පාඨලී ‌මේ පාරෙන් එන්න..! -ආනුභාවනන්ද ලියයි

Syndicated from lankaenews,



මහනුවර සහ නුවරඑළිය කේන්ද්‍රකරගත ප්‍රභූ පවූලක නියෝජනයක් වූ ඇන්ඩෘෘ දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවීමත් සමග 'බණ්ඩාරනායක දේශපාලනයට' එක් විය. 1956 මහ මැතිවරණයේදී නුවරඑළිය ආසනය පහසුවෙන් දිනාගනිමින් පාර්මේන්තුවට තේරී පත්වන ඇන්ඩෘෘ දිසානායක මහතාට නව රජයේ ප්‍රමුඛ නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් හිමිවිය. එවකට දාහතර හැවිරිදි වියේ සිටි ඔහුගේ වැඩිමහල් පුත්‍රයා පියාගේ දේශපාලන ආගමනයෙන් වශීකෘත වී සිටියේය. සිය පියා මැතිවරණ සටන ගෙන යන ආකාරය සහ ජනතාවගේ ප්‍රශ්න, අවශ්‍යතා පිළිබඳ අදහස් දක්වන ආකාරය ඔහුට නැවුම් අත්දැකීමක් විය. එහෙත් ඇන්ඩෘෘ දිසානායක මහතාට ශ්‍රී ලංකාවේ දේශපාලනය එතරම් යාදුන්නේ නැත. හැටේ දශකය ආරම්භ වන විට ඔහු ‌දේශපාලනයෙන් සමුගත්තේ ය. 

ලයනල් ගාමිණි දිසානායක.. 

එහෙත් ඔහු ඒ වන විටත් ශ්‍රී ලංකාවේ  දේශපාලනය අස්වැද්දීම සඳහා නව බිජ වපුරා තිබුනේය. ඒ ලයනල් ගාමිණි දිසානායක නම් වූ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා ය. නුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළු වූ ඔහු පියා ‌මෙන් ක්‍රියාකාරී ‌දේශපාලනයට ඒමට අදිටන් කරගෙන සිටියේ ය. නීති විද්‍යාලයේ දී අධ්‍යාපන කටයුතුවල දී මෙන්ම විවාදයේදී ද කැපී පෙනෙන දක්ෂතා පෙන්වූ ඇන්ඩෘෘ දිසානායක මහතාගේ වැඩිමහල් පුත්‍රයා, පියාගේ දේශපාලන දර්ශනයට සම්පූර්ණයෙන්ම විරුද්ධ එජාපය වෙත ඇදී ගියේය. එවකට එජාප නායකයා වූ ඩඩ්ලි සේනානායක මහතා මෙන්ම නියෝජ්‍ය නායක ‌ජේ .ආර්. ජයවර්ධන මහතා ද දක්ෂ කැපී පෙනෙන තරුණයන්ට සිය පක්ෂයේ දොරටු විවෘත කර තිබුණි. ඇන්ඩෘෘ දිසානායකගේ වැඩිමහල් පුත්‍රයාගේ දක්ෂතා හඳුනාගත් එම නායක දෙපළ ඔහු එජාප  ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ කර ගත්හ. මෙම තරුණ ලයනල් දිසානායකට 1970 මහ මැතිවරණයේදී එජාප අපේක්ෂකයා වශයෙන් නුවර එළිය ආසනයට තරඟ කිරීම සඳහා නාමයෝජනා ලබාදීමට එජාප නායකයා තීරණය කළේය. පසු කලක මෙරට දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් බවට පරිවර්තනය වූ ගාමිණී දිසානායක තියුණු මැතිවරණ සටනකින් පසුව නුවරඑළිය ආසනයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය. 1970 වසර යනු එජාපය ආසන දහඅටකට පසු බස්වනු ලැබූ අවස්ථාවකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සමගි පෙරමුණු ජන රැල්ල ඉදිරියේ නවක තරුණ අපේක්ෂක‌යෙකු  වශයෙන් සිය සලකුණ තැබීමට තරුණ ගාමිණි දිසානායකට හැකි විය. 
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි බලයක් හිමිකරගෙන තිබූ සමගි පෙරමුණු රජයට මුහුණ දීමට එදා විපක්ෂය වූ එජාපයට පහසු නොවීය. එජාප මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ දී නිදහසේ කථා කිරීමට පවා අවස්ථාවක් නොවීය. ගාමිණි දිසානායක නම් තරුණ මන්ත්‍රීවරයා සිය මංගල පාර්ලිමේන්තු කථාව කිරීමට සූදානම් වූ අවස්ථාවේ ආණ්ඩු පක්ෂයෙන් නිරන්තර බාධා කිරීම් එල්ල විය. මෙවැනි තත්ත්වයක් නිර්මාණය  වන බව දැන සිටි විපක්ෂ නායක ‌ජේ.ආර්. ජයවර්ධන මහතා තරුණ ගාමිණි දිසානායක මන්ත්‍රීවරයාගේ අසුනට යාබද අසුනෙන් වාඩිවී සිටියේ තරුණ මන්ත්‍රීවරයාට ධෛර්යයත්, විශ්වාසයත් ලබාදීම සඳහා ය. ආණ්ඩු පක්ෂයෙන් එල්ල වුණු අනේක බාධා මාධ්‍යයේ ඔහු සිය මංගල කථාව කළේය.  පාර්ලිමේන්තුවට තේරී පත්වී මාස කිපයකට පසුව මැතිවරණ පෙත්සමකින් ඔහුගේ ආසනය අහිමි විය. ගාමිණී දිසානායකට නැවත අතුරු මැතිවරණයකට මුහුණදීමට සිදුවිය. එය දැදිගම අතුරු මැතිවරණය මෙන් 'යුද්ධයක්'  විය. සමගි පෙරමුණ රජය සිය සියලු ශක්තිය හා බලවේග මෙහෙයවමින් නුවරඑළිය ආසනය කෙසේ හෝ දිනා ගැනීමට උත්සාහ කළේය. තමා මෙන්ම තම පියා ද හඳුනන නුවරඑළිය ජනතාව පිළිබඳව පූර්ණ විශ්වාසය තබමින් අතුරු මැතිවරණ ව්‍යාපාරය මෙ‌හෙයවු ගාමිණී  දිසානයක සමගි පෙරමුණේ මාර බලවේග පරාජය කරමින් නැවත නුවරඑළිය ආසනය දිනාගත්තේ තම දේශපාලන 'සලකුණ'  ස්ථාපිත කරමිනි.

ගාමිණී සිංහල ‌බෞද්ධ ජාතිවාදය වැළැඳ ගැනීම..

එතැන් සිට ගාමිණී දිසානයකගේ දේශපාලන මග වඩාත් වර්ණවත් විය. 1977 එජාප රජයේ ප්‍රබල ඇමති ධූරයක් හිමිවන ඔහුගේ ගමන් මග ගැන අමුතුවෙන් විස්තර කළ යුතු නැත. කන්ද උඩරට ප්‍රභූ පවුලක ඉපිද මහනුවර ත්‍රිත්ව විද්‍යාලය වැනි බහු වාර්ගික, බහු ආගමික පාසලකින් මූලික හා ද්වීතික අධ්‍යාපනය හැදෑරූ තරුණ ගාමිණි දිසානායක හැත්තෑව දශකයේ අගභාගය වන විට ලාංකීය සමාජය තුළ ජනප්‍රිය වෙමින් පැවැති සිංහල බෞද්ධ ජාතිවාදී දේශපාලනය වැළැඳ ගත්තේය. සිය සමාජ, ආර්ථීක පදනමින් කිසිවිටෙක සිංහල බෞද්ධ ජාතිවාදයට මුසු නොවූ ගාමිණි දිසානයක එවකට පැවැති එජාප සිරිල් මැතිව්ලාගේ සිංහල බෞද්ධ ජාතිවාදී බලවේගයට එක් වන්නේ හුදු දේශපාලන වාසිය සඳහාය. අසූව දශකයේ මුල් භාගය වන විට සිරිල් මැතිව් සමග කරට කර තරඟ කරන සිංහල සිංහල බෞද්ධ ජාතිවාදී එජාප නායකයෙකු වශයෙන් ගාමිණී දිසානායක ඉස්මතු වූයේය. 
එවකට ගාමිණිගේ වඩාත්ම හිතවත් බෞද්ධ භික්ෂූන් ‌දෙනම වුයේ ඇල්ලේ ගුණවංශ සහ කිතලගම සීලාලංකාර හිමි වරුන්  ය. යාපනයේ දෙමළ ජනතාවගේ ඡන්ද අයිතිය උදුරාගත් සංවර්ධන සභා මැතිවරණ මංකොල්ලයට මෙන්ම යාපනය පුස්තකාලය ගිනි තැබීමේ සිද්ධියට ගාමිණී දිසානයකගේ නම ඈඳී තිබිණි. ඒ සිද්ධිය වන විට තමා යාපනයේ නොසිටි බව කියමින් ගාමිණි දිසානයක එවක එම චෝදනාව ප්‍රතික්ෂේප කළ ද එජාපයේ සිංහල බෞද්ධ ජාතිවාදී කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ඔහුගේ නම එම සිද්ධියට ඇදීම අහම්බයක් නොවෙයි.

විනාඩි 14 ක් තුල ‌දෙමළ ජනයා‌ගේ සමූල ඝාතනය... 

1983 ජුලි ජාතිවාදී කලබලයේදී ගාමිණි දිසානයක දෙමළ ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වූ බවට බොහෝ සාධක ඉදිරිපත් වී තිබේ. මානව හිමිකම් සඳහා වන විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය (යාපනය) 1983 ජූලි ජාතිවාදී කලබල සම්බන්ධයෙන් ඉදිරිපත් කරන වාර්තාවේ සිව්වන පරිච්‌ඡේදයේ ගාමිණි දිසානායක නුවරඑළිය ප්‍රදේශයේ දෙමළ ජනතාවට එරෙහි සංවිධානාත්මක ප්‍රහාර සඳහා අනුබල දුන් බව සඳහන් වෙයි. එවකට වලපනේ එජාප මන්ත්‍රීවරිය වශයෙන් කටයුතු කළ රේණුකා හේරත් මහත්මිය, දෙමළ ජනතාවට ප්‍රහාර එල්ල කළ මැර පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට කරන බලපෑම් මත නුවරඑළයේ දෙමළ විරෝධී සංහාරය ආරම්භ කිරීමට උත්සාහ ගත් මැරයන් අත්අඩංගුවට ගෙන පොලිසියේ රඳවාගෙන තිබිණි. එහෙත් පසුදින එම ප්‍රදේශයට පැමිණෙන ගාමිණි දිසානායක එම මැරයන් පොලිස් අත්අඩංගුවෙන් නිදහස් කර ගත්තේය. ඉන් පසුව එම මැරයෝ නුවරඑළිය ගිණි තැබූහ. මෙලෙසම එජාප රාජ්‍ය ඇමැතිවරයෙකු වූ ෂෙල්ටන්රාජා ගේ මැදිහත්වීමෙන් මහනුවර පොලිසිය මගින් අත් අඩංගුවට ගත් මැරයන් පිරිසක් සිරිල් මැතිව් ඇමැතිවරයා පැමිණ නිදහස් කරගෙන තිබිණි. 1983 ජුලි සංහාරයෙන් දෙමළ ජනාවට සිදු වූ විනාශය ගැන කිසිදු සංවේදීභාවයක් නොදැක්වු ගාමිණි දිසානයක එම සිද්ධියෙන් දින කීපයකට පසුව කියා සිටියේ "ඉන්දීය හමුදාවට ශ්‍රී ලංකාවට පැමිණීමට පැය 14 ක් ගතවන බවත් ඒ අතර සිංහලයන්ට අවශ්‍යය නම් විනාඩි 14 ක් තුළ දෙමළ ජනතාව විනාශ කළ හැකි බවයි"

ගාමිණී දිසානායක ජාතිවාදය අත් හැරීම..

සිරිල් මැතිව් සමග කරට කර සිංහල බෞද්ධ ජාතිවාදී සටන මෙහෙය වූ ගාමිණී දිසානායක අසූව දශකය මැදභාගය වන විට සිංහල බෞද්ධ ජාතිවාදී දේශපාලනයෙන් විතැන් විය. ඒ සඳහා ප්‍රබල ‌ලෙස ‌හේතු වූයේ ‌ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති සිරිල් මැතිව් කැබිනට් මණ්ඩලයෙන් ‌නෙරපා හැරීම සහ එම කණ්ඩායමේ ප්‍රබලයෙකු වූ හර්මන් ගුණරත්න හිරේ දැමීමයි. ශ්‍රී ලංකාව නැමැති දූපතෙන් ඔබ්බට ලෝකය දුටු ගාමිණි දිසානයක තීක්ෂණ බුද්ධියක් හිමි ප්‍රායෝගික දේශපාලනඥයෙකි. ගාමිණිගේ ඉලක්කය වූයේ අනාගතයේ රටේ ජනාධිපතිධූරයට පත්වීමය. ජනාධිපතිවරණයක් සුළු ජාතික ඡන්ද නොමැතිව ජයගැනීමට අපහසු බව අවබෝධ කරගත් ගාමිණි දිසානායක සිංහල බෞද්ධ ජාතිවාදී සටන් පාඨ අත හැර දැම්මේය. ඒ වෙනුවට ප්‍රායෝගිකව සුළු ජාතිකයන් වෙත සමීප විය හැකි මාර්ග සොයා බැලූවේය. දෙමළ මෙන්ම මුස්ලිම් ජනතාව භාවිතා කරන දෙමළ භාෂාව වාහකයක් කර ගත හැකි බව ඔහු අවබෝධ කර ගත්තේය. 

ගාමිණී දෙමළ භාෂාව ඉ‌ගෙන ගැනීම..

ගාමිණී දෙමළ භාෂාව ඉගෙන ගැනීමට තීරණය කළේය. ඔහුගේ කාර්ය බහුල දින චර්යාවේ. හිමිදිරි උදෑසන පැයකට අධික කාලයක් වෙන්කර ගනිමින් දෙමළ භාෂාව හැදෑරීය. ඔහුගේ දෙමළ ගුරුවරයා වූයේ සීලරත්න සෙනරත් මාධ්‍යවේදියා ය. 1977 මහමැතිවරණයෙන් පසුව ශ්‍රීලනිප පාක්ෂිකයෙකු යැයි හංවඩු ගසා දුෂ්කර ප්‍රදේශයකට දඬුවම් මාරුවක් ලැබ සිටි සීලරත්න සෙනරත්ට සිංහල සහ දෙමළ භාෂා දෙකම මැනවින් හැසිරිමේ හැකියාවක් තිබිණි. ගාමිණි දිසානයක මහතා ප්‍රධාන අමුත්තා වශයෙන් ඔහු සේවය කරමින් සිටි පාසලේ උත්සවයකට පැමිණියේය. ඒ උත්සවයේ නිවේදකයා වශයෙන් කටයතු කළ සීලරත්න සෙනරත් සිංහල සහ දෙමළ එක ලෙස චතුර ලෙස හසුරුවන අයුරු දැකගත් ගාමිණි දිසානයක මහතා තමාට දෙමළ භාෂාව ඉගැන්වීම් යෝජනාව ඔහුට ඉදිරිපත් කළේය. තම කාර්ය බහුල කාල සටහන අතරේ ක්‍රමානුකූලව දෙමළ භාෂාව හැදෑරූ ගාමිණි දිසානයක ටික කාලයකින්ම දෙමළ භාෂාවෙන් නුවරඑළිය මස්කෙළිය වතු දෙමළ ප්‍රජාව ආමන්ත්‍රණය කිරීමට සමත් විය. භාෂාව යනු ඕනෑම ප්‍රජාවකගේ හදවතට ඇතුළු විය හැකි යතුර බව ගාමිණි දිනායක දැන සිටියේය. 
දෙමළ ජනතාවගේ හදවතට මෙන්ම බුද්ධියට ද ආමන්ත්‍රණය කිරීමට ඔහුට හැකි විය. ඒ දෙමළ ජනතාවගේ ජන වාර්ගික ගැටළුවට දේශපාලන විසඳුමක් ලබා දිය යුතු යන ස්ථාවරය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමිනි. ඒකීය රාජ්‍යයක් තුළ බලය ‌බෙදීමේ වැඩ පිළිවෙලක් අවශ්‍ය බව ඔහු පිළිගත්තේය. ආර්. ප්‍රේමදාස, ලලිත් ඇතුලත් මුදලි, ගාමිණි ජයසූරිය ඇතුළු එජාප ප්‍රබලයන් සැලකිය යුතු පිරිසක් විරෝධය දැක්වූ ඉන්දු ලංකා ගිවිසුමට ගාමිණි දිසානයක ‌'බෙල්ල' තැබුු‌වේ ය. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ ‌ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා පිටුපස සිටි සෙවනැල්ල වූයේ ගාමිණි දිසානායකය.
දෝෂාභියෝගයක් දක්වා ගමන් කළ රණසිංහ ‌ප්‍රේමදාස ජනාධිපතිවරයා සමග ඇති කර ගත් ගැටුම ‌හේතුවෙන් එජාපයෙන් පිටතට විසි වී ගිය ගාමිණී දිසානායකට එතෙක් ඔහුට ගණුදෙනු කිරීමට ‌නොහැකි වූ අලුත් පිරිසක් සමග ගණුදෙනු කරන්නට සිදුවිය. ඒ අනුව ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් සහ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් වඩාත් පුළුල් අරගල අඩවියකට පා තබන්නට ඔහුට හැකියාව ලැබිණි. තම ‌දේශපාලනයේ දී ලැබුණු ඒ මහඟු අවස්ථාව ඔහු මැනැවින් ප්‍රයෝජනයට ගත්තේ ය.

ගාමිණී 'සාමදූතිකාවට' වඩා ඉදිරියට..  

ගාමිණි දිසානායක එජාප ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් 1994 සැප්තැම්බර‌යේ  රට හමුවේ තැබූ දෙමළ ජනතාවගේ ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමේ බලය ‌බෙදීමේ යෝජනා කෙටුම්පත එවකට 'සාමදූතිකාව'  වශයෙන් හැඳින්වූ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ මැතිවරණ පොරොන්දුවට වඩා බොහෝ ඉදිරිගාමී වැඩ පිළිවෙලකි. තොටලඟ බෝම්බ පිපිරීම සිදු නොවුණේ නම් මෙරට දේශපාලන ගමන් මග බොහෝ සෙයින් වෙනස්වීමට ඉඩ තිබිණි. එම ජනාධිපතිවරණයේදී ඊ.පී.ආර්.එල්.එෆ්, ප්ලොට්, ඊ.පී.ඩී.පී, ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තෝරාගෙන තිබූ දෙමළ සංවිධාන විශාල සංඛ්‍යාවක් ගාමිණි දිසානයක ගේ බලය ‌බෙදීමේ යෝජනාවලිය පිළිගනිමින් ඔහුට සහාය දීමට තීරණය කර තිබිණි. විනාඩි දාහතරක් ඇතුලත දෙමළ ජනතාව සමූල ඝාතනය කළ හැකි බවට තර්ජනය කළ සිංහල නායකයෙකු ඉන් දශකයකට පසුව තම ජනාධිපති අපේක්ෂකයා වශයෙන් පිළිගැනීමට දෙමළ දේශපාලන සංවිධාන ඒකරාශීවීම මගින් ගාමිණි දිසානයකගේ දේශපාලන පරිවර්තනය අපූරුවට විද්‍යාමාන වෙයි.

පාඨලී චම්පික රණවක...

ගාමිණී දිසානයකගේ රූපාන්තරය ගෙන හැර දැක්වූයේ එජා‌පෙ තුළ ගොනුව සිටින කැපී පෙනෙන දෙවෙනි පෙළ නායකයෙකු වන පාඨලී චම්පික රණවක පිළිබඳව ප්‍රවේශයක් ලබාගැනීමටය. චම්පික රණවක යනු බුද්ධිමත් තියුණු දේශපාලනඥයෙකි. එමෙන්ම දක්ෂ වෘත්තීයවේදියෙකි. 80 දශකයේ මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු ශිෂ්‍යයෙකු ලෙස ජ.වි.පෙ දේශපාලනයට සම්බන්ධව සිටින ඔහු පසු කලෙක ජවිපෙ සමග මතවාදී ගැටුම් ඇතිකර ගත්තේය. ඔහු ජවිපෙට සම්බන්ධ බවට සැකකර කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ වධකාගාරයට පැහැර ගෙන එන අතර තමන් ජ.වි.පෙ.ට විරුද්ධ කඳවුරක් නි‌යෝජනය කරන බවට වධකයන්ට ඒත්තු ගැන්වීමට දරණ දීර්ඝ උත්සාහයකින් පසු ඔහුට ජීවිතය බේරාගැනීමට හැකිවෙයි. ඔහු ඒ වනවිට ජ.වි.පෙ.ට විරුද්ධ මහාචාර්ය නලින් ද සිල්වා‌ගේ 'ජාතික චින්තන'  මතවාදී කණ්ඩායම සමග එක්ව සිටියේ ය. ඉන්පසු 'ජාතික චින්තන'  කණ්ඩායමෙන් ඉවත් වන ඔහු පූජ්‍ය අතුරලියේ රතන, නිශාන්ත වර්ණසිංහ, මාලින්ද සෙ‌නෙවිරත්න, අශෝක අබේගුණවර්ධන, කරුණාරත්න පරණවිතාන ආදීන් සමග 'ජනතා මිතුරෝ' නමින් හරිත දේශපාලනයක නිරත වන්නේය. 1993 දකුණේ පලාත් සභා මැතිවරණයේදී පොදු ජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කිරිම සඳහා 'ජනතා මිතුරෝ'  ක්‍රියාකාරීව දායක විය. පසුකලෙක ඔහු 'සිහළ උරුමයට'  එක්වන අතර ඉන්පසුව එය 'ජාතික හෙළ උරුමය'  දක්වා රූපාන්තරණය වෙයි. 

චම්පික‌ගේ ජවය, අධිෂ්ඨානය සහ කැපවීම.. 

චම්පික රණවක යනු භූමියේ දේශපාලනය ගැන මනා අවබෝධයක් සහිත භූමියේ ජනතාව සංවිධානය කිරීම සඳහා දශක දෙකක් සිය ශ්‍රමය කාලය අසීමිත ලෙස කැප කළ චරිතයකි. ජවිපෙ විශ්ව විද්‍යාල දේශපාලනයට එරෙහිව බලවේගයක් බිහි කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාධරයන් කිහිප දෙනෙකු දිනා ගැනීම උදෙසා සම්පූර්ණ රාත්‍රියක් පුරා ඔවුන් සමග සාකච්ඡා, සංවාද කිරීමට නොපැකිලි විය. දකුණු පළාත් සභා මැතිවරණ සමයේ 'ජනතා මිතුරෝ'  වෙනුවෙන් දිනකට කුඩා රැස්වීම් බොහෝ ගණනක් සංවිධානය කරමින් එජාපය පරාජය කිරීමේ අවශ්‍යතාවය ජනතාවට පැහැදිලි කිරීමට කාලය, ශ්‍රමය කැප කළේය. ඔහු තම දේශපාලන අරමුණු ජයගැනීම සඳහා දීර්ඝ කාලීනව උපරිම කැප කිරීම් කළ හැකි චරිතයකි. වසර 2015 දේදුණු විප්ලවය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් මෙන්ම  'සිරිසේන - මහින්ද' ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරාජය කිරීමට ද ඔහු කැපවී කටයුතු කළේය. ඒ සඳහා ජවය, අධිෂ්ඨානය සහ කැපවීම ඔහු සතුවිය. එජාපයේ බොහෝ 'නායකයන්'  මෙන් කකුල් දෙක දෙපැත්තේ තබාගෙන චම්පික රණවක කටයුතු නොකළ බව ඔහුට ගෞරවයක් වශයෙන් සඳහන් කළ යුතුය.

චම්පිකගේ කකුලේ විශාල ඊයම් බරුවක්..

චම්පික රණවක පසුගිය වසර කිහිපය පුරා ජාතික නායකයකු වශයෙන් මතුවීමේ දේශපාලන උත්සාහයක නිරත වන බව පෙනේ. ඔහු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ව්‍යාපෘති කිහිපයක් දියත් කරමින් සිටියි. ඔහු ද දූපතෙන් එහා ලෝකය දකින තියුණු නායකයෙක් බවට සැකයක් නැත. ජාතික නායකත්වයකට යන ගමනේ ඔහුගේ කකුලේ විශාල ඊයම් බරුවක් ගැටගැසී ඇත. ඒ ඔහුගේ සිංහල බෞද්ධ ජාතිවාදී දර්ශනයයි. එය බොහෝ විට ජ.වි.පෙ සමග තරග කිරීම සඳහා බාහිරින් එල්ලාගත් ආයුධයක් විය හැකිය. මේ වන විට චම්පික රණවකගේ දේශපාලනය ස්ථානගත වී ඇත්තේ එජාපය ප්‍රමුඛ සන්ධානය  තුළය. මෙම සන්ධානය තුළ සිංහල ජාතිවාදයට පදනමක් නැත. එජාපය ප්‍රමුඛ සන්ධානය යනු දෙමළ, මුස්ලිම් සුළු ජාතිකයන්ට වඩාත් සමීප බහු වාර්ගික, බහු ආගමික රටක් බිහි කිරීමට කැපවී සිටින මධ්‍යම පාංතිකයන්ට ආමන්ත්‍රණය කරන ලිබරල් දේශපාලන බලවේගයකි. රටේ ජාතික නායකයකුවීමට අවශ්‍ය නම් චම්පික රණවක හට මෙරට දෙමළ සහ මුස්ලිම් සුළුතරයේ විශ්වාසය දිනා ගැනීමට හැකිවිය යුතුයි. සුළු ජාතීන්ගේ සහයෝගය නොමැතිව ජාතික මැතිවරණයක් ජය ගත නොහැකිය. සියයක් අඩුපාඩු මාධ්‍යයේ වුවද රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාසට වඩා ජාතික නායකත්වයේ ඉදිරියෙන් සිටින්නේ එබැවිනි.
චම්පික රණවකගේ සිංහල බෞද්ධ ජාතිවාදි බලවේගය එජාපය ප්‍රමුඛ සන්ධානය තුළ ස්ථානගත කළ නොහැකිය. එය 'එය යා දෙක නොරත රත' මෙනි.  පසුුගිය පලාත් පාලන මැතිවරණයේදී චම්පික රණවකගේ හෙළ උරුමය අපේක්ෂකයන්ට හිමි වූ පරාජයෙන් ඒ බව තහවුරු විය. චම්පික සමග සිටි සිංහල බෞද්ධ ජාතිවාදී බලවේගය දැන් සිටින්නේ රජපක්ෂ පොහොට්ටු කඳවුරේ ය. සිංහල බෞද්ධ ජාතිවාදයේ උපරිමය ඇත්තේ එතැනය. චම්පිකගේ සිංහල බෞද්ධ ජාතිවාදී බලවේගයේ කොටස් විමල් වීරවංශ, ගම්මන්පිළ, ප්‍රමුඛ රාජපක්ෂ කඳවුර විසින් අවශෝෂණය කර ගෙන අවසානය. චම්පික සමග සිටින්නේ ඔහුට පෞද්ගලික හිතවත් සීමිත කණ්ඩායමක් පමණි.

පාඨලී චම්පික ‌මේ පාරෙන් එන්න.. 

චම්පිකගේ දක්ෂතා, කැපවීම්, හා තීක්ෂණ බුද්ධිය ගැන වාදයක් නැත. එහෙත් ශ්‍රී ලංකික ජාතිය වෙනුවෙන් පෙනී සිටින ජාතික නායකයෙකු බවට පරිවර්තනය වීමට නම් ඔහු දැන් අමාරුවෙන් ඇදගෙන යන සිංහල බෞද්ධ ජාතිවාදී ඊයම් බරුව ගලවා පසෙකින් තැබිය යුතුය. ඔහු එම ඊයම් බරුව ගලවා දමන්නේ නම් ඔහුට එජාප ප්‍රමුඛ සන්ධානය තුල ගමනක් තිබේ. එජාපය ප්‍රමුඛ සන්ධානයේ අද චම්පික රණවකගේ දේශපාලන පෞර්ෂයට අභියෝග කළ හැකි දෙවන පෙළ නායකයෙක් නැත. ඔහු ගාමිණී දිසානයක මෙන් අනුහස් සහිත (charismatic) නායකයෙකි. ජනතාව දිනාගැනීමේ හැකියාවක් ඇති නායකයෙකි. ගාමිණි මෙන් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සඳහා දේශපාලන නායකත්වයක් දිය හැකි නායකයෙකි. ගාමිණි මෙන් 'දේශපාලන ගාය'  ඇති චරිතයකි. ලංකා පාර්ලිමේන්තු ‌හෙබැවූ සුවිශේෂ ගණිතඥයන් ‌දෙදෙනෙකු වූයේ ශ්‍රී සුන්දරලිංගම් සහ සී.ඩබ්.ඩබ්. කන්නන්ගරයන් ය. අද පාර්ලිමේන්තුවේ සිටින ඒ මට්ටමේ ගණිතය පිළිබඳ විශේෂඥයා චම්පික රණවක ය.  ඔහු අද මුහුණ දෙන තීරණාත්මක අභියෝගයක් වන්නේ සිංහල බෞද්ධ ජාතිවාදය අත්හැර වඩාත් මධ්‍යස්ථ ස්ථාවරයකට රූපාන්තරනය වීමයි. ගාමිණී දිසානායක අසූව දශකයේ මැද භාගයේ ජයගත් අභියෝගයට පාඨලී චම්පික රණවක අද මුහුණ දී සිටියි. ගාමිණී දිසානයකට වඩා දේශපාලන 'කට්ට'  කමින් බිම් මට්ටමේ දේශපාලනයේ නිරත වූ පාඨලී චම්පික තමා මුහුණ දී සිටින තීරණාත්මක දේශපාලන අභියෝගය හඳුනාගෙන ඇති බවට සැකයක් නැත. මේ තීරණාත්මක මොහොතේ අප ඔහුට කියන්නේ 'ගාමිණි දිසානායකගෙන් ඉගෙන ගන්න' කියා පමණි.

ආනුභාවනන්ද

anubhawananda1@gmail.com

Comments