බුදුන් වහන්සේ සිව් වැනි වරට ලක්දිවට වැඩම කළ වගයි - කෝසල කරුණාරත්න වාර්තා කරයි

syndicated from lankaenews.com,



ලංකා පුරයෙහි මෙවර මැතිවරණයට භික්‍ෂූන් 150 කට වැඩි පිරිසක් චන්දය ඉල්ලන බව සැළ වී  එය සත්‍යය දැයි සියැසින් දැක බලාගැනීමට පසුගිය දිනක බුදු රජාණන් වහන්සේ ලංකා පුරයට වැඩම කොට ඇත. එසේ චන්දාපේක්ෂක භික්ෂූන්ගෙන් උන් වහන්සේ පිලිවිසි කරුණු මෙසේය.
“මහණෙනි, තොප ගිහියන් ගේ දානයකට​, බණකට​, පිරිතකට කිසිදු විටෙක පයින් නොයන බවටත්, අඩුම තරමින් දායකයන් විසින් ත්‍රීරෝද රථයක් හෝ ලබාදිය යුතු යැයිද ,තොපගේ පුද්ගලික වාහනයකින් ගමන් කලහොත් ඒ සඳහා වැය වූ ඉන්ධන ගාස්තු පවා ලබා ගන්නේ යැයි ගිහියෝ චෝදනා කරති. එසේම දැන් තොප පිණ්ඩපාතයේ නොයන බවටත් සිවුපසය ආරාමයටම ගෙන්වා ගන්නා බවටත් අවශ්‍ය ආහාර වර්ගය කුමක්දැයි පෙර දැනුම් දෙනු ලබන බවටත් පැමිණිලි ලැබෙති. ඒත් තොප දැන් මේ නිවෙසක්, නිවෙසක් පාසා පිණ්ඩපාතයේ යමින් සිටින්නේ නොවේද...?“
“එසේය ස්වාමීනී, අප පිණ්ඩපාතයේ යමින් සිටින්නෙමු ය​.“
“එහෙත් මා හට කුහුල දනවන කරාණාවක් ඇත​. තොප පිණ්ඩපාතයේ යන්නේ පාත්‍රධාතුව නොමැතිවද​..?“
“එසේය ස්වාමීනී, අප  පිණ්ඩපාතයේ ආහාර සිඟා නොයන්නෙමු. අපි මනාප සිඟා ගෙන් ගෙට යන්නෙමු.“
“මනාප..? ඒ කිමෙක්ද ?, මුළු මහත් දඹදිව්තලය පුරා මා එවැනි ආහාරයක් වළඳා නැත. එවැනි ආහාරයක නමක්ද අසා නැත​.“
“ස්වාමීනී, මෙය ආහාරයක් නොවන්නේය​. ආහාර හා අන් සියලු සැප සම්පත් ලැබෙන්නේ මෙය වැඩිපුර ලබාගතහොත් පමණි.“
“මහණෙනි, මේ කිසිවක් මා හට නොතේරෙයි.“
“එසේය ස්වාමීනී, මනාප වැඩිපුර ලබා ගත් කල දියවන්නාව නම් ජලාශය මැද ජිෆ්‍රි බාවා නම් විශ්ව කර්මයා විසින් සාදන ලද මනරම් මාළිගාවක් ඇත​. එයට අවසර නොමැතිව පුද්ගලයන්ට ඇතුල්විය නොහැක​. ශාන්ත​, දාන්ත​, නිසංසල​, මනරම් වටපිටාවකි. එහි ගිය පසු තුසිත දෙව්ලොවට වඩා සැප සම්පත්‍ ය​. එය සිතූ පැතූ දේ ලබා ගත හැකි කල්ප වෘක්‍ෂය මෙනි.“
“තොප එහි යන්නේ පසිඳුරන් දමනය කොට බවුන් වැඩීමටද​...?“
“ස්වාමීනී, පසිඳුරන් දමනය කිරීමට නම් පසිඳුරන් අවුස්සා ගත යුතු නොවේද? මේ වෑයම ඒ වෙනුවෙනි.“
“එහි අනතුරක් නැතිද​..?“
“නැත ස්වාමීනී, ගස් මෝවියා නමැති දේවදත්තයා මෙවර දියවන්නාවට නොඑන බැවින් අපේ ධාතු කරඬුවට කිසිදු අනතුරක් සිදු නොවේ.“
“මාගේ සද්ධර්මය දේශනා කර ඇත්තේ මගධ භාෂාවෙනි.“
“ස්වාමීනී එය ප්‍රශ්නයක් නොවන්නේය​. නායක්කර් වංශයේ වාසුදේව නැමැති මහලු බමුණෙක් හා බුල් ඩෝග් වර්ගයේ බන්දුලයෙක් අදාළ භාෂාව නොමිලේම උගන්වති. පෙර ආත්මයේ එළාරගේ දස මහායෝධයන් ගෙන් කෙනෙක් වූ වීරසංගිලි පනික්කියලාගේ විමලසේන නැමැත්තෙක් නූගත් ජනයා ජාතියෙන් හා ආගමෙන් මෝහනය කරන්නේ කෙසේදැයි කියා දෙයි. බුකී කාරයෝද​, ගණිකා මඩම්කාරයෝද​, එතනෝල් කාරයෝද​, අංගුලිමාල වැනි මිනීමරුවන් ද​, කුඩුකාරයෝද​, මහජන මුදල් ගසා කෑ එවුන් ද මෙකී නොකී එවුන් ද, නොකී මෙකී එවුන් ද මෙහිදී අපගේ සමාගමයට ලැබෙන්නේය.“
“මහණෙනි, මා තොපට දේශනා කොට ඇත්තේ ‘චරථ භික්ඛවේ චාරිකාං- බහුජන හිතාය, බහුජන සුඛාය‘ යනුවෙන් නොවන්නේද​..?“
“ එසේය ස්වාමීනී, අප මේ දිනවල වෙනදාට වඩා පාන්දරින් අවදිව ඉතා හොඳ ආහාරයෙන් කුස් පුරවා ගෙන  ගව් ගණනක් ගෙන් ගෙට යමින් කියන්නේ උන්ගේ හිත සුව පිණිස අප මෙසේ පැමිණි බවය​. කොටින්ම කියන්නේ නම් උන් ඉන්නා තත්වයට අප පත් වී, අප ඉන්නා තත්වයට උන් පත් කිරීම අපගේ එකම ව්‍යායාමය බව කියන්නෙමු ය​. උදේ අවදි වූ මොහොතේ පටන් අපගේ කට කනේ ය​. එක් වූ දෑත් කරේ ය​. මෙතෙක් අපට වැන්දවුන්ට අපි මේ දිනවල වඳින්නෙමු.“
“මාගේ දර්ශනය ලෝකවාසී සියලු සත්වයා මෝහයෙන් ගලවා ගැනීමය​. එහෙත් තොප දැන් කරන්නේ උන් මෝහයෙන් මුළා කරවීමය​.“
“එසේය ස්වාමිනී, අප පමණක් නොව දියවන්නා යන සියලු දෙනාම උන් මෝහයෙන් මුළා කරන්නේය​. ද්වේෂයෙන් නගා සිටුවන්නේය​. ලෝබ සිත් පහළ කරවන්නේය​. දිගින් දිගටම එසේ කරන කල්හි උන් ගේ ලෝබ​, ද්වේෂ​,මෝහ පවතිනා තැන් ගෙවී ගොස් නිවන් යනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.“
“මහණෙනි, තොප නිවන් නොයන්නේද​..?“
“ස්වාමීනී අප යන්නේම නිවන්‍ ය​. ගිනි කූරක්වත් දල්වන්නේ නැත. අපගේ ඇබිත්තයන්,  සාමණේරයන් හා අසල්වාසී පින්වතියන්ගෙන් විමසුව මැනව“
“මහණෙනි, මා රම්‍ය​, සුරම්‍ය​, සුභ යන මාළිගාවන් තුනද අත හැර වනගත වී පළමුව පුරා සාවුරුද්දක් ශරීරයට අධික දුක් දෙමින් නිවන් අවබෝධ කරගනු  පිණිස වෙර දැරුවෙමි. ඉන්පසු තවත් සාවුරුද්දක් මැද පිළිවෙතක් අනුගමනය කරමින්  බුද්ධත්වයට පැමිණියෙමි. මාගේ අනුගාමිකයන් වූ තොප එවැනි මඟක් අනුගමනය කරනු නොපෙනේ.“
“එසේය ස්වාමිනී, අපටද ප්‍රාදේශීය සභා, පළාත් සභා හා පාර්ලිමේන්තුව ලෙස මාළිගා තුනක් ඇත. ඇතැමෙක් මෙකී මාළිගා තුනෙන් එකක හෝ වැඩ වාසය කර ශරීරයට බොහෝ සැප දෙමින් නිවන් අවබෝධ කර ගැනීමට වෙහෙස වෙර දරා ඇත​. ඇතැමුන් කුළුඳුල් ය​. අපගේ සියල්ලනට දියවන්නාවේ කප්‍ රුක් මාළිගාවට යා ගත හැකිවුවහොත් ඉදිරි සා වසරක් ශරීරයට අධික සැප දෙමින් කාමසුඛල්ලිකානු යෝගීව නිවන් අවබෝධ කරගැනීමට උත්සාහ කළ හැකිය. අනෙක් පස වාඩිවුන හොත් ගෙවන්නට සිදුවන්නේ අත්ථකිලමථානුයෝගී ජීවිතයකි. මේ දෙකම වැරදුනහොත් ශරීරයට අධික දුක් දෙමින් දිවියම ගත කිරීමට සිදුවන්නේය​.“
“මහණෙනි, විහාරස්ථානයක් දෙසින් ‘ජයවේවා‘ යන හඬක් ඇසෙන්නේය​. කිමෙක්ද දැන් මෙහි විහාරස්ථානයන්හි සාධුකාර නොදෙන්නේද​...?“
“එසේය ස්වාමීනි, ඒ අපගේ දෙවන සුද්ද-ඕ-ධන රජතුමන් කුමන්ත්‍රනාරාමයට සැපත්වන මොහොතයි.“
“ශුද්ධෝදන​..? , ශුද්ධෝදන යනු මාගේ පියාණන්‍ ය​. තොපගේ අන්තිම රජු ශ්‍රී වික්‍රම නොවන්නේද​...?“
“එසේය ස්වාමීනී, මොහුගේ උපන් නම පර්සි මහේන්ද්‍රය​, මීඩියා මල්ලිලා ගේ අයියාය​. කම්කරුවන්ට ප්‍රඥප්තියක් දුන්නේය​, ජිනීවා නුවරට සංදේශ ගෙන යමින් දැහැමින් සෙමෙන් රාජ්‍යයක් සඳහා දුක් වින්දේය​. 2005 දී මහින්ද නමින් අභිෂේක කරවන ලද්දේය​. ඉන්පසු උතුරු කුරු දිවයින ආක්‍රමණය කෙළේය​. එහිදී දෙමළුන් ලක්‍ෂයකට අධික පිරිසක්ද ඔවුන් ගේ දේපල ද සුද්ද කෙළේය​. ඇතුන් 70 ගේ බර සමාන රත්තරන් කුට්ටි පමණක් කිලෝ  350 ක්ම සුද්ද කෙළේය​. 2010 දී නැවත අභිෂේක ලබමින් වයඹ දිශාවේ භූමිතෙල් ඉල්ලූ හලාවතයන් ද​, ජලය ඉල්ලූ රතුපස්වලයන් ද​, සිය ඊ.පී.එෆ් - ඊ.ටී.එෆ් බේරාගැනීමට සටන් කළ කටුනායකයන් ද සුද්ද කෙළේය​ .ඒවාට විරුද්ධ වූවන්ට සුදු වෑන් ද​, මැරයන් ද දමා සුද්දය දුන්නේය​. ඒ අතර රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් හා දේපලට සුද්දය දීමටද අමතක නොකෙළේය​. කොටින්ම කියන්නේ නම් ඔබ වහන්සේගේ ධාතූන් වහන්සේලා උඩින් එල්ලා තිබූ රන් වියනටද සුද්දය දුන්නේය​. ඉන්පසු ඔහුගේ පළමු පුත් කුමරා ධාතූන් වහන්සේලාට නයිට් රේස් පෙන්වා ශුද්ධ භූමියටම සුද්දේ දුන්නේය​. මේ නිසා ඔහු දෙවන සුද්ද-ඕ-ධන විය​. ඔබ වහන්සේගේ පියතුමන් ශුද්ධෝදනය​. පසුගිය ජන​;08 මුලු මහත් පුරවැසියන් එක් වී ඔහු ඇතුලු ඔහු ගේ මහත් වර්ගයාටම සුද්දයක් දුන්නේය​. දැන් තුන්වැනි සුද්ද-ඕ-ධන ලෙසින් නැවතත් අභිෂේක කරවීම සඳහා ඔහුගේ කේවට්ටයෝත්, බමුනෝත් දිවා රෑ වෙහෙසෙති. එනිසා දැන් ආරාම තුළින් ඇහෙන්නේ ‘සාධුකාරය‘ නොව ‘ජයවේවා‘ යන්නය​.“
“මහණෙනි, තොප මාගේ අනුගාමිකයන් වන බුද්ධපුත්‍රයන් නොවන්නේද​..?“
“එසේය ස්වාමීනී, අප යුද්ධ පුත්‍රයන් වන්නෙමු ය​.“
“මහණෙනි, මා සංඝායනාවක් කොට තොප සියල්ල සසුනෙන් එළවා දමන්නෙමි. මා දැන් කැළණියටද ,මහියංගනයටද, නාගදීපයට ද යායුතුය​.“
“ස්වාමීනී , මේ මොහොත ඒ සඳහා නුසුදුසුය​. කැළණියේ ගස් මෝවියාට භික්‍ෂූන් ගේ අන්ඩකෝෂ පෙනෙන්නට බැරිය​, මහියංගනයේ තනි ඇතා සිටින්නේ මද කිපිලාය​. නාගදීපයේ ඩගියා ගැන අධි ආරක්‍ෂිත කළාපයේ සිටි නිමලරාජන් නම් මීඩියාකරුවාගෙන් අසා දැනගත හැක​. ඒ කෙසේ වෙතත් දැන් අප ඔබට යන්නට නොදෙන්නෙමු. මහණෙනි.., වහාම බුදුන් අල්ලා  කුමන්ත්‍රණාරාමයට ගෙන ගොස් ප්‍රවෘත්ති සාකච්ඡාවක් සංවිධානය කරනු..! මේ වෙලාව කුමන්ත්‍රණාරාමාධිපති හෙද ස්වාමීන්වහන්සේ හෙදියන් පිරික්සන මොහොතයි. ඊට බාධා නොකරනු....!“
.........මෙන්න මේ දැන් අපට ලැබුනු විශේෂ ප්‍රවෘත්තියක්......
විදේශ රාජ්‍යයකින් මෙහි පැමිණි පාංශු දේහධාරී චීවරධාරියෙක් අපගේ සුපේක්‍ෂාශීලී, වන්දනීය​, පූජනීය අතිගරු මහා සංඝරත්නය විසින් අල්ලා ගෙන ඇත​. මේ චීවරධාරියා සාමය, සමානාත්මතාවය නැමැති කඩතුරාවට මුවාවී උතුර නැගෙනහිර නැවත එක්කරමින් මරා දැමූ කොටියාට නැවත පණ දෙන්නට පැමිණි ඩොලර් කාක්කෙකු බව ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්ව සිටි, නෑදෑයින් හට අඩු මුදලට තට්ටු නිවාස සැපයූ, ලොව දෙවරක් ඉපදුනු එකම කාන්තාව විවාහ කරගෙන සිටින වීරවංශ හිටපු ඇමතිතුමා කියා සිටියේය.
මේ ප්‍රවෘත්ති සාකව්ඡාවට එක්ව සිටි  ගම්මන්පිල, වාසුදේව, දිනේෂ් කියා සිටියේ ජාතික හැඳුනුම් පතේ කිඹුල්වත් නුවර ලිපිනය ලෙස සඳහන්ව ඇති බැවින් මෙම චීවරධාරියා ‘රෝ‘ සංවිධානය සමඟ සම්බන්ධකම් පවත්වනෙක් බව මොනවට ඔප්පුවන බවයි. ඩලස්, ඩිලාන් හා ජී.ඇල්. කියා සිටියේ මේ පිළිබඳව සියලුම තානාපති කාර්යාල දැනුවත් කිරීමට වහාම පියවර ගෙන ඇති බවත් කොමිසමක් පත්කොට අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටින බවයි.
කෙසේ වෙතත් සියලු දෙනාගේම පොදු අදහස වී තිබුනේ ජනතාවට අවශ්‍ය, කෑමබීම​, ඉඳුම් හිටුම්, ඇඳුම් පැළැඳුම්, සෞඛ්‍යය හා අධ්‍යාපනය නොව, උඩු රැවුලක් සහිත කොණ්ඩය කළු කළ නායකයෙක් බවය​. එවැනි නායකයෙකුට ජාත්‍යන්තරය පවා බිය වී ඇති බැවින් මේ සියලු කුමන්ත්‍රණ පරාජය කළ හැක්කේ දෙවැනි සුද්ද-ඕ-ධන තුන්වෙනි සුද්ද-ඕ-ධන ලෙස අභිෂේක කිරීමෙන් පමණක් බවයි.
...........තවත් තොරතුරු ලද සැනින් ගෙන එන්නෙමු........අප හා රැඳී සිටින්න............

- වාර්තා කෙළේ කෝසල කරුණාරත්න -

Comments