ප්‍රගීත් අතුරුදන් කළ හමුදාවේ ලොක්කෝ ඇතුළට ‘තවත් ලැයිස්තුවක් හෙළි වේ

syndicated from lankanewsweb.net,

ප්‍රගීත් අතුරුදන් කළ හමුදාවේ ලොක්කෝ ඇතුළට ‘තවත් ලැයිස්තුවක් හෙළි වේ'
බ්‍රිඩියර්වරයෙක්-බුද්ධි ලොක්කෙක් සම්බන්ධයි
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරුන් දෙදෙනකු, මාණ්ඩලික සැරයන්වරයකු සහ කෝප්‍රල්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද අත්අඩංගුවට ගෙන තිබේ.
ලුතිනන් කර්නල් කුමාර රත්නායක, ලුතිනන් කර්නල් සිරිවර්ධන, මාණ්ඩලික සැරයන් රාජපක්ෂ සහ කෝප්‍රල් ජයලත් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, අද උදෑසන මෙම පිරිසට කට උත්තරයක් ලබාදීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා තිබිණි. මීට පෙර මේ සම්බන්ධයෙන් යුද හමුදාවේ සාජන් මේජර්වරයකු සහ දෙමළ ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි. එම දෙමළ ජාතිකයන් දෙදෙනා එල්ටීටීඊ ඔත්තු සේවය වන ටොසී හි සේවය කර ඇති අතර, පසුව යුද හමුදාව සමග කටයුතු කර ඇත. අදාළ පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අද අත්අඩංගුවට ගත් පිරිස පිළිබදව තොරතුරු හෙළි වී ඇත. මීට අමතරව යුද හමුදාවේ බ්‍රිෙග්ඩියර්වරයකු සහ ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියකු සම්බන්ධයෙන්ද දැනට අත්අඩංගුවේ සිටින සාජන් මේජර්වරයා තොරතුරු හෙළි කර ඇති බවත්, ඔහුගෙන්ද ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු පසුගිය මහ මැතිවරණ සමයේදී අගමැතිවරයාගේ උපදෙස් පිට නවතා තිබූ අතර, ඊට හේතු වී තිබුණේ හදිසියේ හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීමෙන් යුද හමුදාව තුළ කැළඹීමක් ඇති විය හැකි බවට බුද්ධි අංශ ලබා දුන් තොරතුරු ය. නැවත එම පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර, මේ පරීක්ෂණය හරහා අතුරුදන් වූවන් රැසක් පිළිබද තොරතුරු හෙළිදරව් වනු ඇති බවද අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

Comments