"හම්බන්තොට වරාය චීනයට බදු දීම වැරදියි; මා එය යලි සලකා බලනවා" -‌‌ගෝඨාභය

Syndicated from lankaenews,



(ලංකා ඊ නිව්ස් -2019.‌නොවැ.26, ප.ව.2.50) හම්බන්තොට වරාය චීනයට 99 වසරකට බදු පදනම මත ලබාදීම වරදක් බවත් එම බදු ගිවිසුම යලි සලකා බැලීමට තමන් සූදානම් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ප්‍රථම විදේශ මාධ්‍ය හමුව වූ ඉන්දීය  නිතින් ඒ ගෝක්ලී සමග පැවති සම්මුඛ සාකච්ඡා‌වේදීය 
ප්‍රශ්නය:- මේ ප්‍රශ්නය සෑම විටම මතුවෙන නිසා මම අහන්නේ. චීනය සහ ඉන්දියාව අතර තරඟය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බලපාන්නේ කොහොම කියලද ඔබ හිතන්නේ ?
ගෝඨාභය රාජපක්ෂ - “අපිට අවශ්‍ය මධ්‍යස්ථ රටක් බවට පත්වෙන්න. එය කළ හැකියි. ලෝකයේ උදාහරණ තිබෙනවා. වර්තමානයේ ගෝලිය දේශපාලනය ගත්තම ඉන්දියන් සාගරයට විශේෂ ස්ථානයක් හිමිවෙනවා. 
අපේ රටේ භූගෝලීය පිහිටීම උපායමාර්ගිකව ඉතාම වැදගත් තැනක තියෙන්නේ. සියලුම මුහුදු මාර්ග ශ්‍රී ලංකාව පහු කරමින් ගමන් කරන්නේ.මේ මුහුදු මාර්ග මුළු ලෝකයටම නිදහස් විය යුතුයි. එක රටකට මේ මාර්ග පාලනය කරන්න බැහැ. අපිට මේ බලගතු රාජ්‍යවල බල අරගලයන්ට මැදි වෙන්න අවශ්‍ය නැහැ. 
සහ වෙන කිසිම රටකට හානිවෙන කිසිවක් අපි කරන්නෙ නැහැ. ඉන්දියාවේ සැලකිල්ලට භාජනය වී ඇති කරුණුවල වැදගත්කම ගැන අපිට තේරෙනවා. ඒ නිසා ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු ක්‍රියාකාරකමක නිරතවෙන්න අපිට බැහැ. මහින්ද රාජපක්ෂ රජය සමයේ අපි චීනය සමග එක්ව කටයුතු කළේ වාණිජමය වශයෙන් පමණමයි. 
හම්බන්තොට වරාය ගත්තත් අපි වරායේ පාලනය කිසිදිනක චීනයට දෙන්න හිටියේ නැහැ. පසුගිය රජය 99 අවුරුදු බදු දුන්නා. චීනය අපේ හොඳ මිතුරෙක් වුණත් ඔවුන්ගේ උදව් සංවර්ධනයට අවශ්‍ය වුණත් මම බය වෙන්නෙ නැහැ කියන්න. එය සිදුවූ වරදක්.  ඒ ගැන නැවත සළකා බලන්න මම ඉල්ලා සිටිනවා. 
ඒ ගනුදෙනුව ගැන ජනතාව සතුටින් නෙමෙයි ඉන්නේ. අවුරුද්දක් දෙකක් තුනක් ගැන නෙමයි අපි අනාගතය ගැන හිතන්න ඕනේ. ඒ නිසා අපි යළි සළකා බැලිය යුතුයි. එක් පර්යන්තයක් වාණිජමය අවශ්‍යතා සඳහා දීම වෙනත් කාරණයක්. 
මට ලෝකයේ අනෙකුත් බලවතුන්ට කියන්න තියෙන්නේ , ඉන්දියාව, සිංගප්පූරූව, ජපානය, ඔස්ට්‍රේලියාව යථාර්තය කියන්නේ ඔවුන් චීන මැදිහත්වීම ගැන බියෙන් ඉන්නවා. 
නමුත් අපේ දෘෂ්ඨිකෝණය අනුව එය වාණිජ ගනුදෙනුවක්. ඒ නිසා මම ආරාධනා කරනවා. ඉන්දියාව, සිංගප්පූරූව, ජපානය, ඔස්ට්‍රේලියාවට පැමිණ මේ රටේ ආයෝජනය කරන්න. චීනයට පමණක් ආයෝජනය කරන්න දෙන්න එපා. එක රටකට පමණක් ඉඩදීලා ඉන්පසු මැසිවිලි නගන්නේ නැතුව. 
මම මේක විවෘතව කියන්නේ , මට අවශ්‍යයි ඔවුන් මේ රටට ඇවිත් ආයෝජනය කරන්න.  මට පැවති නීතී රෙගුලාසි එක්ක තිබුණ අපහසුතා ඉවත් කරන්න ඕනේ. මම එය රටේ යහපතට කරන්නේ. ආයෝජන සඳහා මිත්‍රශීලී පරිසරයක් මම නිර්මාණය කරනවා.“

Comments