syndicated from lankaenews,
පසුගිය කාලයේ සාම ක්‍රියාවලියක් ක්‍රියාත්මක වූ යුගයේදී ත්‍රිකුණාමලයේ ත්‍රීවීල් සංගමයකට මුවා වී ගෝඨාභය රාජපක්ෂගේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් හෙන්දාවිතාරණ නමැති කුප්‍රකට අච්චාරුවා විසින් ත්‍රිකුණාමලයේ බලහත්කාරයෙන් බුදු පිළිමයක් ස්ථාපිත කිරීමට ගොස් ජනවාර්ගික ගැටුමක් ඇවිලුවා හා සමානව මෙකල ද කිලිනොච්චිය, ඉරණමඩු, කනකඅම්බිගෙයි අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජක වරයාගේ නිවස ඉදිරිපිට යුද හමුදාව විසින් බෞද්ධ මන්දිරයක් ඉදිකිරීමට යෑම නිසා ජනවාර්ගික නොසන්සුන් තාවයක් ඇති වී තිබේ.
මෙම ඉදිකිරීම නවතා දැමිය යුතු යැයි උතුරු පළාත් සභාව පසුගිය 16 වෙනිදා යෝජනාවක් සම්මත කර ගැනීමෙන් පසු දකුණේ සිටින රාජපක්ෂවාදී අන්තවාදීන් ‘බෞද්ධයාට රටේ ඕනෑම තැනක බුදු මැදුරු හැදිය හැකි ය‘ යි කියමින් ඝෝෂා නැගීම ආරම්භ කර තිබේ.
එම කතාවට අප ද එකඟය. බෞද්ධයාට රටේ ඕනෑම තැනෙක බුදු මැදුරු හදා ගැනීමට අයිතිය තිබිය යුතුය. හින්දුවාටද රටේ ඕනෑම තැනෙක කෝවිල් හදා ගැනීමටත්, මුසල්මානුවටද රටේ ඕනෑම තැනෙක පල්ලි හදා ගැනීමටත් අයිතිය තිබිය යුතුය.
නමුත් මෙතැන ප්රශ්නය වන්නේ ඉරණමඩු ප්‍රධාන හින්දු කෝවිලේ පූසාරිගේ නිවස ඉදිරිපිට හදන බුදු මැදුර යුද හමුදාව විසින් හැදීමය.මෙය ඉරණමඩු ප්‍රදේශයේ බොද්ධයන් විසින් හදනවා නම් කම් නැත. නමුත් ඒ ප්‍රදේශයේ බෙහෙතකට සොයා ගැනීමට එකදු බෞද්ධයෙක් නැත. එබැවින් මෙය පැහැදිලිවම යුද හමුදා බලය යොදා අන් ආගමික ජන කොටසක් කුපිත කරවීමකි. මේ හදන්නේ ඒ ප්‍රදේශයේ ජනතාවට වෛරාරාමයකි, ක්රෝධාරාමයකි.
එකදු බෞද්ධයෙක් හෝ නොමැති පළාතක යුද හමුදාව විසින් මේ කුමන්ත්‍රණ බුදු මැදුර හදන්නේ නිකං ද නොවේ. කිලිනොච්චිය, ඉරණමඩු, කනකඅම්බිගෙයි අම්මාන් කෝවිලට අයත් ඉඩම් අක්කර හතරක ප්‍රමාණයක්ද බලහත්කාරයෙන් යුද හමුදාවට පවරා ගැනීමෙන් පසුව ය.
මෙය ඉතාමත් නීච ආගමික බලහත්කාරයකි. බුදු රජාණන් වහන්සේ ජීවත්ව සිටියා නම් තම දර්ශනයේ නාමයෙන් සිදුකරන මෙවැනි නීච බලහත්කාරකම් දැක යලිදු කළකිරී පාරිලෙයිය වනයන් දහයක් සොයා වඩිනු නිසැක ය.
යුද හමුදාව මීට සමගාමීව ගලගොඩ අත්තේ ඥානසාරගේ කුටිය ඉදිරිපිට හෝ බෙංගමුවේ නාලකගේ කුටිය ඉදිරිපිට ඔවුන්ගේ පන්සල් වලට අයත් ඉඩම් පවරාගෙන කෝවිලුත් හදනවා නම් හමුදා බලය යොදා බලහත්කාරයෙන් හෝ ආගමික සහජීවනයක් හදන්න යනවා යැයි කිව හැකිය. නමුත් එවැන්නක් ද නැත.
එදා අශෝක අධිරාජයා ලංකාවේ බුදු දහම ස්ථාපනය කිරීම සඳහා තම එකම පුත්‍රයා මහණ කරවා රහත් වූ පසු තවත් රහතුන් වහන්සේලා පිරිසක් සමග එවා ලංකාවේ රජු පියතිස්සට බණ කීවා විනා අධිරාජයාගේ හමුදා ඛන්ඩයක් එවා මිහින්තලේ බලහත්කාරයෙන් පන්සලක් හැදුවේ නැති බව මේ ගොන් වැඩ කරන ‘මහා බෞද්ධයෝ‘ මතක තබා ගත යුතුය. ශ්රාවකයින් බිහි වීමෙන් පසු ඔවුන් විසින් පන්සල් හදා ගත්තේය.
රටක හමුදාව යනු අනාගමික රාජ්‍ය සංස්ථාවකි. එය තිබෙන්නේ පන්සල් කෝවිල් පල්ලි හදමින් යෑමට නොවේ. කිසියම් ජාතික ආපදාවකදී යම් පූජ්‍ය ස්ථානයක් විනාශ වීම නිසා හමුදාව මැදිහත් වී එය යලි හදනවා නම් කම් නැත. මෙය එවැනි තත්ත්වයක් නොවේ. මෙය පැහැදිලිවම අප පෙර කී ලෙසම ත්‍රිකුණාමලයේ දී එදා කළා සේම අද ජනවාර්ගික නොසන්සුන්තාවයක් ඇති කිරීමෙහි ලා හමුදාව තුල තවමත් හොල්මන් කරන ගෝඨාභයලාගේ හෙන්දාවිතාරණලාගේ අවතාර විසින් සිදුකරන රට අච්චාරු දැමීමේ කුමන්ත්රණයකි.
මේ අමන තීන්දුවට වගකිව යුත්තේ පසුගිය ගෝඨාභය රාජපක්ෂ යුගයේ නිලධාරීන් වුවද දැන් හමුදාවට අණ දෙන්නේ රටේ සේනාධිනායකයා වන යහපාලන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ය. රටේ කිසිදු ජන කොට්ඨාශයකට හිත් වේදනා ගෙන නොදීමේ සහ කුපිත නොකිරීමේ වගකීම ඔහු සතුය. මේ කුමන්ත්‍රණ දඩමීමා කරගෙන ජඩමාධ්‍ය විසින් උතුරේත් දකුණේත් අන්තවාදී මීමුන් කුලප්පු කිරීම නතර කිරීමටද ඔහු වග බලා ගත යුතුය. ඔහු නිවැරදි තීන්දු ගන්නේ නම් යහජීවනප්රේමී ජනතාව ඔහුගේ උදව්වට පෙරට එනු ඇත.
Comments
Post a Comment