ජවිපෙ පමණක් නොව එජනිසයද ප්‍රජාතන්ත්‍රවාදයට කොකා පෙන්වයි: පරාජිතයන් 6 ක් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට

syndicated from lankaenews.com,


ප්‍රජාතන්ත්‍රවාදයට කොකා පෙන්වන, ජනතා ඡන්දයෙන් පරායට පත් වූ අපේක්ෂකයන් ජාතික ලැයිස්තුවෙන් යලි පාර්ලිමේන්තුවට ඇතුළු කරන ක්‍රමවේදය, එජනිසයද භාවිතා කිරීමට තීරණය කර තිබේ. 
එජනිසයෙන් ඡන්දය ඉල්ලා පරාජය වූ එස්.බී දිසානායක, මහින්ද සමරසිංහ, පියසේන ගමගේ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජිත් විජයමුණි සොයිසා, නන්දිමිත්‍ර ඒකනායක යන 6 දෙනා යලිත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගැනීමට මෛත්‍රීපාල සිරිසේන සභාපතිවරයා තීරණය කර ඇතැයි දැන ගන්නට තිබේ. ඊට හේතු ලෙස දැක්වෙන්නේ මෙම පිරිස මෛත්‍රීපාල සිරිසේන හිතවාදීන් වූ නිසා ඔවුන් ට එරෙහිව ඡන්ද ව්‍යාපාරය මෙහෙයවූ මහින්දවාදීන් විසින් සිතා මතා ඔවුන්ව පරාජය කළ බැවින් ඔවුන් යලි ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට ගත යුතු බවයි.
එක්සත් ජාතික පක්ෂය තම ජාතික ලැයිස්තුවෙන් කිසිදු පරාජිත අපේක්ෂකයෙන් පාර්ලිමේන්තුව තුලට නොගැනීමට තීන්දු කර ඇත්තේ එය ප්‍රජාතන්ත්‍රවාදයට කොකා පෙන්වීමක් නිසාය. මේ අතර එක්සත් ජාතික පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් 13 දෙනෙකු ලැබුනද ඉන් නියම වශයෙන් එක්සත් ජාතික පාක්ෂිකයන් පාර්ලිමේන්තුවට ගත හැක්කේ 7 දෙනෙකු පමණක් යැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මන්ද යත් එක්සත් ජාතික පෙරමුණට සහාය දුන් පක්ෂ සහ සංවිධාන වලට ඉතිරි 6 දෙනා බෙදා දිය යුතු නිසාය. 
මේ අතර ජනතා විමුක්ති පෙරමුණද ප්‍රජාතන්ත්‍රවාදයට කොකා පෙන්වා පරාජිත අපේක්ෂකයෙක් වූ සුනිල් හඳුන්නෙත්ති ජාතික ලැයිස්තුව හරහා යලි පාර්ලිමේන්තුවට ගැනීමට තීරණය කර තිබේ. 
කෙසේ වෙතත් මෙම ක්‍රමය සදාචාරාත්මකව ප්‍රජාතන්ත්‍රවාදයට කොකා පෙන්වීමක් වුවද ලංකාවේ නීතිය අනුව නීති විරෝධී කටයුත්තක් නොවේ. ජාතික ලැයිස්තුවේ නොසිටියද පරාජිත අපේක්ෂකයෙක් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට නම් කිරීමට නෛතික හැකියාවක් ඇත.


Comments