රනිල් අගමැති ලෙස සිව් වැනි වතාවටත් දිව්රුම් දෙයි: සම්මුති ආණ්ඩුවක අවබෝධතා ගිවිසුමත් අත්සන් කරයි

syndicated from lankaenews.com,


ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තා ගත ඡන්ද ලක්ෂ 5 කට අධික සංඛ්‍යාවක් ලැබූ රනිල් වික්‍රමසිංහ මහතා නව පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස අද(21) උදෑසන 10.07 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දුන්නේය. ලංකාවේ වැඩිම වාර ගණනක් අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් පුද්ගලයා වන්නේ ද රනිල් වික්‍රමසිංහ මහතා වේ. ඔහු අද අගමැතිවරයා ලෙස දිව්රුම් දුන්නේ 4 වෙනි වතාවට ය.
අගමැතිවරයා ලෙස දිව්රුම් දීමෙන් අනතුරුව සම්මුති ආණ්ඩුවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට එහිදීම සිදුවිය. ඒ සඳහා අත්සන් තැබුවේ එජාප ලේකම් කබීර් හෂීම් සහ ශ්‍රීලනිප නව ලේකම් දුමින්ද දිසානායක මහත්වරුන් විසිනි. 
දිව්රුම් දීමේ කෙටි සහ චාම් උත්සවට ඉන් නිමා කෙරිණ. 
මෙම උත්සවයට පරාජිත ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් එජනිස මන්ත්‍රී මහින්ද රාජපක්ෂද සහභාගී වී සිටීම විශේෂිතය. රාජපක්ෂට යාබද අසුන වෙන්ව තිබුනේ හිටපු ජනාධිපති බිරිඳක් වන හේමා ප්‍රේමදාස මහත්මියට ය. ඊට යාබදව මහින්ද රාජපක්ෂ සිරගත කළ පසුව ෆීල්ඩ් මාර්ෂල් ධූරයෙන් පිදුම් ලැබූ සරත් ෆොන්සේකාට වෙන්කර තිබීමද විශේෂිත ය. 
සංඝයා වහන්සේලා ප්‍රමුඛ සර්ව ආගමික පූජක වහන්සේලාද නව පාර්ලිමේන්තුවට පත් වූ මැති ඇමැතිවරුන් රැසක් ද දෙස් විදෙස් තානාපතිවරුන්ද මෙම උත්සවයට සහභාගී වූහ.

රනිල් වික්‍රමසිංහ මහතා මුල් වරට අග්‍රාමාත්‍යවරයා ලෙස දිව්රුම් දෙනු ලැබුව 1993 වසරේ මැයි මස 07 දාය. ඒ ජනාධිපති ඩී.බී.විජේතුංග මහතා ඉදිරියේය. අද සිවු වැනි වතාවටත් දිවුරුම්‍ දුන්නේ ඉන් වසර විසි දෙකකට පසුවය. 1993 වසරේ අගමැති ධුරයට පත් වීමට පෙර වික්‍රමසිංහ මහතා කර්මාන්ත විද්‍යා සහ තාක්ෂණික, අධ්‍යාපන, තරුණ කටයුතු යන කැබිනට් ඇමති ධුරයන්ද හෙබවීය‍. දෙවන වතාවට 2001 ව‍සරේ ‍දෙසැම්බර් මාසයේද තුන්වැනි වතාවට මේ වසරේ ජනවාරි 09 දා ද වික්‍රමසිංහ මහතා අගමැති ධුරයේ දිව්රුම් දෙනු ලැබීය.

ශ්‍රී ලංකාවේ මෙතෙක් ඩී.එස්.සේනානායක, ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, විජයානන්ද දහනායක, එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, ජේ.ආර්.ජයවර්ධන, ආර්.ප්‍රේමදාස, ඩී.බී.විජේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, රත්නසිරි වික්‍රමනායක සහ දි.මූ.ජයරත්න යන මහත්වරුන් අගමැති ධුරය හොබවා තිබේ.
සේයාරූ පසුව ඉදිරිපත් කරමු.

Comments