රනිල් ජපානයේ: ජපාන පාර්ලිමේන්තුව අමතන ඉතිහාසයේ තුන්වැනි ලෝක නායකයා රනිල්


Syndicated from lankaenews.com,






ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ලංකාවේ දූත පිරිස අද (03) පස්වරුවේ ඕසකා-කන්සායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ජපානයට පැමිණියහ. තාක්‍ෂණ, තාක්‍ෂණ අධ්‍යාපන හා රැකියා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ද මෙම දූත පිරිසට ඇතුළත් ය.
කන්සායි ගුවන් තොටුපලේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස පිළිගනු ලැබූයේ කන්සායිහි ජපාන තානාපති අකිරා මීරා මහතා, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කොනචි සුගනුමා මහතා සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය දම්මික ගංගනාත් දිසානායක මහතා ප්‍රමුඛ ජපන් රජයේ  නිලධාරී පිරිසක් විසිනි. 
රනිල් වික්‍රමසිංහ මහතා ඉරිදා (04 වන දා) පෙරවරුවේ කියෝතෝ නුවර දී ජපාන අග්‍රාමාත්‍ය ෂෙන්සො අබේ මහතා සමග පළමු ද්විපාර්ශ්වික සාකච්ඡා වටය පැවැත්වීමට නියමිතය. ඔවුන් දෙපල අතර දෙවන සාකච්ඡා වටය ලබන 06 වන දා තෝකියෝ නුවර දී පැවැත්වේ.
ඉරිදා කියෝතෝ නුවර දී ඇරඹෙන විද්‍යා සහ තාක්‍ෂණ සංසදයේ සමුළුව අමතන වික්‍රමසිංහ මහතා ඉරිදා සන්ධ්‍යාවේ තෝකියෝ නුවර බලා පිටත්ව යනු ඇත.
අග්‍රාමාත්‍යවරයාගේ ජපාන සංචාරය ඉතා වැදගත් හා ඓතිහාසික සංසිද්ධියක් වනු ඇතැයි ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය දම්මික ගංගනාත් දිසානායක මහතා පැවසීය. 
ජපාන පාර්ලිමේන්තුව ඇමතීමට අවස්ථාව ලද තුන්වෙනි විදේශීය රාජ්‍ය නායකයා වන්නේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා බව ද දිසානායක මහතා පෙන්වා දුන්නේය. මීට පෙර ජපානයේ පාර්ලිමේන්තුව ඇමතීමේ අවස්ථාව ලබා දී ඇත්තේ අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහතාට සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර ශ්‍රී මෝදි මහතාට පමණි.
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, මුදල් අමාත්‍ය රවී කරුණානායක යන අමාත්‍යවරුන් ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන සංචාරයට තෝකියෝ නුවර දී එක්වීමට නියමිතය.  
අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය මොන්ටි කාසිම්, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්. පාස්කරලිංගම්, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය දම්මික ගංගනාත් දිසානායක යන මහත්වරු ද, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, විජිතා ප්‍රේමජයන්ත සහ අග්‍රාමාත්‍ය විශේෂ සහයිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්මීන් ද මෙම සංචාරයට එක්ව සිටිති. 

සේයාරූ සහ වාර්තාව අගමැති මාධ්‍ය ඒකකය විසිනි

Comments