ඒමට කැපවූ කණ්ඩායමට ප්‍රමුඛතාව ලබාදෙන ලදී. නමුත් ඉන් පසුව බලයට පැමිනි ජනාධිපතිවරුන් ගත් විට එම තමන්ව බලයට රැගෙන ආ කණ්ඩායමට සැළකීම වෙනුවට කෙටිකාලීන, දුෂ්ඨ අරමුණු පෙරදැරිව ඔවුන් වටා ඒකරාශී වූ කණ්ඩායම් ශක්තිමත් කිරීමට කටයුතු කළ ආකාරයක් ඉතිහාසයේ දිගින් දිගටම අපට දක්නට ලැබේ. 

ප්‍රේමදාසට වැරදීම

ජනාධිපති ප්‍රේමදාසව බලයට රැගෙන  ඒමේදී විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ භීෂණය උපරිම තත්වයට පැමිණ තිබූ අති දුෂ්කර සමයක ඔහුව බලයට රැගෙනඒමට එක්සත් ජාතික පාක්ෂිකයන් තමන්ගේ ජිවිත පරිත්‍යාගයෙන් කැපවෙද්දී බලය ලැබුණු පසු ඔහු කටයුතු කළේ වෙනමම ආකාරකයකටය. ඔහු හැමවිටම මෙම පක්ෂයට පරිභාහිරව තමන්ට හිතවත් යැයි තමන් විශ්වාස කරන කණ්ඩායමක් ඉහළට රැගෙන ඒම වෙනුවෙන් කටයුතු කළේය. සුසිල් සිරිවර්ධන, ආර්. පාස්කරලිංගම් වැන්නන්ට පාලනතන්ත්‍රයේ ඉහළ වගකීම් ලබාදෙමින් ඔවුන්ට විශාල බලයක් ආරෝපනය කිරීමට ප්‍රේමදාස ජනාධිපතිවරයා කටයුතු කරන ලදී. මේ තත්වය තුළ ඔහුට දේශපාලන විවේචනයක් ප්‍රබල තෙරපුමක් එල්ල වු අතර පක්ෂ අභන්තරයෙන්ම ඔහුගේ පාලනය   “වන් මෑන් ෂෝ” එකක් ලෙස හඳුන්වන ලදී.  
එම තත්වයට එරෙහිව ප්‍රබල විවේචනයක් නිර්මානය වීමට වැඩිකලක් ගත වුයේ නැත. එහි කූටප්‍රාප්ති අවස්ථාව වූයේ 1991 දී ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණී දිසානායකයන්ගේ මූලිකත්වයෙන් දෝෂාභියෝග යෝජනාවක් කරලියට පැමිණීමය. එම අවස්ථාවේදී විශාල බෙදීමක් පක්ෂය තුළ නිර්මානය විය. ප්‍රේමදාස ජනාධිපතිවරයා දෝෂාභියෝග ක්‍රියාවලිය සමනය කර ගත් නමුත් එදා ඇති වූ බෙදීම එක්සත් ජාතික පක්ෂයට කළමනාකරනය කර ගැනීමට අද වන තුරු නොහැකි වී තිබෙන බව දේශපාලන විචාරකයන්ගේ අදහසයි. ඔහුගෙන් පසුව කෙටිකාලයකට බලයට පැමිණි ඩී. බී. විජේතුංග මහතා ද කළේ වංචනිකයන් පිරිසක් ලඟට ගෙන ඔවුන්ට සැළකීමය.

චන්ද්‍රිකාට වැරදීම

1994 අවුරුදු 17 බලයේ සිටි එක්සත් ජාතික පක්ෂ පාලනයට තිත තබමින් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියව පාලන බලයට රැගෙන ඒමේදී ඇය වටා සිවිල් සංවිධාන, ස්වාධීන බුද්ධිමතුන්, මාධ්‍ය ක්‍රියාකාරීන් ගණනාවක් එකතුවීම සිදුවිණි. නමුත් වැඩි කාලයක් නොගෙන ඇයද එක්තරා කල්ලියක් සමග මෙම රට පාලනය කිරීම ඇරඹුවාය. සනත් ගුණතිලක වැන්නන්ට රජයේ මාධ්‍ය හැසිරවීමට බලය ලබා දීම සම්බන්ධයෙන් ඇයට මුල සිටම සහය දැක්වූ මාධ්‍ය හිතවතුන්ගෙන් විවේචන එල්ල වූ අතර එම කාරණය මුල් කරගෙන එම කොටස් ඇයගෙන් ගිලිහුනාට ඒ වෙනුවට ඇයට සමීපවූයේ වෙනමම මිත්‍ර සංගමයකි. එම කණ්ඩායමට පාලන තන්ත්‍රයේ වැදගත් බලතල හිමිවිය. රොනී පීරිස්, හරීන් පීරිස්, සනත් ගුණතිලක යන්නන් ඊට උදාහරණය. එම තත්වය පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වසර ගණනාවක ඉතිහාසයක් සහිත සාම්ප්‍රදායික නායකයන් තුල විශාල කලකිරීමක් නිර්මාණය විණි. තමන් කැපකිරීම් කර නායකයෙකු බලයට ගෙන ආ මුත් ඇය කටයුතු කරනුයේ තමන් මතයට තැනක් නොදෙමින්, තමන්ව කොන් කරමින් යන හැඟීම එම පිරිසට දැනෙන්නට විය. මේ තත්වය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළත් විවිධ බෙදීම් ඇති වූ අතර ඇතැමුන් එක්සත් ජාතික පක්ෂයට එකතු විය. 

මහින්දට වැරදීම

අනතුරුව බලයට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා ද තමන්ව බලයට ගෙනා බලවේගය වෙනුවට වෙනමම කණ්ඩායමකට විශේෂ සැළකිලි දක්වන්නට විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ දිගු ඉතිහාසයක් තිබූ නායකයන් වෙනුවට ඔහුගේ පාලන කාලය තුළ එක්සත් ජාතික පක්ෂයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට එකතු වූ පුද්ගලයන්ට ඉහළ තනතුරු හිමි වූ අතර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පැවති සමයේ නියෝජ්‍ය ඇමතිවරුවන් සිටිවූවන්ට ඇමති ධූර පවා ලබාදීමට ඔහු නිර්ලෝභී විය.  
සැබැවින්ම ඔහුගේ අවුරුදු 09 පාලන කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවට නිරතුරුවම උත්සාහ ගත්තේ රාජපක්ෂ සන්නාමය ප්‍රවර්ධනය කිරීමටය. ඔහු එකම මැතිවරණයකටවත් “අත” ලකුණින් තරඟ නොකළේය. එක්සත් ජාතික පක්ෂයෙන් කරනම් ගැසූ පුද්ගලයන්ට අතදිග හැර සැළකුවේය. පක්ෂයේ ජෙෂ්ඨ නායකයන්ට ජෙෂ්ඨ තනතුරු ලබා දෙන බව කියමින් පසෙකට දමන ලදී. ඒ. එච්. එම්. ෆවුසි, රත්නසිරි වික්‍රමනායක  වැනි ශ්‍රී ලංකා නිදහස් පක්ශය තුළ තාර්කික ඉතිහාසයක් ඇති නායකයින් පසුවට දැමූ මහින්ද වැඩි විශ්වාසයක් තැබුවේ එක්සත් ජාතික පක්ෂයේ සිට තමන් වෙත පැමිණි අළුත් මිත්‍රයන් කෙරෙහිය. පාලන තන්ත්‍රයේ වැදගත් බලතල හිමිවූයේ අළුතින් ඔහු වෙත පැමිණි මිත්‍රයන් වෙතය. රනිල් වික්‍රමසිංහ මහතාගේ  පාලන කාලයේ සාමාන්‍ය ඇමති ධූරයක් දැරූ රෝහිත බෝගොල්ලාගම විදේශ ඇමති ධූරය පිරිනැමීමට තරම් මහින්ද ත්‍යාගශීලී විය. ජී. එල්. පීරිස්, මහින්ද සමරසිංහ, එම්. එච්. මොහොමඩ්, ගාමිණි ලොකුගේ, මිලින්ද මොරගොඩ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, පී. දයාරත්න, ධර්මදාස බණ්ඩා, රාජිත සේනාරත්න, බන්දුල ගුණවර්ධන, දුමින්ද සිල්වා, හේමකුමාර නානායක්කාර, සජින් ද වාස් ගුණවර්ධන වැනි එක්සත් ජාතික පක්ෂ කරනම් ගැසුවන්ට ලොකු ලොකු වගකීම් හිමිවෙත්ම 2005 මහින්දව ජනාධිපති පුටුවට රැගෙන ආ බලවේගයන්ට ඉතිරි වූයේ සුසුම් ලෑම පමණි. මහින්ද දේශපාලනිකව කෙතරම් ගුණමකු පුද්ගලයෙකුද යන්න ඔහු මෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දීර්ඝ ඉතිහාසයක් සහිත නායකයන්ට සැලකූ ආකාරයෙන් පෙනෙන්නට විය. අමතක නොකළ යුතු තවත් වැදගත් කරුණක් වනුයේ කරුණා අම්මාන් නැමැති කලක් ප්‍රභාකරන්ගේ දෙවැනියා වූ පුද්ගලයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය සභාපති තනතුර පිරිනමමින් නියෝජ්‍ය ඇමති ධූරයක් ද පිරිනැමීමය.
එක්සත් ජාතික පක්ෂයෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූවන් රජය තුළ පිළිගැනීමක් ලබා දීමට සමාන්තරව  ඔවුනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධූර පිලිගන්වමින් දේශපාලනිකවද ශක්තිමත් කිරීමට කටයුතු කළේය. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, බෙනට් කුරේ, චන්දන කතිආරච්චි, එදිරිවීර වීරවර්ධන, ගාමිණී තිලකසිරි, රංජිත් සෝමවංශ වැනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ දීර්ඝ ඉතිහාසයක් ඇති පුද්ගල චරිත ගණනාවකටම මේ නිසා පියවර ගණනාවක් පසුපසට යාමට සිදු විණි. 

වලට වැටීම මොළයට ලාභයකි

ඉතිහාසය දිගහැරී ඇත්තේ මේ ආකාරයටයි. මේ මොහොතේ චීන ප්‍රස්ථා පිරුලක් සිහි වේ. එය නම්, “වලට වැටීම මොළයට ලාභයක් වේ” යනුවෙන් එහි කියවෙයි. වත්මන් ජනාධිපතිවරයා එම යථාර්ථය අවබෝධ කර ගැනීම වැදගත්ය.
මෛත්‍රීපාල සිරිසේන මහතාටත් අද යම් යම් විවේචන එල්ල වේ. ඔහු තමන්ව බලයට රැගෙන ආ කණ්ඩායමට, කණ්ඩායමේ මතයට එරෙහිව කටයුතු කරනවා කියාය. නමුත් මා එම කාරණය ඒ ආකාරයෙන්ම භාරගැනීමට සූදානම් නැත. මෛත්‍රීපාල සිරිසේන මහතා යනු භෞතික තලයේ දේශපාලනඥයකි. ඔහුට මහජනතාවගේ හදගැස්ම මෙන්ම කටගැස්ම පිළිබඳවද ඔහුට හොඳ අවබෝධයක් තිබේ. කළ නොකළ යුතු දෑ පිළිබද හොඳ අවබෝධයක් ඇත. ඔහු වටා ද අද වන විට විවිධ දුෂ්ඨ බලවේග ඒකරාශී වෙමින් පවතින බව සැබෑවකි. ඒ පිළිබඳව නිසි තක්සේරුවක්, විවේචනයක් සිදු කරමින් අප මේ මොහොතේ කළ යුත්තේ ඒ බලවේගයට මෛත්‍රීපාල සිරිසේන මහතාට ලඟාවීමට ඇති හැකියාවන් අඩු කිරීමය. නැති කිරීමය. එලෙස නැති කිරීම තුළින් අපට පසු ගිය ජනාධිපතිවරණ අවස්ථාවේදී අප බලාපොරොත්තු වූ ඒ සිහිනවලට, ඒ ඉලක්කවලට යා හැකි බව තවදුරටත් දැඩි විශ්වාසයක් මට ඇත. 

-තුසිත හල්ලොලුව විසිනි-

Comments