--by යොහාන් භාසුර, syndicated from wisdensrilanka.lk, Jul 26, 2015
සංචාරක පාකිස්තානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන අවසන් තරගයේ (දිවා/රාත්‍රී) පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 368 ක් රැස්කිරීමට සමත් විය.
පාකිස්තානු පිල ජයග්‍රහණය සදහා ඕවරයකට ලකුණු 7.38 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 369 ක් රැස්කළ යුතුය.
නායක ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 70) සහ මිලින්ද සිරිවර්ධන (නොදැවී 52) පස්වැනි කඩුල්ලට පන්දු 55 කදී ලකුණු 114 නොබිඳුණු වේගවත් සම්බන්ධතාවක් පවත්වමින් ලකුණු 368 ක් දක්වා රැගෙන ඒමට සමත් වූහ.
ඇන්ජලෝ මැතිව්ස් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 31 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් සමගින් සිය 27 වැනි එක්දින අර්ධ ශතකය සම්පූර්ණ කළේය. මැතිව්ස් පන්දු 40 කදී නොදැවී ලකුණු 70 ක් එකතු කළේය. මිලින්ද සිරිවර්ධන එක්දින පිලේ ස්ථානය තහවුරු කරගනිමින් පන්දු 26 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 52 ක් රැස්කරමින් සිය පළමු එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය වාර්තා කළේය.
දිනේෂ් චන්දිමාල් පන්දු 25 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 29 ක් රැස්කරමින් දැවී යෑමත් සමඟ ලකුණු 254 කට කඩුලූ 4 ක් ලෙස ලකුණු පුවරුවේ සටහන් විය.
ළහිරු තිරිමාන්න පන්දු 30 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 30 ක් රැස්කර සිටියදී තෙවැනි කඩුල්ල බවට පත්විය. කුසල් පෙරේරා අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 109 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 116 ක් ලබා සිටියදී දෙවැනි කඩුල්ල ලෙස දුවද්දී දැවී ගියේය. මෙය කුසල්ගේ දෙවැනි එක්දින ශතකයයි.
කුසල් පන්දු 41 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් අර්ධ ශතක සම්පූර්ණ කළ අතර 24 හැවිරිදි කුසල් මේ වන විට එක්දින තරග 48 කදී ලකුණු 1,096 ක් රැස්කිරීමට සමත්ව සිටියි.
කුසල් පෙරේරා සහ තිලකරත්න ඩිල්ෂාන් පන්දු 152 කින් ලකුණු 164 ක ආරම්භක සම්බන්ධතාවක් පවත්වමින් ප්‍රබල තත්ත්වයට ඒමට අඩිතාලම දැමූහ. තිලකරත්න ඩිල්ෂාන් පන්දු 70 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 62 ක් රැස්කර සිටියදී දුවද්දී දැවී යෑමෙන් පාකිස්තානයට කඩුල්ල පූජා කළේය.
තිලකරත්න ඩිල්ෂාන් මෙහිදී 55 වැනි ලකුණු රැස්කිරීමත් සමගින් එක්දින ලකුණු 10,000 සම්පූර්ණ කළේය. 38 හැවිරිදි ඩිල්ෂාන් මේ වන විට එක්දින තරග 318 කදී ශතක 22 ක් සහ අර්ධ ශතක 45 ක් සමගින් ලකුණු 10,007 ක් රැස්කර තිබේ.
ඩිල්ෂාන් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ලකුණු 10,000 ක් සම්පූර්ණ කළ සිවුවැනි ක්‍රීඩකයා වේ. කුමාර් සංගක්කාර (13,975), සනත් ජයසූරිය (13,364) සහ මහේල ජයවර්ධන (12,381) ලකුණු 10,000 පසු කළ සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වෙති. කුසල්ගේ ප්‍රහාරය හමුවේ පාකිස්තානු නායකයා 18 වැනි ඕවරය වන විට සිය ප්‍රධාන පන්දු යවන්නන් හය දෙනකුගේ සේවය ලබාගෙන තිබුණි. ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් තුනක් කරමින් තිසර පෙරේරා, සචිත්ර සේනානායක සහ ළහිරු ගමගේ මෙම තරගයට ක්‍රීඩා කළහ. ලසිත් මාලිංග, සචිත් පතිරණ සහ නුවන් ප්‍රදීප් කණ්ඩායමෙන් ඉවත් කර තිබේ.
වේග පන්දු යවන ලසිත් මාලිංගට පළමු වරට කණ්ඩායමේ ස්ථානය අහිමිවීම මෙහිදී කැපී පෙනෙන සිද්ධියක් බවට පත්විය. මාලිංගගේ ස්ථානයට ළහිරු ගමගේ කැඳවා තිබුණි. පාකිස්තානය සිවුවැනි තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම වෙනසකින් තොරව ක්‍රීඩා කරයි.
පාකිස්තානු පිල ජයග්‍රහණය සදහා ඕවරයකට ලකුණු 7.38 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 369 ක් රැස්කළ යුතුය.
Comments
Post a Comment