මහින්ද රාජපක්ෂගේ මානසික තත්ත්වය ඉතා අසාමාන්‍යයි: අස්වාභාවිකයි: ජනතාවට අනතුරුදායකයි: අංගොඩින් සහතිකයක් ඕනෑ - මැන්ඩාමුස් ආඥාවක් ඉල්ලා පෙත්සම් රැසක් අධිකරණයට

(ලංකා ඊ නිව්ස් -2015.ජූලි.25, ප.ව.11.30) පරාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මානසික තත්ත්වය ඉතා අසාමාන්‍ය හා ස්වභාවික තත්ත්වයෙන් බැහැරව පවත්නා හෙයින් ඒ පිළිබඳව ඔහු අංගොඩ මානසික රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට ඉදිරිපත් කර ඔහුගේ මානසික තත්ත්වය ගැන වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසට නියෝගයක් පනවන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට මැන්ඩාමුස් රිට් පෙත්සමක් ඉදිරිපත් කිරීමට මේ වන විට සියලු කටයුතු  සූදානම් කර ඇතැයි ලංකා ඊ නිවුස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වේ.
ජනතාවගේ පරමාධිපත්‍යය පිළිබඳ නිර්ණය කිරීමේදීත් රාජ්‍ය සේවයට මෙන්ම පෞද්ගලික අංශයේ සේවයට පවා බඳවා ගැනීම් සිදු කිරීමේදීත් යහපත් මානසික හා කායික තත්ත්වය අත්‍යවශ්‍ය අංගයක් බවත් එවන් තත්ත්වයකදී පරාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂ නමැති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරාපේක්ෂකයාගේ මානසික තත්ත්වය පිළිබඳව සැක උපදවන නිසා ඔහුව අනිවාර්ය වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කර වාර්තාවක් ලබාගන්නැයි නියෝගයක් මැතිවරණ කොමසාරිස්වරයාට පනවන්නැයි මෙකී පෙත්සමෙන් ඉල්ලා ඇත.
තවත් ආරංචි මාර්ගයක් පවසන්නේ පරාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මෙකී අසාමාන්‍ය හැසිරීම නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලවත් අගතියක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී සිදුවී ඇති බවත් එම නිසා ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් ලබාගැනීම මත ලැබෙන වෛද්‍ය නිර්දේශවලට පදනම් වී ජනතාවට ස්වාධීන තීන්දුවක් මැතිවරණයේදී ගැනීමට ඉඩකඩ ලබා දීම සඳහා නෛතික මාවතක් නිර්මාණයක් කර දීමට රජය බැඳී සිටින බව දක්වමින් එම ක්‍රියාදාමය නිසි ලෙස ඉදිරියට ගන්නා ලෙස නියෝගයක් මැතිවරණ කොමසාරිස්වරයාට පනවන්නැයි ඉල්ලා තවත් පෙත්සමක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කිරීමට යන බවයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේම අපේක්ෂකයින් පිරිසක් දැනටමත් මේ සඳහා පිඹුරුපත් සකස් කර ඇතැයි ද දැන ගන්නට තිබේ.
මහ මැතිවරණයේ නාම යෝජනා භාරගන්නා අවසන් දිනය වූ ඉකුත් 13 වෙනිදාට පෙර දිනයේදී දුමින්ද සිල්වා නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මන්ත්‍රීවරයාට නාම යෝජනා ලබාදෙන ලෙසට ප්‍රචණ්ඩකාරී ලෙසට හැසිරෙමින් මහින්ද රාජපක්ෂ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්  සුසිල් ප්‍රේමජයන්තට පහර දීමත් මහින්ද රාජපක්ෂගෙන් පහර කෑ සුසිල් ප්‍රේමජයන්ත ඇද වැටීමෙන් පසුව රෝහල්ගත කළ බවද අකුරැස්ස රැස්වීමට ආ පාක්ෂිකයාට පහර දීමට යෑමද දක්වමින්  මහින්ද රාජපක්ෂගේ මෑත කාලීන මානසික තත්ත්වයට අදාළ සිද්ධිමය කරුණු රැසක්ම මෙම පෙත්සමට පෙළගැස්වීමටද තීරණය වී තිබේ. 
වසර දෙකක් තිබියදී ජනාධිපති ධූරයෙන් ඇද වැටීමත්, තමාට අගමැතිවීමට තරම් ප්‍රමාණවත් පාර්ලිමේන්තු බලයක් නොලැබී තමා අන්ත පරාජයක් කරා තල්ලු වන බවට දැඩි ලෙස ආරෝපණය වී ඇති හැඟීමත්, පරාජයෙන් පසු නිසැක වශයෙන්ම කරන ලද සොරකම් සහ ඝාතනයන්ට අච්චු ලැබීමේ අනතුරත් නිසා මහින්ද රාජපක්ෂගේ මානසික තත්ත්වය මෙලෙස අසාමාන්‍ය වීම ස්වභාවික දෙයක් නමුත් එලෙස අසාමාන්‍ය මානසික තත්ත්වයකින් ක්‍රියා කිරීමේදී ඔහු සිය පාක්ෂිකයින්ට පීඩාකරමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමෙන් ඔහුව පාලනය කිරීමට මානසික ප්‍රතිකාර ලබාදිය යුතු බැවින් ඒ සඳහා වන සාධාරණ ඉල්ලීමකට ඉඩදීමට අධිකරණයට අභිමතානුසාරී බලයක් හා නෛතික වගකීමක් ඇති බවත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෙනත් දේශපාලන පක්ෂ කීපයක අපේක්ෂකයින් පිරිසක් සහ එම දිස්ත්‍රික්කයට තරඟ වැද සිටින ස්වාධීන අපේක්ෂකයින් පිරිසක් විසින් ඉදිරිපත් කිරීමට නියමිත තවත් පෙත්සමක දැක්වෙන බවත් දැනගන්නට තිබේ.
පසුගියදා මහින්ද රාජපක්ෂ අකුරැස්සේදී පුද්ගලයෙකුට පහර දීමට තැත් කරන ලද සිද්ධියට අදාළ ඡායාරූප හා වීඩියෝ දර්ශනවල රූපරාමු අධිකරණයට ඉදිරිපත් කරමින් හිටපු ජනාධිපතිවරයා බලවත් මානසික කම්පනයකින් හා ආසාදිත තත්ත්වයකින් පසුවන බවත් මොහුගේ මෙම අසාමාන්‍ය මානසික ස්වභාවය සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල කරන බවටත් තොරතුරු දක්වමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිරිසක් තවත් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වේ. 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 5 වන පරිච්ඡේදයේ දැක්වෙන රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ මූලධර්ම ක්‍රියාත්මක කිරීමට රජය ජනතාවට බැඳී සිටින බවත්, ව්‍යවස්ථාවේ 16 (2) (අ) වගන්තිය අනුව සියලූ ජන කොට්ඨාශවල අයිතිවාසිකම් ඇතුලූ පුරවැසියන්ගේ සියලූම අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස සපුරාලීමට රජය සහ විධායකය බැඳී සිටින නිසාත් එම ව්‍යවස්ථාවේම 16(7) වගන්තිය අනුව රටවැසි ජනතාවගේ භාෂාව සහ සංස්කෘතිය වර්ධනය කිරීමට මෙන්ම 16(8) වගන්තිය අනුව ජනතාවගේ සමාජ සුරක්ෂිතභාවය සහ සුභසාධනය ඇති කිරීම පිණිස රජය උත්සාහ කළ යුතු බවට කර ඇති අවාධාරණයට සැබෑ යුක්තියක් ඉටුකළ හැක්කේ අධිකරණයට බවත් එම නිසා මෙම පෙත්සම් විභාගයට අධිකරණය ප්‍රමුඛතාව දිය යුතුත් දක්වමින් තවත් පෙත්සමක් මාධ්‍යවේදීන් පිරිසක් විසින් අධිකරණය හමුවට ගොනු කිරීමට නියමිත බවත් දැනගන්නට තිබේ. 
මෙම පෙත්සම් සියල්ල ලබන සතියේ අධිකරණය හමුවට ගොනු කිරීමට නියමිතය.
---------------------------
by     (2015-07-25 19:15:24)

Comments