මීළඟ ඛේදවාචකය තේක්කවත්ත වියහැකියි - මහාචාර්ය අතුල සේනාරත්න

Syndicated fromlankanewsweb,



මීළඟ ඛේදවාචකය තේක්කවත්ත වියහැකියි - මහාචාර්ය අතුල සේනාරත්න

මීතොටමුල්ල කැළකසල කන්දේ මෙන්ම මහනුවර තේක්කවත්ත කැළි කසල කන්දේ මීතේන් වායුව රැස්ව තිබෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂඨ කථිකාචාර්ය මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.
මීතේන් වායුවෙන් සමන්විතවූ මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් විශාල විපතක් සිදුවුයේ නොසැලකිල්ල නිසා වන බවත් පූර්ව අවබෝධයෙන් යුතුව කටයුතු කළේ නම් විශාල විපතක් වළක්වා ගත හැකිව තිබුණු බව  මහාචාර්යවරයා සදහන් කළේය.
 
මීතොටමුල්ල කුණු කන්දේ සිදුවූ ගිනිගැනීම්, පිපුරුම් හා ගොඩනැගිලි සෙලවීම් වැනි පූර්ව අවදානම් අනතුරු හැගවීම් සිදුව තිබුණු නමුත් ඒ පිළිබදව දැඩි විමසිල්ලෙන් පසුවුණි නම් ජීවිත හානි අවම කර ගැනීමට තිබුණු බව ඒ මහතා කීවේය. වසර ගණනාවක් තිස්සේ කැළි කසල රැස්වීම නිසා මෙහි උග්‍ර වශයෙන් මීතේන් වායු නිෂ්පාදනය වී තිබුණු බවත් මේ අතර කුණු කන්ද ක්‍රමානුකූලව රූරා යාමකට පත්ව තිබුණු බව ද ඒ මහතා කීවේය.
 
වසර හතළිහක පමණ කාලයක් කැළි කසල බැහැර කරන තේක්කවත්ත කුණු කන්ද මහවැලි ගංගාවට බැවුම් වී ඇති නිසා එහි නාය යාමක් සිදුවුව හොත් ඉන් හානි සිදුවන්නේ මහවැලි ගංගාවේ ජලයට යැයි කී මහාචාර්ය අතුල සේනාරත්න මහතා මෙසේ සදහන් කළේය.
තේක්තවත්ත කුණු කන්දේ පිහිටීම අනුව එහි නාය යාමක් සිදුවුවත් නිවාස වලට හානි සිදුවන්නේ නැහැ. නමුත් සම්පූර්ණයෙන්ම මහවැලි ගංගාව අපවිත්‍ර වෙනවා. දැනටමත් කුණු කන්දෙන් ගලන අපවිත්‍ර ද්‍රාවණ මහවැලි ගගට මුසුවෙනවා. වර්ෂ 1989 දී කළ අධ්‍යනනයේදී මෙම ද්‍රාවණ මුසුවීම දැකිය හැකි වුණා. අදට ද අපවිත්‍ර ද්‍රාවණ ඒ අයුරින්ම ගංගාවට එක් වෙනවා. නමුත් කැළි කසල කන්දේ ඝන අපද්‍රව්‍ය පොළව මත ගොඩබෑම සිදුකළත් ද්‍රවාණ ටැංකිවලින් පෙරීමකට පත් කර එහි සාන්ද්‍රණය අවම කොට මුදා හැරීමට නිර්දේශ කර තිබුණත් එය ඒ අයුරින් සිදුවන්නේ ද යන්න සැක සහිතයි.
 
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඩෝන යාත්‍රා යොදා ගනිමින් කළ අධ්‍යනයේදී මෙම කුණු කන්දේ ස්ථාන තුනක් දැඩි අවදානම් තත්ත්වයේ පසුවෙන බව නිරීක්ෂණය වුණා.  ඒ ස්ථාන ස්ථාවර කිරීම එය ආයතනය මගින් ඉදිරියේදී සිදුකිරීමට නියමිතයි.
රැස්කරන ලද කුණූ සමතලා කොට ඒ මත පස් තට්ටුවක් අතර තද කිරීම සාමාන්‍යයෙන් සිදුකරන ක්‍රම වේදයයි. නමුත් ඔක්සිජන් වායුව නොමැති එවන් අවස්ථාවක මීතේන් වායුව නිෂ්පාදනය විය හැකියි. දියුණූ රටවල මෙවැනි ස්ථාන විද නළ යොදා මීතේන් වායුව මතුපිටට ගෙන දහනය කරවීම සිදුකරනවා. මීතේන් වායුව පාලනය නොකළ හොත් කන්ද තුළ විවිධ පිපිරීම්, ගිනිගැනීම් ආදිය සිදුවිය හැකි යැයි මහාචාර්ය අතුල සේනාරත්න මහතා වැඩිදුරටත් සදහන් කළේය.
 
නුවර නදීක දයා බණ්ඩාර
 
thekkawatta 1

Comments