පණ පිටින් බල්ලන්ගේ කකුල්, ශිෂ්ණ කපා දහන ලාම්පුවෙන් පුළුස්සා ස්නැක් හදති..! 'ලේ විලේ පිහිනන චීනයේ කුරිරු බලු මස් වෙළඳාම..! සන් පුවත්පතේ පළවූ වාර්තාවක සිංහල පරිවර්තනයකි

Syndicated from lankaenews,


(ලංකා ඊ නිව්ස් -2020.අප්‍රේල්.27, ප.ව.11.00) උන්ගේ බූල් සහිත, දීප්තිමත් මුහුණු සන්තෝෂයේ පින්තූරයක් ලෙස පෙනෙන නමුත් බම්බි සහ බොනී දැන් මරණයට වඩා දරුණු අස්වාභාවික ඉරණමකින් බේරී ඇත. චීනයේ වේගයෙන් වර්ධනය වන සුනඛ මස් වෙළඳාමට හසුව සිටි කුඩා බලු පැටවුන් දෙදෙනා,  පණ තිබිය දීම කකුල් කපා දමා අනතුරුව දහන ලාම්පුවෙන් පුළුස්සනු ලැබීමට පෙර ගලවා ගනු ලැබිණ.
ටින් කළ සුනඛ මස්, සුනඛ සොසේජස්, රෝස් කළ සුනඛ කකුල් පමණක් නොව සුනඛ ශිශ්න ස්නැක් ඇසුරුම් පවා විකුණන වෙළඳුන් විසින් සෑම වසරකම මිනිස් පරිභෝජනය සඳහා සුනඛයන් මිලියන 10 ක් ඝාතනය කරනු ලැබීමට වගකිව යුතු රට චීනය බව ගණන් බලා තිබේ.
අවන්හලක මුළුතැන්ගෙය තුළ දී බම්බි සොයා ගන්නා විට ඇයගේ කකුල් දැඩි ලෙස කැඩී ගොස් තිබූ අතර අස්ථි සම්පූර්ණයෙන්ම වෙන්ව තිබිණ. නමුත් ‘Slaughterhouse Survivors’ ගලවා ගැනීමේ සංවිධානයේ ආරම්භක සාමාජිකාවක් වන, එමිලි පාකර් පවසන්නේ උගේ තත්වය බොහෝ නරක අතට හැරී ඇති බවයි.
“බේරා ගැනීමට පෙර කල් තබාම වධහිංසාවට හෝ අපයෝජනයට ලක් වූ සුනඛයන් නිතිපතා අප වෙත ලැබී තියෙනවා,” ඇය පැහැදිලි කරයි. “ස්ටාර්ක් ද ඩෝබමන් වැනි සුනඛයන් අප ළඟ සිටි අතර උගේ කකුල් කපා දමා තිබුණා. වම් පැත්තෙන් කකුල් දෙකම කපා දැමූ තවත් සුනඛයෙක් ද අප ළඟ සිටියා.”

මස් හදන අතරතුර සුනඛයා පණපිටින්..

“ඔවුන් සාමාන්‍යයෙන් කකුල් කපා දැමීමෙන් පටන් ගන්නේ එයින් සුනඛයා නොමැරෙන නිසාය, එබැවින් එයින් අදහස් කරන්නේ  බල්ලාගේ කායික පද්ධතිය වටා ඇඩ්‍රිනලින් සංසරණය වන බවයි. මස් පිළියෙළ කරන අතරතුර සුනඛයා පණපිටින් තබා ගත හැකි බව ඔවුන් විශ්වාස කරයි, එමගින් ඔවුන්ට වඩාත් හොඳ මසක් ලැබෙනු ඇත."
මෙම පුණ්‍යායතනය 2016 දී පිහිටුවන ලද දින සිට සුනඛයන් 3,000 ක් බේරාගෙන ඇති නමුත් ලොව පුරා පවුම් මිලියන 209 කට වඩා වටිනා කර්මාන්තයක් තුළ තවත් සුනඛයන් මිලියන ගණනක් ආබාධිතව ඝාතනයට ලක්ව ඇත.
සාමාන්‍යයෙන් ඊසානදිග පළාතේ හාර්බින්වල ජීවත් වන එමිලි, කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ආපසු ඩෙවොන් වෙත පැමිණ සිටී. ඇය සන් ඔන්ලයින් වෙත මෙසේ පවසයි: “මිනිසුන්ට එවැනි දෑ කිරීමට හැකියාවක් ඇති බව දැන ගැනීමත් මට හිතෙන හැටියට අමාරුම දෙයක්.”

සුනඛ මාංශ උළෙලේ දී පණපිටින් දහන ලාම්පුවෙන් පුළුස්සයි..

සෑම ජුනි මාසයේම, ගිනිකොනදිග නගරයක් වන යුලින්වල දින දහයක ලිචී සහ සුනඛ මාංශ උළෙල සඳහා සුනඛයන් දහස් ගණනක් ඝාතනය කිරීම, මස් කිරීම, පිසීම සහ අනුභව කිරීම සිදු කරනු ලබන අතර, එහි දී සමහරු විශ්වාස කරන්නේ පලතුරු සහ මස් සංයෝජනය දිගු ශීත කාලය තුළ සෞඛ්‍යය ළඟා කර දෙනු ඇති බවයි.
ගිය වසරේ උළෙලේ දී, බල්ලෙකු පණපිටින් දහන ලාම්පුවකින් පුළුස්සන අයුරු දැක්වෙන සිනමා පටය මුළු ලෝකයේම කෝපයට හේතු විය. 
සුනඛ මස් චීන ආහාරයේ ප්‍රධාන ධාරාවේ කොටසක් නොවූව ද, චීනය ලෝකයේ විශාලතම සුනඛ මස් වෙළඳ පොළ වන අතර සෑම වසරකම ටොන් 97,000ක් නිෂ්පාදනය කරයි. මෑතක ඇති වූ ඌරු මස් හිඟය නිසා සුනඛ මස් මිල අහස උසට ඉහළ ගිය අතර සුනඛ නිෂ්පාදන අලෙවිය ද වැඩි විය.

සුරතල් සහ දඩාවත සුනඛයන්ට පොල්ලෙන් තලා මරා දමයි..

මස් ලැබෙන්නේ නීත්‍යානුකූල 'සුනඛ මස් ගොවි පොළවලින්' යැයි නිෂ්පාදකයින් කියා සිටිය ද, මෙම ලාභදායී වෙළඳාම සුරතලයට සතුන් ඇති කරන්නන්ගෙන් සුනඛයන් සොරකම් කිරීමේ වසංගතයකට තුඩු දී ඇත.  එක් අධ්‍යයනයකට අනුව පසු ගිය වසර කීපය තුළ එක්තරා ගමක ගෙවල්වලින් සියයට 87 කින් සුරතල් බල්ලන් නැතිවී තිබේ. සුනඛ සොර කල්ලි සුරතල් සුනඛයන් සහ අයාලේ යන සුනඛයන් අල්ලා ගන්නේ විදුම් පයිප්පයකින් හෝ හරස් දුන්නකින් විදින නිර්වින්දක සහිත ඉඳිකටු භාවිතා කිරීමෙනි.
සුනඛයන් සාමාන්‍යයෙන් එකිනෙකා ඉදිරිපිට මරා දමනු ලැබේ, ලොම් ඉවත් කිරීම සඳහා කෙස්හරණ යන්ත්‍රයකට දමා, ඉන් අනතුරුව වෙළඳ පොළට විකිණීම පිණිස දහන ලාම්පුවෙන් පුළුස්සනු ලැබේ.
“මා ගිය බොහෝ ඝාතකාගාරවල දි සුනඛයන්ගේ කොලර දැක්කා,” හූස්ටන්-ඩවුන්ටවුන් විශ්ව විද්‍යාලයේ නැගෙනහිර ආසියානු දේශපාලනය පිළිබඳ සහකාර මහාචාර්ය පීටර් ලී පවසයි. “සමහර බල්ලන්ට ජැකට්ටුවක් පවා තිබුණා. ඝාතන වාරය එන තෙක් සුනඛයන් බලා සිටින අයුරු මා දැක්කා, ඔවුන් වෙවුලමින් එකිනෙකා සමග තෙරපෙමින් සිටියා.”
"ඔවුන් පසු දිනය සඳහා සුනඛයන් 12 දෙනෙකු ඉතිරි කර ගෙන උදේ කාලයේම සියලුම සුනඛයන් ඝාතනය කරනවා.  මේ සුනඛයන් දොළොස් දෙනා සිටියේ ලේ විලකයි."

සුනඛ සොරුන්ට විෂ සිරින්ජ ලක්ෂ දෙකක්..

2017 දෙසැම්බරයේ දී විෂ සහිත සිරින්ජ 200,000කට ආසන්න ප්‍රමාණයක් සුනඛ සොරුන්ට විකුණූ කල්ලියක් අන්හුයි පළාතේ චීන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම මාසයේම ෆුජියන් පළාතේ උසාවියක් විසින් පිටිසර ගමක සුනඛ සොරෙකුට මරණ දණ්ඩනය නියම කරන ලද්දේ විෂ සහිත උලකින් බල්ලෙකුට විදීමට තැත් කළ නමුත් අහම්බෙන් එය වැදී ගැබිනි කාන්තාවක මරණයට පත්වීම නිසාය.
මේ අතර, පසුගිය මැයි මාසයේ දී සුනඛයින්ට වස පොවා උන් සොරකම් කර යුවාන් 400,000 (£44,000)ක් වටිනා සුනඛ මස් කිලෝග්‍රෑම් 40,000 කට වඩා අලෙවි කිරීම සම්බන්ධයෙන් ජියැන්ග්සු පළාතේ පුද්ගලයන් 16 දෙනෙකුගේ කල්ලියකට වසර 1 සිට 6 දක්වා සිර දඬුවම් නියම විය.  
නීත්‍යානුකූල ලියකියවිල් නොමැතිව සතුන් දේශ සීමා හරහා හොර රහසේ ගෙන යන සුනඛ වෙළෙඳුන් විසින් බොහෝ විට ආහාර සුරක්ෂිතතා නීති කඩ කරනු ලැබේ. නමුත් නිහඬ ග්‍රාමීය පාරවල්වල තදබදව ගමන් කරන ට්‍රක් රථ නැවැත්වීමට සහ ඔවුන් පිළිබඳව වාර්තා කිරීම මගින් ඒවාට මැදිහත් වීමට ක්‍රියාකාරීන්ට අවස්ථාවක් ලැබේ.
“බල්ලන් ට්‍රක් රථවල සිටින්නට හේතුවක් නැති බව දන්නා නිසා ඔවුන් ප්‍රාදේශීය බලධාරීන් කැඳවනු ඇත - උන් නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබේ,” එමිලි පවසයි. “ප්‍රාදේශීය ක්‍රියාකාරීන් බොහෝ දෙනෙක් සිටිති, ඔවුන් ඇත්ත වශයෙන්ම ට්‍රක් රථවලට බාධක දැමීමට උත්සාහ කරනු ඇත, ඔවුන් ප්‍රාදේශීය බලධාරීන්ට [එහි ළඟා වීමට] කාලය ලබා ගැනීම සඳහා ඇත්ත වශයෙන්ම උත්සාහ කරයි. එසේ වූ විට සුනඛයන් අප වැනි සංවිධානවලට භාර දෙනු ඇත.”

එය දැවැන්ත ඇස් පෑදීමකි..

රෝග පරීක්ෂා කිරීමෙන් සහ එන්නත් ලබා දීමෙන් පසුව, සුනඛයන් ලොව පුරා නැවත පදිංචි කිරීමට පෙර හාර්බින් නිවාසයට ගෙන යනු ලැබේ. “උන්ගෙන් බොහෝ දෙනෙක් සමග, විශ්වාසය ගොඩනඟා ගැනීම සඳහා අප චර්යාත්මකව බොහෝ කාලයක් ගත කළ යුතුයි,” කියා එමිලි පවසයි.
සෙසු සුනඛ ලෝලීන් වන අයිමී ක්ලාක් සහ හේලී හේස් සමඟ හාර්බින් SHS මධ්‍යස්ථානය ආරම්භ කළ එමිලි, මුලින්ම චීනයට පැමිණියේ සංචාරය හා ඉගැන්වීම සඳහා නමුත් ඇගේ පවුලේ සුනඛයා අතුරුදහන් වීම නිසා ඇය ප්‍රදේශයේ ඇති එකම සුනඛ නිවාසයේ සේවය කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූවාය.
"සුනඛ මස් වෙළඳාම ගැන මා කිසිවක් දැන සිටියේ නැත. එය දැවැන්ත ඇස් පෑදීමකි," ඇය පැවසුවාය. "මා දැනගෙන හිටියේ නැහැ ඒ වගේ දෙයක් එතන වෙනවා කියා. එහෙම දෙයක් වෙනවා කියලා දැනගත්තම ඔබට ඇත්තටම ඇස් පියාගන්න බැහැ. ඊට පස්සේ මට අනිත් කෙල්ලන් දෙන්නා මුණගැහුණා. ඔවුන්ගේ මානසිකත්වය ද හැම අතින්ම මට සමානයි."
හේලී මුල දී උදව් අවශ්‍ය සුනඛයන් පස් දෙනෙකු සොයා ගත් අතර සරණාගත නිවාසයක් පිහිටුවීමට ගැහැනු ළමයින් තිදෙනා තීරණය කළහ. "අප මේ සුනඛයන් පස් දෙනා සමගයි පටන් ගත්තේ. පසුව එය බල්ලන් පස් දෙනෙකුගේ සිට 10 දක්වාත්, පසුව 15 සහ 20 දක්වාත්, එතැන් සිට ගොඩනැගී ආවා."

චීන සත්ව ලෝලීන් කැරලි ගසයි..

සුනඛ මස් වෙළඳාම දියුණු වෙමින් ඇති නමුත්, චීනයේ සත්ව ලෝලීන් මෙන්ම සුනඛයන් ඝාතනය කිරීමට එරෙහි විරෝධය ද වැඩි වෙමින් පවතී. පීටර් ලී පවසන්නේ, “සත්ව ලෝලීන් විවාදය ජය ගනී” කියායි. “අනෙක් පැත්ත නියත වශයෙන්ම ආරක්ෂා වීමට සටන් කරයි.”
වාර්ෂික යුලින් සුනඛ මාංශ උළෙල නවතා දමන ලෙස ඉල්ලා 2018 දී චීන සත්ව ආරක්ෂණ කණ්ඩායම් 87ක සහාය ඇතිව‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ මිලියන 1.5ක ජනතාවක් අත්සන් කළ ලිපියක් අන්තර්ජාතික මානුෂීය සමාජය (HSI) විසින් භාර දෙන ලදී.
එක්සත් රාජධානියේ HSI අධ්‍යක්ෂ ක්ලෙයාර් බාස් මෙසේ පැවසීය. “බටහිර රටවල බොහෝ දෙනෙකුගේ උපකල්පනවලට පටහැනිව, චීනයේ බොහෝ මිනිසුන් සුනඛයන් අනුභව කරන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම මෙම වෙළඳාම ඔවුන්ගේ බලු සුරතලුන් ඔවුන්ගෙන් ඈත් කරන්නක් ලෙස සිතා ඔවුන් බය වෙලා ඉන්නේ.”
කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ චීන රජය කැලෑ සතුන් විකිණීම හා පරිභෝජනය තහනම් කරන නීති හඳුන්වා දුන් අතර, දකුණු චීන නගරයක් වන ෂෙන්ෂෙන් පළාත ද සුනඛ මස් අනුභව කිරීම පැහැදිලිවම තහනම් කරන නීති සම්පාදනය කළේය.

අප කරන්නේ මෙයයි, ඔබ කැමති නම් අප අනුගමනය කරන්න..

සුනඛයන් ඝාතනය හා අනුභව කිරීම තවමත් එක්සත් රාජධානිය තුළ නීති විරෝධී නොවන අතර ලෝක සුනඛ සන්ධානය වැනි ප්‍රචාරක කණ්ඩායම් කියා සිටින්නේ එවැනි තහනමක් නොමැතිකම බලු මස් කෑමේ පුරුද්ද බහුලව පවතින වෙනත් රටවලට නරක ආදර්ශයක් සපයන බවයි. ක්ලැක්ටන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයිල්ස් වොට්ලින් මෙහි නීතිය වෙනස් විය යුතු බවට එකඟ වේ. “අප සත්ව සුභසාධනය පිළිබඳ ලෝක නායකයෙකු වන නිසා, අප සෙසු ලෝකයට සහාය විය යුතුයි,” ඔහු පවසයි.
“අපට කළ හැක්කේ සුනඛ හා බළල් මස් පරිභෝජනය තහනම් කරන නීතියක් සම්මත කිරීමයි. වෙනත් සංස්කෘතීන්ට ඔවුන් අනුභව කළ යුතු හෝ නොකළ යුතු දේ නියම කිරීම අපට අයත් නොවේ, නමුත් අප කිව යුත්තේ මෙයයි: අප කරන්නේ මෙයයි, ඔබ කැමති නම් අප අනුගමනය කරන්න.”
එමිලි වෙහෙස මහන්සි වී දිගටම වැඩ කරන නමුත් එහි ශුභඵල නැත. පරිත්‍යාගශීලීන්ගේ ආධාර ලැබූ වාර්ෂික වියදම පවුම් 600,000 කට වඩා වැඩි වන අතර එමලි ඇස්තමේන්තු කර ඇති පරිදි ඇයගේම මුදල් පවුම් 30,000 ක් පමණ සතුන් ගලවා ගැනීමේ ප්‍රයත්න සඳහා වියදම් කර ඇත. 
“කිසිසේත්ම මා  කිසිම කරුණක් නිසා එය වෙනස් කරන්නේ නැහැ, සියලුම දේට වඩා උන් වටිනවා,” ඇය පවසයි. “සුනඛයන් උන්ගේ අවසාන පවුල් සමග උන්ට ජීවත් වීමට සුදුසු ජීවිත ගත කරමින් සතුටින් සිටින විට ඇති වන හැඟීම අතිශයින් හොඳ යයි හැඟේ.”
-2020 මාර්තු 11 දා බ්‍රිතාන්‍යයේ සන් පුවත්පතේ පළවූ 'POOLS OF BLOOD' Inside China’s brutal dog meat trade where live dogs have legs hacked off and are blowtorched to make snacks නම් ඉංග්‍රීසි ලිපිය සිංහලට නැගුවේ,

-ආනන්ද

Comments