ඇමරිකාව මිත්‍රශීලී දෑත් දිගුකරයි

Syndicated from lankanewsweb.net,

ඇමරිකාව මිත්‍රශීලී දෑත් දිගුකරයි


ඉදිරි මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය බලාපොරොත්තු වන බව වාර්තා වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර ඇති යුද අපරාධ සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් පැවැත්වීමේ යෝජනාවට ඇමරිකා එක්සත් ජනපදය මේ වනවිට සහයෝගය පළකරමින් සිටී. 
යුද සමයේ සිදුවූවා යැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය වාර කිහිපයකදී මානව හිමිකම් සමුළුවට යෝජනා ඉදිරිපත් කළ අතර ඉන්දියාව ඇතුළු බොහෝ රටවල් ඒ සඳහා ඇමරිකාවට සහයෝගය දැක්වීය. මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට පසුගිය වසරේදී ඇමරිකාව යෝජනාවක් ඉදිරිපත් කළ අතර ඒ සඳහාද ඉන්දියාව ඇතුළු රටවල් බහුතරයක් ඇමරිකාවට සහයෝගය දැක්වීය. 
 
එහෙත් මෙරට නව ජනාධිපතිවරයෙකු සහ අගමැතිවරයෙකු පත්වීමෙන් පසු ඇමරිකාව මෙරට සම්බන්ධයෙන් වූ ඔවුන්ගේ ආකල්ප වෙනස් කරගෙන ඇති අතර ජනාධිපතිවරයා ප්‍රමුඛ නව රජයට සහයෝගය දක්වන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටී. 
 
මේ දිනවල දකුණු ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මෙරට සංචාරයක නිරතවෙමින් සිටින අතර ඇය ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී පවසා ඇත්තේ දේශීය ස්වාධීන පරීක්ෂණයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ යෝජනාවට ඇමරිකාව තම පූර්ණ සහයෝගය දක්වන බවයි. 
 
පසුගිය සමයේ හිටපු ජනාධිපති රාජපක්ෂ මහතාගේ පාලනය දැඩි චීන හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර ඒ නිසා ඇමරිකාව, ඉන්දියාව ඇතුළු රටවල් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට එරෙහි ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. එම පාලන කාලයේදී චීන හිතවාදී ප්‍රතිපත්තිය සහ විදේශ සේවාව සඳහා දේශපාලනික පත්වීම් මත නුසුදුස්සන් පත්කිරීම හේතුවෙන් ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව දැඩිලෙස අපකීර්තියට පත්වූ අතර එය මානව හිමිකම් ප්‍රශ්නය ඇතුළු සිද්ධීන්වලදී ශ්‍රී ලංකාවට අවාසි සහගත ලෙස බලපෑවේය. 
 
නව රජය පත්වීමත් සමග දැඩි චීන හිතවාදී ප්‍රතිපත්තිය වෙනුවට සියලු රටවල් සමග මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින අතර ඒ නිසා මේ වනවිට ජාත්‍යන්තරය තුළ මෙරට සම්බන්ධයෙන් යහපත් චිත්‍රයක් මැවී තිබේ. රාජ්‍යතාන්ත්‍රික කටයුතු නිසිලෙස කළමනාකරණය කිරීමට සමත්විම තුළින් නැවතත් යුරෝපය තුළ කොටි තහනම ක්‍රියාත්මක කරවීමට සමත් වූ අතර ඉදිරියේදී පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදීද මානවව හිමිකම් ප්‍රශ්නය යහපත් අන්දමින් කළමනාකරණය කරගත හැකි බව මේ වනවිට පෙන්නුම් කරමින් සිටී.

Comments