ව්‍යවස්ථාදායක සභාව හරි..! ඒත් පොඩි කොස්සක්..!!


Syndicated from lankaenews.com,
2015.සැප්.09, ප.ව.9.30

 
මහ මැතිවරණයේදී ජනතාවට කීවේ මාස හැටකින් අලුත් රටක් කියාද ? මාස හැටකින් අලුත් කැබිනට්ටුවක් කියාද? කියා  ජනතාව කෝචෝක් කෙළේ නව ආණ්ඩුවට ඇමැති මණ්ඩලය පත් කර ගැනීමට සති තුනකට අධික කාලයක් ගතවෙද්දීය. කෙසේ වෙතත්  සති තුනකට අධික කාලයක් දිග් ගැස්සුනු ඇමැති මණ්ඩලය පත් කර ගැනීමේ ප්‍රශ්නය අද නිරාකරණය කර ගැනීමත් සමගම නව ව්‍යවස්ථාදායක සභාවක් පත් කර 19 වන සංශෝධනය අනුව නව ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම කඩිනම් කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ.
ඒ අනුව අද නව ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයන් තිදෙනා හැර අනෙක් අය නම් කරන ලදී 
ව්‍යවස්ථා දායක සභාවට නිල බලයෙන් අගමැතිවරයා කතානායකවරයා සහ විපක්ෂනායකවරයා පත් වෙති. ඉන්පසු පත් කෙරෙන ජනාධිපතිගේ නියෝජිතයා ලෙස පෙර පරිදිම පාඨලී චම්පික රණවක මහතා ද, අගමැතිවරයාගේ නියෝජිතයා ලෙස ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාද, විපක්ෂ නායකවරයා විසින් නම් කෙරෙන විපක්ෂයේ සුළු පක්ෂවල නියෝජිතයා ලෙස විජිත හේරත් මහතාද නම් කර තිබේ.  
පෙර දින සීයේ ආණ්ඩුව විසින් පත් කළ සිවිල් නියෝජිතයන් තිදෙනා ලෙස ඒ.ටී.ආරියරත්න මහතා , රාධිකා කුමාරස්වාමි මහත්මිය සහ ඒ ඩබ්ලිව් ඒ සලාම් හිටපු විනිසුරු තුමන් මෙවරද නම් කිරීමට නියමිත නමුත් සලාම් හිටපු විනිසුරු තුමන් හදිසියේම දෙපැත්තට අදින බවත් ඔහුගේ කැමැත්ත තවමත් නිල වශයෙන් ලැබී නැති බවත් දැන ගන්නට තිබේ. 
කෙසේ වෙතත් එම ගැටළුව හෙට දිනය තුල විසඳාගෙන ව්‍යවස්ථාදායක සභාව ක්‍රියාත්මක කොට වහාම ස්වාධීන කොමිෂන් සභා සක්‍රීය කිරීමට ආණ්ඩුවට අවශ්‍ය වී ඇතැයිද දැන ගන්නට තිබේ.

Comments