ජාතික ප්‍රශ්න විසඳන සම්මුති ආණ්ඩු සාකච්ඡා අවසන් :කැබිනට් මණ්ඩලයේ පළමු වටයේ දිව්රුම් දීම හෙට: මංගල සැසිය 01දා: දෙවන වටයේ දිව්රුම් දීම පසුව: මලික්ගෙන් නිවේදනයක්



syndicated from lankaenews.com,





දිගු කලක් තිස්සේ කැකෑරෙන ජාතික වැදගත් කමකින් යුත් ප්‍රශ්න විසඳාගැනීම සඳහා සම්මුති ආණ්ඩුවක් ගොඩ නැගීම වෙනුවෙන් එජාපය සහ ශ්‍රීලනිපය අතර පැවැති සාකච්ඡා සුහද හා ගැඹුරු ලෙසින් සාකච්ඡා කර දැන් එකඟත්වයකට පත්ව ඇතැයි එජාප සභාපති, ජාතික ලැයිස්තු මන්ත්‍රී මලික් සමරවික්‍රම මහතා එජාපය වෙනුවෙන් නිල නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
වාර්තා වන අන්දමට හෙට මූලික ඇමැති මණ්ඩලය දිව්රුම් දීමට නියමිතය. 19 වන සංශෝධනය අනුව ඇමැති මණ්ඩලය 30 විය යුතු බවත් ජාතික ආණ්ඩුවක් ගොඩ නගන්නේ නම් එය 50 ක් දක්වා වැඩි කළ හැකි බවටත් වගන්තියක් දැක්වේ. ඒ අනුව පළමු කොටස දිව්රුම් දීමෙන් පසු ලබන 01 වෙනිදා පාර්ලිමේන්තුව රැස්වී ජාතික ආණ්ඩුවකට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව ඉතිරි ඇමැතිවරු පසුව දිව්රුම් දෙනු ඇත. 03 වෙනිදා සිට යලි පාර්ලිමේන්තුව නියමිත පරිදි රැස්වේ. 01 වෙනිදා කතානායක නියෝජ්‍ය කතානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති පත් කර ගැනීමෙන් පසුව සවස 3 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව ඇමැතීමටද නියමිතය.

මලික් සමරවික්‍රම මහතාගේ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

පසුගිය ජනාධිපතිවරණ හා පාර්ලිමේන්තු මැතිවරණ ව්‍යාපාරයේ දී එක්සත් ජාතික පක්‍ෂය දිගින් දිගටම ප්‍රකාශ කළේ මෙරට නව දේශපාලන සංස්කෘතියක් හා ශීලාචාර පාලන ක්‍රමයක් නිර්මාණය කිරීම සඳහා මුළු පාර්ලිමේන්තුව ම, ආණ්ඩුවක් බවට පත් කරන බව ය.
ඒ සඳහා අවම වශයෙන් වසර දෙකක කාලයකට හෝ ජාතික ආණ්ඩුවක් බිහි කරන බව ද, අපි පැවසූවෙමු. ඒ අනුව යමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග ගිවිසුමක් ද පසුගිය දා අත්සන් කළෙමු.
ජාතික ආණ්ඩුව පිහිටුවීම සඳහා අපි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග ඉතා සුහද හා ගැඹුරු ලෙස සාකච්ඡා පැවැත්වීමෙන් පසුව දැන් එකඟත්වයකට පැමිණ ඇත්තෙමු.
මෙහිදී අප දෙපාර්ශ්වයේම මූලික අරමුණ වූයේ ජනතාවට සේවය කිරීමයි. සාම්ප්‍රදායික දේශපාලන චින්තනයන්ගෙන් වියුක්තව, දේශයේ අනාගතය පෝෂණය කළ හැකි ක්‍රියාවලියකට අපි එක් වූයෙමු. ඇමති තනතුරු හා වරප්‍රසාදවලට නොව මාතෘ භූමිය යළි ඉහළට ඔසවා තැබීමේ ව්‍යායාමයට අපි මුල් තැන දුන්නෙමු.
මෙහිදී අප දෙපාර්ශ්වයටම කැප කිරීම් කරන්නට සිදු විණි. එහෙත් ඒ සියළු කැපකිරීම් අප කළේ දේශයේ උන්නතිය පෙරදැරි කර ගනිමිනි.
නව අමාත්‍ය මණ්ඩලය, නව පාර්ලිමේන්තුව සමග අපි මාස හැටකින් අලූත් රටක් හදන අභියෝගාත්මක ගමන සාර්ථක කර ගැනීම සඳහා ඇප කැපවී කටයුතු කරන්නෙමු.

(2015 අගෝස්තු 26 දා එජාප සභාපති මලික් සමරවික්‍රම මහතා නිකුත් කළ නිවේදනයකි)

Comments