කොවිඩ් 19 වෛරසය ඔබේ ඇඳුම්, සපත්තු, හිසකෙස්, ලිපි ලේඛන හෝ පුවත්පත් මත පවා තිබිය හැකිද? විද්‍යාඥයන්ගෙන් පිළිතුරු..! නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතේ පළවූ ලිපියක සිංහල පරිවර්තනයකි
Syndicated from lankaenews,
(ලංකා ඊ නිව්ස් -2020.අප්‍රේල්.20, පෙ.ව.8.20) නව කොරෝනා වෛරසය පැවතිය හැකි හෝ පැවතිය නොහැකි ස්ථාන පිළිබඳ විශේෂඥයන්ගෙන් ප්‍රශ්න කළ අපට ලැබුණ මේ පිළිතුරු ඔබට යම් සහනයක් ගෙන දෙනු ඇත.
නව කොරෝනා වෛරසය පිළිබඳ ව ඒ අයට තිබෙන ගැටළු අපට පවසන්නැයි අපේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටියෙමු. එහි දී, බහුතරයක් පාඨකයින් අතර වෛරසය පැවතිය හැකි ස්ථාන පිළිබඳ යම් අවදානමක් සහ බියක් තිබෙන බව අපට වැටහිණ. ඒ ගැටළුවලට විසඳුම් සෙවීමට අපි බෝවන රෝග විද්‍යාඥයින්, ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයින් සහ වායුගති විද්‍යාඥයින් හමුවීමු. ඔවුන්ගේ පිළිතුරු ඔබට යම් සැනසීමක් වනු ඇතැයි අප සිතන අතර, ඔබ තවදුරටත් නිවාරණ ක්‍රම භාවිතා කිරීම වැදගත් ය.
කඩ සාප්පුවකට ගොස් පැමිණි විට ඇඳුම් මාරු කර ස්නානය කිරීම කිරීම අවශ්‍ය ම ද?
විශේෂඥයන්ට අනුව, එලෙස කඩයකට, ෆාමසියකට ගොස් පැමිණි විට ඇඳුම් මාරු කර ස්නානය කිරීම අවශ්‍ය නොවේ. නමුත්, ඔබ නිරන්තරයෙන් අත් සෝදා ගැනීම නම් කළ යුතු ම ය. ආසාදිත පුද්ගලයකුගේ කිවිසුමක් හෝ කැස්සක් මගින් වෛරසය වාතයට එකතු වන බව නිවැරදි ය. එහෙත්, වාතයේ නොරැඳෙන ඒ වෛරස අඩංගු කෙළ බිඳිතිවලින් බොහෝමයක්, බිමට පතිත වෙයි.
අධ්‍යයනයන්ට අනුව සමහර වෛරස් අඩංගු කුඩා කෙළ බිඳිති පැය භාගයක් පමණ වාතයේ ඒ මේ අත පාවෙමින් පැවතිය හැකි නමුත්, රංචු ගැසී නොපවතින ඒවාට ඔබේ ඇඳුම්වල ගැටීමට වැඩි ඉඩක් නොමැති ය. වර්ජිනියා ටෙක්හි වායුගති විද්‍යාඥයකු වන ලින්සේ මාර්ට අනුව,
"කෙළ බිඳිති යම් වේලාවක් වාතයේ පා වෙමින් තිබීමට තරම් ප්‍රමාණවත් නොවන අතර වායුගති විද්‍යාවට අනුව ඇඳුම් මත තැන්පත් වීම ද නොවන සුළු ය. කුඩා නිසා ම ඒවා, ඔබේ ශරීරය සහ ඇඳුම් අවට තිබෙන වාතයෙහි ම ටික වේලාවක් රැඳී තිබෙයි"
වෛරස අඩංගු කුඩා කෙළ බිඳිති සාමාන්‍යයෙන් අපගේ ඇඳුම් මතට නොපැමිණෙන්නේ ඇයි?
අප සියලු දෙනාට ම වායුගති විද්‍යාව පිළිබඳ පුළුල් අවබෝධයක් නොමැති නිසා, මේ පිළිබඳ යම් ආකාරයක පුළුල් පැහැදිලි කිරීමක් කරන ලෙස මම ආචාර්ය මාර්ගෙන් ඉල්ලා සිටියෙමි.
ආචාර්ය මාර්ට අනුව, "මෙය විස්තර කිරීමට ඇති හොඳම ක්‍රමය නම්, සාපේක්ෂ ව සෙමින් ගමන් කරන විට අප කරන්නේ වාතය දෙපසට කරමින් ඉදිරියට යන බව තේරුම් ගැනීම ය. එවිට, වාතයෙහි අඩංගු කුඩා කෙළ බිඳිති ද අදාළ වස්තූන් හෝ පුද්ගලයන් වටා කැරකෙමින් වාතයේ ම රැඳී සිටියි. එය තවදුරටත් පැහැදිලි කරන්නේ නම්, කාරයක් සෙමෙන් ගමන් කරන විට, එයට හමුවන කුඩා කෘමි සතුන් හෝ දූවිලි කාරය වටා ඒ මේ අත විසිරෙන අතර, යම් ලෙසකින් කාරය වේගයෙන් ගමන් කළහොත් එ ලෙස වාතයේ පාවෙමින් තිබූ දූවිලි අංශු ද ඉදිරිපස ඇති වීදුරුව මත වැදෙන බව තේරුම් ගන්න. නමුත්, එවැන්නක් සිදුවීමට තරම් වේගයකින් මිනිසුන් ගමන් කිරීමක් සිදුවන්නේ නැත." ඒ පිළිබඳ ව තවදුරටත් සඳහන් කරමින් ආචාර්ය මාර් පැවසූයේ, "ගමන් කරන විට අප විසින් වාතය මාර්ගයෙන් ඉවතට තල්ලූ කරන අතර, කෙළ බිඳිති ඇතුළු බොහෝ දේත්, වෛරස අංශුත් එලෙස අදාළ මාර්ගයෙන් ඉවතට තල්ලු වී යයි. යමෙකු කතා කරන විට, කෙළ ගැසීමේ දී, කැස්සක දී හෝ කිවිසුමක් ඇරීමේ දී විශාල කෙළ බිඳිති ප්‍රමාණයක් වාතයට විසිර යා හැකි ය. එ ලෙස විසිරෙන කෙළ බිඳිති ඇඳුම් මත තැන්පත් විය හැකි ය. නමුත්, එසේ වීමට නම් යම් විශාල ප්‍රමාණයකින් කෙළ බිඳිති අප ශරීරයේ හෝ ඇඳුම් මත තැන්පත් විය යුතු අතර, එවිට ඒවා අනුගමනය කරන්නේ පෙර කී දහරා රේඛාව නොවේ."
ඒ අනුව, කඩ සාප්පුවක හෝ එළිමහනක රැඳී සිටින ඔබ දෙසට ම යමෙකු කිවිසුමක් පිට කරනු ලැබූව හොත්, නිවසට පැමිණි වහා ම ඇඳුම් මාරු කර ස්නානය කළ යුතු ය. නමුත්, අනෙකුත් අවස්ථාවල දී, මන්දගාමී ව චලනය වන ඔබේ ශරීරය සහ ඇඳුම් සරල භෞතික විද්‍යාවේ න්‍යායන්ට අනුකූල ව, වාතය සහ වෛරස් අංශු ඉවතට තල්ලූ කරයි. එබැවින් අනවශ්‍ය ලෙස බිය වියයුතු නැත.
වෛරසයට හිසකෙස් මත හෝ රැවුලෙහි රැඳී සිටිය හැකි ද ?
වෛරස නිසා සමාජ දුරස්ථකරණය අනුගමනය කරන ඔබ තවදුරටත් ඒ පිළිබඳ ව බිය විය යුතු නැත. මන් ද, කිසිවෙකු ඔබේ හිස පිටුපසින් සිට කිවිසුමක් යැවූව ද හිසකෙස් මත වැටෙන කෙළ බිඳිති හරහා වෛරසය ආසාදනය විය නොහැකි ය.
මෙහි දී, මේ වෛරසයට ආසාදිත වන්නේ කෙසේ ද සහ එයට නිරාවරණය වීමේ ක්‍රියාවලිය පිළිබඳ සිතා බැලීම වැදගත් ය. වොෂින්ටන් විශ්ව විද්‍යාලයීය වෛද්‍ය විද්‍යාලයේ ශාන්ත ලුවිස් ළමා රෝහලේ බෝවන රෝග පිළිබඳ උපදේශක වෛද්‍ය ඇන්ඩ්‍රෝ ජැනොවිස්කි පවසන ආකාරයට, "කිවිසුම් යවන පුද්ගලයෙකු ළඟ සිටින විට, ඔහුට යම් ප්‍රමාණයක වෛරස ආසාදිතව පවතින්නේ නම්, අදාළ පුද්ගලයා යවන කිවිසුම හරහා සැළකිය යුතු වෛරස ප්‍රමාණයක් ඔබගේ ශරීරයට ද පතිත විය හැකිය."
"ඉන්පසු වෛරස් තැන්පත් වී ඇති හිසකෙස් හෝ ඇඳුම් ස්පර්ශ කළ යුතු අතර ඉන් පසුව ඔබ ඔබේ මුහුණ ස්පර්ශ කළ යුතුය. ඒ හරහා ඔබට වෛරසය ආසාදිත විය හැකි නමුත්, එලෙස ආසාදිත වීමට නම් සිදුවීම් ගණනාවක් නිවැරදි ව සිදු විය යුතු ය. එබැවින්, ආචාර්ය මාර්ගේ අදහස එය ඉතා අඩු අවදානමක් ඇති කරවන්නකි".
රෙදි සේදීම සහ ඇඳුම් වර්ග කිරීම ගැන ඔබ කරදර විය යුතු ද? ඇඳුම් වලින් ඉවත් වන වෛරස අංශු වාතයට යොමු වන්නේ ද ?
පිළිතුර රඳා පවතින්නේ ඔබ රෙදි සෝදන ආකාරය මත ය. අප සාමාන්‍ය ක්‍රමයට රෙදි සෝදන්නේ ද එසේ නොමැති නම්, අප සෝදන්නේ රෝගී පුද්ගලයකුගේ රෙදි සේදීමෙන් පසුව ද යන්න මත ඉහත ප්‍රශ්නයට පිළිතුර තීරණය වේ. ඔබ රෙදි සෝදන්නේ සාමාන්‍ය පරිදි නම් කනස්සල්ලට හේතුවක් නැත. ඔබට වෙනදා මෙන් ම, සාමාන්‍ය පරිදි එහි නිරත විය හැකි ය. නමුත්, නෝරෝ වැනි ඇතැම් වෛරස එ ලෙස පිරිසුදු කිරීම අසීරු ය. උණ වෛරසය මෙන් නව කොරෝනා වෛරසය ද තිබෙන්නේ සබන්වල දියවන මේද පටලයකින් වට වී ය. එ නිසා, රෙදි සෝදන විට, සබන් දියර භාවිතා කිරීම, වියළන යන්ත්‍ර භාවිතයෙන් රෙදි වියලා ගැනීම වෛරස ඉවත් කිරීමට අවශ්‍ය තරමටත් වඩා ප්‍රමාණවත් ය.
වෛද්‍ය මාර්ට අනුව, "වෛරසවලට ඇඳුම් මත තැන්පත් විය හැකි ය. ඉන්පසු සෙළවීමත් සමග ඉහිල් වන ඒවා අවට වාතයෙහි විසිරෙයි. නමුත්, මෙය සැළකිය යුතු මට්ටමකින් සිදුවීමට නම් බොහෝ වෛරස ප්‍රමාණයක් එ ලෙස තැන්පත් විය යුතු ය."
මෙහි ඇති එක් ව්‍යතිරේඛයක් වන්නේ, ඔබ යම් අසනීපයක් ඇති පුද්ගලයකු සමඟ සමීප සබඳතා පවත්වන්නේ නම්, රෝග පාලනය සහ වැළැක්වීම පිළිබඳ මධ්‍යස්ථාන නිර්දේශයන්ට අනුව රෝගාතුර වූ අයකු පිරිසුදු කිරීමේ දී, අත්වැසුම් යොදා ගතයුතු ම ය. එසේ ම, ඔහු භාවිතා කළ රෙදි සහ ඇඳ ඇතිරිලි සේදීමේ දී, උණුසුම් ජලය ම භාවිතා කිරීමටත්, සම්පූර්ණයෙන් ම වියලා ගැනීමටත් කටයුතු කළ යුතු ය. තව දුරටත් වෛද්‍ය මාර් පවසන්නේ, වානේ, ප්ලාස්ටික් වැනි දැඩි පෘෂ්ඨයන් මතට වඩා මෙම වර්ගයේ වෛරස් රෙදි මත වේගයෙන් දිරාපත් වන බවයි.
රෙදි සහ වෙනත් පෘෂ්ඨයක් මත වෛරසයට කොපමණ කාලයක් පැවතිය හැකිද ?
මේ පිළිබඳ ව මාර්තු මාසයේ දී නිව් එංගන්ඩ් වෛද්‍ය සඟරාවේ පළ වූ අධ්‍යයනයක් තුළින් කරුණු හෙළි කර තිබුණි. එම අධ්‍යයනයට අනුව, ලෝහ සහ ප්ලාස්ටික් වර්ග මතුපිට දින තුනක් දක්වා ද, කාඩ්බෝඩ් මත පැය විසි හතරක් දක්වා ද, වෛරසයට නොනැසී පැවතිය හැකි බව සොයාගෙන ඇත. නමුත්, එහි දී, රෙදිපිළි පිළිබඳ ව අධ්‍යයනය කර නැත. බොහෝ වෛරස විශේෂඥයන් විශ්වාස කරන පරිදි කාඩ්බෝඩ් සඳහා යොදාගනු ලැබූ පර්යේෂණ ම රෙදිපිළි මත වෛරස හැසිරෙන ආකාරය පිළිබඳව නිගමනය කිරීමට ද භාවිතා කළ හැකි ය. කාඩ්බෝඩ් මත ඇති ස්වභාවික තන්තු මගින් වඩා ඉක්මනින් වෛරසය වියලා දමන බවක් පෙනෙන්නට ඇත. ඒ හා සමාන ව ම, රෙදි තන්තුවලින් ද සමාන බලපෑමක් ඇති කරන බව වෛරස විශේෂඥයන්ගේ අදහසයි.
නව කොරෝනා වෛරසයේ ම තවත් ආකාරයක් වූ සාස් වෛරසයට හේතුවන වෛරසය පිළිබඳ 2005 දී සිදුකරනු ලැබූ අධ්‍යයනයක් මඟින් මේ බව තවදුරටත් තහවුරු වේ. එම අධ්‍යයනයේ දී, කඩදාසි සහ කපු මත වැඩි වැඩියෙන් වෛරසය සාම්පල පරීක්ෂාවට ලක් කෙරිණ. සාන්ද්‍රණය මත තැන්පත් කෙරුණු වෛරසය අක්‍රීය වීමට මිනිත්තු පහක්, පැය තුනක් හෝ පැය 24 ක් ගත වී තිබුණි. ජල බිඳිතිවල වෛරසය පැවතීමට සාපේක්ෂ ව වැඩි බරක් තිබුණ ද, කඩදාසි හා කපු මත වේගයෙන් සක්‍රීය වීමක් දක්නට ලැබුණු බව පර්යේෂකයන්ගේ නිගමනය විය.
ලිපි , පාර්සල්, පුවත්පත් පිළිබඳ ඔබ සැලකිලිමත් විය යුතු ද ?
න්‍යායාත්මක ව, ලිපි, පුවත්පත් හෝ පාර්සල් හරහා වෛරස් ආසාදනය වීමේ අවදානම අතිශයින් ම අව ම ය. ලිපියක් හෝ පුවත්පතක් කියවීමෙන් පසු යමෙකු අසනීප වූ බවට සාක්ෂි ලේඛන ගතවන අවස්ථා නොමැත. නමුත්, එ මගින් ඔබ පූර්වාරක්ෂාව සඳහා පියවර නොගත යුතු යැයි අදහස් නොවේ. ලිපි හා පුවත් පත් කියවීමෙන් පසු අත් සේදීම වඩා වැදගත් වේ. ඔබට තවදුරටත් ඒ පිළිබඳ යම් සැකයක් ඇති නම් නිව් එංගලන්ත ජර්නලයේ අධ්‍යයනවල මග මග පෙන්වීම ලබා ගෙන ලිපි හෝ පාර්සල් විවෘත කිරීම පැය විසි හතරකට ප්‍රමාද කරන්නැයි කිවහැකි ය.
ඔබ ව්‍යායාම කිරීම සඳහා නිවසින් පිටතට යන්නේ නම් ඒ පිළිබඳ ව විමසිලිමත් වියයුතු ද ?
ඔබ හා අන් අය අතර ආරක්ෂිත දුරක් තබා ගන්නේ නම්, එළිමහනට යන විට වෛරසය ආසාදනය වීමේ සම්භාවිතාව ඉතාම අව ම ය.
ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හි ක්වීන්ස්ලන්ඩ් තාක්ෂණික විශ්ව විද්‍යාලයේ වූ වායු ගුණාත්මක භාවය හා සෞඛ්‍ය පිළිබඳ ජාත්‍යන්තර රසායනාගාරයේ මහාචාර්යවරියක සහ අධ්‍යක්ෂවරියක වන ලිඩියා මොර්ව්ස්කා පවසන ආකාරයට, "එළිමහන ආරක්ෂිතය. එහි නිසැක ව ම, වෛරස් වලින් පිරුණු ජල බිඳිති එල්ලී නැත."
වෛද්‍ය මොර්ව්ස්කා තවදුරටත් පැවසුවේ, "පළමුවෙන් ම, පිටත දී ආශ්වාස කෙරෙන කවර ආසාදිත ජල බිඳිත්තක් වුව ද, එළිමහන් වාතය තනුක කර දමනු ඇත. එ බැවින්, ඒවායේ සාන්ද්‍රණය එතරම් වැදගත් නොවේ." තවදුරටත් ඇය ප්‍රකාශ කළේ, "වෛරසයේ පිටත ස්ථායිතාවය අභ්‍යන්තරයට වඩා සැළකිය යුතු ලෙස කෙටි ය. එබැවින්, ඉතාමත් ජනාකීර්ණ ස්ථානයක සිටින්නේ නැතිනම්, පිටත සිටීම එතරම් ම ගැටලුවක් නොවේ. ඇවිදීමට යෑම හා ආරක්ෂිත වන අතර වාතයේ ඇති වෛරසය පිළිබඳ ව කරදර වීම අනවශ්‍ය ය. එසේ ම, ව්‍යායාම කළ වහා ම ඇඳුම් සේදීම ද අවශ්‍ය නොවේ."
ඔබ නිවසින් පිටත යම් ස්ථානයකට ගොස් පැමිණෙන විට ඔබගේ සපත්තු ගලවා ඒවා පිස දැමිය යුතු ද ?
සපත්තුවලට බැක්ටීරියා සහ වෛරස් රඳවා තබා ගත හැකි ය. නමුත්, එමගින් සපත්තු පොදු ආසාදන ප්‍රභවයක් බව අදහස් නොකෙරෙයි. 2008 දී, රොක්පෝට් (Rockport) සපත්තු විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ සපත්තුවල අඩියෙහි මල, බැක්ටීරියා ඇතුළු බොහෝ දේ පැවතිය හැකි බව ය. එසේම චීනයේ මෑතක දී කරන ලද අධ්‍යනයකින් හෙළි වූයේ සෞඛ්‍ය සේවකයින් අතරින් අඩකගේ ම සපත්තු මත කොරෝනා වෛරසය පැවත ඇති බවයි. එහෙත්, එය එතරම් ම පුදුම වීමට කරුණක් නොවේ. මන් ද, ඔවුන් බහුතරය ආසාදිත රෝගීන් සිටින රෝහල් වල සේවය කළ නිසා එය අපේක්ෂිත තත්ත්වයකි.
එසේ නම්, සපත්තු පිළිබඳ ව ඔබට කළ හැක්කේ කුමක් ද?
සේදිය හැකි නම් එය සෝදා ගැනීම ඔබට වඩා වැදගත් වේ. ඇතැම් පාඨකයන් මෙහි දී, සේදීම වෙනුවට පිසදැමීමෙන් සපත්තුවේ අඩිය පිරිසුදු කිරීම ගැන විමසූහ . නමුත් එය අවදානම් සහිතය. එලෙස පිස දැමීම මගින් සපත්තුවේ අඩියේ රැඳී ඇති විසබීජ සෘජුව ඔබගේ අතට පැමිණීමේ හැකියාවක් ඇත. එබැවින්, වඩා වැදගත් වන්නේ සේදිය හැකි නම් සේදීමයි. එසේත් නොමැති නම් ඔබට නිවසේ කටයුතුවලදී සපත්තු භාවිතා කිරීමෙන් වැළකිය හැකිය. ඔබට බිම බඩගා යමින් සෙල්ලම් කරන කුඩා දරුවෙකු සිටී නම් හෝ අසාත්මිකතාවයකින් පෙළෙන පවුලේ සාමාජිකයෙකු සිටී නම්, සපත්තු රහිත ව, නිවස තුළ කටයුතු කිරීම සාමාන්‍ය සනීපාරක්ෂාව සඳහා හොඳ අදහසකි.
වෛද්‍ය ජැනොවිස්කි පවසන ආකාරයට, "සපත්තු කොරෝනා වෛරසය වැළදීම සඳහා විශාල අවදානමක් නොවනු ඇත. නමුත්, ඔබේ සපත්තු තිබුණේ කොහේ දැයි ඔබ සිතන්නේ නම්, එය ඔබට ම කරදරයක් විය හැකිය"
ඔහු තවදුරටත් සඳහන් කරන්නේ, "ඔබට බැක්ටීරියා ගැන කතා කිරීමට අවශ්‍ය නම්, ඔව් අපි දන්නවා බැක්ටීරියා සපත්තු මත ජීවත් වීමට වඩා වැඩි කැමැත්තක් දක්වන බව"
-පසුගිය 17 දා නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතට Tara Parker-Pope ලියූ Is the Virus on My Clothes? My Shoes? My Hair? My Newspaper? නම් ලිපිය සිංහලට නැගුවේ,
Comments
Post a Comment