හමුදා පාලනයක් හොඳයිද ?

Syndicated from lankanewsweb,



"හමුදා පාලනයක්" හොඳයි කියන අය ගේන මූලික තර්කය ඒක efficient කියන එක. ඒකෙ ඇත්තක් තියෙන්ඩ පුළුවන්. ඇත්තටම හමුදා පාලනය කියන වචනයට වඩා ගැලපෙන වචනය "ජුන්ටාව" (junta) කියන එක. හමුදාවකට රටක් පාලනය කිරීම අදාළ නෑ. නමුත් ජුන්ටාවකදි වෙන්නෙ සුළු පිරිසක් තමන්ටම පාලන බලය පවරාගෙන හමුදා බලය සහ පොලිස් බලය  යොදාගෙන රට පාලනය කිරීම. එතනදි ඔවුන්ව බලයෙන් ඉවත් කිටීමට ක්‍රමයක් ජනතාවට නෑ.
 ඩිමොක්‍රැටික් ප්‍රොසෙස් එකක් නැති නිසා සහ ජුන්ටාවෙ අභිමතය පරිදි  හෙණ ගහනව වගේ තීන්දු ගන්ඩ පුළුවන් නිසා ජුන්ටාවක් එෆිශන්ට් තමයි.
ජුන්ටාවක තියෙන ප්‍රධාන ප්‍රශ්නය පුරවැසියන්ට ජුන්ටාවෙ තීන්දුවලට විරුද්ධ වීමට හෝ අඩුම වශයෙන් ඒ ගැන විවේචනාත්මක අදහස් දැක්වීමක්වත් කරන්ඩ බැරි වීම. ජුන්ටාව ගන්න හරි හෝ වැරදි ඕනම තීන්දුවකට ඔවුන්ට යටත් වෙන්ඩ වෙනවා.
පොඩි උදාහරණයක් ගත්තොත් පහුගිය දවස්වල MCC ගිවිසුමක් කියල එකක් ගහන්ඩ යනකොට ගොඩක් දෙනෙක් ඒකට විරුද්ධ උනා. උපවාස කරා. මාධ්‍ය සාකච්ඡා තිබ්බ. ෆේස්බුක් එකේ ලිව්ව. ඒ අනුව ඒ ආණ්ඩුවට ඒක අකුලාගෙන යන්ඩ උනා (සමහර අයනම් කියනවා ඒක රනිල් ඒ වෙලාවෙ සජිත් පරාද කරන්ඩ දාපු ගැටයක් කියල. කොහොම වෙතත් මේ කාරණයට ඒක එච්චර අදාළ නෑ).
ETCA ගේනකොට, අලුත් ව්‍යවස්ථා ගේනකොට ඒකට විරුද්ධ වෙන්ඩ පුලුවන් උනේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය නිසයි. ජාතිකවාදී පාලනයක් ලෙස සැලකෙන මහින්ද  රාජපක්ෂ යුගෙයේ පුළුවන් පවා ජල කළමනාකරණ පනත, බීජ පනත වගේ ජ්‍යාත්‍යන්තරවාදී පනත් ආවා. නමුත් මහජන විරෝධය නිසා ඒව ක්‍රියාත්මක උනේ නෑ.
දැන් ජුන්ටාවක් තියෙනකොට ජුන්ටාවට බැරිවෙලාවත් හිතුනොත් හෝ ජුන්ටාවට ණය දෙන අයට හිතුනොත් MCC හෝ ඒ වගේ එකක් ගහන්ඩ ඕන කියල ජනතාවට ඒකට විරුද්ධ වෙන බෑ. ජනතාවට පුළුවන් එකම දේ කීකරුව ඊට අනුගත වීම පමණයි.
චීනය පාලනය කරන්නෙ ජුන්ටාවක්. ඒකට කියන නම චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව.ඇත්තටම ලෝකෙ තිබුන සහ තියෙන සියලු කොමියුනිස්ට් රටවල් පාලනය කරන්නෙ ජුන්ටා තමයි. කොමියුනිස්ට් ක්‍රමයෙ අර්ථ දැක්වීම අනුවම නිර්ධන හෝ පීඩිත පංතියකට බලය යනව කිව්වට අවසානයේ වෙන්නෙ ජුන්ටාවක් බිහිවීම. නමුත් කොමියුනිස්ට් කියා හඳුන්වා ගනනෙ නැති ජුන්ටාවන් තියෙනව. උදාහරණයක් විදියට 1933 හිට්ලර් ඡන්දකින් බලයට පත්වෙලා සුළු කාලයකට පස්සේ එරට පාර්ලිමේන්තුවෙ බලය අහෝසි කරලා ජුන්ටාවක් හැදුව. ඒක ෆැසිස්ට්වාදී ජුන්ටාවක්.
කොටින්ම එකසත් ජාතීන්ගෙ සංවිධානයත් ජුන්ටාවක් ලෙසයි සලකන්ඩ වෙන්නෙ. එහි ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් වන ඇමරිකාව, බ්‍රිතාන්‍ය, චීනය, රුසියාව සහ ප්‍රංශය යන රටවල් සදාකාලිකව ඒකෙ ඉන්නව. ඔවුන්ව ඉවත් කරන්ඩ අනෙක් රටවලට බෑ. නිෂේධ බලය තියෙන්නේ මේ රටවලට පමණයි. මේව ජුන්ටාවක ලක්ෂණ.
චීන කොමියුනිස්ට්  ජුන්ටාව ඔවුන්ගෙම ප්‍රතිපත්ති නිසා රටේ මිනිස්සු හාමතේ  මැරෙද්දි ඒකට යෝජනා කරපු සහ ක්‍රියාත්මක කරපු එක විසඳුමක් තමා One child policy කියන්නෙ. ඒ අනුව එක ළමයට වඩා හැදීම නීතියෙන් තහනම්. බැරිවෙලාවත් තව ළමයෙක් ඉපදුනොත් විශාල දඩයක් ගහනව. එතකොට අම්මල කරන්නෙ ළමයි අතහැරල යනවා. ඔවුන් හාමතේ මැරෙනවා (මේව හුදෙක් බටහිර මාධ්‍යවලින් ගොතපුව කියන්ඩ බෑ. 2006  විතර හමුවූ චීන යහළුවෙක් කිව්වෙ පිටිසර පැතිවල මේක වෙන බව. විශේෂයෙන් ගොවි පවුල්වල පිරිමි ළමයෙක් ඕනෙ නිසා ගැහැනු ළමයෙක් ඉපදුනාම අතහැරල දාන බව. අදටත් චීනයෙ ගම්වල ගෑනු හිඟයක් තියෙනවා කියලයි කියන්නෙ).
ඒ වගේම රජය විසින් පවුල් සෞඛ්‍ය නිලධාරීන් හරහා අමතර ළමුන් අනිවාර්ය ගබ්සාවට යටත් කර තියෙනවා. ජුන්ටාවක පුරවැසියන්ගෙ තත්වය තේරුම් ගන්ඩ මෙය හොඳ උදාහරණයක්. ඔවුන් ෆාම් එකක ඉන්න සතුන් වගේ තමයි. චීන ජාතිකයන් බටහිර රටවලට සංක්‍රමණය වෙන්ඩ ඔච්චර දඟලන්නෙ ආර්ථික හේතු නිසාම නෙවෙයි.
මේ නීතිය යටතෙ ඇත්තටම සල්ලි තියෙන අයට දරුවො දෙකක් හදන්ඩ ලැබුන දඩ ගෙවල. සල්ලි නැති අයට නෑ. නමුත් දුප්පත් අයට තමා ළමුන් ඕන වෙන්නෙ. විශේෂයෙන් ගොවි පවුල්වට ලොකු පවුලක් ඕන ශ්‍රමය ගන්ඩ. මෙතන ඇත්තෙ නරුම රාජ්‍ය ධනවාදයක් (චීනයෙ නගරවල බිල්ඩින්වලින් ඇස් නිලංකාර උනාට චීනයෙ දුප්පත්කම බලන්ඩ ගම්වලට යන්ඩ ඕන කියලයි කියා යන්නෙ. චීනය කියන්නෙ ඇති නැති පරතරය වැඩිම රටක්. කොටින්ම ඇමරිකාවට හෝ යුරෝපයට වඩා වැඩියි). කොහොම හරි මේවයින් ඇතිවූ සමාජ අරබුද නිසා චීන ජුන්ටාව දැන් මේ නීතිය ලිහිල් කරලා ළමයි දෙක දක්වා.
කොමියුනිස්ට් පාලනයන්වල සහ ජුන්ටාවල කොහොමත් මාධ්‍ය හරහා සහ රජයෙන් දෙන අධ්‍යාපනය හරහා brainwashing ඉතා සාර්ථක විදියට වෙන නිසා සහ විරුද්ධ මතවලට ඉඩක් නැති නිසා බොහෝවිට මිනිස්සුන් මේකෙන් හොඳක් උනා කියා හිතනවා. සමහර විට ඔවුන් එහෙම හිතනවා කියල කියන්නෙත් විවේචනය කරන්ඩ බැරි නිසා වෙන්ඩත් පුළුවන්.


Comments