08 දා ජයග්‍රහණය රැකගැනීමට ඇත්තේ එකම මගයි: තුන්වැන්නෙක් නෑ: ජවිපෙට අනතුර නොතේරීම කණගාටුයි: ජවිපෙට දෙන ඡන්දය භයානකයි: රාජපක්ෂ යලි ඒවි..! -යහපාලන පුරවැසියෝ

syndicated from lankaenews.com,



 අගෝස්තු 17 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ තීරණාත්මක දේශපාලන වැදගත්කම අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය, සාමය, සංහිඳියාව සහ යහපාලනය ගරු කරන ඡන්ද දායකයින් මෙන්ම දේශපාලන බලවේග හොඳින් අවබෝධ කරගෙන සිටිති.
මේ මැතිවරණයේ දී තෝරාගැනීම සඳහා ඡන්දදායකයින් සහ දේශපාලන බලවේග ඉදිරියේ ඇති විකල්පය ඉතා පැහැදිලි ය. ජනවාරි 08 වෙනිදා ලබාගත් ප්‍රජාතන්ත්‍රීය ජයග්‍රහණය  ඉදිරියට ගෙනයනවා ද?, නැතිනම් රාජපක්ෂ යුගයට ආපස්සට යනවා ද? යන තෝරාගැනීම අප සියලු දෙනා විසින්  කළ යුතුව තිබේ.  එය අප රටේ ඉදිරි ගමන සහ  පසු ගමන යන එකිනෙකට විරුද්ධ දේශපාලන ගමන් මගවල් දෙකෙන් එකක් තෝරාගැනීමක් ද වේ.
මේ තෝරා ගැනීමේ දී, ප්‍රජාතන්ත්‍රවාදයේ, සාමයේ, සංහිඳියාවේ සහ යහපාලනයේ අරමුණුවලට  කැපවී සිටින කිසිදු පුරවැසියෙකුට, තුන්වෙනි තෝරාගැනීමක් නැත. තුන්වැනි තෝරාගැනීමක් කරා යෑම, රාජපක්ෂ පාලනයට ආපසු ඒමට ඉඩ සළසන දේශපාලන වශයෙන් අදූරදර්ශි පියවරක් විය හැකි ය.  ජනවාරි 08 වෙනිදා සිදුවූ නිහඬ විප්ලවයේ සක්‍රීය කොටස්කරුවෙකු වූ ජනතා විමුක්ති පෙරමුණ මේ අනතුර ගැන ප්‍රමාණවත්  සංවේදිතාවයකින් නොසිටීම කණගාටුවට කරුණකි.
තීරණාත්මක දේශපාලන අරගලවල දී  බොහෝවිට සිදුවන්නේ,  අපේ තෝරාගැනීම විකල්ප දෙකකින් එකක් බවට ලඝුවීම ය. 2015 අගෝස්තු 17 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණයේ ඇත්තේ ජනවාරි 08 වෙනිදා සිදුවූ නිහඬ විප්ලවය ඉදිරියට ගෙනගොස් දේශපාලන වශයෙන් මල් ඵල ගන්වනවාද? නැද්ද? යන විකල්පයයි. මේ අභියෝගය ගැන  ජනතා විමුක්ති පෙරමුණත්, එහි හිතවතුන්, ආධාරකරුවන් සහ ඡන්දදායකයිනුත්  බැරෑරුම් ලෙස සිතාබලනු ඇත යනු අපගේ විශ්වාසයයි.
ජනවාරි 08 වෙනිදා සිදු වූ නිහඬ විප්ලවය පාවාදීමට වක්‍ර ලෙස  හෝ දායකවීමට  එහි කොටස්කරුවන් වූ කිසිවෙකුටත් සදාචාරාත්මක අයිතියක් නැති බව අපි අවධාරණය කරමු.  අද අප ඉදිරියේ ඇති ඓතිහාසික වගකීම වන්නේ, රාජපක්ෂ පවුල නායකත්වය දෙන  එක්සත් ජනතා නිදහස් සන්ධානය දිස්ත්‍රික් මට්ටමෙන් සහ ජාතික මට්ටමෙන්  ලබාගන්නා ආසන සංඛ්‍යාව  හැකිතාක් අඩුකරන ලෙසින් ඡන්දය පාවිච්චි කිරීමයි.  දිස්ත්‍රික් මට්ටමින් හෝ ජාතික මට්ටමින් හෝ රාජපක්ෂ සන්ධානයට  වක්‍රාකාරයෙන් හෝ වාසිවෙන පරිදි, යහපාලන පිලට බෝනස් ආසන අහිමි වී යන ආකාරයට සිය වටිනා ඡන්දය පාවිච්චි නොකරන්න යැයි, ජනවාරි 08 වෙනිදා  නිහඬ විප්ලවයේ පාර්ශවකරුවන් වූත්, එහි පාර්ශවකරුවන් වීමට  අලුතින් තීරණයකර සිටින්නාවූත්  සියලු ඡන්ද දායකයින්ට අපි ආයාචනා කරමු.
-යහපාලනය සඳහා වූ පුරවැසියෝ-

Comments