syndicated from lankaenews,
අසූව දශකයේ මැද භාගයේ දිනෙක උදෑසන විපක්ෂ නායක අනුර බණ්ඩාරනායක මහතා මුණ ගැසීමට තරුණයෙකු රොස්මිඩ් පෙදෙස නිවසට පැමිණියේ ය. මෙම තරුණයා දුටු විපක්ෂ නායක කාර්ය මණ්ඩල සේවකයන් සිතුවේ ඔහු ඒ මොහොතේ ලන්ඩන් හෝ නිව්යෝර්ක් හෝ සිට කටුනායක ගුවන් තොටුපොලින් කොළඹට පැමිණි පුද්ගලයෙකු ලෙසිනි. ඉස්තරම් වර්ගයේ අවු කණ්නාඩි යුවලක් පැළඳ සිටි ඔහු නව විලාසිතාවකට කොණ්ඩය වවා ගත් ජේත්තුකාර තරුණයෙකු විය. විපක්ෂ නායකයා මුණ ගැසීමට වේලාවක් වෙන් කර තිබේ දැයි කාර්ය මණ්ඩලය විමසූ අවස්ථාවේ “ විපක්ෂනායක තුමා අද මම එනවා කියලා දන්නවා. කියන්න මහානාම සමරවීරගේ පුතා ඇවිල්ලා ඉන්නවා කියලා..“ යි ජේත්තුකාර තරුණයා කියා සිටියේ ය. ස්වල්ප මොහොතකින්ම එම තරුණයාට විපක්ෂ නායක අනුර බණ්ඩාරනායක මුණ ගැසීමේ අවස්ථාව ලැබිණ. කොණ්ඩය වවාගෙන සිටි මෙම තරුණයා නමින් මංගල පින්සිරි සමරවීර විය. ඔහු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ රජයේ පළාත් පාලන, නිවාස, වරාය සහ විදුලි සංදේශ ඇමැති ධූරය දැරූ මහානාම සමරවීර ගේ බාල පුත්‍රයා විය. විපක්ෂ නායකවරයා සමග රටේ දේශපාලන තත්ත්වය මෙන්ම ශ්‍රීලනිප යේ ප්‍රතිපත්ති පිළිබඳව දීර්ඝව කථා බහ කළ මංගල සමරවීර නම් තරුණයා ශ්‍රීලනිප ක්‍රියාකාරී දේශපාලනයට පැමිණීමට තමාගේ කැමැත්ත ප්‍රකාශ කෙළේය. දශක කිහිපයකට පෙර සිය පියා වන මහානාම සමරවීර සංවිධානය කළ මාතර ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරය මෙම තරුණයාට පැවරීමට හැකියාවක් ඇති බවට ඉඟි කළ අනුර බණ්ඩාරනායක මහතා, සියල්ලටම පෙර මෙම තරුණයා සිය මවට හඳුන්වා දිය යුතු බව කියා සිටියේ ය.
සිය මව යනු විනයක් සහිත දැඩි මතධාරී කාන්තාවක් බව දන්නා අනුර බණ්ඩාරනායක මහතා, මෙම තරුණයා සිය මව හමුවට ගෙන යෑමට යම් චකිතයක් දැක්වීය. කොණ්ඩය වවාගෙන සිටි මේ ජේත්තුකාර තරුණයා පිළිබඳ තම මව එකවර කුමන අන්දමේ ආකල්පයක් දරාවී ද යන්න පිළිබඳ ඔහු තුළ සැකයක් විය. මොහු මහානාම සමරවීරගේ පුත්‍රයා වීම ය. සී.පී. ද සිල්වා හෙවත් ‘පිහි සිල්වා‘ සමග එජාපයට එක් වී 1960 ශ්‍රීලනිප රජය බිඳ දැමූ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු වූ මහානාම සමරවීර ගේ පුත්‍රයා පිළිබඳ තම මව කුමන කෝණයකින් දකීද යන්න දෙවැනි සැකය විය. සිය මව ඉදිරියේ ඕනෑම තත්ත්වයකට මුහුණ දෙනවා යැයි අධිෂ්ඨාන කර ගත් අනුර බණ්ඩාරනායක මහතා තරුණ මංගල සමරවීර ව රැගෙන අල්ලපු ගෙදරට ගියේ ය.
“ මේ මහානාම සමරවීර ගේ පුතා“ යි බණ්ඩාරනායක මැතිණියට මෙම තරුණයා හඳුන්වා දුන්නේය.
“මහානාමට මෙච්චර ලොකු පුතෙක් ඉන්නවා කියලා මම දන්නේ නැහැනේ“ යි කියමින් බණ්ඩාරනායක මැතිණිය මෙම ජේත්තුකාර තරුණයාව පුත්‍ර ස්නේහයෙන් පිළිගත්තා ය. ශ්‍රීලනිප ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමේ අරමුණ සහ රටේ දේශපාලන තත්ත්වය පිළිබඳ සිය අදහස් මැතිණිය සමග මංගල සමරවීර හුවමාරු කර ගත්තේ ය. එම හමුව අවසානයේ බණ්ඩාරනායක මැතිණිය මේ ජේත්තුකාර තරුණයා ගැන පැහැදුනු අතර ඔහුව ශ්‍රීලනිප ක්‍රියාකාරී දේශපාලනයට එක් කර ගත්තා ය. ස්වල්ප දිනකින් ඔහුට මාතර ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරය හිමි විය.
පොදු රාජ්‍ය මණ්ඩලයේ ශිෂ්‍යත්වයක් දිනා ලන්ඩනයේ ශාන්ත මාටින් විද්‍යාලයෙන් ඇඳුම් නිර්මාණය සහ තාක්ෂණය පිළිබඳ උපාධියක් ලබා සිටි මංගල සමරවීර නම් මෙම තරුණයා ලන්ඩන් නුවර ඇඳුම් නිර්මාණ සහ මෝස්තර ක්ෂේත්‍රයේ ආධුනිකයෙකු වශයෙන් නමක් දිනාගෙන සිටියේ ය. ලන්ඩනයේ රැඳී සිටියේ නම් ඔහුට එම ක්ෂේත්‍රයේ පැහැදිලි අනාගතයක් තිබිණි. ලන්ඩනය යනු මෝස්තර තාක්ෂණයේ අගතැන්පත් නගරය වන අතර එහි මෝස්තර ශිල්පීහු වෛද්‍යවරයෙකු හෝ ඉංජිනේරුවෙකු ලබන ආදායම මෙන් විසි තිස් ගුණයක ආදායමක් ලබන්නෝ වෙති. එහෙත් මංගල සමරවීරට සිය මව් රටට පැමිණ යම් සේවයක් කිරීමේ විශාල අභිලාශයක් විය. සිය රට පැමිණි ඔහු ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ උපදේශකයෙකු වශයෙන් කෙටි කලක් සේවය කෙළේය. එහෙත් ඔහු තුළ ක්‍රියාකාරී දේශපාලනයට ප්‍රවේශ වීමේ සැබෑ වුවමනාවක් විය. ඒ මොහොතේ ඔහු සතුව තිබූ පහසුම තෝරා ගැනීම වූයේ එජාපය යි. ඔහුගේ ආර්ථික සහ සාමාජීය දර්ශනය වඩා සමීප වූයේ එජාප ප්‍රතිපත්ති සමග ය. ඒ වන විට සමස්ථ විපක්ෂය බිඳ වැටී තිබූ අතර ශ්‍රීලනිප අභ්‍යන්තර අර්බුදයන්ගේ ගොදුරක් වී තිබිණ. එජාපය විරුද්ධ මතධාරීන් සහ විපක්ෂයේ ක්‍රියාකාරීන් මර්දනය කරමින් ගෙන ගිය වැඩ පිළිවෙල පිළිබඳ තරුණ මංගල සමරවීරට කිසිදු පැහැදීමක් නොවීය. ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ඔහුගේ දේශපාලන මතවාදයේ පදනම විය. එබැවින් එජාපයට එක් වීමේ කිසිදු ගතිකයක් ඔහු තුළ නොවීය. ඔහු දුෂ්කර මඟ තෝරා ගත්තේ ය. ඔහු කල්ලිවාදයට ගොදුරු වී තිබූ ශ්‍රීලනිප ක්‍රියාකාරී දේශපාලනයට එක්විය. එතැන් සිට මංගල සමරවීර නම් දේශපාලනඥයා දශක තුනක් දේශපාලන ගමනේ නිරත වූ අන්දම අපි බලාගෙන සිටියෙමු.
මෝස්තරකාරයෙකුගේ දේශපාලන මෝස්තරය
1987 - 89 භීෂණ සමයේ සිදු වූ පැහැරගෙන යෑම්, අතුරුදහන් කිරීම්, සහ ඝාතන සම්බන්ධයෙන් ඔහු මාතර ආසන සංවිධායකවරයා වශයෙන් සිය ජීවිතයද පරදුවට තබමින් ක්‍රියාකාරීව කටයුතු කළේය. එම මානව හිමිකම් කඩවීම්, ජාත්‍යන්තර ක්ෂමා ආයතනය, ‘හියුමන් රයිට් වොච්‘ ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වලට වාර්තා කරමින් ජාත්‍යන්තර මට්ටමේ දැනුමත් කිරීමක් නිර්මාණය කිරීමට මූලික වූ අතර දේශීය වශයෙන් මානව හිමිකම් ආරක්ෂා කිරීමේ සංවිධාන පිහිටුවමින් සිදුවෙමින් තිබූ මහා විනාශයෙන් තරුණ ජීවිත බේරා ගැනීමට සටන් කෙළේය. තරුණ වියේ සිටි මංගල සමරවීර මෙම මානව හිමිකම් ආරක්ෂා කිරීමේ සටනට අවතීර්ණ වීම සමග ඔහුගේ විරුද්ධවාදීහු ඔහුට ‘ජවිපෙ‘ ලේබලය ඇලවූහ. ජවිපෙ තරුණයන්ගේ ඉල්ලීම් සහ ආයාචනා පිළිබඳව සංවේදී වුව ද ඔහු කිසි විටෙක ජවිපෙ ෆැසිස්ට් ඝාතන දේශපාලනය අනුමත නොකෙළේය.
1989 මහ මැතිවරණයෙන් පළමුවරට පාර්ලිමේන්තුවට තේරීපත් වන මංගල සමරවීර සිය මානව හිමිකම් සටන පාර්ලිමේන්තුවට ගෙන ගියේ ය. පාර්ලිමේන්තුවට පරිබාහිරව අතුරුදහන් වූවන්ගේ මව්වරුන්ගේ සංගමය නිර්මාණය කිරීමට මූලික වූ ඔහු අතුරුදහන් වූවන් සහ ඝාතනයට ලක් වූවන්ගේ අයිතිවාසිකම් ඉතිහාසයේ වියැකී යෑමට ඉඩ නොදුන්නේ ය.
ප්‍රේමදාස රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති දේශපාලන න්‍යාය පත්‍රය පරාජය කිරීමට ඔහු පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත කැපී පෙනෙන දේශපාලන ක්‍රියාකාරිත්වයක නිරත විය. ප්‍රේමදාස රජය පරාජය කිරීම සඳහා අවශ්‍ය නායකත්වය ශ්‍රීලනිපය තුල නොමැති බව වටහා ගත් ඔහු ලන්ඩනයේ සිට පැමිණි චන්ද්‍රිකා කුමාරතුංග ශ්‍රීලනිපයට සම්බන්ධ කර ගත යුතු බව දැඩිව කියා සිටියේ ය. එහෙත් ශ්‍රීලනිප තුළ ඔහුගේ හඬට කිසිදු පිළිගැනීමක් නොවීය. ඔහුගේ යෝජනාවට සහයෝගය ලබා දුන්නේ එස්.බී. දිසානායක, ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඇතුළු අතේ ඇඟිලි දහයටත් වඩා අඩු පිරිසකි. එහෙත් ක්‍රම ක්‍රමයෙන් චන්ද්‍රිකා කුමාරතුංගට ශ්‍රීලනිප සාමාජිකත්වය ලබා ගැනීමේ සිට බස්නාහිර පළාත් සභා මැතිවරණය සඳහා නාම යෝජනා ලබා ගැනීම දක්වා මංගල ප්‍රමුඛ ‘චන්ද්‍රිකා‘ කණ්ඩායමට හැකි විය.
බස්නාහිර පළාතේ මහ ඇමැතිනිය, අගමැතිනිය, සහ ජනාධිපතිනිය දක්වා පැමිණි ඇය ශ්‍රීලනිපයේ මෙන්ම රටේ නායිකාව වූවා ය. 1994 අගොස්තුවේ දාහත් වසරක එජාප රජය පරාජය කිරීමේ සටනේ පෙරටුගාමිකයෙකු වූයේ එයින් දශකයකට පමණ පෙර කොන්ඩේ වවා මෝස්තරකාර ජේත්තුකාර තරුණයෙකු වශයෙන් බණ්ඩාරනායක මැතිණිය මුණ ගැසුනු මංගල සමරවීර ය.
අභියෝග ජය ගැනීමට තිබූ කොන්ද
මංගල සමරවීර 1994 අගෝස්තුවේ සිට විවිධ ඇමැති ධූර දැරූ අතර ඔහු අභියෝග ජයගත් නිර්මාණාත්මකව කටයුතු කළ දේශපාලනඥයෙක් වශයෙන් ආඩම්බරයෙන් හැඳින්විය හැකිය. ඒ සඳහා නිදසුන් දුසිම් ගණනක් ඉදිරිපත් කළ හැකිය. එහෙත් අපි ඒ සඳහා උදාහරණ දෙකක් පමණක් ඉදිරිපත් කරමු. පළමුවැන්න ඔහු 1994 අගෝස්තුවේ බාර ගත් විදුලි සංදේශ ඇමැතිවරයා වශයෙන් සිදුකළ විප්ලවීය වෙනස යි. ඒ වන තෙක් සම්පූර්ණයෙන්ම රජයේ ඒකාධිකාරයට නතුව තිබූ විදුලි සංදේශ සේවාව ඉතා අකාර්යක්ෂම විය. ඒ වකවානුවේ දුරකථන සම්බන්ධතාවයක් ලබා ගැනීමට වසර ගණනාවක් පොරොත්තු ලේඛනයන්හි කල් ගත කිරීමට සිදුවිය. දුරකථන සම්බන්ධතාවයක් ලබා ගැනීමට අදාල කාර්යාලයේ ප්‍රධාන ඉංජිනේරුවාගේ සිට රැහැන් අදින කම්කරුවා දක්වා අල්ලස් දීමට සිදුවූ බව අද බොහෝ දෙනෙකුට අමතකය. එදා දුරකථනය යනු සුපිරි පාරිභෝගික භාණ්ඩයක් විය. දුරකථනය නමැති මෙම සුපිරි පාරිභෝගික භාණ්ඩය මංගල සමරවීර නමැති ඇමැතිවරයා අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩයක් බවට පත් කෙළේය. පළමුව ඔහු රාජ්‍ය ඒකාධිකාරියේ තිබූ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කළේය. රජයට කොටස් තබාගෙන කළමනාකරණය සහ මෙහෙයැවීම් සඳහා ජපාන පෞද්ගලික ආයෝජකයෙකු සම්බන්ධ කර ගත්තේ ය. මෙම තීරණයට විවෘත ආර්ථිකය මෙරටට හඳුන්වා දුන් එජාපය ඇතුළු වාමාංශික දේශපාලන බලවේග සහ සකලවිධ වෘත්තීය සමිති වීදි බැස උද්ඝෝෂණ, පිකටිං දියත් කෙළේය. එහෙත් තරුණ ඇමැතිවරයා මෙන්ම රජයේ නායිකාව සැලුනේ නැත. තීරණ ගැනීමේ සහ තීරණ ක්‍රියාත්මක කිරීමේ ධෛර්යය සහ ශක්තිය ඔවුනට එදා තිබිණ. දේශපාලනයේදී අත්‍යාවශ්‍ය ‘කොන්ද‘ එදා ඒ කෝඩුකාර තරුණ ඇමැතිවරයාට තිබිණ. බස් කොන්දොස්තරලාගේ සිට ත්‍රීවීල් රියැදුරන් ඉදිරියේ පාච්චල් වන රාජ්‍ය නායකයන්ට “දේශපාලන කොන්ද“ ගැන මංගල සමරවීරලාට දේශන පැවැත්විය හැකි බවට සැකයක් නැත. “කොඳු“ තිබිය යුත්තේ මානව හිමිකම් සුරැකීමට මිස මානව හිමිකම් කඩ කළ මිනීමරුවන් සුරැකීමට නොවන බව ඒ දේශන වලට ඇතුලත් වනවාට කිසිදු සැකයක්ද නැත.
‘ටෙලිකොම්‘ ආයතනය බිහිකළ මංගල සමරවීර රැහැන් දුරකථන ඒකාධිකාරිය එම ආයතනයට සීමා නොකර තවත් පෞද්ගලික සමාගම් කිහිපයකට වෙළඳපොල විවෘත කෙළේය. ජංගම දුරකථන වෙළෙඳ පොළ ද මේ ආකාරයෙන විවෘත කළ අතර වෙළෙඳපොල තරඟකාරිත්වයේ වාසිය පාරිභෝගිකයාට හිමිවිය. 1994 අගෝස්තුවට පෙර ජාත්‍යන්තර ඍජු දුරකථන ඇමැතුමක් (IDD) ලබා ගැනීම සඳහා සාමාන්‍ය පාරිභෝගිකයෙකුට ‘මැජික්‘ වී තිබූ අතර අද වන විට ඕනෑම දුරකථනයකින් ජාත්‍යන්තර දුරකථන ඇමැතුම් ලබා ගත හැකි මට්ටමට පත්වීම මංගල සමරවීර නම් කෝඩුකාර ඇමැතිවරයා සිදුකළ විදුලි සංදේශ විප්ලවයට එක් නිදසුනක් පමණි. මංගල මෙම විප්ලවය ලංකාවේ ආරම්භ කරද්දී ඉන්දියාව ඒ ගැන සිතලාවත් තිබුනේ නැත.
දෙවැනි උදාහරණය මෙසේය. ඩී.බී.විජේතුංග ජනාධිපතිවරයාගේ සිංහල බෞද්ධ ජාතිවාදී දේශපාලනයට එරෙහිව උඩුගම්බලා යෑමට චන්ද්‍රිකා බණ්ඩාරනායකට ශක්තියක් වූයේ මංගල සමරවීර ය. පොදු ජන එක්සත් පෙරමුණ 1994 අගෝස්තුවේ බලයට පත් වන විට ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දිය යුතු බව දකුණේ සිංහල බෞද්ධ බහුතරය විශ්වාස නොකළහ. ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් දිය යුතුය යන ස්ථාවරය සමාජගත කිරීමේ දැවැන්ත අභියෝගය මංගල සමරවීර බාර ගත්තේ ය. ඒ සඳහා ඔහු ‘සුදු නෙළුම්‘ ව්‍යාපාරය නිර්මාණය කෙළේය. සාම ලැදි සියළු කොටස් වල සහයෝගය ලබා ගත් මංගල දකුණේ ඈත ගම් දනව් දක්වා ‘සුදු නෙළුම‘ ගෙන ගියේ ය. සිංහල බෞද්ධ ජනතාව අතරින් බහුතරය දෙමළ ජනතාවගේ දේශපාලන ප්‍රශ්නයට බලය බෙදීමේ විසඳුමක් අවශ්‍යය යන මතය ඒත්තු ගැන්වීමට එම ව්‍යාපාරය එදා සමත් විය. වෙනස් කළ නොහැකි යයි කියූ සිංහල බෞද්ධවාදී ජාතිවාදී මතවාදය ඔහු සියළු සාම ලැදි බලවේගයන්ගේ දායකත්වයෙන් වෙනස් කෙළේය.
මංගල සමරවීර අභියෝග ජයගත් ආකාරය ගැන ලැයිස්තුව දීර්ඝය.
ජනවාරි 8 වෙනිදා දේදුනු විප්ලවයට මූලික වූ දේශපාලන උපාය මාර්ග සංවිධාන කෙළේ ඔහුය. 2014 අගෝස්තු-සැප්තැම්බර් මාස වන විටත් ජනාධිපතිවරණයකට තනියම තරඟ කිරීමේ අතිශය අවදානම් තීරණයේ සිටි එජාප නායකත්වයේ මතය වෙනස් කෙළේ ඔහුය. වාසනාවකට එදා අද මෙන් නොව එජාපයට නායකත්ව මණ්ඩලයක් තිබිණ. සත්‍ය වශයෙන්ම එදා සජිත්වාදීන්ගේ මතයට අනුව එජාපය තනියම තරඟ කළා නම් පරදිනවා සිකුරුය. මංගල ඇතුළු එජාප නායකත්වයේ සහ එජාප ඡන්ද දායකයන්ගේ පිහිටෙන් ජනාධිපති පුටුවේ වාඩි වූ මෛත්‍රීපාල සිරිසේන ‘මං පොර‘ මානසිකත්වයේ සිටිමින් තමන් බලයට ගෙන ආ බලවේග වලට කෝචෝක් කරමින් සිටීම කණගාටුදායක ය. දේදුනු විප්ලවය ජය ගැනීම වෙනුවෙන් මංගල කළ කී කාරණා සියල්ල හෙළිදරව් කිරීමට තවමත් කල් වැඩිය.
කොන්ද සහ කටින් බතල
රාජපක්ෂ පාලනයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගයන්ට එරෙහි වූ මංගල සමරවීරට තමන් නියෝජනය කළ රජයේ මිනීමරු ජනඝාතක වැඩ පිළිවෙලට විරුද්ධ වීමට ද “දේශපාලන කොන්දක්“ තිබිණ. එල්ටීටීඊ සංවිධානයට එරෙහි යුද්ධයට මුවා වෙමින් ජනමාධ්‍යවේදීන්, සිවිල් සමාජයේ ක්‍රියාකාරීන්, මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇතුළු සියළු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග මර්දනය කිරීමට රාජපක්ෂ රෙජීමය ක්‍රියා කරන විට විදේශ ඇමැති වශයෙන් මංගල සමරවීර එම ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියා ජාත්‍යන්තරය ඉදිරියේ සාධාරණීකරනය කෙළේ නැත. ඒ වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට එම ක්‍රියා විවේචනය කෙළේය. එම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයන් සමග තමන් එකඟ නොවන බව ප්‍රසිද්ධියේ කියා සිටියේ ය. රාජපක්ෂ රෙජීමයේ මිනීමරු ක්‍රියාමාර්ග නොදැක්කා සේ හිඳිමින් ඥාතීන්ට හාල් රජවරු වීමට හෝ වැලි රජවරු වීමට හෝ ඉඩ ප්‍රස්ථා හදා දෙමින් ‘කටින් බතල‘ ප්‍රජාතන්ත්‍රවාදියෙක් වීමට මංගල සමරවීරට අවශ්‍යනම් අවස්ථාව තිබිණ. එදා මංගල සිටි කැබිනට් මණ්ඩලයේ සිටි සියළු දෙනා අනුගමනය කෙළේ එම ප්‍රතිපත්තියයි. එහෙත් සිය දේශපාලන පදනම සහ දර්ශනය මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනවාර්ගික සමානාත්මතාවය කර ගත් මංගල සමරවීරට නිහඬව සිටීමට ඔහුගේ හෘද සාක්ෂිය ඉඩ දුන්නේ නැත. රාජපක්ෂලා සමග යම් යම් හිත් අමනාපකම් ඇති කරගෙන සිටි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් පවා එදා මංගල සමරවීරගේ ක්‍රියා මාර්ග අර්ථ දැක්වූයේ ‘කළුගලේ ඔළුව ගසා ගැනීමක්‘ වශයෙනි.
ඔහු සතුරාගේ ශක්තිමත් භාවය මෙන්ම වියරු භාවය දැන සිටියේ ය. එහෙත් ඔහු සිය හෘද සාක්ෂියේ කැඳවීමට අවනත වූයේ ඉදිරියේ ඇති මාර්ගය ඉතා දුෂ්කර කටුක සහ භයානක බව හොඳින් දැනගෙන මෙන්ම තමන්ගේ දෑත් පිරිසිදු බවද හොඳින්ම දන්නා නිසා ය. දෑත් අපිරිසිදු දේශපාලකයෙකුට අවශ්‍ය වුවද හෘද සාක්ෂිය අනුව තීන්දු ගත නොහැකිය. සටනට පිවිසි මංගල ජයග්‍රහණයෙන් තොරව සටන් භූමිය හැර ගියේ නැත. දකුණේ ජනතාවගේ කුරුඳු පොලු සටනින් දරුණු ඝනයේ භීෂකයෙකු පවා තැති ගැන්වී ගිය බවද මංගල ගැන ලියද්දී සටහන් කර තැබිය යුතුම ය. එය දිගු කලක් බැට කමින් සිටි විපාක්ෂික ජනයාගේ හෘද සාක්ෂිය සමග මංගල සමරවීරගේ හෘද සාක්ෂිය එක්වූ අවස්ථාවකි.
විදේශ ඇමැති මංගල සමරවීරට පසුගියදා නැවත එවැනිම හෘද සාක්ෂියේ කැඳවීමක් ලැබිණ. ඒ ලෝකයේ බලවතා වශයෙන් සළකන ඇමරිකාවේ ජනාධිපති යැයි කියා ගන්නා ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙනි.
ඩොනල්ඩ් ට්‍රම්ප් සහ පාදඩ දේශපාලනය
ඩොනල්ඩ් ට්‍රම්ප් යනු ලුම්පන් පාදඩ දේශපාලනඥයෙකි. ඔහු ජනාධිපතිධූරයේ දිවුරුම් දී ගත වූ දින පනහක පමණ කාලයේ දී ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ හර පද්ධතීන් විනාශ කර දමා තිබේ. මෙම බලපෑම ඇමරිකාවෙන් ඔබ්බට සම්ප්‍රේෂණය වෙමිත් තිබීම දැවැන්ත ඛේදවාචකයකි. ඔහු මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදී හර පද්ධතීන්, සම්පූර්ණයෙන්ම නොසළකා හැර තිබේ. ඔහු ඇමරිකානු මාධ්‍ය හඳුන්වන්නේ “Enemy of the People“ හෙවත් ‘ජන සතුරෙකු‘ වශයෙනි. මාධ්‍ය ජනතා සතුරන් වශයෙන් හඳුන්වා දෙන්නේ ඒකාධිපතියන් පමණි. ජෝෂප් ස්ටාලින් තමන්ට එරෙහි පුද්ගලයන් ඝාතනය කිරීමට පෙර ‘ජන සතුරන්‘ යන ලේබලය ඇලැවූ බව රහසක් නොවේ.
පසුගියදා ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සමුළුවේ 34 වැනි සැසිවාරය ඇමැතූ මංගල සමරවීර සිය දේශනය ආරම්භ කෙළේ
“I stand here today at a time when the very basis and fundamentals of human rights are being questioned around the world. Many of the universal values that we subscribe to are being challenged in the name of ‘populism’, with populists spinning webs from threads of ignorance. The role of this Organisation, in this context, is becoming more important than ever.“ යැයි සඳහන් කරමිනි.
එහි නිළ සිංහල පරිවර්තනය මෙසේය.
“මා අද මීට සහභාගිවන්නේ, මානව හිමිකම්වල මූලික පදනම හා හරයන් පිළිබඳව ලොව පුරා රටවල් ප්‍රශ්න කරමින් සිටින අවධියකදීය. ජනතාවගේ ගැටලු විසඳීමට ඉදිරිපත් වන ජනතාවාදීන්ගේ නොදැනුවත්කම නිසා අප විසින් වැළඳගන්නා ලද බොහෝමයක් විශ්ව වටිනාකම් ජනප්‍රසාදවාදය (populism) යන නාමයෙන් අභියෝගයට ලක් වී ඇත. මෙම සන්දර්භය අනුව, මෙම සංවිධානයේ කාර්යභාරය අන් කවරදාකටත් වඩා ඉතා වැදගත් තත්ත්වයකට පත්වෙමින් තිබේ.“
මංගල සමරවීර නම නොකියා කණ හරහා ගසා තිබෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට බව පැහැදිලිය. ලෝකයේ බලවතා වන වර්තමාන ඇමරිකානු ජනාධිපතිවරයාට මානව හිමිකම් හි වටිනාකම් සහ ඒ වෙනුවෙන් පෙනී සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ පැවැත්මේ වටිනාකම් ඔහු පැහැදිලි කර දුන්නේ ය. ට්‍රම්ප්ගේ ජාතිවාදී, වර්ගවාදී, දේශපාලන ප්‍රවාහය මගින් ලොව පුරා මතුවෙමින් පවතින ඒකාධිපතිවාදයේ සහ ප්‍රජාතන්ත්‍රවිරෝධී ෆැසිස්ට්වාදයේ හෙවනැලි පිළිබඳව අපේ විදේශ ඇමැතිවරයා ජාත්‍යන්තර ප්‍රජාවට අනතුරු හඟවා තිබේ. මංගල සමරවීර ගැන රටක් වශයෙන් අපට ආඩම්බර විය හැක්කේ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට ඔහුගේ කැපවීම හා සලකන විටදී ය.
ලෝකයේ අංක එකේ විශ්ව විද්‍යාලය වශයෙන් සළකන ඇමරිකාවේ MIT විශ්ව විද්‍යාලයේ වාග් විද්‍යා මහාචාර්ය සහ ප්‍රකට දාර්ශනිකයෙකු වන නෝම් චොම්ස්කි (Noam Chomsky) මෙයට වසර 6 කට පමණ පෙර ඩොනල්ඩ් ට්‍රම්ප වැනි දේශපාලන පාදඩයෙක් ඇමරිකාවේ බලය අත්පත් කර ගැනීමට හැකි බවට “Truth out“ නමැති වෙබ් අඩවියට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී අනාවැනි පළ කෙළේය. ඇමරිකාවේ සුදු ජාතිවාදීන් ගේ වෛරය අවුලන එවැනි පුද්ගලයෙකු බලයට පැමිණීම සුළුතර ජනතාවගේ ජීවිත වලට විශාල තර්ජනයක් බවද ඔහු අනතුරු ඇඟවීය. ඔහු පසුගියදා ‘අල් ජසීරා‘ රූපවාහිනී නාලිකාව සමග පැවැති සාකච්ඡාවක් උපුටා දක්වන බ්‍රිතාන්‍යයේ ‘ද ඉන්ඩිපෙන්ඩන්ට්‘ පුවත් පත කියා සිටින්නේ මහාචාර්ය චොම්ස්කිට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ජර්මනියේ හිට්ලර්ට වඩා භයානක තමාට අසීමිත බලයක් තිබේය යන මානසික රෝගයෙන් පෙළෙන අඥානයෙකු බවයි.
“මට ජර්මනියේ වයිමාර් සමග සන්දන්දනය කරන් බැහැ. හිට්ලර් තම දෘෂ්ඨිවාදයට අවංක වූවා මෙන්ම එයට කැප විය. එහෙත් ට්‍රම්ප් එසේ නොවේ. ඔහුට ‘තමා‘ යන්නෙන් බැහැර දෘෂ්ඨිවාදයක් නොමැත“ යැයි පවසන ලෝකයේ ප්‍රමුඛ දාර්ශනිකයා, ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ඇමරිකාවේ සිටින සුදු ජාතිවාදී නව නාසි කණ්ඩායම් පමණක් නොව ලොව පුරා නව නාසි අන්තවාදී කන්ඩායම් වලට ධෛර්යයක් නව බලාපොරොත්තුවක් ලබා දී ඇති බව පෙන්වා දෙයි. මෙය භයානක ප්‍රවණතාවයකට පරිවර්ථනය වීමේ විශාල අනතුරක් ඇති බවට ඔහු අනතුරු අඟවයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජයග්‍රහණයට පෙර සහ පසුව ඔහු වෙනුවෙන් පෙනී සිටියේ ලොව පුරා විසිරී සිටි අන්තවාදීන් ය. ජාත්‍යන්තර ප්‍රජාව විසින් කොන්කර ලැබ තිබූ ඒකාධිපති රාජ්‍ය නායකයන්ය. ඇමරිකානු ජනාධිපතිවරණය දින කිහිපයකට පෙර ''Foreign Policy'' සඟරාවට ලිපියක් සපයන සෙබෙස්තියන් සන්තැනිගෝ පෙන්වා දෙන්නේ කාම්බෝජයේ සිට සිම්බාබ්වේ දක්වාත්, සිම්බාබ්වේ සිට උතුරු කොරියාව දක්වාත්, වන ඒකාධිපතියන් ප්‍රසිද්ධියේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කළ බවයි. කාම්බෝජයේ ඒකාධිපතියා වන හුන්සෙන්, සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ, උතුරු කොරියාවේ කිම් ජොන් උන්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඊශ්‍රායලයේ බෙන්ජමින් නෙතන්යාහු, ඇතුළු සියළු ඒකාධිපතියන් තම වර්ගයේ දේශපාලන පාදඩයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටියහ. පුටින් ඇමරිකානු මැතිවරණයට මැදිහත් වෙමින් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වෙනුවෙන් රුසියානු ඔත්තු සේවය මෙහෙයැවූ බව දැන් ප්‍රසිද්ධ රහසකි.
කොන්ගෝ, බෙලරුස්, උස්බෙකිස්ථානය, තායිලන්තය, ඇතුළු රටවල් ගණනාවක ඒකාධිපතියන්ට අමතරව අනෙකුත් රටවල වර්ගවාදී අන්තවාදී නායකයෝ ද ට්‍රම්ප්ගේ ජයග්‍රහණය පැතූහ. සෙබෙස්තියන් සන්තැනිගෝ සිය ලිපියේ පෙන්වාදෙන එක් වර්ගවාදී අන්තවාදියෙක් වන්නේ මියන්මාරයේ (බුරුමය) අෂින් විරතු නමැති භික්ෂුවයි. මියන්මාරයේ රෝහින්ජා මුස්ලිම් සුළුතරයට පහර දී පලවා හැරීමේ වෛරීය මෙහෙයුමේ නිර්මාතෘවරයා නම් මෙම භික්ෂුවයි. ඔහු නානසාරගේ අනෙකා ය. මෙම මියන්මාර භික්ෂුව ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ප්‍රසිද්ධියේ ප්‍රාර්ථනා කළේය. යුරෝපයේ අන්ත දක්ෂිණාංශික වර්ගවාදී කුඩා දේශපාලන කණ්ඩායම් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කළ අතර ඔහුගේ ජයග්‍රහණයෙන් පසුව ජය පැන් පානය කළහ. ප්‍රංශ අන්ත දක්ෂිනාංශික පක්ෂයේ නායිකා මැරීන් ලේ පෙන් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය අර්ථ දැක්වූයේ ‘දැන් ලොව පුරා නව බලාපොරොත්තුවක් නිර්මාණය වී ඇතැයි‘ කියමිනි. පසුගිය දිනවල ඇය නිව්යෝර්ක්හි “ට්‍රම්ප් ටවර්“ හි සැරිසරන බව මාධ්‍ය වාර්තා කෙළේය.
ට්‍රම්පච්චිට හුරේ දැමීම
ශ්‍රී ලංකාවේ ආගම්වාදී, ජාතිවාදී අන්තවාදීහු ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සැදී පැහැදී සිටියහ. මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය එහි පෙරගමන් කරුවන් වූ අතර විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ඩලස් අලහප්පෙරුම, වැනි ඒකාබද්ධ සිංහල ජාතිවාදී පංචස්කන්ධ ට්‍රම්ප් රැල්ලේ පිහිනමින් තමන්ගේ සිංහල බෞද්ධ ජාතිවාදය සාධාරණීකරණය කළහ. නලින් ද සිල්වා, ගුණදාස අමරසේකර, පාඨලී චම්පික ලාද, ගලගොඩඅත්තේ නානසාර, බෙංගමුවේ නාලක ඇතුළු චීවරධාරීහුද අනෙක් පසින් උද්දාමයට පත් වූහ. මේ දෙපාර්ශවයේ අන්ධ ආධාරකරුවෝ සමාජ ජාලා සහ වෙබ් අඩවි හරහා ට්‍රම්ප්ගේ ජයග්‍රහණය, මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණයක් සේ සළකා ජයගෝෂා නැගූහ. මේ සියල්ලටම එක සේ අවශ්‍ය වූයේ දෙමළාට කෙළවීමය. යුද අපරාධ චෝදනාවන්ගෙන් ගැලවී යාම ය. හිලරි ක්ලින්ටන් දෙමළ හිතවාදී චරිතයක් වශයෙන් උලුප්පා දැක්වීම සඳහා භාවිතා කර තිබූ සමාජ ජාල ප්‍රකාශ අධ්‍යයනය කරන විට එය ඉතා පැහැදිලිය.
මහින්දවාදී සිංහල බෞද්ධ ජාතිවාදී පත්තර පඩංගුවක් වන ‘දිවයින‘ ට්‍රම්ප් ජයග්‍රහණය සැමරූ ආකාරය අධ්‍යයනය කරන විට ජනාධිපතිවරණය පැවැත්වූයේ ඇමරිකාවේද ශ්‍රී ලංකාවේද යන්න පිළිබඳ සාධාරණ සැකයක් ඇති වේ. “එක වර්ගයේ කුරුල්ලන් එකට එකතු වෙනවා“ කීවා සේ ලෝකය පුරා සිටි ජාතිවාදීහු, වර්ගවාදීහු, අන්තවාදීහු ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් එකට එක් වූහ.
කොංගෝවේ සිට බෙලරූස් දක්වාත්, උස්බෙකිස්ථානයේ සිට තායිලන්තය දක්වාත් ඒකාධිපති, ප්‍රජාතන්ත්‍ර විරෝධී සකළ විධ බලවේග ඩොනල්ඩ් ට්‍රම්ප්ට හුරේ දමන්නේ සුළු ජාතිකයන්, විරුද්ධ දේශපාලන මතධාරීන්, නිදහස් මාධ්‍ය ආදී ප්‍රජාතන්ත්‍රවාදයේ අංග මර්දනය කරමින් මානව හිමිකම් උල්ලංඝනය කරමින් කිසිදු ජාත්‍යන්තර ප්‍රතිවිරෝධයක් නොමැතිව කටයුතු කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඩ ලබා දේය යන විශ්වාසය මතය.
මෙතෙක් බලයට පත්වූ සෑම ඇමරිකානු රජයක්ම ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමටත් ආරක්ෂා කිරීමටත් කැප වී කටයුතු කෙළේය. එහෙත් දේශපාලන පාදඩයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පදනම් වලට පහර එල්ල කරමින් හැසිරෙන්නේ හිට්ලර්ට නොදෙවෙනි ආකාරයට ය. එබැවින් මේ සියළු ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේග බලාපොරොත්තු වන්නේ ඇමරිකානු විරෝධයකින් තොරව සිය මර්දනීය පාලනයන් ට්‍රම්ප්ගේ සෙවනැල්ලට මුුවා වී සිදු කළ හැකි බවයි.
කැස්ස මෙන් සැඟවිය නොහැකි මෛත්‍රීගේ ජාතිවාදය
ආදරය කැස්ස මෙන් සැඟවිය නොහැකි බවට කතාවක් ඇත. ජාතිවාදය ද කැස්ස වැනිය. වැඩි කාලයක් සඟවා තැබිය නොහැකිය. ලසන්ත වික්‍රමතුංග, රවිරාජ්, ප්‍රගීත් එක්නැලිගොඩ, තාජුඩීන්, ත්‍රිකුණාමලයේ සිසුන් ඇතුළු මිනීමැරුම් පිළිබඳව පරීක්ෂණ පවත්වා වරදකරුවන්ට දඬුවම් කරන බවට වේදිකාවල දස අතේ පොරොන්දු වූ මෛත්‍රීපාල සිරිසේන තමන් තුළ සඟවාගෙන සිටි සිංහල බෞද්ධ අන්ත ජාතිවාදී සහජ ලක්ෂණ එළියට දමමින් “රණවිරුවන්“ යැයි හඳුන්වාගන්නා මිනීමරුවන් ආරක්ෂා කිරීමට අධිකරණයට සහ විනිසුරුවන්ට බලපෑම් කරමින් සිටී.
අධි ආරක්ෂක කලාපයකදී මහ දවාලේ තම ආරක්ෂක සිංහල පොලිස් නිලධාරියාද සමග ඝාතනය කළ රවිරාජ් මන්ත්‍රීවරයාගේ මිනීමැරුම පිලිබඳ සියළු සාක්කි තිබියදී අධිකරණය “මිනීමරු රණවිරුවන්“ නිදොස් කොට නිදහස් කෙළේය.
වෙහෙර ගිල්ල එකාට අග්ගලාවත් කජ්ජක්දැයි කීවා සේ තමන්ට ලැබුණු ලක්ෂ 62 ක ජන වරම වරු තුනෙන් පාවාදුන් මෛත්‍රීපාල සිරිසේනට ලසන්ත ප්‍රගීත් රවිරාජ් පාවාදී මිනීමරු ‘රණවිරුවන්‘ වෙනුවෙන් පෙනී සිටීම කජ්ජක් නොවේ. සිංහල බෞද්ධ අන්ත ජාතිවාදී ධජය ඉහළින්ම ඔසවා ගෙන මෛත්‍රීපාල සිරිසේන ද මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සමග එකට හිට ගනිමින් ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් හුරේ දැම්මේය. ඔහු තම උපදේශකයන්ට කියා සිටියේ “තමන් ට්‍රම්ප් සමග සාකච්ඡා කර ජිනීවා මානව හිමිකම් ප්‍රශ්නය ගොඩ දමා ගන්නා“ බවයි. ඔහුගේ ගොබ්බ උපදේශකයෝ ද “ට්‍රම්ප්-මෛත්‍රීපාල සාකච්ඡාවක්“ වශයෙන් එය ‘දිවයින‘ පත්තර පඩංගුවේ ‘පැල‘ කළහ. දිවයින පුවත ජනාධිපති ප්‍රතික්ෂේප කෙළේ නැත. අමතකවීමේ රෝගය වැළඳී තිබෙන මෛත්‍රීපාල සිරිසේනට ජිනීවා මානව හිමිකම් කොමිසමට පොරොන්දු ලිඛිතව ලබා දුන්නේ තමන් බව අමතක වීම පුදුමයකි.
පසුගියදා ජිනීවා ගිය මංගල සමරවීර එක්සත් ජාතීන්ගේ නව මහ ලේකම් අන්තෝනියෝ ගුටාරෙස් සමග දීර්ඝ සාකච්ඡාවක නිරත විය. පෘතුගීසි ජාතිකයෙකු වන ගුටාරෙස් තම රටේ පැරණි යටත් විජිතයක් වූ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ ඇල්මක් සහ හෘදයාංගම භාවයක් ප්‍රදර්ශනය කළ අතර ඔහු සහ අපේ විදේශ ඇමැතිවරයා පෘතුගීසීන්ගෙන් ශ්‍රී ලංකාවේ භාෂාවට කලාවට ගෘහ නිර්මාණ ශිල්පයට නීතිය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට සිදුවූ බලපෑම් ගැන මතකයන් අවධිකරමින් සාකච්ඡා කළහ. නව මහ ලේකම් වරයා මංගල සමරවීර මහතාට සමුදෙමින් කියා සිටියේ තමා යටතේ ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග නව පරිච්ඡේදයක් ආරම්භ කළ හැකි බවයි. එහෙත් එම සාකච්ඡාව අවසන් වී පැය විසි හතරක් ගත වීමට ප්‍රථම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව අමතමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට පහර ගසමින් බැන වැදුනේ මහින්ද රාජපක්ෂට වැඩියෙන් එක පියවරක් අඩුවෙනි. එනම් පපුවට ගසා නොගැහීම පමණකි. මහින්ද රාජපක්ෂ ගිය මාර්ගයේ අවසානයට සිදුවූයේ ලංකාව ජාත්‍යන්තරය තුල කොන් වීම බව දැන දැනම කවදාකවත් තමන්ට දිනා ගන්නට නොහැකි රාජපක්ෂවාදී වහලුන් දිනා ගැනීමට ගොස් මෛත්‍රීපාල සිරිසේන රට යලිත් මහා විපතකට ඇද දමනවා ඇත.
ශ්‍රී ලංකාව සිම්බාබ්වේ මෙන් ආර්ථික සම්බාධක පනවන වාතාවරණයකින් බේරා ගත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ සහ විදේශ ඇමැති මංගල සමරවීරගේ දූර දර්ශී රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග හේතුවෙනි. රාජ්‍ය තාන්ත්‍රික උපාය උපක්‍රම, ක්‍රියා මාර්ග පිළිබඳ මෙලෝ හසරක් නොදන්නා ජනාධිපති සිරිසේන සිංහල බෞද්ධ අන්ත ජාතිවාදීන් පිනවීමට කටයුතු කිරීම අතිශය කණගාටුදායකය. තමන්ද එකඟ වූ හයිබ්‍රිඩ් අධිකරණ ක්‍රමවේදයකට හයිබ්‍රිඩ් ආණ්ඩුවක නායක මෛත්‍රීපාල සිරිසේන දැන් පහර ගසන්නේ ශිෂ්ඨාචාර ලෝකයා හිනස්සවමිනි. රාජපක්ෂ රටට ඇතුළු වීම තහනම් කළද රටින් පිට යුද අපරාධ පරීක්ෂණයක් ජාත්‍යන්තරය විසින් පැවැත්වූ බවත් ඒ අනුව තීන්දු ගැනීම වළක්වා ගත්තේ දේදුනු විප්ලවය විසින් බවත් මෛත්‍රීපාල සිරිසේනට දැන් අමතක වී ඇති සෙයකි.
අධි ආරක්ෂක කලාපයකදී මහ දවල් ඝාතනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ රවිරාජ් ඝාතනය සිංහල කතාකරන ජූරියක් යොදවා, මධ්‍යම රාත්‍රියත් පසුවන තෙක් නඩු අසා, චුදිතයන් සියළු දෙනා නිදොස් කොට නිදහස් කරමින් නඩු තීන්දු දෙන අධිකරණයක් ලංකාවේ පවතී නම් හයිබ්‍රිඩ් අධිකරණයක් අවශ්‍යයි යන්න අමුතුවෙන් කිව යුතුද? ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට ගෙන ගිය සැනින් හිත් වේදනාවට පත් ජනාධිපති “රණවිරුවන් අධිකරණයට දක්කාගෙන යනවා“ යැයි තප්පු ලෑ විට, අධිකරණයට දක්කාගෙන ගිය කාන්තාවට අල්ලස් කොමිසමෙන් අස්වීමට සිදුවනවා නම් “රණවිරු ලේබලය අලවන ලද මිනීමරුවන්“ සියළු දෙනාම අධිකරණ විසින් ඇප මත නිදහස් කරනවා නම්, ඇප මත සිටින ඒ අපරාධ චෝදනා ලත් වුන් නඩු ඇසෙද්දීම නීති විරෝධීව සේනාධිනායකයා වන ජනාධිපතිවරයා විසින් යලිත් යුද හමුදා සේවයේ පිහිටුවනවා නම් හයිබ්‍රිඩ් අධිකරණ අවශ්‍ය නැතැයි කියන්නේ කව්ද? අපරාධකරුවන් සහ උන්ගේ ආරක්ෂකයන් පමණි. මන්ද යත් එවිට උන්ට ‘යුක්තියට වංගු ගැසිය‘ හැකි නිසාය. යුද වින්දිතයන් අති බහුතරයක් මේ පවතින අධිකරණය විශ්වාස කරන්නේ නැත. තමන්ට සාධාරණය ඉෂ්ඨ වන්නේ නැතැයි වින්දිතයන්ට සිතෙන තාක් සංහිඳියාවක් යනු මිරිඟුවක් පමණි. මේ යථාර්තය තේරුම් ගත යුතුය. පාලකයන් බහුතරයේ ජාතිවාදයට යට වීමම තිස් වසරක යුද්දයේ එක් හේතුවක් බව යුද්දයෙන් පසු පාලකයන් තේරුම් නොගතහොත් යලි යුද්දයක් ඇති වීම වැලැක්වීම සක්කරයාටවත් නොහැකිය. මෛත්‍රී තනි අතක් උඩට ලෙලවා කටට ආ පලියට වාගාලාප දෙඩැවීමට පෙර තමා ජනාධිපති බවත්, සුළුතර ජනතාව සියයට 80 ක් ඡන්දය නොදුන්නා නම් ඒ ජනාධිපති කමද නොලැබෙන බවත් දෙවරක් කල්පනා කළ යුතුය.
එවැනි තත්ත්වයක් තිබියදී ජාත්‍යන්තර ප්‍රජාවට, ජාත්‍යන්තර මානව හිමිකම් ආයතන වලට පහර ගසමින්, සුළුතර ජනයා අනාරක්ෂිත කරමින් මෛත්‍රීපාල සිරිසේන මේ ගමන් කරන්නේ ජනාධිපති රාජපක්ෂ ගිය මාර්ගයේම ය. එම මාර්ගය රට ගෙන ගියේ ජාත්‍යන්තර ආර්ථික සම්බාධක පනවන භයානක තත්ත්වයකට ය. ජනවාරි 8 වෙනිදා දේදුනු විප්ලවය හරහා මෙරට බුද්ධිමත් ජනතාව මහා ඛේදවාචකයකට ගමන් කරමින් තිබූ රට වෙනස් දිශානතියකට හැර වීය. අප මුහුණ දුන් අනතුර ගැන කිසිදු තක්සේරුවක් නොමැති ජනාධිපති සිරිසේන ‘ට්‍රම්ප්‘ උන්මාදයෙන් පිස්සු කෙළිමින් සිටී. ඔහු කල්පනා කරන්නේ මහින්ද රාජපක්ෂට වඩා සිංහල බෞද්ධ අන්ත ජාතිවාදියෙකු වීමෙන් ශ්‍රීලනිප ඡන්ද ලබා ගැනීමට ය. ප්‍රායෝගිකව මෙය සිහිනයකි. ඔහු වටා සිටින උපදේශකයෝ ඔහුට ලණු කවමින් සිටිති. පසු දිනෙක ඔහු පිටකරන කඹ වලින් ඔහුටම සිය දිවි නසා ගැනීමට සිදුවන බව නම් අපට ලියා තැබිය හැකිය.
කොණ්ඩය වවාගෙන ජේත්තුකාර තරුණයෙකු වශයෙන් බිම් මට්ටමේ දේශපාලනය කරමින් සිය ගමන ඇරඹූ මංගල සමරවීර නම් තරුණයා එදා සිට අද දක්වා පැමිණි ගමන් මග දුටු අපට ආඩම්බර විය හැකිය. ඔහු පසුගිය දශක තුනක පමණ කාලය තුල ගත් වැරදි තීරණද ගණනාවකි. වසර 5 කට බලයට ආ එජාප ආණ්ඩුව වසර 2 කින් විසිරුවා දැමීමට ඔහු හවුල් වීම එවැනි එක් බරපතල වරදකි. ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාවකි. ඔහු දූෂිතයෙකු නොවූවද ඔහුගේ කාර්ය මණ්ඩලයේ සිටි ඇතැමෙක් අද කැපී පෙනෙන ‘ඩීල් කාරයෝ‘ වූයේ මංගල සමරවීර ගේ සෙවනැල්ල යටය. ඔවුන්ගේ ක්‍රියාමාර්ග පිලිබඳ යම් වගකීමක් මංගල සමරවීරට බැරවන බව කිව යුතුය. එහෙත් ඔහු පසුගිය දශක තුනක කාලය තුළ සිය දේශපාලන පදනම වන ප්‍රජාතන්ත්‍රවාදය, ජනවාර්ගික සමගිය, මානව හිමිකම් වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටියේ ය. ඒ සඳහා ගෙවීමට වන වන්දිය වෙනුවෙන් ඔහු බිය නොවීය. දේශපාලන පාදඩයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි පුද්ගලයන්ගෙන් මානව වර්ගයාගේ පැවැත්වමට සිදුකළ හැකි හානිය පිළිබඳව ඔහු ඉඟි කෙළේ එබැවිනි. අප ඔහු ගැන ආඩම්බර වන්නේද එබැවිනි.
ආනුභාවනන්ද විසිනි
anubhawananda1@gmail.com
Comments
Post a Comment