කරපු වැඩවලින් සහතිකයක් දෙන්න බැරි ශ‍්‍රිලනිපය අනාගතයට සහතික දෙන්නේ කොහොමද? - සුනිල් හදුන්නෙත්ති

syndicated from lankanewsweb.net,

කරපු වැඩවලින් සහතිකයක් දෙන්න බැරි ශ‍්‍රිලනිපය අනාගතයට සහතික දෙන්නේ කොහොමද? - සුනිල් හදුන්නෙත්ති

‘2015 පූර්ව මැතිවරණ තත්වය පිළිබඳව මුදල් අමාත්‍යාංශය නිකුත් කරපු වාර්තාවක් තිබෙනවා. මේ වාර්තාව අනුව ණය වාරිකයි පොලී ප‍්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 1872යි. දළ වශයෙන් රුපියල් මිලියන 243,000යි.  මේ මැතිවරණයෙන් මොන ආණ්ඩුව බලයට පත්වුණත් මේක ගෙවන්න  ඕනෑ. ඒකපුද්ගල ණය බර රු. 390,000කට කිට්ටු වෙලා තිබෙනවා. එහෙම තියෙද්දී පොරොන්දු මල්ලක් දැම්මාට හරියන්නේ නැහැ. ඒ නිසා අපිට සහතික කරලා කියන්න පුළුවන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට අනාගතයට සහතිකයක් දෙන්න බැහැ කියලා' යනුවෙන් සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද(07) පැවති මාධ්‍ය හමුව අමතමිනි.
මෙහිදී ඒ මහතා දැක්වූ අදහස් තවදුරටත් 
වෙන මැතිවරණවලට වඩා යම් ප‍්‍රමාණයක සාමකාමී වගේම ප‍්‍රතිපත්තිමය දේශපාලනයට ප‍්‍රවේශ වන ගුණාත්මක තත්වයක් 19වැනි සංශෝධනය නිසා ඇතිවී තිබෙන බව අපිට පේනවා. ජනතා පරමාධිපත්‍ය බලය නියෝජනය කරන්න පුළුවන් ප‍්‍රතිපත්තිමය වශයෙන් වැදගත් නීති සම්පාදකයින් පිරිසක් යවන්න  ඕනෑ කියන සංවාදය සමාජය තුළ අපි ඇති කළා. පාර්ලිමේන්තුවට කුඩු, එතනෝල්, කැසිනෝ, වෙනත් ජාවාරම්කරුවන් සහ පාතාලවලට සම්බන්ධතා තිබෙන අය නොයවන්න කියන මතය මාධ්‍යවේදීන් හැටියට ඔබත් කලාකරුවන් සහ විවිධ සිවිල් සංවිධානත් සමාජයට ගෙනගියා. නමුත් ඒ මතය බිඳවැටෙමින් තිබෙන බව අපට පේනවා. වඩා හොඳ ප‍්‍රතිපත්තිමය දේශපාලන සංවාදයකට මේ මැතිවරණය ගේනන අපි උත්සාහ කරද්දී එක්සත් ජාතික පක්‍ෂයත් සන්ධානයත් සුපුරුදු බංකොළොත් දේශපාලන සංස්කෘතියටම යමින් සිටිනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ චෝදනා සහිත අයට නාමයෝජනා ලබාදී තිබෙනවා. පහුගිය කාලයේ විවිධ චෝදනාවලට ලක්වෙච්ච අයගේ ඡන්ද පදනම ගැන හිතලා එක්සත් ජාතික පක්‍ෂයත් නාමයෝජනා ලබාදී තිබෙනවා. ඒ වගේම ඡන්ද ප‍්‍රචාරක වැඩවලට පාතාලයට සම්බන්ධ අයත් යොදාගත් බවට ප‍්‍රවෘත්ති පළ වෙනවා. දේශපාලනඥයා සහ පාතාලය අතර එතෙක් තිබුණු බොහොම ළඟ සම්බන්ධතාවය ප‍්‍රතික්‍ෂේප කරලා ජනවාරි 08වැනිදා යහපාලනය කැඳවා ගත්තා. යහපාලනය කියන එකේ අර්ථය පරණ ආණ්ඩුවේ වැරදි තමන් කරගහගන්න එක නෙවෙයි. නමුත් යහපාලනය ඉස්සරහට දාගෙන පාතාලයත් එක්ක සම්බන්ධතා පවත්වන එක තහවුරු වෙලා තිබෙනවා. ඒ වගේම අධිකරණ නියෝජ්‍ය ඇමතිතුමා පොලිස් නිලධාරීන්ට තර්ජනය කරන්න පටන්ගෙන තිබෙනවා. බ්ලූමැන්ඩල් සිද්ධියෙන් තහවුරු වෙන්නේ කලින් ආණ්ඩුව නඩත්තු කරපු පාතාලය එක්සත් ජාතික පක්‍ෂ නායකයින්ගේ නඩත්තුවට අරගෙන තිබෙන බවයි.
මැතිවරණ කොමසාරිස්තුමා ඇතුළු කාර්යමණ්ඩලයටත් පොලිස්පතිතුමා ඇතුළු පොලීසියටත් අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න  ඕනෑ. මේ මැතිවරණයේදී මහජනතාවගේ මතය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස පිළිබිඹු වෙන්න ඔවුන් විශාල උත්සාහයක් දරනවා. ඒකට අපි ගරුකරන්න  ඕනෑ. හැබැයි දේශපාලන පක්‍ෂ හැටියට දරන සහයෝගය කුමක්ද? ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි ඒ වෙනුවෙන් කැපවෙලා ඉන්නවා. ඒත් ඇමතිවරු අමාත්‍යාංශවල වාහන පාවිච්චි කරනවා. ඔවුන්ගේ නිල රථ පාවිච්චි කරනවා. පොලීසිය භාර ඇමතිවරයා වාහන 5-7ක ස්ටිකර් ගහගෙන යනවා. පොලිස් ඇමතිවරයා පොලිස් බලය පාවිච්චි කරලා මේ වැඩ කරනකොට කොහොමද යහපාලනයක් සිදුවෙන්නේ? තාමත් මැතිවරණ නීතිරීති උල්ලංඝනය කෙරෙනවා. නමුත් මේකට වඩා මහින්ද රාජපක්‍ෂ මහත්මයාගේ පාලනය හොඳයි කියලා ගන්න එපා. නමුත් මීට වඩා සාමාකාමී සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ඉඩකඩ අපි හදන්න  ඕනෑ.
මැතිවරණ ප‍්‍රතිපත්තිවල ‘අනාගතයට සහතියක්’ කියලා තිබෙනවා. ඒ වගේම ‘මාස 60කින් අලූත් රටක්’ කියන පංචවිධ ප‍්‍රතිපත්ති තිබෙනවා. නමුත් මේවා තුළ තිබෙන්නේ කරුණු හැටියට හැමදාම දුන්නු පොරොන්දු මල්ලක්. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ, ඉදිරි අවුරුදු 05 කි‍්‍රයාත්මක කිරීමට සංයුක්ත සැලැස්මක් සහිත රට හදන්න පුළුවන් ප‍්‍රතිපත්තිමය රාමුවක්. නමුත් එක්සත් ජාතික පක්‍ෂයත් සන්ධානයත් ඡන්ද ගන්න හිතාගෙන පොරොන්දු මල්ලක් දීලා තිබෙනවා. අවුරුදු 09ක් ගිහිල්ලත් මූලික වැටුප සතයකින් වැඩි නොකරපු මහින්ද රාජපක්‍ෂ මහත්තයා අද කියන්නේ මූලික වැටුප රුපියල් 25,000ක් කරනවා කියලා. මේ විදියට වැඩිකරන්න තියෙන සැලැස්ම මොකක්ද කියලා කියන්න  ඕනෑ. ආදායම උපයාගන්න විදිය කියන්න  ඕනෑ. අද වෙනකොට පොරොන්දු මල්ලක් එල්ලාගෙන දැන්වීම් ගොඩක් ප‍්‍රචාරය කරන බව පේනවා. දැන්වීම්වලට පෙනී ඉන්න අය පවා දන්නවා තමන්ගේ රඟපෑම හෘදසාක්‍ෂියට එකඟ නැහැ කියලා.
රටේ ආදායම වගේ දෙගුණයක් වියදම් වෙනවා. වියදම් පියවාගන්න ණය ගන්නවා. ණය පොලිය ගෙවන්න ආයිත් ණය ගන්නවා. ණය වාරිකයයි පොලියයි ගෙවන්න රජයේ මුළු ආදායමවත් ප‍්‍රමාණවත් නැහැ. එහෙම තියෙද්දී තමයි පහුගිය ආණ්ඩුව ගිනි පොලියට ණය ගත්තේ. 2015 පූර්ව මැතිවරණ තත්වය පිළිබඳව මුදල් අමාත්‍යාංශය නිකුත් කරපු වාර්තාවක් තිබෙනවා. මේ වාර්තාව අනුව ණය වාරිකයි පොලී ප‍්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 1872යි. දළ වශයෙන් රුපියල් මිලියන 243,000යි.  මේ මැතිවරණයෙන් මොන ආණ්ඩුව බලයට පත්වුණත් මේක ගෙවන්න  ඕනෑ. ඒකපුද්ගල ණය බර රු. 390,000කට කිට්ටු වෙලා තිබෙනවා. එහෙම තියෙද්දී පොරොන්දු මල්ලක් දැම්මාට හරියන්නේ නැහැ. ඒ නිසා අපිට සහතික කරලා කියන්න පුළුවන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට අනාගතයට සහතිකයක් දෙන්න බැහැ කියලා.
එක්සත් ජාතික පක්‍ෂය ‘යළි පුබුදමු ශී‍්‍ර ලංකා වැඩපිළිවෙළ’ නැවත හඳුන්වාදී තිබෙනවා. ඒ මූලික වැඩපිළිවෙළ අනුව අලූත් ප‍්‍රතිපත්ති මාලාවේ බොහෝ රාජ්‍ය ආයතන නැවත අධිකාරි බවට පත්කරන ප‍්‍රකාශ ඇතුළත් වෙනවා. පසුගිය දවසක ව්‍යාපාරික සමුළුවක් ඇමතූ රනිල් වික‍්‍රමසිංහ මහත්මයා අවධාරණය කළේ සිංගප්පූරුව සහ කොරියාව අනුගමනය කරන ආකාරයේ මුළුමනින්ම විවෘත කළ ආනයන අපනයන ප‍්‍රතිපත්තියක් කි‍්‍රයාත්මක කරන බවයි. අපේ රටේ ඒ තත්වය ඇතිකළොත් දේශීය කර්මාන්තකරුවා මුළුමනින්ම බිඳ වැටෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මුළුමනින්ම බිඳවැටෙනවා. අපේ රටේ කර්මාන්තකරුවා ගැන රජයන් නිවැරදිව හඳුනාගන්න  ඕනෑ. අපේ රටට අවශ්‍ය ආනයන පිළිබඳව නිවැරදි අවබෝධයක් තිබෙන්න  ඕනෑ. අපේ රටට මේ වෙනකොට වැඩිපුරම ගෙන්වන්නේ දේශීය වශයෙන් නිෂ්පාදනය කරන්න හැකි දේවල්. අපි ඉදිරිපත් කරතිබෙන නිෂ්පාදන හා සේවා ආර්ථික ප‍්‍රතිපත්තියේ ඇතුළත්කර තිබෙන්නේ පිරිවැය අඩුවෙන් නිෂ්පාදනය කළ හැකි කර්මාන්ත අපේ රට තුළ ඇතිකරගත යුතු බවයි. ජාතික ආර්ථිකයක් ගොඩනැගිය හැක්කේ ඒ තුළින් පමණයි. ‘හෘදසාක්‍ෂියේ සම්මුතිය’ තුළින් අපි පැහැදිලි කරන්නේ රටේ ආර්ථික අර්බුදයට තිබෙන එකම පිළිතුර මෙය බවයි. මේක ඉලක්ක පේන්නැති වැඩපිළිවෙළක් නෙවෙයි. රටේ ව්‍යාපාරික ප‍්‍රජාවගේ බුද්ධිමතුන්ගේ වෘත්තීයවේදීන්ගේ අදහස් අනුව හැදූ වැඩපිළිවෙළක්.
පසගිය කාලය තුළ මේ ආණ්ඩු දෙකෙන්ම කළ ව්‍යාපෘති අසාර්ථක වෙලා තිබෙනවානම් අපිට සාර්ථකව ආර්ථිකය ගොඩනැගිය හැකි බව ඔප්පු කර පෙන්වන්න අපිට අවුරුදු 05ක් බලය දෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපි මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය කි‍්‍රයාත්මක කරන බව සහතික කරනවා. රට තුළ නිෂ්පාදන කරන අය විතරක් නෙවෙයි. විදේශගත ශී‍්‍ර ලාංකිකයින් පවා මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට එකඟතාවය පළකර තිබෙනවා. මේ නිසා පසුගිය ආසන්න කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණට විශාල මහජන ප‍්‍රසාදයක් ඇතිවෙමින් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණට දුරින් හිටිය සංවිධාන විශාල ප‍්‍රමාණයක් එකතුවී අපේ මැතිවරණ ව්‍යාපාරයට සහයෝගය දෙන බව මාධ්‍ය හමු පවත්වමින් ප‍්‍රකාශ කර තිබෙනවා. මෙන්න මේ තිබෙන විවෘත සහයෝගය අකර්මණ්‍ය කරන්න අද වෙනකොට විශාල මෙහෙයුමක් පටන් අරගෙන තිබෙනවා. අපේ පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ඉලක්ක කරලා මඩ ව්‍යාපාරයක් විශේෂයෙන්ම ගෙනැවිත් තිබෙනවා. ඒ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාට ලිඛිතව පැමිණිලි කර තිබෙනවා. අපි ඉදිරිපත් කර තිබෙන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සහ අපේ භාවිතය පිළිබඳව ඔබේ හෘදසාක්‍ෂියට එකඟව විමසා බලන්න කියලයි අපි ඉල්ලා සිටින්නේ. ඒ වගේම අපි පිළිබඳව ප‍්‍රචාරය කරන බොරුවලට ඔබේ මාධ්‍ය තුළින් හැකි පමණින් නිවැරදි කිරීම් ලබාදෙන්න. එය ඔබ අපට කරන උදව් කිරීමකට වඩා මේ රටේ සත්‍යය වෙනුවෙන්, මේ රටේ යුක්තිය වෙනුවෙන් ලබාදෙන දායකත්වයක් හැටියටයි අපි සළකන්නේ. 
ඒ වගේම අපේ ජාතික ලැයිස්තුව බොහෝ දෙනෙකුට දරාගන්න බැරිවෙලා තිබෙනවා. අනිත් හැම ජාතික ලැයිස්තුවකම ඉන්නේ ඡුන්දය ඉල්ලලා දිනන්න බැරි අය. ඔවුන්ගේ පරාජය දරාගන්න බැරිව විවිධ අසත්‍ය ප‍්‍රචාර ගෙනයමින් ඉන්නවා. ඒ විකෘති කිරීම් බැහැර කරන්න කියලා අපි ඔබ හැමදෙනාගන්ම ඉල්ලා සිටිනවා. තවත් පැත්තකින් අපි එක්සත් ජාතික පක්‍ෂය එක්ක එකට ඈඳලා ප‍්‍රවෘත්ති සකස් කරන බව පේනවා. අපි ඉතා පැහැදිලිව කියන්නෙ ජනතා විමුක්ති පෙරමුණ ඈඳන්න හැකිවෙන්නේ මේ රටේ ජනතාව එක්ක විතරයි. රටේ ජනතාවට වගකියන්න පුළුවන් පිරිසිදු දේශපාලනයක් අපි කර තිබෙනවා. ඉදිරියටත් මේ තත්වය අපි ආරක්‍ෂා කරගන්නවා.
ඒ වගේම ඡන්දදායක ජනතාවගෙන් අපි විශේෂ ඉල්ලීමක් කරන්න  ඕනෑ. අපට දේශපාලනයේ ධන බලය, මැර බලය, කුල බලය නැහැ. අපි කරන්නේ ප‍්‍රතිපත්තිමය දේශපාලනයක් සහ අපට සහයෝගය පළකරන අයගේ ස්වේච්ඡා දේශපාලනයක් වශයෙන්. අපේ මැතිවරණ ව්‍යාපාරය එහෙම පිටින්ම ස්වේච්ඡාවෙන් ගෙනයන එකක්. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට ඡන්දයක් දෙන්න කැමැත්තෙන් හිටියත් අපේ ගෙදරට ඇවිල්ලා ඡුන්දය ඉල්ලූවේ නෑනේ කියලා හිතන්න එපා. අපේ සාමාජිකයාට ඔබේ හැම ගෙදරකට එන්න මේ කෙටි කාලය තුළ බැරිවෙයි. හැබැයි පසුගිය අවුරුදු 25 තුළ බඩුමිල වැඩිවුණා නම් අපි ඔබේ ගෙදරට ඇවිත් තියෙනවා. ඔබේ ගෙදර ලයිට් බිල වැඩිවුණු වෙලාවේ අපි ඔබේ ගෙදර ඇවිත් තිබෙනවා. ඔබේ දරුවාගේ අධ්‍යාපනයට ප‍්‍රශ්නයක් ඇතිවුණු වෙලාවේ අපි ඔබේ ගෙදර ඇවිත් තිබෙනවා. ඔබේ බෙහෙත්වල මිල වැඩිවුණු වෙලාවේදී අපි ඔබේ ගෙදර ඇවිත් තිබෙනවා. ඔබේ බදු මුදල් මැති ඇමතිවරුන් හොරකම් කරපු වෙලාවේ අපි ඔබේ ළඟ ඉඳලා තිබෙනවා. ඔබට රිදුණු හැම වෙලාවේදීම අපි ඔබ ළඟ ඉඳලා තිබෙනවා. මේ හැම වෙලාවකදීම අපි ඔබ වෙනුවෙන් හඬන`ගලා තිබෙනවා. අපි පුද්ගලිකව ඔබේ ගෙදරට ආවේ නැති වුණාට ඔබ මුහුණ දුන්  ඕනෑම ප‍්‍රශ්නයකදී අපි ඔබේ ගෙදර ඇවිත් තිබෙනවා. ඒ වගේම  ඕනෑම ගැටලූවකදී හෙටත් අපි ඔබේ ගෙදරට එනවා. ඒ නිසා පුද්ගලිකවම අපේ ඔබේ ගෙදර ආවේ නැති වුණාට ජනතා විමුක්ති පෙරමුණට ඡුන්දය දෙන්න එකතුවෙන්නැයි ඉල්ලා සිටිනවා.
අපිට තිබෙන්නේ පුද්ගලික අභිලාෂයන් නෙවෙයි. සමාජ අභිලාෂයන්. අපිට ආදරය කරන ජනතාව විදිහට හෘදසාක්‍ෂියේ සම්මුතියත් සමඟ එකතුවී ජනතා විමුක්ති පෙරමුණේ අපි පුද්ගලිකව ඔබේ ගෙදරට ආවත් නාවත් සීනුව ලකුණට ඡුන්දය දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම මනාප අංකය ගැන අපෙනුත් අහනවා. අංකයට ඡන්දයක් දෙන්න කැමති කෙනෙකුට අපේ පති‍්‍රකාවල දිස්ති‍්‍රක්කයේ සියලූම දෙනාගේ අංක සඳහන් කර තිබෙනවා. ඒ වගේම මැතිවරණ කොමසාරිස්තුමා ඔබේ ගෙදරට ලබාදෙන ඡන්ද කාඞ්පත සමඟ අපේ අංකත් ලබා දෙනවා. ඔබ මනාපය දීමට කැමති ජනතා විමුක්ති පෙරමුණේ අපේක්‍ෂකයාට මනාපයක් ලබාදීමේ හැකියාව තිබෙනවා. සීනුව ලකුණට කතිරයක් ගහලා ඔබ කැමති කෙනාට මනාපයක් පළ කරලා රට හදන්න අපි දරන මේ උත්සාහයට ඔබ හැමදෙනාගේම ඡන්දයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

Comments