මතකයෙන් ගිලිහී ගිය සැබෑ විමුක්තිකාමියා 'තිලීපන්'

syndicated from lankanewsweb,

මතකයෙන් ගිලිහී ගිය සැබෑ විමුක්තිකාමියා 'තිලීපන්'

උතුරේ ජනයාට විමුක්තිකාමියා දකුණට ත්‍රස්තවාදීයෙකු වූ දකුණේ විමුක්තිකාමියා උතුරට ත්‍රස්තවාදීයෙකු වූ අඳුරු කාලයක සිට අප වර්තමාන ලෝකයට පා නගා ඇත. එහෙත් මොහොතකට සිතුවොත් වර්තමානයේද ඇතැම් තැන් අතීත කලු පැල්ලම් මතින් බිහිව ඇති වග ඔබට වැටහෙනු ඇත.
තිලීපන් යන නාමය මතක් වූ විගස බෝ අයට මතකයට එන්නේ එල්ටීටීඊ සංවිධානයයි. මතුපිටින් අත ගා කොස් පොලොස් තෝරනා සමාජ මානසිකත්වය තුළ එය සාධාරණය. එල්ටීටීඊ සංවිධානය ආයුධ ගැනීම සහ එහි නැගී සිටීම 1988 වර්ෂය වෙනතාක්ම සාදාරණය. එහෙත් සියයට සියයක්ම නොවෙනා වග මතකයට ගත යුතුය. එසේම එල්ටීටීඊ වැනි විශාල හා සංවිධානගත සංවිධානයක් තනි ප්‍රබාකරන් කෙනෙකුට බිහිකිරීමටද නොහැකිය.
 
එකල සිංහල, ද්‍රවිඩ අමණ පාලකයන්ගේ දේශපාලන තුරුම්පුවලට හසුව ජාතිවාදය කරපින්නා ගත් මිනිසුන් එකම රටේ දෙපැත්තට බෙදිණි. එම බෙදීම 2009.05.18 න් අවසන් වූවායැයි අයෙකු කියයි නම් එය නියතයෙන්ම මුලාවකි. මෙම ඉතිහාසය තුල එල්ටීටීඊය හෝ ද්‍රවිඩ ජනයා සහමුලින්ම සාධාරණය වී සිංහලයා අසාධාරණ වනවාද ? නැත. ශ්‍රීලංකාවේ ජනවාර්ගික අර්බුදය පටන් ගත් දින සිටම අවසාන දින තෙක්ම පැහැදිලි මනසකින් එය පරීක්ෂණයකට භාජනය කළහොත් සිංහල සහ ද්‍රවිඩ ජාතිවාදීන්ගේ මූලිකත්වයෙන් රෝපනය කලා වූ විනාශකාරී පැලය බෙදුම්වාදී සන්නද්ධ අරගලයයි.
 
එල්ටීටීඊ සංවිධානය යනු වෙනත් රටකින් පැමිණි මිනිසුන්ගෙන් නොව අපේම රටේ තවත් එක් ජනකොටසකින් සැදුම් ලද සංවිධානයකි. එය අප සිතනා පරිදි පණු අමාරුවට අවිගත් සංවිධානයක් නොවේ. ඉතා දිගු පැටලැවිල්ලක අවසානයකි. මිනිසුන් තම ගැටලුවලට දේශපාලනිකව විසඳුම් නොවූ තැන සන්නද්ධ විසඳුම් සොයති. එදා උතුරේ දේශපාලකයන් දෙමළාගේ ඡන්දය හිඟා කා දකුණේ සැප පුටුවල විස්කි බිව්වෝය. ඒ අතරම ද්‍රවිඩ ජනයාගේ හිසට ජාතිවාදය එන්නත් කලේ නුඹලාට වෙනම දේශයක් අවශ්‍යයි කියමිනි. සිංහල පාලකයාද එයට නොදෙවෙනි විය.
 
අවසානයේ දේශපාලනිකව විසඳුම් නොවූ තැන සන්නද්ධ අවි නැගෙනහිරින් එසවුනේය. ඒ අතරම එම අරගලය සන්නද්ධවම විසඳිය නොහැකි වග තේරුම් ගත් මිනිසුන් සිටියේය. තමිලනී ජෙයකුමාරන්ට එය වැටහුනේ එල්ටීටීඊය යුද්ධය අතින් පරාජය වූවාට පසුය. එහෙත් අප අද කතාකරන තිලීපන් එය වටහා ගත්තේ එල්ටීටීඊයේ මුල් අවදියේදීය. තිලීපන් ගැන සටහනකට මග පෑදුවේද මෙම අසහාය මිනිසාගේ ක්‍රියාකලාපය නිසාම වග මතක් කල යුතුමය.
 
තිලීපන් යාපනය වඩුක්කොඩෙයිහි උපත ලබන්නේ 1963 නොවැම්බර් 29 වනදාය. ඔහු වියලි කලාපීය ගොවි පවුලක එකම සමාජිකයාය. කුඩාකල සිටම අධ්‍යාපනයට මහගු දස්කම් පෑ තිලීපන් වඩුක්කොඩෙයි ද්‍රවිඩ පාසලෙන් අධ්‍යාපනය ලබා, යාපනය විශ්වවිද්‍යාලයට තේරී පත් විණි.
 
80 දශකය වනවිට තිලීපන් තරුණයෙකි. එකල ඉහත කී පාලකයන්ගේ නරුම පොරොන්දුවලට රැවටී මිරිකී සිටි උතුරේ ද්‍රවිඩ ජනතාව කෙරේ තිලීපන් දැක්වූ සානුකම්පිතභාවය ඔහු ගේ අරගලය තුළ මැනවින් ඔප් නැංවේ. අධ්‍යාපන ප්‍රමිතිකරණ පනතට එකහෙලා විරුද්ධ වූ ඔහු විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයෙන් එලියට ඔහුගේ හඬ අවදි කලේය. ජනතාවනි, පාලකයන්ගේ අවියට බිය නොවන්න, අයිතිය වෙනුවෙන් පෙරට එන්න යනුවෙන් එදා බැරලයක් උඩ සිට කෑ ගැසූ මෙම තරුණයා දිනෙක ජනතා හදවත් තුළ සදාකාලික ජීවනාලියක් වන බව කවරෙකු වත් නොසිතන්නට ඇත.
 
පසුකලෙක රජය මගින් ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කොට අසල්වැසි ඉන්දියානු අධිරාජ්‍යවාදයේ කොලණියක් බවට ලංකාදීපය පත් කරන විට සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් දෑහිතකාමීන් එයට විරුද්ධ විය. ඒ සඳහා ජාති වර්ග බෙදීමක් නොවීය. ඒ වනවිට තිලීපන් යනු උතුරේ අරගලයේ දිදුලන නාමයක් විය. "අපට සිංහල මිනිහා එක්ක ගැටලුවක් නෑ අපට වෙඩි තියන සිංහල හමුදාව එක්කත් ගැටලුවක් නෑ. අපට ගැටලුව තියෙන්නේ දේශපාලකයා එක්ක... " ඔහුගේ මතය ඉතා වේගයෙන් උතුරුකරයේ පැතිර ගියේය. දහස්ගණන් ශිෂ්‍යයන් ඔහුගේ මාවතේ ඇදෙන්නට විය. කෙටියෙන්ම තිලීපන් යන නාමය ද්‍රවිඩ හදවත් පැහැරගත්තේය. 83 කලු ජූලිය මොහොතේ ප්‍රබාකරන්ට විශේෂ නියෝගයක් සහ නිවේදනයක් ලබා දෙන්නේය. දකුණට දෙමලා නැතිනම් උතුරටද සිංහලයා නැතිය. එහෙත් තිලීපන් තරුණ වියේදීම ලිපියකින් ප්‍රබාකරන් ඇමතුවේය. දකුණද උතුරද ගිනි ගත්තේ නම් අපද එය අතර සිරවූ මිනිසුන් පමණි. මෙකී ලිපිය තිලීපන් හමුවීමට යාමට තරම් ප්‍රබාකරන්ට විශේෂ විය. ඉන්දු ලංකා ගිවිසුම එපා යැයි උතුරින් හා දකුණින් මහා හඬ නැගෙත්දී පාලකයන් එම ජනතා විරෝධය කසල බඳුනකට දමමින් ගිවිසුම අත්සන් කලේය.
 
1987 එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ ඉන්දියානු අගමැති රජිව් ගාන්ධි අතර ඇති වූ මෙම ගිවිසුම මගින් පැය හතලිස් දෙකක් ඇතුලත ලංකා ආරක්ෂක අංශ උතුරින් ඉවත් වූ අතර ඉන්දියානු ආරක්ෂක අංශ උතුර වෙලා ගත්හ. අසරණ පීඩිත ද්‍රවිඩ කාන්තාවන් අමු අමුවේ දූෂණය කොට දමමින් ඔවුන් උතුරේ ද්‍රවිඩ ජනයාට වෙනම රාජ්‍යයක සිහිනය වක්‍රාකාරයෙන් ලබා දෙමින් සිටියේය. 'අපෙන් නිදහස් වෙන්න නම් උඹලා සිංහල හමුදාව පරාජය කරපල්ලා' යන්න ද්‍රවිඩ සිත් තුල කිඳා බස්සවමින් කළ අමන ක්‍රියාපටිපාටිය එකල එල්ටීටීඊය සහ ද්‍රවිඩ ජනයාව නොමග යවන්නට නොහැකි විය.
 
ඒ අනුව ඉංදියානු හමුදාවට එරෙහිව ද්‍රවිඩ විමුක්තිකාමීන්ගේ සටනක් දියත් කරන්නට පටන් ගත් හ. එහෙත් තම මතයෙන් පිට නොගිය තිලීපන් 1987 සැප්තැම්බර් 15 වනදා යාපනය නල්ලුර් කන්දසාමි කෝවිල අසල මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය. ජල පොදක්වත් නොමැතිව ඔහු ආරම්භ කළ උපවාසය නැවැත්වීමට නම් වහාම ඉන්දු-ලංකා ගිවිසුම හකුලා ගතයුතු බව ඔහු රජයට බල කලේය. එහෙත් නිසි දේශපාලන විසඳුමක් නොවූ මරි මෝඩ රජයට ඉන්දියාවේ පා අසළ දණනැවීමට මිස එය හකුලා ගැනීමට තරම් කොන්දක් නොවීය. 
 
1987 සැප්තැම්බර්  20 වනදා තිලීපන් අවසාන වතාවට ජාතිය අමතන්නේය. "සහෝදරවරුනි, තවත් ටික දිනකින් මා මියෙනු ඇත. එහෙත් නුඹලාගේ අයිතිය වෙනුවෙන් සටන් කරන දහස් ගණනක විමුක්තිකාමීන්ගේ උපත මාගේ මරණය සමගම සිදුවනු ඇත...." 1987 සැප්තැම්බර් 26 වනදා දක්වා පුරා දින දොළහක් ආහාර සහ ජලය නොමැතිව සිටීම හේතුවෙන් ඒ අපූරු විමුක්තිකාමියා - ගාන්ධිවරයා - සදහටම නෙත් පියාගන්නේ මුලුමහත් පීඩිත ජනතාවගේම දෑස කඳුලින් තෙත් කරමිනි. ඉන්පසු එල්ටීටීඊයට අවිහිංසාවාදී ගමනක පාවඩ එලන්නට කිසිවෙකු නොසිටියේය. හේතුව ඒ වනවිට සියලු ජනතාව ජාතිවාදයෙන් අන්දව සිටීමය.
 
2010 වන වසරේ යාපනයේ තිලීපන් ස්මාරකය ගලවා ඉවත් කිරීමට එවක රජය කටයුතු කළේය. වසර විස්ස්කට වැඩි කාලයක් එය රජයේ පාලන ප්‍රදේශයක සුරැකිව තිබුණේය. එය ගලවා ඉවත් කිරීම තුලින් ස්මාරකයක් ඉවත් වුවද ජනතාවගේ සිත්තුලින් තිලීපන් ඉවත් වී නොමැති බවට බොහෝ සාධක ඇත. අනෙක් කරුණ නම් පිලිමයක් ඉවත් කොටවත් ජනතාවගේ සිත් අතරින් වීරයන් අමතක කිරීමට ගත් මරිමෝඩ ආකල්පය ලැජ්ජා සහගතය. මෙය අනෙක් එල්ටීටීඊ පිලිම හා සැසඳෙන්නේ නැති බවද මතක් කල යුතුය. ඒ තිලීපන් මිලේච්ඡත්වයට එරෙහිවූ නිසාය.
thileepan 
තිලීපන් යනු සිංහල දෙමළ වෙන් කිරීමකින් තොරව පරමාදර්ශයට ගත යුතු විමුක්තිකාමියෙකි. ඔහු අද දවසේ අසාධාරණයට, පීඩනයට, එරෙහිව සටන්වදිනා ලාංකීය අරගලකරුවන්ට මහා පාඩම් රාශියක් ඉතිරි කොට තබා නික්ම ගියේය.
 
නන්දා මාලනියගේ පිලිම නෙලා නැති විරුවන් තුලද නෙදුහරනිගේ රක්ත විරුවන් අතරද තිලීපන් ජීවමානය.

Comments