සාත්තර සූත්තර මංජුල පීරිස් පෙනී සිටි මරාගේ ටීවී කොමර්ෂල් එක..!

syndicated from lankaenews.com,

 පසුගිය වසරේ එක්තරා දවසක කතරගම දෙවියන් සජීවීව දකින්නට පුළුවන් යැයි පවසා මහ ජනතාව රැවටූ ජ්‍යෝතිෂවේදියෙකු ලෙස පෙනී සිටින මංජුල පීරිස් නම් කුප්‍රකට පුද්ගලයා පසුගිය දිනක රූපවාහිනී නාලිකාවක් ඔස්සේ තවත් අපූරු කතාවක් කියා තිබේ. එනම් මෙවර මහ මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ බලයට පත් නොවුණහොත් නැවත ලංකාවට කොටි උපද්‍රව ඇති වන බවය. මෙය අනාවැකියක් නම් ඔහු අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව, දිනන ආකාරය, සන්ධානයට ලැඛෙන ආසන සංඛ්‍යාව ආදිය ද ප්‍රකාශ කළ යුතු ය. මෙය නිශ්චිත වශයෙන්ම අනාවැකියන් වන්නේ ඉහත කරුණු පැවසුවහොත් පමණි. නමුත් මොහු පවසා ඇත්තේ මහින්ද රාජපක්ෂ පරාද වුවහොත් නැවත කොටි එන බවට මතයක් පමණි. සත්‍ය වශයෙන් ම ඔහු ජ්‍යෝතිශය පිළිබඳ හසල දැනුමක් ඇති ශාස්ත්‍රඥයෙකු නම් මහින්ද රාජපක්ෂ විසින් ලබා ගන්නා මනාප සංඛ්‍යාව, සන්ධානය ලබා ගන්නා ආසන සංඛ්‍යාව ආදිය පිළිබඳ ව නිවැරදි ලෙස අනාවැකි ඉදිරිපත් කළ යුතු ය. මංජුල පීරිස්ගේ මෙම අමුතු අනාවැකිය සඳහා සන්ධානයේ බල සම්පන්නයෙකු විසින් ඔහුට විශාල අත යට මුදලක් ප්‍රධානය කළ බවත් ඒ සඳහා කපුකම කර ඇත්තේ එම රූපවාහිනී ආයතනයේම ප්‍රධානියෙකු බවත් ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අප වෙත වාර්තා වී තිබේ. ඒ සම්බන්ධයෙන් එම රූපවාහිනී ආයතනයේ වැඩසටහන් අංශයේ ප්‍රධානියෙකු අප වෙත පවසා සිටියේ “මිනිහා ඔය පෙනී හිටියේ ටීවී කමර්ෂල් එකකට, හැබැයි නිකන් නෙවෙයි රුපියල් ලක්ෂ ගණනකට“ යනුවෙනි.
මංජුල පීරිස් යනු මෙවැනි කුප්‍රකට ගනුදෙනු සඳහා ඉතා ප්‍රසිද්ධ පුද්ගලයෙකි. තමන් දන්නා හඳුනන ප්‍රසිද්ධ පුද්ගලයන් වෙත පැමිණෙන විවිධ කරදරවලට ලක් වූවන්, ගනුදෙනුකරුවන් ලෙස තමන් වෙත යොමු කරවා ගැනීමේ කූට උපක්‍රමයක් ඔහු විසින් සිදු කරමින් පවතී. සිය මිතුරන් වෙතින් අදාල පුද්ගලයන්ට ඇති කරදරය හෝ සිත් තැවුල් වන්නට හේතුවන කාරණය දැන ගන්නා මංජුල පීරිස් කිරි ගහට ඇන්නාක් මෙන් නිවැරදිව එම කාරණය විපතට පත් පාර්ශ්ව වෙත ප්‍රකාශ කරනු ලබන්නේ තමන් නොදන්නා ජ්‍යෝතිශ්‍ය ශාස්ත්‍රයෙන් පිහිටක් ද ඔවුන්ට ලබා දෙමිනි. මේ අනුව නිරීක්ෂණය කළ හැකි වන්නේ ඔහු පවසන සෑම කරුණක්ම ජ්‍යෝතිෂය පිළිබඳ කිසිදු පදනමක් නැතිව ප්‍රකාශ කරන බවයි. ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රඥයන් පවසන්නේ මංජුල පීරිස් නම් වූ මෙම පුද්ගලයාට ජ්‍යෝතිශය සම්බන්ධ මූලික දැණුම පවා නොමැති බවයි.
මේ අතර රූපවාහිනී මාධ්‍ය මගින් පෙනී සිටින ඔහු තම තැරැව්කරුවන් ලවා තමන් අසීමාන්තික ලෙස වර්ණනා කරන දුරතකන ඇමතුම් සජීවී වැඩසටහන්වලට සම්බන්ධ කර ගැනීමට ගොස් හත් පොලේ ගා ගත් අයෙකු බව එම රූපවාහිනී ආයතනවල කාර්ය මණ්ඩලය පවසති. එසේ වුවද මහ ජනතාව මංජුල පීරිස්ගේ ප්‍රෝඩාකාරී මතයන්වලට රැවටී ඔහු පසුපස යන්නේ ඔවුන් ජ්‍යෝතිශය පිළිබඳ කිසිවක් නොදන්නා නිසා ම පමණි. ජ්‍යෝතිශය ඈදා ගැනීමෙන් ඔහු වෙත අත යටින් ලැබෙන අති විශාල මුදල නිසා ඔහු තවතවත් මෙවැනි රැවටිලිකාර මතයන් පතුරමින් සිටී. ධනයට බලයට ලෝභකම් කරන මෙවැනි මිනිසුන්ට නොරැවටී පසුපසට නොව රට ඉදිරියටම ගෙන යාමට දායකත්වය ලබා දිය යුතු වන්නේ ඔබ විසින් ම ය.
-යහපාල සේනාධිසිංහ විසිනි-

Comments