ජාතික ලැයිස්තු අපරාධය..! ජනපතිතුමනි., ඇද ඇරිය නොහැකි සන්ධාන බලු වලිගය වනමින් ජනතාවගේ යහපාලන උත්සාහයේ ජරාව තවරනු එපා..!
Syndicated from lankaenews.com,
පසුගියදා කාටූන් ශීල්පි තලන්ගම ජයසිංහ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන
හරවත් කාටූනයක් නිර්මානය කළේය. එහි රාජදාසගේ මායියා නව සංශෝධනයේත් ජාතික
ලැයිස්තුවට ඉඩ ඇති බව කියයි. ඊට රාජදාස දෙන පිළිතුර මෙසේය. එහෙනම් ආයෙත්
ජී.එල්. පීරිස්ලා කට්ටියකට චාන්ස් එනවා නේද කියාය. තලංගම මේ කාටුනය හරහා
කීවේ කුමක්ද? මහාචාර්ය වරුන් තෝරා යැවුවත් සිද්ධ වී ඇති පරිහානිය යි. තලංගම
උපහාසයට ලක් කළ ඒ තත්වය දැන් යථාර්ථයක් වී ඇත්තේය.
ජාතික ලැයිස්තුව 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමෙන් පසුව නිර්මානයවූ තත්වයකි. සොල්බරි ආණ්ඩු ක්රමයෙහිද මෙයට සමාන ඉඩකඩ පැවතිණ. එය හඳුන්වන ලද්දේ පත් කළ මන්ත්‍රීන් හැටියටය. එකී ඉඩකඩ අනුව 1947 සිට 1970 තෙක් පාර්ලිමේන්තුවට මන්ත්‍රීන් 5 දෙනා බැගින් පත් කර ගන්නා ලදී. ඒ හරහා සමාජය සහ රටේ ආර්ථීකය කෙරෙහි ඍජුව මැදිහත්වන වැවිලි කරුවන් සහ ව්‍යාපාරික ප්‍රජාව ව්‍යවස්ථා සම්පාදනය සඳහා හවුල් කර ගන්නා ලදී. සොල්බරි ව්‍යවස්ථාව මහ මැතිවරණයෙන් මන්ත්‍රීන් 96ක් ද, පිටස්තර පුද්ගලයන් 5ක්ද පත් කර ගන්නා ලදි. එදා පත්කළ මන්ත්‍රීන් හරහා අපේක්ෂා කළේ ව්‍යවස්ථාදායකය තුල රටේ නොවෙනස් විය යුතු එසේම අත් නොහැර සලකා බැලිය යුතු සාධක ගැන පාර්ලිමේන්තුව දැනුවත් කිරීමය. මේ පත්කළ මන්ත්‍රීන් යම් කාල සීමාවක් කිසිදු දේශපාලන බල පෙරලියක් සඳහා සම්බන්ධ වුනේ නැත.
පත්තළ මන්ත්‍රීන්ගේ සිට ජාතික ලැයිස්තු මන්ත්‍රීන් දක්වා
ඒ යහපත් පරමාර්ථ සහ මැදහත් හැසිරීම් 1956 ට පසුව විනාස විය. එස්. තොන්ඩමන්, බද්යුද්දීන්, මොහොමඩ්, වැනි පක්ෂ දේශපාලනයෙහි ගැලූණ චරිත ඊට රිංගවන ලදි. ඒ නිසා, සොල්බරි ආණ්ඩු ක්‍රම නිර්මාතෘන් අපේක්ෂා කළ නිර්දේශපාලන සහ විදග්ධ මැදිහත්වීමට අගුල් වැටිණ. මුල් යුගයේ පත් කළ කිසිදු පත් කළ මන්ත්‍රී වරයෙකු පාර්ලිමේන්තු බල තුලනය පිණිස මැදිහත් වුනේ නැත. එහෙත් පසුව ඒ තත්වය වෙනස් විය. 1970 වනවිට සමාජයේ විවිධ චෝදනා නැගුණ පුද්ගලයන් දේශපාලන හිතවත්කම් මත පත්කරන තත්වයට පත් කළ මන්ත්‍රී ලැයිස්තු ක්‍රමය පිරිහිණ. 1972 ආණ්ඩු ක්‍රමය විසින් පත් කළ මන්ත්‍රීන් පත් කිරිමට පැවති ඉඩකඩ අහෝසි කරනු ලැබීය. සත්තකින්ම එදා එය රටේ ජන මතයට සහ ජනතාව තෝරා පත් කර යැවූ නියෝජිතයන්ගේ ආත්ම ගෞරවය ආරක්ෂා කිරීමක් විය.1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නැවත පින් ලැයිස්තුවකට ඉඩ සැලසීය. ඒ අනුව ජනතාව තෝරා නොගත් පුද්ගලයන් පාර්ලිමේන්තුවට පත් කිරීම ජාතික ලැයිස්තුව ලෙස හඳුන්වා දෙන ලදි. එකී ක්‍රමය හරහා වෘත්තිකයන් විද්වතුන් සහ බුද්ධිමතුන්ගේ සේවය ව්‍යවස්ථායකයට ලබා ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන වරක් ප්‍රකාශ කළේය. එහෙත් 78 ව්‍යවස්ථාව නිර්මානය කළ ජේ.ආර්.ජයවර්ධනට ජාතික ලැයිස්තුවක් නම් කිරීමේ අවස්ථාව හිමි නොවීය. 78 ව්‍යවස්ථාව අනුව ඒ වරප්‍රසාදය මුල් වරට හිමිකර ගත්තේ ජනාධිපති ආර්.ප්‍රේමදාස විසිනි. ආර්.ප්‍රේමදාස තමන්ට ලැබුණ ඓතිහාසික අවස්ථාව අනාගතයට යහපත් පූර්වාදර්ශයක් වන ආකාරයට භාවිත කළේ නැත. ඉංජිනේරුවාට වඩා බාස් ගැන විශ්වාසය තැබූ ආර්.ප්‍රේමදාස චින්තනය සිය චූල අනන්‍යතාවය ජාතික ලැයිස්තුව හරහාද මැනවින් ප්‍රදර්ශනය කළේය. 1989 ඔහු නම් කළ ජාතික ලැයිස්තුව රට හිනස්සන අන්දරේලාගෙන් සමන්විත කවිකාර මඩුවක් විය.
ශ්‍රී ලංකා නිදහස් පකෂයද මුල් අවස්ථාවේ සිටම ජාතික ලැයිස්තුවට සාධාරණයක් ඉටු කළේ නැත. ඔවුන් ජාතික ලැයිස්තුව යොදා ගත්තේ විශ්‍රාම යන්නන් සතුටු කිරිමට ඔබින නිවාඩු නිකේතනයක් ලෙසය. එසේම මර්වින් සිල්වා වැනි රටේ සමකාලීන දේශපාලනය විෂ කළ තක්කඩියන්ට වැඩි වටිනාකමක් ලබා දීමට ජාතික ලැයිස්තු සංකල්පය යොදා ගන්නා ලදී.
මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන සිය සොහොයුරා පත් කිරිමට ජාතික ලැයිස්තුව යොදා ගත්තේය. 2004 මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් තරඟ කොට ප්‍රතිපල ලේඛනයේ අවසාන ස්ථානයට පත්වූ මර්වින් සිල්වා තම ජාතික ලැයිස්තුවෙන් පත් කීරිමට 2004 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ක්‍රියා කළාය. ඒ නිසා 1989 සිටම දේශපාලන පක්ෂ සියල්ලම වාගේ ජාතික ලැයිස්තු ඉඩකඩ රටේ සහ ජනතාවගේ යහපත පිණිස යොදා ගත්තේ නැත.
අර්ජුන් මහේන්ද්‍රන් එපා වූ මෛත්‍රීට ඩිලාන්ලා එස්බීලා හොඳ වුනේ කොහොමද?
ජාතික ලැයිස්තු ඉතිහාසයේ ගෙවීගිය වසර 26 පුරා මේ නීතිමය ඉඩකඩ විසින් රටට කිසිදු සාධාරණයක් ඉටුකර නැත. එහි ඉතාම නින්දිත අපකීර්තිමත් පරිච්ඡේදය 2015 මහ මැතිවරණයට පසු මේ වන විට රටට අත් විඳින්නට සිදුව තිබේ. ඊට වගකිව යුතු පකෂ කිහිපයකි. එක්සත් ජනතා සන්ධානය, ජනතා විමුක්කි පෙරමුණ සහ ද්‍රවිඩ සන්ධානය මුලින්ම සිටිති. රටේ දේශපාලනය නිවැරදි කිරීමේ පේටන්ට් බල පත්ර්රය හිමිකර ගෙන සිටිනවා යැයි කියන ජනතා විමුක්ති පෙරමුණ මාතර ජනතාව ප්‍රතික්ෂේප කළ සුනිල් හඳුන්නෙත්ති පත් කිරීම ඓතිහාසික වරදක් බවට සැකයක් නැත. ඒ වරද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් දෙගුණ තෙගුණ කමින් සිදුකර හමාරය. අපි ඔහු ඉස්සර කරගෙන යන යහපාලන පෙරහැරේ මේ ඔලු බක්කන් ද ගමන් කළොත් රට කපෝතිය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යහපාලනයේ කප්පිත්තා ලෙස රටේ සම්භාවනාවට පාත්රව සිටි චරිතයකි. මහින්ද රාජපක්ෂ වැනි මිනීමරු දේශපාලනඥයෙකුට එරෙහිව සිවිල් සමාජය සමග එක්ව ඔහු කළ සටන විශිෂ්ඨ එකකි. එසේම ගෙවුන මහා මැතිවරණය අතර ඔහු ජාතිය අමතා කළ ප්‍රකාශය මෙහිදී යළි උපුටා දැක්වීම යෝග්‍ය වේ. එදා ඔහු මහින්ද රාජපක්ෂ දේශපාලන වශයෙන් බෙලහීන කිරිමට ක්‍රියා කළේය. ඒ හරහා මෛත්‍රී තමන් මුල්ව සනිටුහන් කළ ජනවාරි ජයග්‍රහණයට යම් වටිනාකමන් ගෞරවයක් ලබා දුන් බවට කිසිදු සැකයක් නැත. එසේම එදා තම ප්‍රකාශය අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පිළිබඳවද බරපතල ප්‍රකාශයක් කළේය. ඒ වර්තමාන ශ්‍රී ලංකා මහ බැංකු අධීපති අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධ බැඳුම්කර සිද්ධිය ගැනය. ඒ අවස්ථාවේ මහ බැංකු අධිපති වරයා ඉවත් කරන ලෙස තමා අගමැතිතුමාට උපදෙස් දුන් බව සහ ඔහු ඒ අනුව ක්‍රියා නොකළ බව කීමෙන් මෛත්‍රී මහා ගෞරවයක් අත්පත් කර ගත්තා විය හැකිය.
එය කාගේත් පැසසුමට ලක්විය. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වර්තමාන පාර්ලිමේන්තුවට නිදහස් සන්ධානය වෙනුවෙන් ජාතික ලැයිස්තුව තේරීමේදී හැසිරුණ හැටි ඔහුගේ හොඳ නමට මෙන්ම විශ්වාසනීයත්වයටද මහා කැළලකි. ඒ ක්‍රියාව ජාතික ලැයිස්තු ක්‍රමයට රටේ ජන මතයට සර්ව ජන ඡන්ද ක්‍රමයට කළ මහා නිග්‍රහයක් බවට කිසිදු සැකයක් නැත. ජනාධීපති මෛත්‍රීපාල මහ බැංකු අධීපතිවරයා පටලවා කළ ප්‍රකාශයෙන් කුමක් අරමුණු කළාද යන්න කිසිවෙකුට නිශ්චිතවම කිව නොහැකිය. එහෙත් ඒ ප්‍රකාශය හරහා ඔහු තමන් මහින්ද රාජපක්ෂ මෙන්ම රනිල් වික්රමසිංහද මතවාදිව විවේචනය කරන බවට අදහසක් රෝපනය කිරීමට උත්සාහ කළා විය හැකිය. ඒ ඔහුගේ දේශපාලන ශෛලිය විය හැකිය. ශෛලිය කුමක් වුවත් රට ඉදිරියේ මහින්ද රනිල් දෙදෙනාම හෑල්ලූවට ලක් කළ මෛත්‍රී මෙදා දා ගත් ලෙඩේ කුමක්ද? අර්ජුන් මහේන්ද්‍රන් හොඳ නැති මෛත්‍රීපාල සිරිසේනට ඩිලාන් පෙරේරා, එස් බී දිසානායක වැන්නන් ජාතික වශයෙන් වැදගත් මහත්වරුන් වූයේ කෙසේද? ඔහු මේ වන විට ඒ වැරැද්ද කර හමාරය. එහෙත් අප ඉල්ලා සිටින්නේ පින් සිද්ධ වෙයි මේ ලැයිස්තුවෙන් එක් අයෙකු හෝ යහ පාලන කැබිනට් එකට රිංග වන්න නම් එපා කියාය.
ජාතික ලැයිස්තු හොරුන්ට ඇමැතිකම් දුන්නොත් දූෂණ සෙවීම සුම්මා
වර්තමානයේ විමල් වීරවංශ ජනාධිපති මෛත්‍රීගේ ජාතික ලැයිස්තු සූදුව ගැන කතා කරයි. ඔහු කියන්නේ ජනාධීපති මෛත්‍රී හොරුන් සමග වාසය කරන බවකි. බාගෙට එල්ලූණ සිය දේශපාලන රෙද්ද සමග පෙනී සිටින වීරවංශ වෙනම චරිතයකි. ඔහුු කළ මේ ප්‍රකාශය අපට ඔහු කර තබාගෙන සිටින නිගන්ඨනාථ පුත්‍රයාගේ කෙරුවාව සිහිපත් කරයි. මහින්ද රාජපක්ෂ 2010-2015 අතර, තුනෙන් දෙක ලබා ගැනීමට ළංකර නොගත්තේ මොකාද? අපරාධ නඩු පිට නඩු වැටී සිටි අය දුසිම් ගණන් එක් කර ගත්තේය. කාදර්ලා, කෙහෙළියලා, දුමින්දලා ජොන්ස්ටන්ලා පොදි පිටින් ගෙන එජාපය වට්ටවා පෙන්වීය. ඒ සමග මේ වන විට හෙළිවෙමින් පවත්නා හොර මැර වංචා සඳහා තම දෑත් ශක්තිමත් කර ගත්තේය. එසේම සිය පරම්පරාව සඳහා විධායක ජනාධිපති ක්‍රමය හිමිකර දීම සඳහාය. ඒ සියල්ල රටට මතක ඇත. ඊට විකල්පය ලෙස රටේ ජනතාව මෛත්‍රී පත් කර ගත්තේය. ඔහු ජනතාව පිරි නැමුව යහ පාලන සුම්බරය බැඳගෙන මේ කරන්නේ කුමක්ද? මෛත්‍රීපාල ජාතික ලැයිස්තු තේරීම හරහා කියන්නේ කුමක්ද? ගඳ ගහන නිදහස් සංධානයේ ප්‍රතිපත්ති ශ්‍රීලනිපයේ නාමයෙන් කර තබාගෙන සිටින බවය. මහින්දගේ දූෂණ සෙවීමට එරෙහිව පාර්ලිමේන්තුවේ රතු පලසේ නිදාගත් ඩිලාන් පෙරේරාත් මෛත්‍රී විසින් තෝරාගෙන ඇත. මේ කට්ටිය කැබිනට් එකට දැමීමට මෛත්‍රී ක්‍රියා කරනු ඇත. ඉන් අනතුරුව වංචා දූෂණ සොයනු සුම්මා ය. යහ පාලන කතා අහවරය. අන්තිමේ රනිල් වික්‍රමසිංහට උතුර සමග එක්ව රට කරන්නට සිද්ධ වනු ඇත.මෙවර මහ මැතිවරණයේදී සන්ධානයේ විවිධ බෙදීම් පැවතිණ. ඒ හරහා ඇතිවූ පිල් බෙදීම අනුව සන්ධානයට කතිර ගැසූ පිරිස් එස්.බී. දිසානායක, නන්දිමිත්ර ඒකනායක, විජිත්මුනි සොයිසා වැනි පොදුවේ රටේ සහ සහ තම ප්‍රදේශවල ජනතා වෛරයට පාත්රවූ චරිත පරාද කළහ. එහෙත් ජනාධීපති මෛත්‍රීපාල ඡන්ද ප්‍රතිපල සහතික කිරීමට පෙර, කළේ කුමක්ද? ජාතික ලැයිස්තු තේරීම් පිළිබඳ නිදහස් සන්ධානයේ කැත පිළිකුල් සහගත හැසිරීම සහතික කිරීම හෙවත් එස්.බී. දිසානායක, නන්දිමිත්ර ඒකනායක විජිත්මුනි සොයිසා වැනි ජනතාව ප්‍රතික්ෂේප කළ චරිත පාර්ලිමේන්තුවට රිංගවීමය. මේ හැසිරීම ඇත්තෙන්ම සදචාරයට එකඟ නැත.
බැනුම් අහන පාරේ යන ප්රගතිශීලීන්
රටේ ජනතාවගෙන් බහුතරය මේ ගැන යමක් කතා නොකරනවා විය හැකිය. එහෙත් සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කාර ගරු මාදුළුවාවේ සෝභිත හිමියන් මෙවර සංධානය ජාතික ලැයිස්තුවට කළ විනාසය අග මුල ඇතිව විවේචනය කර ඇත. සිවිල් සංවිධාන වෘත්තිය සමිති ව්‍යාපාර, කලා කරුවන් මේ වනවිට සමස්තයක් ලෙස අාවේශ වී සිටිති. අවාසනාව නම් යහ පාලනය පිණිස කැපවූ මිනිසුන් ගැහැනුන් මේ ගැන අපහසුවට පත්වීමය. ජාතික ලැයිස්තුවට පරාජිතයන් පත් කළේ කවුරුවත්ය. ඒ ගැන උපහාසයට ලත් වන්නේ පාරේ යන එන ප්‍රගතිශීලින් ය. මෙය දැඩි මහජන මතයක් ඇතිකරවන්නක් වීම වැළැක්විය නොහැකිය.සන්ධාන නායකයා ලෙස මෛත්‍රී කළ මේ වරද චන්ද්‍රිකා බණ්ඩාරනායකද කර ඇත. හොඳම උදාහරණය චන්ද්‍රිකා මර්වින් සිල්වා නම් කිරීමය. මර්වින් ඔසවා තබා චන්ද්‍රිකා කළේ සාධාරණ සමාජයට සතෙකු මුදා හැරීම වැනි අපරාධ කාරී ක්‍රියාවකි. මර්වින්ට මෙවර නාම යෝජනා නොදීමෙන් ඔහුගේ දේශපාලනය අවසන් විය. එහෙත් සරණ ගුණවර්ධනගේ බිරිය සහ කැළනියේ අයිආර්සී කාරයෙකු, කුඩු ලන්සා චොකා මල්ලී වැනි අය මැතිවරණයට දැමීමෙන් නිදහස් සංධානයට ඒ ගෞරවය ලැබෙන්නේ නැත.
ඒ සමග රනිල් වික්‍රමසිංහ මෙවර ජාතික ලැයිස්තුව තේරීමේදී අනුගහනය කළ ක්‍රමය විශිෂ්ඨය. ඔහු මැකිවරණ ප්‍රතිපලයට පළමුව ඍජු ප්‍රකාශයක් කළේය. එනම් මහ මැතිවරණයෙන් පරදින කිසිවෙකු ජාතික ලැයිස්තුවෙන් පත් නො කරන බවය. රෝසි සේනානායක ඊට අනුගත වීම එජාප විනය සම්බන්ධ කාරණාවකි. ලංකාවේ දේශපාලනය කරන බොහෝ මහ මුදලිලාට ලජ්ජාව බය නැති බවට එස්.බී. දිසානායක, නන්දිමිත්ර ඒකනායක විජිත්මුනි සොයිසා ජාතික ලැයිස්තුවට ඇතුල් කිරිමෙන් නිදහස් සංධානය සහතික කර ඇත. එජාප නායක රනිල් වික්‍රමසිංහ 2010දී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යැවූ දේශපාලන කෝඩු කාරයන් දෙදෙනෙකු මෙහිදී සිහිකළ යුතුවේ. ඒ හර්ෂ ද සිල්වා සහ එරාන් වික්රමරත්නය. ඔවුන් සිය විෂය දැනුමෙන් තම පක්ෂයට මෙන්ම රටට පසුගිය කාලයේ කළ සේවය ඉතා විශිෂ්ඨය. ඒ තේරීම කොළඹ දිස්ත්‍රික් ජනතාව ඉහළින් අනුමත කර ඇත. ඒ හරහා රනිල් වික්‍රමසිංහගේ විචක්ෂණ දැනුම පිළිබඳ භාවිතය වඩාත් හොඳින් කියවිය යුත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පමණක් නොවේ. මෛත්‍රී රනිල්ට පන්සල් ටොක්කක් දුන්නා කියා ජනතාව ප්රබෝධයට පත් කළ අනුර කුමාර දිසානායකද ජාතික ලැයිස්තුව සම්බන්ධව අගමැති රනිල් වික්‍රමසිංහ ක්‍රියා කළ ආකාරයෙන් පාඩම් ගත යුතුවා පමණක් නොව ලජ්ජා විය යුතුවේ. පන්සල් ටොක්ක තමන්ම ඇණ ගැනීමට අනුර කුමාරට සිදුව ඇත.
ජාතික ලැයිස්තුවට චන්ද්‍රිකා දුන් ආදර්ශ
ජාතික ලැයිස්තුවට ඇතුල් නොකළ කෙනෙකු ඒ හරහා පාර්ලිමේන්තු යැවිය නොහැකි බවට විශ්වාසයක් පවතී. මෙය කිසි විටෙකත් ගැඹුරෙන් සාකච්ඡා නොකළ ප්රශ්නයකි. වරක් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජාතික ලැයිස්තුවේ නම නැති කෙනෙකු පාර්ලිමේන්තුවට පත් කළේය. ඒ රත්නසිරි වික්‍රමනායක ය. රත්නසිරි එසේ පත් කළා පමණක් නොවේ. ඊළඟ පැයෙහි චන්ද්‍රිකා ඔහුව රටේ අගමැති බවටද පත් කළාය. එසේ කිරීමට නොහැකි බවට එදා රටම තර්ක කළහ. ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ද, ඉදිරිපත් විය. ඒ පෙත්සම ගැන තීන්දුව අදටත් දීලා නැත. අධීකරණය හරහා මේ රටට මහා විනාසයක් කළ සරත් නන්ද සිල්වා කළ අපරාධ අතරට ඒ කොනර හැරීමත් එකතු වෙනවාය.රටේ ආරක්ෂකයන් මෙන්ම රටේ ජනතාව කළ යුත්ත කුමක්දැයි රටට කියා දෙන අයියලා තමන් බව ජවිපෙය නිතර කියන කතාවකි. ජාතික ලැයිස්තු පත් කිරීම් ගැන කීමෙහි බිනීමෙහි හපන් අනුර කුමාර දිසානායකට කුමක් කිව හැකිද? මෛත්‍රීපාල සිරිසේනට පුළුවන් නම් අපටත් පුළුවන් කියා පමණකි. ‘උන්ටත් පුළුවන් නම් අපිටත් පුළුවන්‘ කියා පමණකි
ජනතා විමුක්ති පෙරමුණ පරාජිත හඳුන්නෙත්ති ජාතික ලැයිස්තුවට රිංගවීමෙන් ඔහුගේ අනෙක් තේරීම ඉබේම යටපත් විය. නිදහස් සංධානයේ වෛරයට පාත්රවූ දේශපාලකයන් ජාතික ලැයිස්තුවට දැමීම නිසා යහ පාලන ලාංඡනය ලෙස සලකන මෛත්‍රීපාල සිරිසේන මෙන්ම යහ පාලනයේ අයියලා ලෙස පෙනී සිටින අනුර කුමාර දිසානායකලා ද ජාතියෙන් සමාව ගත යුතුව ඇත.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති බවට පත් කළ රටේ ජනතාව ප්‍රමාණයෙන් හැට හතර ලක්ෂයකි. හංසයා අතහැර තම පක්ෂ සමග ක්‍රියා කළ ඒ ප්රගතිශීලි ජනතාව ජනවාරි 8 වෙනිදා පෙන්වූ සංඛ්‍යාත්මක ශක්තියෙන්ම අගොස්තු 17 වෙනිදා ද එජනිසය ප්‍රතික්ෂේප කර ඇත. ඒ සමග මහින්ද රාජපක්ෂද ප්‍රතික්ෂේප කළ බව ලෝකයම දනිති. අගොස්තු 17 වෙනිදා පරාද වූ නිදහස් සංධානයේ පරාජය ගැන මෛත්‍රීපාල සිරිසේනට ද ඇත්තේ බරපතල වගකීමකි. ඒ ඔහු ඒ සන්ධාන මැස්සේ සභාපති නිසාය. ඔහු මෙවර සංධානයේ බහුතරය ප්‍රතික්ෂේප කළ පිරිසක් පාර්ලිමේන්තු යැවීමෙන් තමා ගැන විශ්වාසය තැබූ හැට හතර ලක්ෂයක් ජනතාව සමග සිටිනවාද නැද්ද යන්න තීරණය කළ යුතුව ඇත.
සන්ධාන බලු වලිගය
රටේ සිවිල් සමාජය වන අපට එජාපය හෝ නිදහස් සංධානය ලොකු නැත. මහින්ද රාජපක්ෂගේ කෙරුවාව නිසා රටේ පක්ෂ දේශපාලනය ප්‍රතික්ෂේප විය. 2015 වසරෙහි මැතිවරණ දෙකේදිම ජනතාව කල්පනා කළේ පක්ෂ පාට ගැන නොවේ. රටේ යහපත ගැනය. ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල ජනතාව ප්‍රතික්ෂේප කළ අය පාර්ලිමේන්තු යවන ලද්දේ ජනාධිපති ලෙස නොවේ. ශ්‍රීලනිප සහ සංධාන සභාපති හැටියටය. එයින් කියන්නේ මහින්ද නව වසරක් රට විනාස කිරීමට යොදා ගත් නිදහස් සංධානය නම් දේශපාලන පූට්ටුව දැන් මෛත්‍රී අතට පත්ව ඇත. සංධානයේ දේශපාලන වැරැද්ද දිග හරින්න බැරි බලු වලිගයකි. එය තවමත් එසේම පවත්නා බව මෛත්‍රී විසින් සහතික කර ඇත. එය රටේ කරුමය නොවේ. ඒ ඒ පක්ෂවලට කතිර ගසන යහපත් මිනිසුන්ගේ කරුමයයි.එහෙත් ඒ දිග නොහැරෙන බලු වලිගය වනවමින් යහ පාලන උත්සාහයේ ජරාව නො තවරණ ලෙස ජනතාව ඉල්ලා සිටිති. රටේ දස අතින් ජාතික ලැයිස්තු පටලැවිල්ල ගැන නැගෙන විරෝධය කාට කාටත් කියා සිටින්නේ ඒ ටිකය. ජනතාව ප්‍රතික්ෂේප කළ මේ අයියලා දැන් මෛත්රීපාලගේ කරේ එල්ලී සිටිති. ඒ ගැන අපට දෝෂයක් නැත. එහෙත් මේ මිනිස්සු යහ පාලන කැබිනට් එකට ඇතුල් නොකරන ලෙසට ඉල්ලා සිටිමට බල කිරිමට රටේ සිවිල් ජනතාවට ඇති අයිතිය අදටත් වලංගුය. ඒ වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම ජනාධීපති මෛත්‍රීපාල සිරිසේනද පෙනී සිටිය යුතුය
Comments
Post a Comment