Syndicated from silumina,
දීපිකාගේ මව දොස් කීවේ රන්බීර්ට ද?
පසුගිය දා පැවැති ලෝක මානසික සෞඛ්‍ය දිනය නිමිත්තෙන් ඒ පිළිබඳ දේශන ඇතුළත් වූ වැඩ සටහනක් සංවිධානය කළේ සුරූපී නිළි දීපිකා පදුකෝන්. මේ සද්කාර්යය අගය කළ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මහ ඇමැති දේවේන්ද්‍ර ෆැඩ්නාවිස් ගේ සහය ද එයට ලැබුණා.
දීපිකා මෙවැනි කාර්යයකට යොමු වුණේ ඇයි? ඇයටත් එක්තරා කාලයක මානසික සෞඛ්‍ය ගැටලුවක් මතුවී තිබුණු නිසයි. ඒ බව ඇය ප්‍රසිද්ධියේ කියා සිටියා. මීට මාස ගණනකට පෙර ඇය ප්‍රකාශ කළේ තමන් විෂාදය නමැති මානසික තත්ත්වයෙන් පීඩා විඳිමින් සිටි බවයි. දීපිකාගේ මේ ප්‍රකාශයෙන් බොලිවුඩ්පුරයේ කලාකරුවන්, කලාකාරියන් පමණක් නොවෙයි, රසික පිරිස ද තිගැස්සුණා. ඉක්මණින්ම මනෝ චිකිත්සක ප්‍රතිකාර ලැබුණු නිසා ඇගේ මානසික තත්ත්වය යහපත් අතට හැරුණා.
දීපිකාගේ මව වන උජාලා පදුකෝන් කීවේ, තම දියණියගේ මානසික තත්ත්වය ගැන අවධානයෙන් පසුවූ නිසා ඇගේ රෝගී ස්වභාවය ඉවත් කරගන්නට හැකි වූ බවයි. දීපිකාගේ මව මේ බව හෙළි කළේ තවත් කාටදෝ දොස් පවරමින්... “මට දීපිකාගේ වෙනස්වීම් තේරුණා. ඒ නිසා මම එයාව මනෝ වෛද්‍යවරයකු ළඟට ගෙනියන්න පුළුවන් වුණා. මට තේරුණා, දීපිකාට විෂාදය වැලඳුණේ පෙම්වතකුගේ ප්‍රශ්නයක් නිසා ය කියලා.” උජාලා පදුකෝන් මහත්මිය එලෙස හැඳින්වූයේ දීපිකා සමඟ පෙමින් වෙළී සිටි රන්බීර් කපූර්ටදැයි දැන් බොලිවුඩයේ සමහරුන්ට ප්‍රශ්නයක් වෙලා!
50 දී තවත් ආචාර්ය උපාධියක්
බොලිවුඩ්පුරයේ රජු ශාරුක් ඛාන්ට නොවැම්බර් 2 දාට වයස 50 පිරුණත් වෙනදා මෙන්ම ඔහු, පෙම්වතාගේ චරිතයට පණ පොවාවි. ශාරුක් හැමදාමත් තරුණයි.
ශාරුක් උපන්නේ 1965 නොවැම්බර් 2 දා. මේ වසරේ නොවැම්බර් 2 දාට යෙදෙන ඔහුගේ උපන් දිනය වෙනුවෙන් විශේෂ දෙයක් කිරීමට ඔහුගේ හිතවතුන් පිරිසක් සූදානම්ව සිටිනවා. මේ අතර, ශාරුක් රඟපෑ අලුත්ම චිත්‍රපටය වන ‘ෆෑන්’ වෙනුවෙන් නිර්මාණය කළ දෙවැනි ප්රචාරක පටය නොවැම්බර් 2 දා තිරගත කිරීමට සූදානම් කර තිබෙනවා. මෙහි පළමු ප්රචාරක පටය මීට කලින් තිරගත වුණා.
50 වැනි ජන්ම දිනය ආසන්න වෙද්දී ශාරුක්ට ආචාර්ය උපාධියකුත් පිරිනැමුණා. ඒ, එක්සත් රාජධානියේ එඩින්බරෝ සරසවියෙන්. මේ ගෞරවනීය සම්මානය ඔහුට පිරිනැමුණේ හේතු දෙකක් මුල් කරගෙනයි. එක් හේතුවක් වන්නේ ශාරුක් විසින් බොලිවුඩ් සිනමාවට පිරිනැමූ අමිල දායක්තවයයි. අනෙක් හේතුව වන්නේ ඔහු විසින් සමාජ සේවයට දක්වන ලද අනගි කැපවීමයි.
ශාරුක්ට මීට කලින් බෙඩ්ෆෝඩ්ෂයර් විශ්ව විද්‍යාලයෙන් ද ආචාර්ය උපාධියක් පිරිනැමුණා. එඩින්බරෝ විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලැබූ ශාරුක් එම විශ්ව විද්‍යාලයේ සිසුන් අමතා විශේෂ දේශනයක් ද පැවැත්වූවා.
සොනාක්ෂි ගේ මුදල් මවුපියන් අතට
සොනාක්ෂි සිංහ ගේ නර්තනයෙන් හැඩවූ ‘ආෂික්වි’ චිත්‍රපටයේ ගීතමය දර්ශනය මේ දිනවල වඩාත් ජනප්‍රියයි. සොනාක්ෂි කීකරු, අවංක දියණියක් හැටියට හැඳින්වූවාට වරදක් නැහැ. (ඇගේ පියා ඉන්දියාවේ ප්‍රකට දේශපාලනඥයකු සහ ජනප්‍රිය නළුවකු වන ශත්රුගන් සිංහ. මව, තමයි, ජනප්‍රිය නිළියක වන පූනම් දිලොන්.) සොනාක්ෂි දෙමවුපියන්ට සමීප නිසා තමයි, ඇය චිත්‍රපට රංගනයන් උපයන හැම සතයක්ම දෙමවුපියන්ට ගෙනැවිත් දෙන්නේ. මේ යහපත් පුරුද්ද ඇය කුඩා කාලයේ පටන් කරන දෙයක්. සොනාක්ෂිගේ අතට මුලින්ම ගාස්තුවක් ලැබුණේ පාසල් කාලයේදීයි. ඒ අතීතය ඇය මෙලෙස සිහිපත් කරනවා....
“මම ඉස්කෝලෙ යන කාලෙදී එක්තරා ඇඳුම් මෝස්තර නිර්මාණ සතියක වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. මෝස්තර නිරූපණ සතිය ඉවර වුණාම මට ලැබුණා රු. 3000 ක චෙක් එකක්. ඒක තමයි, මම මුලින්ම ලැබුව වැටුප. මම ඒක දෙමවුපියන්ට ගෙනිහින් දුන්නා. අම්මා ඒක සිහිවටනයක් හැටියට තියාගත්තා.”
Comments
Post a Comment