Skip to main content
Syndicated from samabima,
“සමාජීය පරිවර්තනයන් වෙනුවෙන් පෙනී සිටින්න කැපවුණු අය තුළ කලා රසිකයා මිය ගිහින්.” මෙහෙම කිව්වේ නාට්‍යකරුවෙකු වෙන රාජිත දිසානායක. රාජිත මේ අදහස පළ කළේ සමබිම සමඟ කළ සාකච්ඡාවකදී. සරල අර්ථයෙන් සිවිල් සමාජයේ ක්‍රියාකාරීත්වයත් එහෙමත් නැතිනම් සිවිල් සමාජයේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීත්වත් ඇතැම් කලා සංස්කෘතික ක්‍රියාකාරීත්වයනුත් එකම අරමුණු සහිතව සමාජීය පරිවර්තනයක් වෙනුවෙන් වැඩකළත් මේ දෙපිරිස අතර එතරම් සමීප ගනුදෙනුවක් නැහැ. එහෙම නැත්නම් ඉස්සර තිබුන අවබෝධය දැන් නැහැ.
මේ නිසා සමබිම අපි තීරණය කළා අපි දෙපිරිස හමුවෙලා මේ මොහොතේ පවතින අභියෝග සහ අවස්ථාවන් පිළිබඳව සාකච්ඡාවක් ඇති කර ගත යුතු බව. නව දේශපාලන මුහුණුවර තුළ අපිට මුහුණ දෙන්න වෙන අභියෝග සමානයි. අපිට මුණගැහෙන තත්ත්වයන්වල යම් සාම්‍යත්වයක් තිබිය හැකියි. ඒ අනුව සමබිම පසුගිය 21 වැනිදාවේ කලා සංස්කෘතික අවකාශයේ ක්‍රියාකාරී පිරිසක් සහ සිවිල් සමාජ නියෝජිතයන් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡාවක් කළා. එතැනදි අපි කතා කළා “වෙනස්කම් ඉවසන සමාජයක් වෙනුවෙන් සිවිල් සමාජ අවකාශය තුළ කලා සංස්කෘතික භාවිතයන්” කළ හැකිද? ඒ වෙනුවෙන් අපට තිබෙන අවස්ථා මොනවද කියල.
එතැන හිටපු හැම කෙනෙක්ම තම තමන්ගේ භාවිතයන් ඇතුළේ යම් හෝ සමාජ පරිවර්තනයක් වෙනුවෙන් සෑහෙන්න තරම් කලක් මහන්සි වෙලා තිබුණා. තමන්ගේ කලා ප්‍රකාශනයන්, පත්තර, සංවිධාන, කලා කව එකී මෙකී නොකී සියල්ල ඒ වෙනුවෙන් යොදවල තිබුණා. ඒත් අවසන් ප්‍රතිඵලයෙදි අපි ‘ෆෙල්’ කියන අදහස ඇතමෙක්ට තිබුණා වුනත් වැදගත්ම දේ අවසානේ අපි හැමෝම හිතුවා තවමත් අපිට අහුනොවුන මොකක් හෝ පුංචි දෙයක් තියෙනවා අපි ඒක හොයගන්න ඕන කියල. ඒ නිසා අපි කාටවත් වැඬේ අත්හරින්න බැරි බව තීරණය කළා.
ඒ පුංචි දේ හොයන්නෙ, අපි තනි තනිව අපේ භාවිතයන් තුළ වෙන්න පුලුවන්. සාමූහිකව වෙන්න පුලුවන්. ඒත් ඒ සාකච්ඡාව අවසානේ එක දෙයක් පැහැදිලියි, සමබිමක් වෙනුවෙන් වන අපි සියල්ලන්ගේ සටනේ කොතැනකදි හරි අපිට අපි නැවත මුණගැහෙයි, එවැනි තැනකදි වඩා හයියෙන් ඉදිරියට යන්න අපිට එක්ව අත් අල්ලගන්න බාධාවක් නැහැ.
මේ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න වඩා පහසුවක් වෙන්න ප්‍රධාන අදහස් දැක්වීම් කිහිපයක් වෙනුවෙන් කලාවේ විවිධ ඉසව් ස්පර්ශ කරන, සිවිල් සමාජය සමඟත් සමීප සබඳතාවයක් තිබෙන කිහිප දෙනෙකුට අවස්ථාව දුන්නා. ආචාර්ය උදාන් ප්‍රනාන්දු, ජයතිලක බණ්ඩාර, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, චූලානන්ද සමරනායක සහ මාලතී කල්පනා ඇම්බ්‍රොස් ඒ කණ්ඩායමට ඇතුළත් වුණා.
මෙහි පළවෙන්නේ මේ සාකච්ඡාවට සහභාගී වුන සියල්ලන් විසින් මතු කළ කරුණුවල සාරාංශයක්. අපි සමබිම පුවත්පත ඔස්සේ මේ කරුණු බෙදා ගන්න හිතුවේ මේ සාකච්ඡාව මෙතනින් ඉවර වන දෙයක් නොවන නිසා සහ මෙයට තව කරුණු එකතු කරන්න ඔබටත් හැකි වේවි යැයි සිතන නිසා වගේම තනි තනිව හෝ සාමූහිකව සමාජීය පරිවර්තනයක් වෙනුවෙන් වෙහෙසෙන හැම කෙනෙක්ටම අලුතින් හිතන්න උදව්වක් වෙයි කියන අරමුණින්.
සමාජ වෙනසක් වෙනුවෙන් වැඩ කරද්දි සමහර විට මහන්සියට වඩා දැනෙන්නේ හුදකලාවක් ඒ හුදකලාව ඇතුළෙම තමයි ජීවිතය සහ ඊළඟ වැඩකට අවශ්‍ය ධෛර්යය හමුවෙන්නෙත්.■
මගේ පරම්පරාව බොහෝ පරාජයන්ට මුහුණ දුන්නා
ජයතිලක බණ්ඩාර
දශක කීපයක් පුරා කලාව සම්බන්ධ ක්‍රියාකාරිත්වයන් තුළින් සමාජයට යම් බලපෑමක් සිදු කරන්නට හැකි වී තිබුණත් එය සෑහෙන්නට හෝ සතුටු වෙන්නට පුළුවන් මට්ටමේ බලපෑමක් නොවේ. මගේ පරම්පරාව සමාජයේ බොහෝ පරාජයන්ට මුහුණ දුන්න පරම්පරාවක්. නමුත් ඒ අතරතුර ජයග්‍රහණයන් නැතුවම නොවේ. ඉතින් මම විශ්වාස කරනවා සමාජය යහපත් තැනක් බවට පත් කරන්නට එසේ බලපෑම් කල යුතුයි කියලා. ඒ වගේම එවැනි බලපෑම් දැඩි ලෙස කළ යුතු වකවානුවකයි අපි ඉන්නේ කියලා මට හිතෙනවා.
සංගීතයෙන් සහ ගායනා ක්ෂේත්‍රයෙන් එවැනි බලපෑම් කල අවස්ථාවක් ගැන හිතද්දි මට මතක් වෙන්නේ ‘විමුක්ති ගී’ ගීත ප්‍රසංගය. එය ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී කලා සංගමය විසින් මූලිකත්වය ගෙන සංවිධානය කල ගීත ප්‍රසංගයක්. ඒ තුල තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන අදහසයි. එය එවකට පැවති සංගීත ප්‍රසංග වලට අභියෝගයක් වුනා. ප්‍රවීණ ගායිකා ගායිකාවෝ එහි හිටියේ නැහැ. සුනිලා අබේසේකර හිටියත් ඇයත් ඒ වන විට ප්‍රසිද්ධ ගායිකාවක් නෙමෙයි. නමුත් හැකියාවන් සහිත වාදක මණ්ඩලයක් සහ ගායක ගායිකාවන්ගෙන් මෙය යුක්ත වුනා. ඒ වගේම පදරචනා බොහෝ විට සකස් කැලේදී හෝ අරගලයේදී පක්ෂයේ දේශපාලන මතවාදයත් එක්ක හිටපු අය විසින් ලියවුනු ඒවායි. වාණිජකර්මාන්තයෙන් තොරව පැවැත්වූ සංගීත ප්‍රසංගයක් විදියට එය යම් සමාජීය බලපෑමක් සිදු කල ප්‍රබල කලා කටයුත්තක් ලෙසයි මම දකින්නේ.
‘කාලිරාවය’ කියන්නෙත් මා සම්බන්ධ වූ එවැනි කලා කටයුත්තක්. ජනතා සංස්කෘතික කේන්ද්‍රය මුල්කරගනිමින් සුනිල් විජේසිරිවර්ධන, නන්දන මාරසිංහ, ජයරත්න ජයවීර, ගුණදාස කපුගේ වැනි පිරිස් සම්බන්ධ කරගනිමින් එය සිදු කෙරුණා. එවකට පැවති ගීත සම්ප්‍රදායට අභියෝගයක් කරන්නට එය උත්සාහයක් දැරුවා.
‘කම්පන’ කියන්නෙත් එවැනි තවත් කලා නිර්මාණයක්. මාත් එයට සම්බන්ධ වෙනවා. කපුගේ, මම සහ දිවුල්ගනේ ගුවන්විදුලියෙන් නෙරපා හැරීමෙන් පසුව වුවත් අපිට යහපත් සමාජයක් කෙරෙහි බලාපොරොත්තුවක් තිබ්බා. ඒ වගේම අපිට එවකට පැවති පාලන ක්‍රමය පිළිබඳව විවේචනයකුත් තිබ්බා. දැඩි, ගැඹුරු ජාතිවාදයට එරෙහි ප්‍රකාශනයක් නොතිබුණත් ජාතිවාදයට එරෙහි කපුගේගේ ප්‍රකාශනය බවට ‘කම්පන’ පත් වුනා. එය ඉතා සාර්ථක ප්‍රසංගයක් බවට පත් වෙලා අවසානයේදී කපුගේ එය අත්හැරියා. ඉතිං මේ අත්දැකීම් සමුදායත් එක්ක මට හිතන්නේ ‘සංගීතය’ සමාජයට යම් බලපෑමක් කරන්නට සමත්වුණා කියලයි.
මිනිස්සු තමන් විශ්වාස කල දේවල් අතහරින වේගය හිතා ගන්නට බැහැ
චූලානන්ද සමරනායක
මෙතන ඉන්න කණ්ඩායම දැක්කම මට හිතෙනවා හැමතැනදිම අපට මුණ ගැහෙන කලාකාරයෝ සාහිත්‍යකාරයෝ ටික නේද මේ එකතැනක ඉන්නේ කියලා. මම ලියන්නේ ඇයි කියල කවුරුහරි මගෙන් ඇහුවොත් මම කියනවා ‘මම පිස්සෙක් නොවී ඉන්න ඕන නිසා ලියනවා’ කියලා. සාහිත්‍ය කෘතියකින් විප්ලවයක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. නමුත් වෙනසක් කරන්න හිතන මිනිහෙකුට යම් බලපෑමක් කරන්න පුළුවන් දෙයක් සාහිත්‍ය කෘති ඇතුලෙ තියෙනවා.
නමුත් එතැනදී විප්ලවයක් වර්ණනාවට ලක්කිරීමෙන් හෝ උත්කර්ෂයට ලක්කිරීමෙන් ඒක කරන්න පුළුවන් කියලා මං හිතන්නේ නැහැ. උදාහරණයක් විදිහට මගේ මෑතම පරිවර්තනයක් තමයි ‘පෝළිම’ කියන කෘතිය. ඒක සෝවියට් ෆීල්ඞ් (තියටර්) එකේ තහනම් කරපු එකක්. ඒ කෘතිය විප්ලවය වර්ණනා කරලා ලියපු පොතකට වඩා විප්ලවයට එරෙහිව ලියපු පොතක්.
පශ්චාත් ස්ටාර්ලින් යුගයේදි කලිසමක් ගන්න දවස් ගණනාවක් පෝළිමේ ඉන්න මිනිස්සුගේ දෙබස් ටිකකින් තමයි ඒ පොත ලියවිලා තියෙන්නේ. මුළු කෘතියම යන්නේ මිනිස්සුන්ගේ දෙබස් වලින්. ඒක නිසාම තමයි අර ලෙනිනුත් වරක් කියන්නේ ‘මයාකොව්ස්කිව මට දැනෙන්නේ නැහැ පුෂ්කින්ව දැනෙනවා’ කියලා. ඒ කතාවට ගැඹුරක් තියෙනවා. ඒ ඒ නිසා මට හිතෙනවා මේ මොහොතේ අපිට තියෙන අභියෝගය තමයි ඇත්තටම මිනිස්සු අඳුරා ගැනීම.
80 ගණන් වල අපේ දේශපාලන අත්දැකීම් වලත් මම දැක්කා තමන් පෙනී සිටි අරගලය මිනිස්සු අත් ඇරලා යනවා, ඒ වගේම මිනිස්සුන්ව පාවලා දෙනවා, ඒ අත්දැකීම අපිට පෞද්ගලිකව තිබුණා වුවත් අද තරම් එය දරුණු වුනේ නැහැ. මේ තරම්ම තදට දැනුනේත් නැහැ. අද වෙද්දි මිනිස්සු තමන් පෙනී හිටපු දේවල් අතහරින වේගය හිතාගන්නට බැහැ. නමුත් තවමත් එකට වැඩ කිරීම සඳහා වූ උත්සාහයක අපි ඉන්නවා.
මිනිස්සු, මිනිස්සුන්ව අත හැරලා
චන්ද්‍රගුප්ත තේනුවර
මම මගේ කලා ජීවිතයේ විශාල කාලයක් කැප කළේ මිනිස් රූප වෙනුවෙනුයි. ඒවා ගැන ඉගෙනගෙන ඒවායේ පුහුණුව ලබලා මම ලංකාවට එනකොට ඒ මිනිස් රූප වෙනුවට තිබ්බේ අලුත් රූපයක්. ලංකාවේ මිනිස් රූප අඩුවෙලා තිබ්බා. මිනිස්සුන්ට එවැනි දේ වෙනුවෙන් වෙලාවක් නැති වෙලා තියෙනවා. මගේ පරම්පරාවේ චිත්‍රශිල්පීන් වේගෙන් අඳින්නේ නැහැ, මම අදින්නේ සම්ප්‍රදායකින් ඉගෙන ගෙන ආපු විදිහටයි. මම පුහුණුව ලබලා ආපු තාක්ෂණය විකාශනය කරන්න ලංකාවේ ඉඩකඩක් තිබුනේ නැහැ. ඒ තරමට හදිස්සියක් හැමදෙයක් තුළම තිබුණා. ලංකාවේ කාලය වැය කිරීම සහ සංස්කෘතික ජීවිතය කියන එක ඉතාම වේගයෙන් ගලා යනවා. ඒ අතරතුර එක වෙලාවක මිනිස් රූපය අහිමි වෙලා මට අහුවෙනවා දල රූපය. පේන්ට් කරපු බැරල් 70 ක් මම ෆුකෝකා වලදි දකිනවා, එකපාරටම ෆුකෝකා නගරය ශ්‍රී ලංකාව බවට පරිවර්තනය වෙනවා. නමුත් මම එයින් නිරූපණය කරන්න උත්සාහ කලේ ජාතිවාදයේ ඇති වියවුල් සහගත දේ ගැන පණිවිඩයකුයි, ඒ විදියට අපේ නිර්මාණ වලට අනන්‍යතාවයක් තියෙනවා. නමුත් මේ සෑම කලා නිර්මාණයකටම විනයක් අවශ්‍යයයි. අද වෙද්දි ඉතා වේගයෙන් බිත්ති, තාප්ප අලංකරණය වෙන රැල්ලක් නිර්මාණය වෙලා තියෙනවා. රටක් ගිනි තියනවට වඩා බිත්තියක් පාට කරන එක ඉතා හොඳ දෙයක්. ඉතින් මම මිනිස් රූපය අතහැරලා නැහැ නමුත් අපේ මිනිස්සු මිනිසුන්ව අතහැරලා, ඒකයි ප්‍රශ්නේ. අපේ මිනිස්සු මිනිසුන්ව හොයා ගත් දවසට මිනිසුන් ගැන මීට වඩා හොඳ කියවීමක් කරන්න පුළුවන් වේවි, එවැනි දවසක් වෙනුවෙන් අපි නොනැවතීම වැඩ කරනවා.
සමාජයක් හැටියට අපි සංස්කෘතික උවමනාකම වෙනුවෙන් සහ අනෙක් භෞතික දේ වෙනුවෙන් සටන පටන් අරන් තියෙනවා. සංස්කෘතිකව අපේ සමාජය ගොඩ නගන තැන කලාවට ඉඩක් තියෙනවා. ඒ සංස්කෘතිය ගොඩනැඟීම සඳහා වන යටිතල පහසුකම් සටනත් සිවිල් ක්‍රියාකාරිකයන් ගතයුතුයි කියලා මම යෝජනා කරනවා. අන්න ඒ තැනදි සිවිල් ක්‍රියාකාරිකයින්ට කලාකරුවන්ට එකට එකතු වෙලා වැඩ කරන්න වේදිකාවක් නිර්මාණය වෙනවා. නමුත් කලාකරුවන්ව දේශපාලනය තුළ ඉනිමගක් ලෙස යොදා ගන්න හදන එක අපි ප්‍රතික්ෂේප කළ යුතු වෙනවා. ඒ වෙනුවෙන් කලාකරුවන් යම් ප්‍රතිපත්තියක පිහිටා වැඩ කළ යුතු වෙනවා. මේ ශක්තියත් එක්ක කලාකරුවන් හා සිවිල් සමාජය එකට එකතු වෙනවා නම් මේ සටන ජය ගන්න පුළුවන් වෙනවා.
‘සුළු ජාතීන්ගේ සපත්තුවට’ බැහැලම බලන්න වෙනවා
කල්පනා ඇම්බ්‍රෝස්
මම හැදුනෙ වැඩුනේ වාමාංශික පසුබිමක් සහිත පරිසරයකයි. 89 වගේ කාලයේ සමාජයේ සිදුවුනු ඇතැම් බිහිසුණු දේවල් ඒ නිසා මට දකින්නට ලැබුණා. ‘කවියෙන්’ වන සමාජ බලපෑම ගැන කතා කරද්දි 1988, 1989 කාලයේ ඒ දේශපාලන පසුබිම තුළ වෙනම සාහිත්‍යයක් බිහි වුනා. චන්ද්‍රකුමාර වික්‍රමරත්නලාගේ සිටම ඒ ඒ දේශපාලනික, සාමාජීය වෙනස්කම් තුළ මිනිස්සු කවි ලිව්වා. ඒ හැම කවියකටම වගේ පැවතුනු දේශපාලන ධාරාවන් වල බලපෑම ලැබිලා තිබුණා.
දෙදාස් ගණන් වල මැද වෙද්දි යුද්ධයට විරුද්ධව ‘කවිය’ යොදා ගැනීමේ වෙනම ප්‍රවාහයක් ඉස්මතු වුනා. ප්‍රමිත භාෂණ, මහේෂ් මුණසිංහ, මංජුල වෙඩිවර්ධන වැනි කවියන් විස්සක් පමණ මේ සඳහා එක්වුනා. සංඛ්‍යාව කුඩා වුවත් මේ කාව්‍ය විප්ලවය ගුණාත්මක වශයෙන් ප්‍රබල බලපෑමක් කලා. මේ කවියෝ හුඟක් බැනුම් ඇහුවා, බොහෝ විවේචන වලට ලක් වුණා. නමුත් මේ කිසිම බලපෑමකින් නොවෙනස් වුනු මිනිස්සු ටිකක් සහ ඔවුන්ට උදව් කල මාධ්‍ය අවකාශයන් කිහිපයක් ඉතිරි වෙලා තිබුණා. ‘බූන්දි’ කියන්නෙත් එවැනි එක් මාධ්‍ය අවකාශයක්.
යුද්ධය ඉවර වෙන මොහොතෙදි යුද්ධයට සහ ජාතිවාදයට විරුද්ධව සිටියේ සීමිත පිරිසක් වුනත් කාලයත් එක්ක වෙනස් වුනු දේශපාලන ප්‍රවාහයේ වෙනස්කම් එක්ක එදාට වඩා වැඩි ගණනක පිරිසක් ජාතිවාදයට විරුද්ධව ඉන්නවා කියලා මම හිතනවා. ඒ කවියන් ලියන කියන දේවල් වල ගුණාත්මකභාවය හෝ සංයුතිය හෝ එයාලගේ ඇතුලේ තියෙන ජාතිවාදි රසායනික සංයුතිය ගැන තියෙන කතාබහ ගැඹුරු සාකච්ඡාවක්. ඒ කොහොම වුනත් කවියෙන් හෝ වෙනත් ප්‍රකාශනයක් විදියට හෝ ජාතිවාදයට විරුද්ධව පෙනී සිටින ප්‍රමාණය 2009 ට වඩා වැඩියි කියලා මම පුද්ගලිකව හිතනවා. නමුත් මේ වෙද්දි අපි ඉන්නේ බරපතල අගාධයකයි. ඒ නිසාම අපි හැමෝටම හිතෙනවා මේ වෙලාවේ අපි පරාදයි කියලා.
ජාතිවාදය වපුරවන අය ඒ සඳහා නූතන තාක්ෂණය නිර්මාණාත්මකව යොදා ගන්නවා. ඉතින් ජාතිවාදයට එරෙහිවත් අපිටත් අලුත් විදියටකට ඒකම කරන්න බැරිද? අපි අපේ හිත හදා ගන්න දේශපාලනික වැඩ කරමින් ඉන්නවා. හැබැයි අපි අපේ දේශපාලනික සුපිරිසිදුභාවය රැකගෙන හිටියා කියලා එළියේ වෙනසක් වෙන් නෑ කියන හැඟීම මට තියෙනවා. අපි තනි තනිවම ‘චරිත’ බවට පත් වුනා කියලා සමාජෙට එයින් ලොකු යහපතක් සිද්ධ වෙන් නැහැ. බොහොමයක් අයට තියෙන සිතුවිල්ල තමයි මේ පවතින සමාජ ක්‍රමය වෙනස් නොවුනා කියලා අපිට සිද්ධ වෙන දෙයක් නැහැනේ කියන එක. ‘සුළු ජාතීන්’ කියන සපත්තුවට බහින්නේ නැතුව ඒක ඇත්තටම දැනෙන්නේ නැහැ. නමුත් තනි තනි මිනිසුන් මේක කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය අවසානයේ ඉතුරු වෙලා තියෙනවා.
අපිම ලෝකය කුඩා කරගෙන ‘ලෝකය මදියි’ කියනවා
චාමර ගුරුගේ
තියෙන ප්‍රශ්නය ගැන හිතලා දුක් වුනා කියලා අපිට මොනාත් ලැබෙන්නේ නැහැ. හරියටම ‘ප්‍රශ්නය’ මොකක්ද කියලා අඳුනාගත්තොත් අපිට පිළිතුරු හොයා ගන්න ලේසියි. ඉස්සර සිවිල් සමාජය සහ කලාව යනුවෙන් වෙන් කළ හැකි දෙකක් තිබුනේ නැහැ. සිවිල් සමාජය තුළම තමයි කලාකරුවෝ හිටියේ. ඒ වගේම ඒ අය අතරින්ම තමයි ‘භඨධ’ හැදුනේ. නමුත් ටික කාලයක් යද්දි සිවිල් සමාජය වෙනමයි, කලාකරුවො වෙනමයි හැදෙනවා. ‘සල්ලි වලට ගන්න පුළුවන් කලාකරුවෝ’ සහ ‘බිම් මට්ටමේ ජනතාව සමඟ වැඩ කළ හැකි කලාකරුවෝ’ යනුවෙන් දෙපිරිසක් බිහි වෙනවා.
මේ සිවිල් සමාජය සහ කලාව කියන්නේ ඉස්සර එකම කෝච්චියක්. නමුත් මේ වෙද්දි එක කෝච්චි පෙට්ටියකට තවත් කෝච්චි පෙට්ටියක් නොපෙනෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒක හේතුව වෙලා තියෙන්නේ ‘අපි හැමෝටම පේන්නේ අපේ පෙට්ටිය විතරයි.’ අනෙක් පෙට්ටි වෙන වෙනම තියෙනවා. සංස්කෘතික ක්‍රියාකාරකම් මේ හැම පෙට්ටියකම වගේ සිදු වෙනවා. නමුත් මේ කෝච්චි පෙට්ටි අතර සම්බන්ධීකරණය නැවතිලා තියෙනවා.
බොහෝ කලාකරුවෝ සහ සිවිල් සමාජ ක්‍රියාධරයන් බිම් මට්ටමේ ජනතාව අතරට ගිහින් තනි තනිව එයාලගේ පුංචි අවකාශ වල වැඩ කරමින් යනවා අපි දකිනවා. එයාලා ඒ සඳහා සහයෝගයක් කාගෙන්වත් ඉල්ලන්නෙත් නැහැ. එහෙම සහයෝගයක් ලැබෙයි කියලා හිතන්නෙත් නැහැ. අපි අපේ ලෝකය කුඩා කරගෙන ‘ලෝකය මදි’ කියලා හිතනවා. ලෝකෙ කුඩා වුනාම මදි වෙනවා තමයි, ඒ නිසා මම පවතින සමාජ ක්‍රමය ගැන ලොකු දුකකින් හෝ බලාපොරොත්තු සුන් වුනු තත්ත්වෙක නැහැ. නමුත් අපි හැමෝම සිද්ධ වෙන දේ ගැන යම් නොවැටහීමක ඉන්නවා ඒ වගේම කළ යුතු දේ මොකක්ද කියන එක තවම අහුවෙලා නැති බවක් දැනෙනවා. ඒ නිසා පරණ ක්‍රම නඩත්තු නොකර පරණ වැඩ ටික අතෑරලා අලුත් විදියකට අලුතෙන් කරන්නේ මොකක්ද කියන එක තනි තනිව හෝ හිතමු. ඒ හිතන ගමන් අපි එකතු වෙලා ඉස්සරහට යමු කියන එකයි මගේ යෝජනාව.
Comments
Post a Comment