විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පොල්ල දැමූ නිමල් සිරිපාල සම්මුති ආණ්ඩුවක් බිහි කිරීමත් කඩා කප්පල් කරයි.! ව්‍යවස්ථාවේ නැති නියෝජ්‍ය අගමැතිකම ඉල්ලයි..!



Syndicated from lankaenews.com,

 


සම්මුති ආණ්ඩුවක් බිහි කර ගැනීම ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දී ඇත. 

ජනාධිපතිවරයා නායකත්වය දෙන ශ්‍රීලනිපය සහ අගමැතිවරයා නායකත්වය දෙන එජාපෙ ය එක්ව රටේ ජාතික සහ දැවෙන ප්‍රශ්න වලට ශක්තිමත් විසඳුම් ලබා ගැනීම සඳහා අවම වශයෙන් වසර 2 ක් හෝ සම්මුති ආණ්ඩුවක් ලෙස කටයුතු කළ යුතු යැයි ගන්නා ලද ඓතිහාසික තීන්දුවට ද්‍රෝහී වෙමින් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙකු වන නිමල් සිරිපාල ද සිල්වා කඩාකප්පල්කාරී ලෙස කටයුතු කිරීම නිසා මෙම ගැටළුකාරී තත්ත්වය ඇති වී ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.
ප්‍රථමයෙන්ම ඔහු නියෝජ්‍ය අගමැති තනතුර තමාට ලබා දෙන ලෙස ඉල්ලා ඇත. පිළිතුරු ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ එවැනි තනතුරක් දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොමැති බැවින් එවැන්නක් හදනවානම් හදා ගත හැක්කේ යෝජිත නව ව්‍යවස්ථාව මගින් බවයි. මෙහි ඇති නීතිමය තත්ත්වය ගැන සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කරන්නැයි නිමල් සිරිපාලට අගමැතිවරයා උපදෙස් දී ඇත. නමුත් විජේදාස රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර නැති නිමල් සිරිපාල ද සිල්වා දිවයින පුරා පත් වී සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අමතමින් සම්මුති ආණ්ඩුවකට සහාය නොදෙන ලෙස බල කරමින් සිටී.
තමා ඉල්ලූ නියෝජ්‍ය අගමැති ධූරයක් නොලැබෙන බව වටහාගෙන ඇති නිමල් සිරිපාල ද සිල්වා ජනාධිපති වරයාටද දන්වා ඇත්තේ සම්මුති ආණ්ඩුවක ඇමැතිකම් ලබා නොගෙන විපක්ෂයේ සිට අවශ්‍ය අවස්ථාවලදී පමණක් සහාය දෙන ආකාරයට කටයුතු කරමින් එජාපෙ ආණ්ඩුවට අවුරුදු පහක් ආණ්ඩුකිරීමට ඉඩ නොදී එය කඩාකප්පල් කර ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රීලනිප ආණ්ඩුවක් හදා ගත හැකි බවයි. මීට පෙර රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත්වූ එජාප ආණ්ඩුව ජනාධිපති බලතල යොදා වසර දෙකකින් විසිරුවා හැර යලි එජනිස ආණ්ඩුවක් හදා ගත් ආකාරයද නිමල් සිරිපාල මතක් කර දී ඇත. නමුත් 19 වන සංශෝධනය අනුව ජනාධිපතිවරයාට වසර 2 කින් ආණ්ඩුවක් විසිරුවා හැරීමේ බලතල නැත.
පසුගියදා අත්සන් තබන ලද එජාප-ශ්‍රීලනිප අවබෝධතා ගිවිසුමට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යන වගන්තිය ඇතුලත් කිරීමට විරුද්ධ වී එය කඩාකප්පල් කෙළේද නිමල් සිරිපාල ද සිල්වා ය.
ජනමතයෙන් පරාජය ලැබූ නිමල් සිරිපාල ද සිල්වා රටේ ජනතාව ගැන නොසිතා තමාට නියෝජ්‍ය අගමැති ධූරයක් නොලැබීමේ හේතුව මත ද්‍රෝහියෙකු ලෙස කටයුතු කරද්දී සම්මුති ආණ්ඩුවක් හදන බව මැතිවරණයට පෙරදී ද ජනතාවට දැනුම් දෙමින් පැහැදිලි ජනමතයක් සහිතව ජයග්‍රහණය කරන ලද එජාපෙ නායක රනිල් වික්‍රමසිංහ මහතා හින්දු පත්‍රයට අදහස් පළකරමින් මෙසේ කියා තිබේ.
 “අපට අනෙක් පැත්තේන් දහ පහළොස් දෙනෙක් ගන්න තිබුණා. ඒත් එහෙම වුණා නම් ජනාධිපතිවරයා ඉතාම අපහසු තත්වයකට පත් වෙන්න තිබුණා. අනෙක් අතට අප ශ්‍රීලනිපය සමඟ සහයෝගීව කටයුතු කිරීම,  පහළොස් දෙනෙක් ගන්නවාට වඩා බොහෝ වාසි සහගත යි. මන්ද කියනවා නම් අප උත්සාහ කරන්නේ අඩුම වශයෙන් ඉදිරි වසර දහය සඳහා ජාතික රාමුවක් තහවුරු කර ගැනීමටයි. අපේ පුද්ගලික සහ දේශපාලන විරුද්ධවාදීකම්වලට එහා යන විසඳිය යුතු දැවැන්ත අභියෝග අප හමුවෙහි තිබෙනවා. වගකිව යුත්තේ කව්රුන්දැයි කියා කෑ ගසනවාට වඩා බලමු, අප මේ ඉන්නා තැනින් ගොඩ එන්නේ කෙසේ ද කියා.“

Comments