හේරත්ගේ දඟපන්දුව හමුවේ කැන්ගරුවො අසරණ වෙති

syndicated from lankanewsweb,

හේරත්ගේ දඟපන්දුව හමුවේ කැන්ගරුවො අසරණ වෙති

ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයේදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට අංක එකේ ශ්‍රී ලංකා පන්දුයවන්නා වන රංගන හේරත් සමත් විය. 
ඕස්ට්‍රේලියානු ඉනිමේ 25 වැනි පන්දු වාරයේ සිව්වැනි පන්දුවේදී ඇඩම් වොජස් දිමුත් කරුණාරත්න අතට උඩපන්දුවක් ලබාදෙමින් දැවී ගියේය. ඉන් අනතුරුව පිටියට පිවිසි පීටර් නෙවිල් එම ඕවරයේ පස්වැනි පන්දුවේදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවී ගිය අතර ඉන් පසු පිටියට පිවිසියේ ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 05 ක් දවාගත් මිචෙල් ස්ටාර්ක්ය. ස්ටාර්ක් ද පළමු පන්දුවේදීම කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවී ගියේ හේරත්ට සිය පළමු කඩුලු ත්‍රිත්වය හිමිකර දෙමිනි.
 
හේරත්ට පෙර ටෙස්ට් කඩුලු ත්‍රිත්වයක් ලබාසිටි එකම ශ්‍රී ලාංකික පන්දු යවන්නා වූයේ නුවන් සොයිසාය.
 
හේරත් හමුවේ අසරණව සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායම මේ වනවිට කඩුලු 08 ක් දැවී ලකුණු 88 ක් ලබාගෙන සිටී. ඔවුන් තවමත් ලකුණු 182 ක් පිටුපසින් සිටී.
 
රංගන හේරත් කඩුලු 04 ක් සහ දිල්රුවන් පෙරේරා කඩුලු 03 ක් බිඳහෙලා තිබේ.
 
ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 281 ක් ලබා ගත්තේය. පළමු තරගයේ ශතකයක් ලබාගත් කුසල් මෙන්ඩිස් ලකුණු 86 කට දැවීගිය අතර මැතිව්ස් ලකුණු 54 ක් සහ කුසල් පෙරේරා ලකුණු 49 ක් ලබා ගත්තේය.
 
පන්දු යැවීමේදී සාර්ථක වූ මිචෙල් ස්ටාර්ක් කඩුලු 05 ක් දවා ගත්තේය.

Comments