“වල කැලතුනාම කූඩ කාරයාට වාසියි” ජිනසිරි දඩල්ලගේ ලියයි

 

Syndicated from  lankaenews,


(ලංකා ඊ නිව්ස් -2020.අප්‍රේල්.27, ප.ව.10.25) මෙය අපේ ගැමි සමාජයේ ප්‍රකට පිරුළකි. මාළු වල බොරවූ පසු මාළු අල්ලන්නාට වාසි වේ. අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම හෝ අවස්ථාවාදී වීම මෙයින් අර්ථවත් වේ. ‘කළ දුටු කළ වල ඉහගන්’ වශයෙන් මෙයට සමාන්තර උපදේශාත්මක ජනප්‍රිය ප්‍රස්ථා පිරුළක් ද ගැමි වහරේ පවතී.
ශ්‍රී ලංකාවේ දේශපාලනයේ මෙය ඉතා අපුරුවට ක්‍රියාත්මක වේ. බොහෝ රාජ්‍ය කළමනාකරණ තීන්දු තීරණ ගැනීම දේසපාලන අංශ වල අයිතියක් වී ඇති සමාජයක බොහෝ තීරණ දේශපාලන වාසිදායක තත්වයන් ඇතිකර ගැනීමට හෝ තව දුරටත් තහවුරු කරගැනීමේ අවශ්‍යතාවය මත පදනම් වේ. මෙම තත්වයන් නිදහසින් පසු බලයට පැමිණි සෑම රජයක්ම අඩුවැඩි වශයෙන් භාවිතා කළ ක්‍රමෝපායක් වේ. සාමාන්‍ය පරිපාලනයේදී ද මෙම තත්වය අදාලවුවත් එය ආපදා අවස්ථාවලදී අතිශයින් ඉහත කී පිරුළ සනාථ කරවන භාවිතාවන් සීග්‍රලෙස ඉදිරියට පැමිණේ.

එහෙම කළා නම් 'අපේ මිනිහාට' චාන්ස් දෙන්නේ කොහොමද?

කොරෝනා ශ්‍රී ලංකාව ආක්‍රමණය කරමින් සිටියදීම මැතිවරණය පැවැත්වීමට පාලකයන්ගේ උත්සාහය විය. එය දින නියමයක් නොමැතිව කල් ගියේය. එහෙත් මැතිවරණය ඉදිරියට පැමිණීම සහතිකය. ජනතාවට අත්‍යවශ්‍ය  ආහාර හෝ බෙහෙත් ද්‍රව්‍ය ගැනීමට දුෂ්කරතා නිර්මාණය විය. ඉහත කී පිරුළ අනුව දුෂ්කරතා ඕනෑවට වඩා නිර්මාණය කළ බවද සිතිය හැකි කරුනු කාරනා ද ඕනෑ තරම් ඇත.
අවම වශයෙන්  ආහාර, බෙහෙත් සාමාන්‍ය සැපයුම් මාර්ග කොන්දේසි යටතේ විධිමත්ව පවත්වා ගෙන යාමට හා කළමනාකරණය කිරීමේ හැකියාව පැවතින. ඒ වෙනුවට ජංගම වෙළඳාම් ක්‍රමයක් හදුන්වා දුන්නේ ය. ගමේ සිල්ලර කඩේ, එළවලු කඩේ, ෆාමසි එක ඇර ඒවාට සැපයුම් මාර්ගවලට ඉඩදීමට හැකිවුවේ නම්, තොග වෙළෙන්දාට ගොවි ද්‍රව්‍ය මිලදී ගැනීමේ පෞද්ගලික යාන්ත්‍රනය කොන්දේසිමත විධිමත් වුවේ නම් සාමාන්‍ය ක්‍රමය කොරෝනා අර්බුදය සමඟ කළමණාකරනය වේ. එසේවුවේ නම් 'අපේ මිනිස්සුන්ට' ජංගම වෙළඳ බලපත්‍ර හා ඇඳිරිනීති බලපත්‍ර ලබාදීමට හෝ 'අපේ මිනිහාගේ' ත්‍රී වීල් එකට බෙහෙත් හෝ ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයට බලපත්‍ර දෙන්නේ කොහොමදැයි කියා  දෙනවාද? එසේ වූවානම් අර ගැමි ප්‍රස්ථා පිරුළේ වටිනා කමත් අඩුවෙනවා නේද?

පළමුව අපේ අයට, ඉතිරි උනොත් සෙසු අයට..

සාමාන්‍ය සැපයුම් ක්‍රමවේදය කොරෝනා නිසා හෝ ඉහත කී පිරුළට ශක්තිමත් අර්ථකතනයක් දීම සඳහා හෝ අඩපණ වූ හෝ අඩපණ කළ පසු ප්‍රාදේශීය ලේකම් වරු මැදිහත් කරගනී. ලබා දෙන චක්‍රලේක උපදෙස් කල දුටු කළ වල ඉහගැනීමේ දර්ශනයට අදාල වේ. සමස්ථ සැපයුම් ඉල්ලුම් ජාලය අවුල් කළ පසු රජයේ මුදලින් ප්‍රාදේශීය හෝ දිස්ත්‍රික් ලේකම් වරු මැදිහත්වේ. ජාලය අවුල් නිසා ගැනුම් කරුවන් හිඟ වේ. එසේ නැත්නම් කඩින් කඩ ඇඳිරි නීතිය නිසා ප්‍රා. ලේ. සැපයුම එනවිට තොග වෙළෙන්දා ගෙදර ගොසිනි. දැන් මොකද කරන්නේ ප්‍රා. ලේ වරු ? ඇයි අහන්නත් දෙයක්ද ? නොමිළේ බෙදමු යන චක්‍රලේඛ උපදෙස් පැමිණේ. මේ සඳහා උදව්වට ගමේ මන්ත්‍රීලා හා සභාපති වරු පැමිණේ. පළමුව අපේ අයට, ඉතිරි උනොත් සෙසු අයට ලැබේ. සමහර මලු තොග වශයෙන් නියෝජිතයන්ට ලැබෙන්නේ ‘උඹට ඕනෑ අයට දීපං මචං’ යන ඉහලින් එන චක්‍රලේඛ නොවන උපදෙස් භාවිතා කරමිනි. මේවා කිසිවෙකුට ප්‍රශ්ණ කළ නොහැක්කේ නිසි කාලයේදීම කොරෝනා පැමිණි නිසාවෙනි. වීර ඇමතිවරයෙක් මැකෝටත් දෙහි කැපුවේ එම පදනමෙනි.
කොරෝනා වැඩිවීම නිසා නොනිමි 5000 පැමිණේ. මේ සඳහා අර්බුදයක්ද නිර්මාණයවී ඇත. එම අර්බුදය සමාජ මාධ්‍ය හමුවේ නිරාවරණය වී ඇත. කූඩා කාරයාගේ පැත්තේ අයට මෙය වටිනා සමාජ සේවයකි. අපක්ෂපාතී නිලධාරියාට මෙය කුතුහලයකි. බහුවිධ චක්‍රලේඛ උපදෙස් මත මෙය නියාමනයෙන්  ඈත්වූ දිගට හරහට සල්ලි බෙදීමකි. දුප්පත් සමෘද්ධි ලාභියාට හා සමෘද්ධි බැංකු පද්ධතියට මෙය අනාගත අභියෝගයකි.
ආරංචි මාර්ග අනුව මෙය දැනට සමෘද්ධි ලාභී පවුල් ලක්ෂ 18 කට ලැබේ. පසුගිය රජය කාලයේ තව පවුල් ලක්ෂ 8 බලාපොරොත්තු ලේඛනයක් සදා ඇත. ඔවුන්ටද ලබා දී ඇත. ඔවුන් ඉදිරියේදී 'ඔරිජිනල් සමෘද්ධි පවුල්' ලෙස ස්ථිර කරනු ඇත. එවිට දුප්පත් පවුල් ලක්ෂ 26 දක්වා වැඩි කිරීමේ හැකියාව රජයට ලැබෙනු ඇත. තවත් ස්වයං රැකියා ලාභී පවුල් ලක්ෂ 20 ක් පමණ මේ සඳහා සුදුසුකම් කම් ලබා 5000 ගැනීමට හෝ ගනිමින් සිටී. සමෘද්ධි අධ්‍යක්ෂගේ ඉහත පිරුළට අදාළ කරගත හැකි උපදෙස් මත මෙම දීමනාව ලබා ගත හැකි පිරිස දිවයිනේ සිටින මුළු පවුල් ප්‍රමාණයද ඉක්මවා යා හැක. අදාල නිලධාරියා මෙන්ම බලධාරියා ප්‍රස්ථා පිරුළ හොඳටම තේරුම් ගත් කෙනෙක් වන්නේනම් අධ්‍යක්ෂකගේ චක්‍රලේඛනය හා පහල මන්ත්‍රී මණ්ඩලයේ උපදෙස් පරිදි දැනට ප්‍රශ්නවලින් තොරව වැඩි පවුල් ප්‍රමාණයකට 5000 ලබාදී ‘අපි සෑහෙන්න සේවයක් කළා‘ කියා සැනසි සැනසී සිටිය හැක.

සමෘද්ධිය අර්බුදයක..

මෙම 5000 දීමනාව සඳහා රුපියල් බිලියන 25ක් පමණ වැයවෙතැයි අපේක්ෂා කෙරේ. සමෘද්ධියේ ඇති බොහෝ තැන්පත් මුදල් වසර 25 කට ආසන්න කාලයක් එකතුවී ඇති ඔවුන් සතු අරමුදල් වේ. මේවා වෙනත් කටයුතු සඳහා හෝ ඉවත් කරගැනීමේ තීරණය පහල සිට ඉහලට සම්බන්ධ ප්‍රජා මූල සංවිධානවල පරම අයිතියකි. ඒවා ණයට ගත්තානම් ඒ සඳහා කිසියම් හොඳ ලිඛිත පොරොන්දුවක් එම දුප්පත් ජනතාව වෙනුවෙන් අවශ්‍ය වන්නේය.
2015  ජනපති මැතිවරණයේදී ද මෙබඳු බෙදීමක් සිදුවී ඇත. එනම් මැතිවරණය ආසන්නයේ රුපියල් 2500 නිවාස ආධාරයක් සමෘද්ධි ලාභීන්ගේ  ඉල්ලීමක් නොමැතිව බෙදා දීමයි.  එබඳු තවත් කාරණා කිහිපයක් සමඟ බැඳුණු අධිකරණ ක්‍රියා මාර්ග කිහිපයක් තවමත් පවතී. ඒ සඳහා සම්බන්ධිත මූලිකයන් හා අධ්‍යක්ෂ ජනරාල් තෙමේම ඉහත කී ප්‍රස්ථා පිරුළ සඳහා ශක්තිමත් අර්ථ කථනයක් දීම සඳහා ජන ප්‍රසාදය මත ක්‍රියාකරමින් සිටී. පොරොන්දු නැතිව ලබා ගත් බොහෝ සමෘද්ධි අරමුදල් නිසා අමාරුවෙන් ගැට ගසා ගෙන යන සමෘද්ධි බැංකු හා හිඟ මුදල් ශේෂයන් සැලකිය යුතු ප්‍රමාණයක් සමෘද්ධියේ ඇත.

වෙනත් වියත් මාර්ග තිබුනේද?

ප්‍රස්ථා පිරුළේ ප්‍රතිපාදනයන්ට හා අර්ථ කථනයන්ට වෙනස්ව කටයුතු කිරීමට අලුතින් සිතා කටයුතු කරන බවත්, විද්වතුන්ගේ උපදෙස් මතම ක්‍රියා කරන බවටත් උනන්දු වූ හා අනේකවිධ ප්‍රතිඥා ලබාදුන් නායකයන්ම ඒ සඳහා ඉනිමං බැඳීම කොරෝනාටද සරදමකි. කෙසේ වුවත් ඉහත කී ප්‍රස්ථා පිරුළට නම් අතිශයින්ම සාධාරණය ඉටු කිරීමකි. එම ප්‍රස්ථා පිරුළේ වටිනාකම දෙගුණ තෙගුණ නොව පන් දහස් ගණන් වලින් වටිනා කම් ලබා දුන් එතුමන්ලාට සමස්ත ජාතියේම ප්‍රණාමය හා මනාපය අඩු නැතුව හිමිවේ?
ඉහතකී ප්‍රස්ථා පිරුළ මගහැර ගොවියා ද, වෙළෙන්දා ද, ජනජීවිතය ද, දුප්පත් සමෘද්ධි ලාභීන්ගේ අරමුදල් ද, බේරා ගෙන ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් වරුන් හා කාර්ය මණ්ඩල ආදී රජයේ නිලධාරීන්ට බලවත් ආතතීන් හා ඇනුම් බැනුම් නාසා කළ හැකිව හා කළ යුතුව තිබු වෙනත් වියත් මාර්ග තිබුනේද? ඒ  පිළිබඳව ඔබගේ මතයන් හා අදහස් ද අතිශයින් අගය කරමි.
ඉහතකී ප්‍රස්ථා පිරුළ තව දුරටත් ජන හදවත් තුල පැලපදියම් කිරීමට කාලෝචිත ක්‍රියාමාර්ග ගත් සියළු පාර්ශවයන්ට තවත් එබඳු දේ  කිරීමට අවස්ථාව උදාවේවා.

ජිනසිරි දඩල්ලගේ

හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී

Comments