ඇසූ දුටු ජනවාරි 9

Syndicated from lankanewsweb,

වසර 10ක මහින්ද රාජපක්ෂ පාලනය පෙරලා දමිමින් 2015 ජනවාරි 09 වැනිදාට පහන් වන විට ජනාධිපතිවරණයෙන් පරාජය පිළිගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයෙන් පිටවී ගිය බව මාධ්‍ය වාර්තා කරන ලදී. ඒ මොහොත වන විට පවා රටේ සමස්ථ ඡන්ද ප‍්‍රමාණයෙන් අඩක්වත් ප‍්‍රකාශයට පත්වී තිබුණේ නැත. එවැනි වේලාසනකින් යුතුව මහින්ද පරාජය පිළිගෙන පිටවී යාම ප‍්‍රශ්නයක් වුවද ජයග‍්‍රාහකයෝ පමණට වඩා උදම් වී සිටීමත් පරාජිතයෝ ඉන් දැඩි ශෝකයට පත්වීමත් හේතුවෙන් ජනවාරි 08 වැනිදා මහින්ද අරලියගහ මන්දිරය හැර යන අවස්ථාව දක්වා කුමක් සිදුවීද යන්න පිළිබදන හරි සංවාදයක් ජනගත නොවුණි. පාර්ලිමේන්තු මන්ත‍්‍රී මලිත් ජයතිලක විසින් රචිත මා දුටු ජනවාරි 8 කෘතිය හරහා යම් යම් කරුණු ජයනගත වුවද ඒ පිළිබදවද ප‍්‍රමාණවත් සාකච්ඡවක් ඇතිවූයේ නැත.
මාගේ මතකයේ හැටියට ජනවාරි 8 වැනිදා රාත‍්‍රී 10 පමණ වන විට පළමු ඡන්ද ප‍්‍රතිඵලය ප‍්‍රකාශයට පත්කෙරුණි. එය මහින්ද රාජපක්ෂ ජයග‍්‍රහණය කළ ප‍්‍රතිඵලයක් වූ අතර ඒ සමගම සැළකියයුතු ප‍්‍රමාණයක් රතිඤ්ඤාද අසන්නට ලැබුණි. ඒ හා සමගාමීව පැමිණි මුල් ඡුන්ද ප‍්‍රතිඵල 3ක් හෝ 4ක්ම මහින්ද රාජපක්ෂ මහතාට ජය හිමිකරදුන් ඒවා විය. එයින් සමස්ථ ප‍්‍රතිඵලය සිතාගත් මහින්දවාදීහු මෙන්ම මහින්ද විරෝධීහුද මුල් ප‍්‍රතිඵල කිහිපය අසා හොදට හෝ නරකට හිත හදාගෙන නින්දට ගිය බවද අසන්නට ලැබුණි.
ඉන්පසු පැමිණි ප‍්‍රතිඵල "තව ටිකක් ඉදලා නිදාගන්නවා" යැයි සිතා සිටි අයව නිදි වර්ජිතව තබන්නට සමත් විය. පැයක් පමණ කරට කර සටනකින් පසු මෛත‍්‍රීපාල සිරිසේන පෙරමුණ ගන්නා ලදී. ඉන්පසු ප‍්‍රකාශිත ඡන්ද ප‍්‍රතිඵල වලින් වැඩි ප‍්‍රමාණය මහින්ද රාජපක්ෂ මහතා ජයග‍්‍රහණය කළ ඒවා වුවද මෛත‍්‍රීපාල සිරිසේනගේ වාසියට අතරින් පතර පැමිණි ප‍්‍රතිඵල එකක් හෝ දෙකක් මහින්දගේ ජයග‍්‍රහණ වල පරතරය ඉතා පහසුවෙන් පසුකරන බව පෙනුණි.
ජනවාරි 9 වැනිදා පාන්දර දෙකහමාර හෝ තුන වනතුරු තත්වය මේ ආකාරයෙන් ඇදී ගියේය. එකවරම පෝලිමේ පැමිණි ඡන්ද ප‍්‍රතිඵල තවදුරටත් පැමිණීම නතර විය. ජනාධිපතිවරණයක් දින රාත‍්‍රියේ පැය තුනක පමණ කාලයක් කිසිදු ප‍්‍රතිඵලයක් ප‍්‍රකාශයට පත් නොවුණු රික්තක කාලයක් පැවැතුණි. දන්නා කියන අයට දුරකථන ඇමතුම් දෙමින් සොයා බැලූ විට අසන්නට ලැබුණේ ගෝඨා මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණ ඇති බවත් කුමක් හෝ අවුලක් බව පෙනුණද අවුල කුමක්දැයි තවමත් නොදන්නා බවකි.
පැය තුනකට තුනහමාරකට පසුව නැවතත් ඡන්ද ප‍්‍රතිඵල ලබාදීම ඇරඹුණි. එසේ ප‍්‍රකාශයට පත්කෙරුණු ප‍්‍රතිඵල හතරකට හෝ පහකට පසුව වටින් ගොඩින් එළිය වැටීගෙන එන විට සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණේ මහින්ද රාජපක්ෂ මහතා පරාජය පිළිගෙන අරලියගහ මන්දිරයෙන් පිටවී ගිය බවය. එය වෙබ් අඩවියක් ඔස්සේ නරඹා කාමරයෙන් පිටතට පැමිණි මා රූපවාහිනිය ඉදිරියේ අසුන්ගන්නා විට ක‍්‍රියාත්මකව තිබුණේ හිරු නාලිකාවයි. එවිට වැඩසටහන ඉදිරිපත් කරමින් සිටි හිරු පත්තරේ විස්තරේ මෙහෙයවන රංගන එය පැවසූ ආකාරය මට අදද මතක තිබේ.
"තවමත් සමස්ථ ඡන්ද ප‍්‍රතිඵල වලින් භාගයකට වඩා ප‍්‍රකාශයට පත්වීමට තිබියදී අපට මේ අසන්නට ලැබෙන්නේ සමස්ථ ඡන්ද ප‍්‍රතිඵලයේ පෙර නිමිතිද? වාර්තා වන ආකාරයට අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය පිළිගෙන අරලියගහ මන්දිරයෙන් පිටවී ගොස් තිබෙනවා. මෙන්න එම ප‍්‍රවෘත්තිය නැවතත්........"
සමස්ථ රටම මොහොතක නිහැඩියාවක වෙලුණි. සිරස සහ ටී එන් එල් හැර අන් මාධ්‍ය නාලිකා කුමක් කියන්නටදැයි නොදැන මෙන් පැයක් පමණ ලතවෙනු පෙනුණි. ඡන්ද ප‍්‍රතිඵල විශ්ලේෂණ නැවතී හුදෙක් ප‍්‍රතිඵල පමණක් ඉදිරිපත් කරන තත්වයට ඇතැම් නාලිකා ලඝු විය. රතිඤ්ඤා හඩ ඇසෙන්නට එම ප‍්‍රවෘත්තිය ජනගතවීමෙන් පසුව වුවද පැය භාගයක් පමණ ගතවිය.
ඒ මා දුටු ජනවාරි 8යි. එදා මහින්ද රාජපක්ෂට විරුද්ධ මැතිවරණ ව්‍යාපාරයට යම් සක‍්‍රීය දායකත්වයක් දැක්වූ මමද ප‍්‍රතිඵලයෙන් සතුටට පත්වීමි. එම අනපේක්ෂිත උද්දාමය පහව යාමට සැමටම කලක් ගතවිය. ජනවාරි 8 රාත‍්‍රිය සහ ජනවාරි 9 පාන්දර කුමක් වීද යන්න පිළිබදව කල්පනා කිරීමට සිත යොමු වූයේ එම ෆැන්ටසි සිහිනයෙන් අත්මිදීමෙන් අනතුරුව වේ.
ඒ පිළිබදව මා හට පරිශීලක දැනුමක් (first hand information) නොමැත. ඒ සම්බන්ධයෙන් තොරතුරු එක්කාසු කරගැනීමට හැකිවන්නේ විවිධ පාර්ශව ඒ පිළිබදව ලියූ සටහන් සහ පළකරන ලද මත ආශ‍්‍රයෙනි. ඇතැම් අය ජනවාරි 9ට එළිවෙන පාන්දර කිසිදු කුමන්ත‍්‍රණයක් සිදු නොවූ බව ප‍්‍රකාශ කළද මැතිවරණ ප‍්‍රතිඵල විකාශයේ ඇතිවූ පැය තුනක පමණ අසාමාන්‍ය රික්තකය පිළිගතහැකි අයුරින් පැහැදිලි කළ කෙනෙක් නැත. එබැවින් කුමන්ත‍්‍රණයක් නොවූ බවට වඩා පහසුවෙන් කුමන්ත‍්‍රණ සිද්ධාන්තය (Conspiracy theory) එම රික්තකයට ආදේශ වන බවක් පෙනේ.
ඒ පිළිබදව "2015 ජනවාරි 8 වැනි දා කුමන්ත‍්‍රණයක් වැළැක්වීමට නීතිපතිවරයා මූලිකත්වය ගත්තේ කෙසේද යත්" යන මැයෙන් විකල්ප (www.vikalpa.org) වෙබ් අඩවිය පහත පරිදි වාර්තා කරයි.
උපුටාගැනීම:-
" ජනවාරි 9 වැනි දා උදෑසන 3 ට පමණ, නීතිපති යුවන්ජන් විජේතිලකට අරලියගහ මන්දිරයෙන් දුරකථන ඇමතුමක් ලැබුණි. එයින් කියැවුණේ වහාම ඔහු අරලියගහ මන්දිරයට පැමිණිය යුතු බවයි. ඊට පැය කිහිපයකට කලින්, කොළඹ සහ ඒ අවට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන කිහිපයක් අවට, පනාගොඩ යුද හමුදා කඳවුරේ බලඇණි කිහිපයක් යොදවා තිබුණු බව නීතිපතිවරයා දැන සිටියේ නැත.
අරලියගහ මන්දිරයට යාමට කලින් සොලිසිටර් ජෙනරාල් බිම්බා තිලකරත්නට දුරකථනයෙන් ඇමතූ නීතිපතිවරයා, තමාව අරලියගහ මන්දිරයට කැඳවා ඇති බවත්, අවශ්‍ය වුවහොත් නීති උපදෙස් ලබා ගැනීම සඳහා ඇය සූදානමින් සිටිය යුතු බවත් දන්වා සිටියේය. අරලියගහ මන්දිරයට ළඟා වූ සැණින් නීතිපතිවරයාව රැස්වීම් කාමරයකට කැඳවාගෙන යන ලදි. අවුරුදු 35 ක දීර්ඝ වෘත්තීය ජීවිතය තුළ ඔහු දැක නැති දර්ශනයක් එහි දී ඔහුට අභිමුඛ විය.
මහජන සේවාව පිළිබඳ හැඟීමක් ඇති ඕනෑම ඉහළ නිලධාරියෙකු තිගස්සවන තරම් වන පිරිසක් එහි උන්හ. ජනාධිපති මහින්ද රාජපක්ෂ අසළින් වාඩි වී සිටියේ ඔහුගේ සහෝදර, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍ය ජී. ඇල්. පීරිස් සහ බස්නාහිර පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිල පමණක් නොවේ, රටේ ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයේ මුල් පුටුව හොබවන අග‍්‍රවිනිශ්චයකාර මොහාන් පීරිස් ද එහි විය.
මේ පිරිස සිය සැලැස්ම විස්තර කොට, ඒ සැලැස්මේ නීත්‍යානුකූල භාවය නීතිපතිවරයා විසින් සහතික කරන්නේ නම්, ඊළඟට අවශ්‍ය පියවර ගැනීම සඳහා පොලිස්පතිවරයාට සහ හමුදාපතිවරුන්ට උපදෙස් දීමට තමන්ට පුලූවන් බව නීතිපතිවරයාට කියා සිටියහ. නීතිපතිවරයා ඉදිරියේ තිබූ ප‍්‍රශ්නය වුණේ, ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන කිහිපයක යම් හෙයකින් ප‍්‍රචණ්ඩකාරී තත්වයක් ඇති වුවහොත්, ඒ තත්වය තුළ හදිසි නීතිය ප‍්‍රකාශයට පත්කොට, හමුදාව පාරට කැඳවා ඡන්දය ප‍්‍රකාශයට පත්කිරීම අවලංගු කිරීමට නීතිමය අවසරයක් විධායකට සපයාගත හැකි ද යන්නයි.
සදාචාරමය වශයෙන් එම ප‍්‍රශ්නයට දිය හැකි පිළිතුර ගැන නීතිපතිවරයාට කිසි කුකුසක් නොවුණි. ඡන්ද ප‍්‍රතිඵල නිකුත් කිරීම නතර කිරීමට හෝ අවසාන මැතිවරණ ප‍්‍රතිඵලය ප‍්‍රකාශයට පත්කිරීමෙන් මැතිවරණ කොමසාරිස්වරයාව වැළැක්වීමට හෝ කිසි ව්‍යවස්ථාමය අවසරයක් තිබුණේ නැත. මේ කුමන්ත‍්‍රණය පිළිබඳ පුවත හැකි ඉක්මණින් අරලියගහ මන්දිරයෙන් ඉවතට රැගෙන යාමේ හදිසි අවශ්‍යතාව දුටු නීතිපතිවරයා තමාගේ තීරණය ගැනීම සඳහා සොලිසිටර් ජෙනරාල් බිම්බා තිලකරත්නට ඇමතිය යුතු බව දන්වා සිටියේය.
රැස්ව සිටි පිරිස ඉදිරියේම නීතිපතිවරයා බිම්බා තිලකරත්නට දුරකථනයෙන් ඇමතුවේය. අදාළ ප‍්‍රශ්නය විස්තර කොට උපදෙස් ඉල්ලූවේය. සිදුවී තිබෙන දේ වටහාගත් තිලකරත්න ද, කුමන්ත‍්‍රණය ගැන තවත් ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකුට කතා කොට, ඔහුගේ උපදෙස් ද ඉල්ලා සිටියාය.
නීති විශේෂඥයන් තිදෙනාටම, තමන් ඉදිරියේ ඇති ‘‘නීති්‍යානුකූල භාවය’’ පිළිබඳ ප‍්‍රශ්නයේ සැබෑ තත්වය ගැන මනා වැටහීමක් තිබුණි. ව්‍යවස්ථානුකූල භාවයක් හෝ නීත්‍යානුකූල භාවයක් පිළිබඳ ඕනෑම කාරණයක් අවසාන වශයෙන් තීන්දු කෙරෙන්නේ අග‍්‍රවිනිශ්චයකාරවරයා ඉදිරියේය. ඔහු, කිසි කැළලක් නැති, අපක්ෂපාතී පුද්ගලයෙකු විය යුතුය. දැන් එම පුද්ගලයා මේ මොහොතේ අරලිගයගහ මන්දිරයේ සිටින්නේ, මේ කුමන්ත‍්‍රණයේ නීත්‍යානුකුල භාවය තමන් ලවා අනුමත කරවා ගැනීම සඳහා බලපෑමක් වශයෙන් බව, නීති විශාරදයන් තිදෙනාටම අවබෝධ විය.
සත්තකින්ම මේ පිරිස තමන්ගෙන් අපේක්ෂා කරන්නේ, අදාළ කුමන්ත‍්‍රණයේ පාර්ශ්වකරුවන් වන ලෙස බවට කිසි සැකයක් ඔවුන්ට නොවුණි. එය, 1962 සහ 1966 අසාර්ථක හමුදා කුමන්ත‍්‍රණයන් ද පරදවන තරමේ රාජද්‍රෝහී එකකි.
ලෝකයේ කිසි ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක රාජ්‍ය නායකයෙකු, විශේෂයෙන් යක්කු ගස් නගින මහ රාත‍්‍රියක, ජනතාවගේ ස්වෛරීත්වය මැන බැලෙන දවසක, ශ්‍රේෂ්ඨාධිකරණයේ ප‍්‍රධානියාව තමන්ගේ නිවසට ගෙන්වා ගන්නේ හෝ ගුරුහරුකම් ගන්නේ හෝ මෙසේ කුමන්ත‍්‍රණය කරන්නේ හෝ නැත. අගවිනිසුරු මොහාන් පීරිස් රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමට මෙසේ රටේ නායකයා සමග කුමන්ත‍්‍රණය කිරීමෙන් කර ඇත්තේ ඔහුගේ ඒ උත්තරීතර නිලයටත්, ඔහු ආරක්ෂා කිරීමට දිව්රා පොරොන්දු වී සිටින රටේ ව්‍යවස්ථාවටත් මහත් කැළලකි. වෙනත් ආකාරයකින් ජනාධිපතිවරයා සහ අගවිනිසුරුවරයා විසින් නීතිපතිවරයාගෙන් මේ ඉල්ලා සිටින්නේ, රටේ ජනතාවට එරෙහිව, රටේ නායකයා පත්කර ගැනීමට ඔවුන්ට ඇති අයිතියට එරෙහිව තමන් සමග කුමන්ත‍්‍රණයට එක් වන ලෙසයි.
තමන්ට සහ තම පවුල්වල සාමාජිකයන්ගේ ජීවිතවලට රටේ බලගතුම පුද්ගලයන්ගෙන් එල්ල විය හැකි බරපතල අනතුරක තර්ජනය තිබියදී පවා, නීතිපතිවරයාත් සොලිසිටර් ජෙනරාල්වරියත්, ජනාධිපතිවරයාගේ සැලසුමට අවශ්‍ය නීත්‍යානුකූල භාවය තමන්ට සැපයිය නොහැකි බව කියා සිටියහ. ඊළඟට, නීතිමය අධිකාරියකින් තොරව මෙවැනි සැලසුමක් ක‍්‍රියාත්මක කිරීමට තමන්ට හැකියාවක් නැති බව පොලිස්පතිවරයාත්, හමුදාපතිවරයාත් කියා සිටීමෙන් පසු කුමන්ත‍්‍රණ සැලැස්ම වැළලූණි. අරලියගහ මන්දිරයෙන් පිටත් වීමට ජනාධිපතිවරයා තීරණය කෙළේ ඉන් පසුවයි."
-උපුටාගැනීම අවසන්.
ජනවාරි 08 කුමන්ත‍්‍රණයක් ගැන අනිද්දා වෙබ් අඩවිය (www.anidda.lk) "දෙන්නෙකුට වෙඩි තිබ්බාම ඇති’ ජනවාරි 8 ? කුමන්ත‍්‍රණය ගැන පරීක්‍ෂණවලට මොකද වුණේ?" යන මැයෙන් 07/10/2018 දින වූ ලිපිය මගින් පහත පරිදි වාර්තා කරන ලදී.
උපුටාගැනීම:-
"රැස්වීම් දෙකක්
-------------------
තොරතුරු වාර්තා වන අන්දමට මේ පසුපස සිටි ප‍්‍රධානීන් වන්නේ ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා හා මේජර් ජෙනරාල් ප‍්‍රසාද් සමරසිංහය. වැඩසටහනේ තිරපිටපත ගෝඨාභය රාජපක්ෂගේය. එය හැඳින්විය හැක්කේ ‘පැය 72 මෙහෙයුම’ හැටියටය. මේ හමුදා සැලසුම ගැන පැහැදිලි කිරීමට ජනවාරි 7වැනිදා, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ජගත් ජයසූරියගේ කාර්යාලයෙහිදී එක් රැස්වීමක් පැවැත්වුණු අතර, ඊට මේජර් ජෙනරාල්වරු 7 දෙනෙක්, බි‍්‍රගේඩියර්වරු 8 දෙනෙක් හා පොලිසියේ ඉහළ නිලධාරීහු දෙදෙනෙක් සහභාගි වූහ. රැුස්වීමේ මූලිකත්වය ගෙන සිටියේ මේජර් ජෙනරාල් පෙරේරාය. ඊට අමතරව මේජර් ජෙනරාල් සමරසිංහ, බි‍්‍රගේඩියර් යූ. මඩවල, බි‍්‍රගේ ඩියර් නිවුන්හැල්ල, බි‍්‍රගේඩියර් ආර්. ළමාහේවාද එහි සිටි අය අතර වූහ. එම රැුස්වීමේදී ජනාධිපතිවරණ ප‍්‍රතිඵල නිකුත්කිරීම අතරතුර හමුදාව රටේ පාලන බලය සියතට ගැනීම ගැන දීර්ඝ වශයෙන් විස්තර කළ බව වාර්තා වන අතර, හමුදාව බලය ලබාගත් පසු නීතිය හා සාමය ආරක්ෂාකිරීම පොලිසිය කළ යුත්තේ කෙසේද යන්න ගැන උපදෙස් ලබාදෙන ලදි. මෙහිදී ඊට සහභාගිවූ ඉහළ පොලිස් නිලධාරීන් දෙදෙනා පැහැදිලිවම අවධාරණය කර සිටියේ, රටේ සාමාන්‍ය නීතියට පිටතින් සිදුවන කිසිදු දෙයක් සඳහා පොලිසිය සහයෝගය නොදෙන බවත්, විශේෂයෙන් එවැනි බලහත්කාරී කටයුත්තක යෙදීමට පොලිසියේ පහළ ස්ථරවල නිලධාරීන් කිසිසේත් කැමැත්තක් නොදක්වනු ඇති බවත්ය.
ඒ අතර පොලිස්පති එන්කේ ඉලංගකෝන් සියලූ පොලිස් කොට්ඨාසවලට හා අනෙකුත් සියලූ මට්ටම්වල නිලධාරීන්ට දැනුම් දී තිබුණේ රටේ නීතියට පිටින් යන කිසිදු කටයුත්තකට සම්බන්ධ නොවීමට මෙන්ම සහයෝගය නොදීමටද තදින් වගබලා ගත යුතු බවය.
එහි දෙවැනි රැස්වීම, ජනවාරි 8 වැනිදා සවස යුද හමුදා මූලස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ කාර්යාලයේ සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණ. පෙර දින රැුස්වීමට සහභාගිවූ පිරිසම එදින ඊට සහභාගිවූහ. එහිදී හමුදා නිලධාරීන් කියා සිටියේ සැලැස්ම අනුව හමුදා සෙබළ පිරිස් අදාල ස්ථානවල ඒ වනවිටත් ස්ථානගත කොට ඇති බවත්, හමුදාව පාලනය භාරගත් පසු පොලිසිය නීතිය හා සාමය ආරක්ෂා කළ යුතු බවත්ය. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනා ඒ අවස්ථාවේදීත් සිටියේ සිය දැඩි ස්ථාවරයේමය. මේ කුමන්ත‍්‍රණය සඳහා පොලිසියේ සහායක් නැති බවට ඔවුහු පැහැදිලිවම අවධාරණය කළෝය.
මැතිවරණ ප‍්‍රතිඵල අත්හිටුවා, හදිසි නීතිය ප‍්‍රකාශ වන විට මහජනතාව කලබලවී මහපාරට ඒවියැ’යි එහිදී තක්සේරු කරනු ලැබිණ. ඔවුන් වැළැක්වීමට තදාසන්න කඳවුරුවල ස්ටෑන්ඞ්බයි ලෙස තිබෙන හමුදා බැටෑලියන යෙදවීමට නියමිත විය. කොළඹ නගරයට ඇතුළු වන ගාලූ පාර, නුවර පාර ආදි ස්ථානවල හමුදා භට පිරිස් ස්ථානගත කොට, බස්රථ හරහට දමා මහාමාර්ග වසා දැමීමට නියමිත විය. එහෙත්, විශාල මහජනතාවක් කලබලවී මේ බාධා බිඳගෙන ආවොත් කුමක් කරන්නේදැයි ඒ රැුස්වීමක සිටි නිලධාරියෙක් ඇසීය. රැුස්වීම මෙහෙයවූ හමුදා ප‍්‍රධානියකුගේ උත්තරය මෙයයි.
‘දෙන්නෙකුුට විතරයි වෙඩි තියන්න ඕනෑ. අනිත් අය හැරිලා දුවයි.’
කෙසේ වෙතත් මේ රැුස්වීම් දෙකේ තොරතුරුත්, හමුදා සැලැස්මේ තොරතුරුත් රනිල් වික‍්‍රමසිංහ මහතා සහ තවත් සුළු පිරිසකට දැනගන්නට ලැබිණි. වික‍්‍රමසිංහ මහතා ඒ ගැන අමෙරිකාවද දැනුවත් කරන ලද බවත්, එහි ප‍්‍රතිඵලයක් ලෙස අමෙරිකානු ආරක්ෂක ලේකම් ජෝන් කෙරී මහින්ද රාජපක්ෂට දුරකථන ඇමතුමක් ලබා දී මහජන මතයට ගරුකරමින් සාමකාමී ලෙස බලය මාරුවන තැනට කටයුතු කරන ලෙස කී බවත් දැනගන්නට තිබේ. රනිල් වික‍්‍රමසිංහ මහතාට මහින්ද රාජපක්ෂගෙන් උදේ 4.30ට දුරකථන ඇමතුම ලැබෙන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසය.
රනිල් එයි
දුරකථන ඇමතුම ලත් රනිල් වික‍්‍ර‍්‍රමසිංහ මහතා කියන්නේ තමා අරලියගහ මන්දිරයට පැමිණෙන්නට සූදානම් බවය. මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අනෙකුත් පක්ෂ නායකයන්ට අරලියගහ මන්දිරයට යන බව දැනුම් දී එහි යන විටත්, අගවිනිසුරු මොහාන් පීරිස් අරලියගහ මන්දිරයේ සිටිනු දැක රනිල් විස්මයට පත්වූ බව කියනු ලැබේ. ඡුන්ද ප‍්‍රතිඵල නිකුත්වෙමින් තිබෙන මෙවැනි අවස්ථාවක රටේ අගවිනිසුරුවරයා අපේක්ෂකයකුගේ නිවසේ සිටීම ගැනය. කෙසේ වෙතත් ඒ වන විට මහින්ද රාජපක්ෂ හා මොහාන් පීරිස්ගේ මුහුණු මැළැවුණු අඳුරු ස්වභාවයක් ගෙන තිබුණු බවද ආරංචි මාර්ග කියයි. මහින්ද රාජපක්ෂ එදින රාත‍්‍රියේ තමා විසින් පත්කරන ලද අගවිනිසුරුවරයා එහි කැඳවා තිබුණේ කුමකටද? ඉදිරි අවුරුදු දෙකක කාලය තමාට ධුරයේ සිටිය හැකිද යන්න ගැන අදහසක් ලබාගැනීමටය. අගවිනිසුරුවරයා, ‘එය කළ හැකියැ’යි පිළිතුරු දී තිබුණු බව තහවුරු නොකරන ලද ආරංචි මාර්ග කියයි.
එතැන් සිට ඉහත විකල්ප වෙබ් අඩවියේ සදහන් විස්තරය ඒ ආකාරයෙන්ම අනිද්දා වෙබ් අඩවියේද පළවී තිබුණි"
- උපුටාගැනීම අවසන්
තවද මේ පිළිබදව ලංකාදීප වෙබ් අඩවිය (www.lankadeepa.lk) රාජපක්ෂ පාලනයේ අවසන් හෝරා කිහිපයේදී මොකද වුණේ මැයෙන් 2015 ජනවාරි 30 වැනි දින පළකරන ලද ලිපියේ මෙසේ සදහන් වේ.
උපුටාගැනීම:-
"
අළුයම 1.30 ට පමණ කැෆේ විධායක අධ්‍යක්ෂකවරයාට දැනට දේශපාලනයේ නිරතව සිටින විශ‍්‍රාමික හමුදා නිළධාරියෙකුගේ නියෝජිතයෙකුගෙන් වහාම මැතිවරණ දෙපාර්තමෙන්තුව වෙත පැමිණෙන්නැයි පණිවුඩයක් ලැබුණි. මැතිවරණ දෙපාර්තමෙන්තුවේ රැුදී සිටි වෙනත් විපක්ෂ දේශපාලඥයෝද වහාම පැමිණෙන්නැයි කැෆේ විධායක අධ්‍යක්ෂකවරයාගෙන් ඉල්ලා සිටියහ.කුමක් හෝ බරපතල දෙයක් සිදුවන්නට යන පෙර ලකුණු දැක සියලූදෙනා බියපත්ව සිටි සෙයක් පෙනුනි.මෛති‍්‍රීපාල සිරිසේන මහතා හා කලක් ඉතා සමිීපව කටයුතු කළ නීතිඥ චම්පනී පද්මසේකර එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මැතිවරණ දෙපාර්තමෙන්තුවේ රැදී සිටි එකම නියෝජිතයා විය.බොහෝ දෙනා මෙය අසුභ ලකුණක් ලෙස සැළකූහ. සාමාන්‍යයෙන් මැතිවරණ රැයකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මුල් පෙළ නියෝජිතයෝ මැතිවරණ කාර්යාලයට පැමිණ සිටින්නේ දුසිම් ගණනින් වුවත් මෙවර එවැන්නක් දැකගත නොහැකි විය.
කැෆේ අධ්‍යක්ෂකවරයා මැතිවරණ දෙපාර්තමෙන්තුවට පැමිණි අවස්ථාවේ එහි තිබුණේ නොසන්සුන්කාරී තත්ත්වයකි. ඩී.ඇස් සේනානායක විදුහල අවට හමුදා භටයින් රදවමින් සිටින බව සදහන්වූ වාර්තා එක පිට එක පැමිණෙමින් තිබුනි. ඒ වන විට දෙපාර්තමෙන්තුවේ සිටියේ විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් කිහිපදෙනෙකු හා මැතිවරණ පැමිණිලි කාර්යාලයේ සේවය කළ පොලිස් නිළධාරීන් කිහිපදෙනෙකු පමණි.
අලූයම 1.45 ට පමණ දෙපාර්තමෙන්තුවට පැමිනි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු දෙපාර්තමෙන්තුවේ රැඳී සිට විශේෂ කාර්ය බලකා භටයින් මූලෝපායික වශයෙන් වැදගත්වන ස්ථාන වල රැඳවූයේ පිටතින් එල්ල විය හැකි ඕනෑම ආකාරයේ තර්ජනයකට මුහුණදීමට හැකිවන අයුරින්ය.මේ අවස්ථාවේදී කැෆේ වෙත වාර්තාවූයේ අගවිනිසුරුවරයා ඇතුළු නිළධාරීන් කිහිපදෙනෙක් අරලියහග මන්දිරයට කැඳවා තිබෙන බවය. ඡන්ද ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කෙරෙමින් තිබෙන අවස්ථාවක රටේ අගවිනිසුරුවරයා අපේක්ෂකයෙකුගේ නිවහන වෙත ගොස් සිටීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැත.
කියන තරම් ලෙහෙසි නොවූ බලය අත්හැරීමක්
තමන්ට බලය අත්හැරීමට සිදුවන බව දැකගත් විහස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමසාරිස්වරයා ඇමතීය. පසුගිය මැතිවරණයක් සැළකීමේදී දේශපාලන පක්ෂ වලට හා මැතිවරණ නිරීක්ෂකයින්ට මාධ්‍ය වලින් නිල ඡන්ද ප‍්‍රතිඵල අනාවරණය කරන තෙක් රැදී සිටින්නට සිදුවුනත් මෙවර ජනවාරි 9 වැනිදා අලුයම 2.15 වන විට ඔවුන් අවසාන ප‍්‍රතිඵලය ගැන දැනගත්තේය.මැතිවරණ නිරීක්ෂකයින්ට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල රැඳී සිටීමේ අවසරය ඇති හෙයින් ජනාධිපතිවරණයෙන් කවුරුන් ජයගෙන ඇත්දැයි කැෆේ දැනගත්තේ අලුයම 2.37 වෙද්දීය. කරුණු මෙසේ වෙද්දී රාජගිරිය මැතිවරණ දෙපාර්තමෙන්තුවේ කි‍්‍රයාකාරීව තිබූ මාධ්‍ය වෙත මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් කරමින් සිටි පරිගණක පද්ධතිය අලුයම 1.30 - 2.30 අතර කාලයේදී එක්වරම කි‍්‍රයාවිරහිත විය. තාක්ෂණික දෝෂයක් යැයි පැවසුනත් එම දෝෂය කවරක්දැයි සොයාගැනීමට නොහැකිවුණි. වාසනාවට මැතිවරණ කොමසාරිස්වරයා යටතේ මෙවන් අවස්ථාවකට සූදානමින් සිටි කණ්ඩායමක් සිටි අතර ඔවුන් වහාම පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කළේය.මේ කටයුතු සිදුවෙද්දී විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට අරලිය ගහ මන්දිරයට පැමිණෙන්නැයි කැඳවීමක් ලැබී තිබුණි. අගවිනිසුරුවරයා ඒ වන විටත් සිට ඇත්තේ අරලියගහ මන්දිරයේය. වික‍්‍රමසිංහ මහතා හා හිටපු ජනපතිවරයා අතර ආරක්ෂාව සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වී තිබෙන බවට තොරතුරු වාර්තාවී තිබේ. අවසානයේ මහින්ද රාජපක්ෂට මැදමුලනේ තම නිවහන වෙත යෑමට එම්.අයි 17 වර්ගයේ හෙලිකොප්ටර දෙකක් සපයාදීමට එකඟතාව පළවී ඇත"
- උපුටාගැනීම අවසන්
ඉහත උපුටාගැනීම් ත‍්‍රිත්වයෙන් ප‍්‍රකාශ වන කතාන්තර සත්‍යද අසත්‍යද යන්න අපි නොදන්නා නමුත් ඒවා මගින් 2019 ජනවාරි 9 එළිවෙන පාන්දර මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් කිරීමේ ඇතිවූ පැය තුනක පමණ පැහැදිලි කළ නොහැකි අබිරහස් රික්තකයනම් මනාව පිරවෙන බව පෙනී යයි.
2010 මතකය
2010 වසරේ පැවති ජනාධිපතිවරණයේදී සිදුවී යැයි අසන්නට ලැබුණු ඇතැම් සිදුවීම් පිළිබදව සළකා බලන කල 2015 ජනවාරි 9 වනදා මෙම හැසිරීම ඒ හා සමපාත වන බවද පෙනී යයි. නමුත් 2010 පිළිබදව මැතිවරණ කොමසාරිස් වරයාට සෑදුණු බරපතළ ආතතිය හැර අන් සාධක නැත. 2010 පිළිබදව පොත් ලියැවී නැත. එය බරපතළ අඩුපාඩුවකි. එහෙත් අසන්නට ලැබුණු ඇතැම් කරුණු මෙසේය:-
- ගම්පහ සියනෑ අධ්‍යාපන විද්‍යා පීඨයේ පැවැති ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට රාත‍්‍රි 11ට පමණ කඩාවැදුණු පිරිසක් එහි රැුදී සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා ඇතුලු නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ වෙනුවෙන් ඡුන්ද ගණන් කිරීමේ නියොජිතයන් පිරිසකට පහරදී එළවා දැමූ බව.
- කොම්පියුටර් ජිල්මාට් එකකින් මැතිවරණය ජයගත් බව සහ ඒ සදහා ජපානයේ වෙසෙන ශ‍්‍රී ලාංකික පරිඝනක විශේෂඥයෙකු ගෙන්වූ බව
- මැතිවරණයට පසුදා එළිවෙන පාන්දර ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා එජාප නායක රනිල් වික‍්‍රමසිංහ ඇතුලු පිරිස රැදී සිටි සිනමන් ලේක්සයිඩ් හෝටලය හමුදා පිරිස් මගින් වටලා සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂාවට අනුයුක්ත කර සිටි හමුදා භටයන්ට පාර අයිනේ දණ ගස්වා කණේ පාර දුන් බව
- කුමන්ත‍්‍රණ චෝදනාවක් මත සරත් ෆොන්සේකා මහතාගේ ප‍්‍රධාන කාර්යාලයේ තේ හදන්නට සිටි පුද්ගලයා පවා අත්අඩංගුවට ගත් බව

තවත් ඇසූ දුටු කරුණු බොහෝ තිබේ. එය අතීතය යැයි පවසා කෙනෙකුට අමතක කළහැකි වනු ඇත. තවත් කෙනෙකු එවැනි තත්වයක් යටතේ හෝ එවැනි දැඩි පාලනයක් පැවැතීම යහපත් බව කියනු ඇත. ඒ පිළිබදව මතය කුමක් වුවද අප එවැනි පාලන ක‍්‍රමයක් පැවැති යුගයක් පසුකර පැමිණි වග මේ රටේ දශක ගණනාවක යුද්ධයක් පැවැති බව සහ පාස්කු බෝම්බ ප‍්‍රහාර මාලාවක් සිදුවූ බව මතක ඇත්තා සේම සබුද්ධික පුද්ගලයෙකුට අමතක කළ හැකි නොවේ.
- නීතීඥ අථිල අතාවුද 

Comments